‘රන්මසු උයන’ මංගල දර්ශනය 28 වැනිදා ලුම්බිණි රඟහලේදී

සැප්තැම්බර් 26, 2019

සරසි කලා කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන මහාචාර්ය රෝහණ පී. ප්‍රනාන්දුගේ ‘රන්මසු උයන’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය මේ මස 28 වැනිදා ලුම්බිනි රඟහලේදී පැවැත්වෙයි. එහි ප්‍රධාන චරිතවලට රංගනයෙන් සහභාගි වන ගිෂාන් නෙත්විඳු හා ලෝචනා කුමාරි පසුගිය දිනෙක සරසවියට පිවිසුණේ ඔවුන් පිළිබඳත්, නාට්‍යය පිළිබඳත් පැවැසීමටයි.

“යෝක් ජාත්‍යන්තර පාසලේ 7 ශ්‍රේණියේ ඉගෙන ගන්න ගිෂාන් ගෙවිඳු වන මගේ වයස අවුරුදු දොළහක්. මුලින්ම මා රංගනයට සම්බන්ධ වෙන්නේ දෙරණ රූපවාහිනියේ ‘සිඳූ’ ටෙලි නාට්‍යයෙන්. ඒ අවස්ථාව මට ලැබුණේ මගේ මාමා වුණු නීතිඥ ෂාමන්ත බණ්ඩාර නිසා. ඔහු මාව හඳුන්වලා දුන්නේ දෙරණ විධායක අධ්‍යක්ෂ චරිත් කොතලාවල මාමාටයි. ඒ මඟිනුයි මා දෙරණ රූපවාහිනියට සම්බන්ධ වන්නේ. ඊට පස්සේ ‘කාක් බිත්තරේ’ කියන චිත්‍රපටයේ රඟපාන්නත් මට අවස්ථාව ලැබෙනවා. දිලුක් ප්‍රසාද් මාමාගේ ‘සඳ ආයෙත් ඇවිදින්’ ටෙලි චිත්‍රපටයේත්, ‘සුපහන් සිත’ කියන පෝය ටෙලි නාට්‍යය ඇතුළු නාට්‍ය කිහිපයකත් මා රඟපෑවා. මේ දිනවල විකාශය ආරම්භ වන ‘එක රෑනේ කුරුල්ලෝ’ ටෙලි නාට්‍යයේ මා රඟපාන්නේ පාසල් යන දඟකාර ළමයකුගේ චරිතයක්. මේ වේදිකා නාට්‍යයේ මා රඟපාන්නේ රජකුමරකුගේ චරිතයක්. ඔහු බොහොම කාරුණික හදවතක් තිබෙන කුමාරයෙක්. සාලිය අශෝක මාලාගේ පරපුරෙන් පැවැත එන කතාවක් හා සම කරමින් මිනිසා උතුම් වන්නේ ඔවුන්ගේ හැසිරීමෙන් මිස උපතට අනුව නොවන බවයි මේ නාට්‍යයෙන් කියවෙන්නේ. රඟපෑමට අමතරව මා වඩාත් කැමැති ක්‍රිකට්වලටයි. මගේ මුළු ලෝකයම මගේ අම්මායි. මගේ රංගන කුසලතා දැකලා ඒ මඟින් ලබන සතුටෙන් ඈ නීරෝගි වේවා කියලයි මා ප්‍රාර්ථනා කරන්නේ. මගේ අනාගත බලාපොරොත්තුව ගුවන්නියමුවකු වීමයි. මාව යම් කිසිවකුට නිර්මාණයකට සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් 077 – 0565294 යන දුරකථනය ඔස්සේ මට කතා කළ හැකියි.”

‘රන්මසු උයන’ නාට්‍යයේ උමා නම් රොඩී කෙල්ලගේ චරිතය කරන්නී ලෝචනා කුමාරියි.

“මා ඉපලෝගම ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලයේ 8 වැනි ශ්‍රේණියේයි මා ඉගෙන ගන්නේ. පාසලේ ඉගෙන ගන්න විෂයයන්වලින් මා වඩාත් කැමැත්තක් දක්වන්නේ නර්තනයටයි. 2018 වසරේ උතුරු මැද පළාත් සමස්ත ලංකා තරගාවලියේදී ඒකල නර්තනය අතුරින් පළමු ස්ථානය හිමි වන්නේ මටයි. ඒ නයිඅඩි වන්නමටයි. මෙවරත් සමස්ත ලංකා තරගාවලියට මා තේරිලයි ඉන්නේ. ඒ තරගයත් ළඟදීම පැවැත්වේවි. නර්තනයට ආසා නිසා මා දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 9 තරගය සඳහා සහභාගි වුණා. 12න් පහළ අවසන් අටදෙනා අතරටත් මා තේරුණා. නර්තනයට වගේම රඟපෑමටත් කැමැති නිසා මා මුලින්ම රඟපෑවේ ‘සිහියට එන හැම විට’ කියන ගීතයේ රූප රචනයේ. ඒක නිශාන්ත ගමගේ මාමාගේ. ඊළඟට දෙරණ රූපවාහිනියේ පෝය නාට්‍යයක් වන ‘සඳ ආයෙත් ඇවිදින්’ නිර්මාණයේ රඟපෑමට මට අවස්ථාව ලැබුණා. මේ සියලු කටයුතුත් කරගෙන කලා කටයුතුවල නිරත වෙමින් අනාගතයේ වෛද්‍යවරියක වීමයි මගේ බලපොරොත්තුව වන්නේ.”

කලා කටයුතුවල නියැළෙමින් තමන්ගේ අනාගත බලාපොරොත්තු ඉටු කරගැනීමට සිහින දකින ඔවුන් දෙදෙනාට අපි සරසවිය වෙතින් සුබපැතුම් ගෙන එමු.

තිලානි ශානිකා 
සේයා රූ - නිශ්ශංක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.