ඉලන්දාරි සීයක් ගිහින්

සැප්තැම්බර් 26, 2019

සුනිල් ශ්‍රීගේ ‘ඉලන්දාරියා’ වේදිකා නාට්‍යයේ සිය වැනි දර්ශනය මේ මස 28 හා 29 දෙදින මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගතවෙයි. එදිනට එහි රඟන ශිල්පීන්ට හා ශිල්පිනියන්ට තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරේ. මේ වන විටත් ‘ඉලන්දාරි’ ඇතුළු වේදිකා නාට්‍ය රැසක් නිර්මාණය කර ඇති ඔහු ඒ පිළිබඳ ‘සරසවිය’ සමඟ යෙදුණේ මෙවැනි කතාබහක ය.

‘ඉලන්දාරි’ට කොහොම ද?

‘ඉලන්දාරි’ කියන්නේ මගේ නාට්‍ය අතුරින් මා වඩාත්ම කැමැති නාට්‍යයක්. ඒ මොකද මේ නාට්‍යය අනෙක් නාට්‍යවලට වඩා ප්‍රේක්ෂකයන් වැඩි ප්‍රමාණයක් වැලඳගත් නාට්‍යයක් නිසා. මේ නාට්‍යයට රට පුරාම පුදුම විදියට ප්‍රේක්ෂක ඉල්ලුමක් තිබුණා. පාණදුරේ විතරක් මේ නාට්‍යය දර්ශන විසිහතරක් වේදිකා ගත වෙලා තිබෙනවා. ඒ ආකාරයෙන් රට හැමතැනම ‘ඉලන්දාරි’ වේදිකා ගතවුණා. ඒ නිසාම ‘ඉලන්දාරි’ සීය වැනි දර්ශනය පැමිණි වෙලාවේ එහි රඟපාන රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ට තිළිණ ප්‍රදානයක් කරන්න මා සිතුවා. ඒ වගේ ම මේ දින දෙකේ දර්ශන හතරක් වේදිකා ගත වීමට නියමිතයි.

‘ඉලන්දාරි’ට ඒ තරම්ම ප්‍රේක්ෂකයන් ආදරෙයි ද?

එක්වරක් මේ නාට්‍යය නැරැඹූ ප්‍රේක්ෂකයා තවත් වරක් ඇවිත් නරඹන තත්ත්වයට පත් වෙලා. ඒ පිළිබඳ මට හොඳ අත්දැකීමක් තිබෙනවා. ඒ ‘ඉලන්දාරි’ අට වරක් නැරැඹූ තාත්තෙක් හා පුතෙක් මට පසුගිය දිනෙක මුණ ගැසුණා. මා ඔවුන්ව නාට්‍යය අවසන් වුණාට පස්සේ නැඟිටලා ප්‍රේක්ෂකයන්ට හඳුන්වලා දුන්නා. ඒ වගේ පුදුම ප්‍රසාදයක් ප්‍රේක්ෂකයන් අතර මේ නාට්‍යයට තිබෙන බව මට හැඟුණේ මෙවැනි කාරණාවලින්.

‘ඉලන්දාරි’ අරගෙන රට වටා යන්නේ ඔබටම වෙන් වුණු ක්‍රමයකට ද?

මගේ ‘තොත්ත බබාලා’ නාට්‍යය දර්ශන හයසියයකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට වේදිකා ගත වී තිබෙනවා. ඒ ආකාරයෙන් මගේ නාට්‍ය රට වටා යන්න ප්‍රධාන වුණු හේතු ගණනාවක් තිබෙනවා. එකක් නම් මා නාට්‍ය සංවිධායකයන් එක්ක සහ සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. ඔවුන් බලාගෙන ඉන්නේ මා නාට්‍යයක පුහුණු වීම් කරලා අවසන් වන තුරුයි. මා නාට්‍යයක් කරලා වේදිකා ගතවුණාට පස්සේ දර්ශනයක් අවසානයේ පාඩුවක් සිදු නොවන විදියටයි කටයුතු කරන්නේ. යම් අඩුපාඩුවක් තිබුණොත් ඒ ගැන සොයා බලා කටයුතු කිරීම මඟින් නාට්‍ය දර්ශනය සාර්ථක කරගැනීමයි මගේ වෑයම වන්නේ. ඒ නිසමදෝ මගේ නාට්‍ය සාර්ථක වෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ටත් රසවින්දනයක් ලබා දෙනවා. ඕනෑම කර්කශ පණිවිඩයක් සරල ලෙස ඔවුන්ට ඉදිරිපත් කරන විට විඳගන්න පහසුයි. මේ නිසාම මාත් සමඟ ප්‍රේක්ෂකයන් හැමදාම අත්වැල් බැඳගෙන ඉන්නවා.

‘ඉලන්දාරි’ නාට්‍යය මඟින් කතා කරන්නේ ඉලන්දාරි ගැන ද?

මේ නාට්‍යයට පාදක වෙන්නේ මගේ පෞද්ගලික කාරණයක්. මගේ අයියාගේ පුතකුට මනමාලියක් බලන්න ගියා. පේරාදෙණිය මහවැලි ගඟ අද්දර ලස්සන නිවෙසකයි ඒ අම්මා හා දුව හිටියේ. වෙන කවුරුවත් ඒ අයට හිටියේ නැහැ. මෙන්න මේ වස්තු බීජයයි මගේ සිතේ රෝපණය වූයේ.

ඒ කාරණය ඔබගේ සිතේ වස්තු බීජයක් විදියට වර්ධනය වන්නේ කුමන විදියකට ද?

මේ තනියම ඉන්න දෙන්නාගේ ජීවිත ගැන හිතුව මගේ සිතේ ඇඳුණේ මෙන්න මෙහෙම අදහසක්. මෙතනට දාමරිකයකු හෝ නරක මිනිහකු, සමාජයේ කළු චරිත ස්වභාවයක් තිබෙන කෙනකු ආවොත් සිද්ධ වන ව්‍යසනය මොකක් ද? කියන කාරණයයි මගේ සිතේ පහළ වුණු වස්තු බීජය වුණේ. ඒ කාරණය ඔස්සේයි මා ‘ඉලන්දාරි’ ගොඩනැඟුවේ. එහි තිබුණු කාන්තා හිංසනය කියන අදහස මා වස්තු විෂය කර ගත්තා. එතැන ඉඳලයි මා ‘ඉලන්දාරි’ ගොඩනැඟුවේ.

‘ඉලන්දාරි’ කියන්නේ එක් අයකු නොවෙයි. මේ නාට්‍යයේ ඉලන්දාරි ගොඩක් ඉන්නවා වගෙයි?

මේ නාට්‍යයේ එක එක ඉලන්දාරි ඉන්නවා. නාකි ඉලන්දාරි, මෝඩ ඉලන්දාරි, කපටි ඉලන්දාරි, චණ්ඩි ඉලන්දාරි වශයෙන් ඉලන්දාරි කොටස් කරලා මේ නාට්‍යයේ චරිත රඟපානවා. ඒ ආකාරයට චරිත එකොළහක් අට දෙනකුයි රඟ දක්වන්නේ.

චරිත එකොළහක් අටදෙනකු රඟපාන්නේ ඇයි?

මුල් භාගයේ පැමිණි චරිත තිබෙනවා. ඔවුන් පසු භාගයේ නිකම් ඉන්න නිසා සමහර චරිත ඒ අය නැවතත් රඟපානවා.

‘ඉලන්දාරි’ ජනප්‍රිය රැල්ලේ නාට්‍යයක් ද?

මා නාට්‍ය වර්ග කරන්නේ නැහැ. ඒ වර්ග කිරීම දුර්වල ක්‍රියාවක් විදිටයි මා දකින්නේ. ප්‍රේක්ෂකයන්ට නාට්‍යයක් නරඹලා නාට්‍ය රසවිඳීනවා නම් ඒ මඟින් ඔවුන්ට ගන්න යමක් තිබෙනවා නම් ඒ නාට්‍ය හාස්‍ය රැල්ලේ ද සම්භාව්‍ය රැල්ලේ ද කියලා වර්ග කරන්න වුවමනා නැහැ. එහෙම වර්ග කිරීම නුසුදුසු බවයි මගේ අදහස වන්නේ.

ඔබ නාට්‍ය වර්ගීකරණයට බය ද?

අප නාට්‍ය කරන්නේ ප්‍රේක්ෂකයාටයි. ප්‍රේක්ෂාගාරයක් නැත්නම් නාට්‍යයක් ඇත්තේත් නැහැ. මගේ නාට්‍යවලට ප්‍රේක්ෂකයන් ඉන්නවා. ඒ නිසා මම ඔය කිසිම නාට්‍යක් වර්ගීකරණයකට බය නැහැ. මගේ තොත්ත බබාලා නාට්‍යයේ නම් පොඩි හාස්‍යෝත්පාදක බවක් තිබෙනවා. ඒ රඟපාන නළුවන්ට ආවේණික විදියට යම් යම් වෙනස්කම් කරන්න වුවමනා නිසයි ඒ විදියේ දෙයක් සිදු වුණේ. කොහොම වුණත් නාට්‍ය වර්ගීකරණයට ලක් කරන්න එපා. එන්න මගේ නාට්‍ය නරඹන්න. නාට්‍ය නරඹන්නේ නැතිව කිසිම නිර්මාණයකට දෙයක් කියන්න එපා. ඒ වගේ ම ප්‍රතිපත්තියක් විදියට මා සම්මාන උලෙළවලට මගේ නාට්‍ය ඉදිරිපත් කරන්නේත් නැහැ.

‘ඉලන්දාරි’ නාට්‍යයේ රඟපාන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් කවුරුන් ද?

ලසන්ත උඩුකුඹුර, සුසිලා කෝට්ටගේ, රජිත හිරාන් (පිංපොං), නන්දන හෙට්ටිආරච්චි, (බොනි), ධනංජි තාරුකා, ධනුක සිල්වා, රොමේෂ් සංජේ, රංග සම්පත් සමඟ මාත් මෙහි රංගනයෙන් සහභාගි වෙනවා. මෙහි සංගීතයෙන් කමල් ඩයස්, අංගරචනයෙන් ගාමිණි කොස්තා, පසුතල නිර්මාණයෙන් තිස්ස වීරවර්ධන, ශබ්ද පරිපාලනයෙන් රුක්ෂාන් ප්‍රනාන්දුත් මට සහය වනවා. ඒ වගේම ඉලන්දාරි හැඩ වන්නේ මගේ පිටපතෙන් සහ අධ්‍යක්ෂණයෙන්. ඒත් සමඟම කිව යුත්තේ මගේ නිර්මාණවලට නිෂ්පාදනයෙන් දායක වන සියලු නිෂ්පාදකවරුන් ද මා මෙහිදී සිහිපත් කරන බවයි.

ඔබ නාට්‍ය කලාවේ නිරත වෙලා මේ වන විට වසර තිස්හතක්?

මුලින් මා රඟපාන්නේ පාසල් වේදිකාවේ. ඒ නැටුම් ආචාරිනී නිමලා ප්‍රනාන්දු කියන මගේ ගුරුතුමීගේ ‘ජසය හා ලෙන්චිනා’ නාට්‍යයේ ජසයාගේ චරිතය. ඒ 1980 වසරේ. එදා පටන් 1990 වසර දක්වා මා රඟපෑම් කටයුතු කළා. ඒ අතරෙදියි 1984 වසරේදි ‘නෙයිනාගේ සූදුව’ නාට්‍යයේ රඟපාන්නේ. සුදර්ශියේදි සාලමන් ෆොන්සේකා යටතේ, දයා වයමන් යටතේයි මා නාට්‍යකරණය හදාරන්නේ. ඒ ආකාරයට වසර දහයක් නාට්‍ය කලාව හදාරලයි මා මගේ පළමු නාට්‍යය වන ‘සුනඛ කේසර’ නිර්මාණය කරන්නේ.

ඔබ නාට්‍ය කලාවට ආදරය කරන්නේ කුඩා කලයේ පටන්?

මා පුංචි කාලයේ රඟපාන්නේ ගමේ කෙරෙන පොල්කොටන් වේදිකාවල කෙරෙන නාට්‍යවලයි. ඒ වේදිකාව අපි නිර්මාණය කළේ පොල් කොටන්, පුවක් කොටන් අරගෙන ඇවිත් බොහොම මහන්සියෙන්. එයට පසුවයි පාසල් නාට්‍යවලට පිවිසෙන්නේ. එදා පටන් අද දක්වාම මා නියැළෙන්නේ නාට්‍යකරණයෙයි. මා වාහන ගත්තේ, දරුවෝ ලොකුමහත් වුණේ, ගෙවල් දොරවල් හැදුවේ ආදි සියලු දේ කළේ නාට්‍ය කලාවෙන්. මා ඒක කියන්නේ බය නැතිවයි.

ඒ වුණාට බොහෝ දෙනා පවසන්නේ නාට්‍ය කරලා ජීවිතේ ගෙන යා නොහැකි බවයි?

කැපවීමෙන් උනන්දුවෙන් තමන් කරන වැඩේ ඉන්නවා නම් එහෙම කිසිම අවුලක් නැහැ. මා බය නැතුව පවසන්නේ මා වෘත්තීය නාට්‍ය ශිල්පියකු බවයි. එහෙම වීමට නම් තමා කරන වැඩය කැප වීමෙන් කළ යුතුයි.

ඔබ පවසන්නේ අනෙක් නාට්‍යකරුවන් කැපවීමෙන් නාට්‍ය කරන්නේ නැති බව ද?

ඒක ඒ ඒ අයට අදාළයි. ඒ ඒ අයට ආවේණිකයි. මට ආවේණික ශෛලියක් මා හදා ගත්තා. වසර තිස්හතක් තිස්සේ නාට්‍ය කරන කොට ඒ ඒ කාලවලට උචිත විදියට මගේ ක්‍රම සහ විධි මා භාවිත කරනවා. ඒ මඟින් මගේ නාට්‍ය සාර්ථක කර ගන්නවා. එය තවත් කෙනකුට සාපේක්ෂව කියන්න බැහැ. අනෙක් කාරණය තමයි මේ කට්ට කන්න බොහෝ දෙනකු කැමැති නැහැ. කලාවෙන් ජීවත් වෙන්න බැහැ; කලාකාරයා හිඟන්නා කියන අදහස්වලට මා එකඟ වෙන්නේ නැහැ. මට හැමදේම ලැබෙන්නේ මගේ නාට්‍ය මඟින්. මා අද කලාකරුවකු වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විදියටත් වැඩ කරනවා. ඒ පාණදුර ප්‍රා දේශිය සභාවේ. ඒ සියලු දේ මට ලැබෙන්නේ නාට්‍ය කිරීම මඟින් ගමේ ඇති කරගත්ත ප්‍රසාදය මඟිනුයි. ගමේ මිනිසුන්ට යමක් කිරීම මඟිනුයි.

ඒ කියන්නේ ඔබ ළඟ අනෙක් මන්ත්‍රීවරුන් වගේ හොර බොරුව නැහැ?

හොර, බොරු, වංචාව, කොමිස් නැතිව මගේ කාර්යය කරගෙන යනවා මා ලංකා සම සමාජ පක්ෂය මඟින්. මේ හික්මීම ලැබුණේ කලාවෙන් හා පක්ෂය මඟින් බවයි මට හැඟෙන්නේ.

තිලක් පෙරේරා

Add new comment