වේදිකාවේ අලුත් අත්දැකීමක් අතරමැදියා

නිලංක නිසලාංජල්
අගෝස්තු 22, 2019

2019 වසර වේදිකාවේ තරුණ නිර්මාණකරුවන් රැසක් ශ්‍රී ලාංකේය වේදිකාවට බිහි කළ වසරක් යැයි කීම අසත්‍යයක් නොවේ. එලෙස බිහි වූ තවත් තරුණ නාට්‍යකරුවෙකි නිලංක නිසලාංජල්. ඔහුගේ ‘අතරමැදියා’ නාට්‍යය මේ මස 30 වැනිදා ටවර් රඟහලේදී වේදිකා ගතවෙයි. තරුණ පිරිසගේ එකමුතුවකින් නිර්මාණය වූ ‘අතරමැදියා’ පිළිබඳ එහි අධ්‍යක්ෂවරයා වන නිලංක නිසලාංජල් මෙසේ සඳහනක යෙදුණේය.

ඔබ පාසල් යන්නේ රාජකීය විද්‍යාලයටයි?

මා ශිෂ්‍යත්වය පාස්වෙලයි කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණෙන්නේ. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාල‍යෙනුයි මගේ වේදිකා නාට්‍ය ගමන ආරම්භ කරන්නේ. ඒ රත්නා ලාලනී ජයකොඩි ගුරුතුමිය යටතේ.

ඊට පස්සේ ඔබ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පිවිසෙනවා?

ඒ ලෙවල් කරන්න මා තෝරා ගන්නේ මැත්ස්. ඊට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පිවිසෙනවා. ඒ ඉන්න අතරේ වර්ක්ෂොප් කිහිපයකටම යනවා. මහේන්ද්‍ර පෙරේරාගේ. සමාජවාදි කලා සංගමයේ. ඉන්ටර් ඇක්ට් ආර්ට් කණ්ඩායමේ බ්ලැක් බොක්ස් තියටර් එකේ. පාසල් කාලයෙන් පස්සේ මේ ආයතනවලිනුයි මා නාට්‍ය ඉගෙන ගන්නේ. ඊළඟට රැකියාවකට යනවා. ඒ ලියෝ බර්නෙට් ආයතනයේ. මේ කාලය ඇතුළතයි මා පිටපත් ලියන කෙනකු විදියට හා අධ්‍යක්ෂවරයකු විදියට කලඑළි බසින්නේ.

ඔබ රැකියාව විදියට තෝරා ගන්නේ වෙනස්ම විෂයයක්?

මා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදි ඉගෙන ගන්නේ භෞතික විද්‍යාව, ගණිතය සහ කළමනාකරණය. ඒ අතරතුරදියි මා නාට්‍ය කරන්නේ. ඒ පාසල් කාලයේ ඉඳන් හිතේ තිබුණු ආසාවට. රැකියාවක් තෝරා ගනිද්දි මට වුවමනා වුණේ මේ දෙකටම අතරමැදි තැනක තියෙන දෙයක් තෝරා ගන්නයි. විශ්වවිද්‍යාල පැත්තෙන් මා මැනේජ්මන්ට් කරලා තිබුණා. නාට්‍ය පැත්තෙන් මට යම් ලිවීමේ හැකියාවක් තිබුණා. මේ දෙකම එකතු කරලා මා දැන්වීම්කරණය සම්බන්ධ රැකියාවක් තෝරා ගත්තා.

‘අතරමැදියා’ වේදිකාවට පිවිසෙන්නේ මේ අතර ද?

ඩ්‍රාමා ටීම් එකක් අපට ඉන්නවා. ඒ නිසා අපට කොහොමත් වුවමනා වුණා මේ වසරේ නාට්‍යයක් කරන්න. දිගු නාට්‍යයක්. අපේ කණ්ඩායම වටා ඉන්නේ තරුණ පිරිසක්. එයාලා විශ්වවිද්‍යාලයේදි පමණක් මුණගැසුණ අය නොවෙයි. අපේ පාසලේ, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදි, ටවර්හෝල් එකේදි වගේ විවිධ ස්ථානවලදි මුණගැසුණු අය එකතු වෙලයි අපේ කණ්ඩායම නිර්මාණය වී තිබෙන්නේ.

‘අතරමැදියා’ අදහස ඉදිරිපත් වන්නේ මේ කණ්ඩායමෙන් ද?

සමහරු කරන්නේ පරිවර්තනයක් අරගෙන නාට්‍යයක් කිරීමයි. එවැනි නිර්මාණයක් බිහි වන්නේ එක්කෝ විශ්වවිද්‍යාලයකින්. මේ වගේ එළියෙන් කණ්ඩායමක් එකතු වෙලා මම හිතන විදියට පළමු වරටයි දිගු නාට්‍යයක් කරන්නේ. අපේ කණ්ඩායමටම තිබුණු වුවමනාවේ ප්‍රතිඵලයක් විදියටයි ‘අතරමැදියා’ බිහි වන්නේ. අප සියලු දෙනාම සංවිධානය කිරීමේ කටයුතුත් භාර ගන්නවා. ඒ යම් අවදානමක් අරගෙන.

මේ අතරමැදියා කවුරුන් ද?

එදිනෙදා අපට හමුවන චරිතත් එක්කයි මෙහි ප්‍රධාන චරිතය ඇතුළු අනෙකුත් චරිත බිහි වන්නේ. අතරමැදියා ගැන නිර්වචනයක් දුන්නොත් අප ජීවත් වන සමාජ රටාවේ අප සිටින අතරමැදි අවස්ථාව ගැනයි කතා කරන්නේ. ඒ කියන්නේ තාරුණ්‍යයේ අප සිටින අතරමැදි අවස්ථාව ගැනයි අප මේ කතා කරන්නේ. පොදුවේ පුද්ගලයකු හෝ යම් කිසි දෙයක් නොවෙයි. අප ජීවත්වීමේදී අපට සිදු වී තිබෙන ඛේදවාචකයි අප කතාබහට ලක් කරන්නේ. එයයි අතරමැදියාගේ ප්‍රධාන ධාරාව ලෙස අප සලකන්නේ.

ඔබ ඇතුළු පිරිස ජීවත්වන්නේ අතරමැදි අවධියක ද?

මගේ නිර්වචනය අනුව එවැනි මතයක් අපේ නාට්‍යය ඇතුළේ තිබෙනවා. අප විශ්වාස කරන්නේ අප හැමදෙනාම ඉන්නේ පරිවර්තන අවධියක බවයි. හිටිය එකක හා ඉදිරියට වෙන්න යන එකක අතරමැද්දේයි අප ඉන්නේ. මේ නිසාම අප මොකක්ද කරන්නේ ඕන කියන දේ තෝරා ගන්න බැරිකමක ඉන්න නිසා කියලයි අපට හිතෙන්නේ. ඒ සම්බන්ධයෙන් පමණක් නොවෙයි අප අතරමැදියා මඟින් කතා කරන්නේ. විශේෂයෙන් අතරමැදියා මඟින් ආදරය ගැනත් කතා කරනවා. ආදරය, සමාජ රටාව ආදි මේ සියල්ල එකතු කරගෙනයි අතරමැදියා නිර්මාණය වන්නේ.

අතරමැදියා පිළිබඳ අදහස ඔබගේ මනසේ නිර්මාණය වන්නේ කොහොම ද?

මේ වසරේ මාර්තු මාසයේයි මා ‘අතරමැදියා’ ලියන්න ආරම්භ කරන්නේ.

මේ පිටපත ලියන විට කවුරුත් සම්බන්ධ වුණේ නැහැ. තනියම තමයි ලිව්වේ. මම ලියන කොට දවසම වගේ ලියනවා. ඒ සියලු දේම ලියලා තමයි අවසානයේ පෑන බිමින් තියන්නේ. කාලයක පටන් කෙටි චිත්‍රපටයක් කරන්න මගේ සිතේ අදහසක් තිබුණා. චරිත තුනක් උපයෝගි කරගනිමින්. මේ චරිත තුන අරගෙන එක දවසක හිතන කොට මගේ ඔළුවට එන්නේ ඒවා ආශ්‍රයෙන් දිගු නාට්‍යයක් කළ හැකි නේද කියලා. කෙටි චිත්‍රපටය ගැන කිරීම අසාර්ථක වීමත් එක්ක ඒ චරිත තුනම වෙනම චරිත තුනක් විදියට මා අතරමැදියාව වේදිකාවට අරගෙන එනවා.

ඔබ මේ නාට්‍යයට තෝරා ගන්නා පිරිස ගැනත් සඳහන් කරමු?

ප්‍රධාන භූමිකා තුනක් මේ නාට්‍යයේ දිවෙනවා. එහි නදීරගේ චරිතය රඟපාන්නේ කුසල් මධුරංගයි. සිලිඳු රන්වලයි අමන්දි කියන ගැහැනු ළමයාගේ චරිතය රඟපාන්නේ. ශේන්ගේ චරිතය රඟපාන්නේ මමයි. වේදිකා පරිපාලනය සඳුන් ලක්ෂාන්, පසුතල නිර්මාණය අධ්‍යක්ෂණය නදීක සුපුන්, ඇඳුම් නිර්මාණය ධනූ සමරසිංහ, වේශ නිරූපණය ශිරාන් ලක්ෂිත, සංගීතය චානක බණ්ඩාර, සහය ආත්මා ප්‍රියදර්ශන, නර්තන නිර්මාණය ඉමිත ජයකොඩි, රංගාලෝකය සුරේශ් හා දුලංජය, වේදිකා පරිපාලනය සඳහා ග්‍රේෂන් රත්නායක, දර්ශ වන්නිනායක, ජෝන්, කුමේෂ්, චතුරංග කියන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ එකමුතුවෙනුයි ‘අතරමැදියා’ වේදිකා ගත වන්නේ. මෙහි නිෂ්පාදනය හා පිටපත, අධ්‍යක්ෂණය යන කාර්යයන් කරන්නේ මමයි.

වේදිකා නාට්‍යයක් කිරීමේදී යම් පිරිවැයක් ඇතුළත්. එය ඔබ ඇතුළු පිරිස නිර්මාණය කරගත්තේ කොහොම ද?

වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න ඕන කියලා හිතාගෙන හිටියේ කාලයකට කලින්. ඒ නිසා වැඩ කරලා සොයා ගත්ත මුදල් ප්‍රමාණයක් මා ළඟ තිබුණා. මේ නාට්‍යය සඳහා ලොකු වියදමක් දරන්න සිදු වුණා. පුහුණු වීම් සැලසුම නිර්මාණය වී තිබුණේ මාස දෙක හමාරක පමණ. ඊට පස්සේ මේ නිර්මාණය වේදිකා ගත කළ යුතුයි. බොහෝ විට අද තරුණ පිරිස වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්නේ යොවුන් නාට්‍ය උලෙළ නැත් නම් රාජ්‍ය නාට්‍ය උලෙළ ඉලක්ක කරගෙනයි. ඒත් අපට එහෙම අදහසක් තිබුණේ නැහැ. ඒ නිසා අප සිදු කළේ ‘අතරමැදියා සඳහා මංගල දර්ශනයක් පැවැත්වීමයි. මේ අනුවයි මුලින් ‘අතරමැදියා’ වේදිකා ගත වන්නේ. අද වන විට අතරමැදියා දර්ශන කිහිපයක්ම වේදිකා ගත වී අවසන්. තවත් දර්ශන කිහිපයකටම ඉදිරි දිනවලදි ආරාධනා ලැබී තිබෙනවා.

‘අතරමැදියා’ගේ වේදිකාව නිර්මාණය වී තිබෙන්නේ වෙනස් ආකාරයෙන්?

‘අතරමැදියා’ වේදිකා ගත වන්නේ කැරැකෙන වේදිකාවක් මතයි. මෙහි වේදිකා පසුතල විදියට රූපවාහිනියක් එහෙම විකාශය වෙනවා. ඒ සඳහා විදුලිය එහෙම අවශ්‍යයයි. ඒ නිසා අප මුලින් ප්ලැට්ෆෝම් එකක් නිර්මාණය කළා. මේ කැරැකෙන වේදිකාව කරකවන්නේ මිනිසුන් විසින්. එක් එක් දර්ශන සඳහා වෙන වෙන එකක් ගෙනැත් තියෙනවා නොවෙයි. තියෙන එකමයි කැරකෙන්නේ. මෙය ඕනෑම වේදිකාවක පෙන්විය හැකියි. හැබැයි විදුලිය තිබෙනවා නම් පමණක්. මොකද රූපවාහිනිය විකාශය වන නිසයි අප එහෙම පවසන්නේ.

කැරකෙන වේදිකාව වේදිකාව මත ඉදිරිපත් කිරීම යම් අත්හදා බැලීමක් ද?

එවැනි අත්හදා බැලීම් රැසක් ‘අතරමැදියා’ ඇතුළේ සිදු වුණා. කැරකෙන වේදිකාව පමණක් නොවෙයි නාට්‍යය ඇතුළේ වෙනත් අත්හදා බැලීම් කිහිපයකට ගියා. ඒක මා කියනවාට වඩා ප්‍රේක්ෂකයන්ම නරඹලයි දැක ගත යුත්තේ. ඒ වෙනස් වීම් නාට්‍යයට ගැළපෙනවා ද වඩාත් හොඳ ද යන්න තීරණය කළ යුත්තේ ඔවුන් ‘අතරමැදියා’ නරඹලයි. මේ වෙනස අප කළේ තරුණ පිරිස වෙනුවෙන්. ඔවුන් වෙනුවෙන් මෙතෙක් මොඩර්න් මාතෘකා කතා කර තිබුණේ නැහැ. ඒ නිසා අපට වුවමනා වුණේ අවුරුදු 18 සිටන් 25 දක්වා වයස් කණ්ඩායම්වල ජීවන රටාවත් එක්ක සරිලන විදියේ නිර්මාණයක් ගොඩනගන්න.

කැරැකෙන වේදිකාව කැරැකෙන්නේ මොන විදියට ද?

නදීක සුපුන් හා සඳුන් ලක්ෂාන්ගේ අදහසක් අනුවයි කැරැකෙන වේදිකාව නිර්මාණය වන්නේ. ප්‍රධාන ස්ථාන දෙකක නාට්‍යය විහිද යනවා. එකක් වේදිකාව ඉදිරියට පැමිණ කතා කරන අවස්ථා කිහිපයක් තිබෙනවා. ඊට අමතරව කොෆි ෂොප් එකක් සහ නිවෙස කියන ස්ථානයි තිබෙන්නේ. මේ ස්ථාන අතර සිදු වන සිදුවීම් අතරයි කැරැකෙන වේදිකාවේ දර්ශන අවස්ථා මාරු වන්නේ.

නිශ්ශංක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.