වසන්ත විට්ටච්චි මහත්මා ගාන්ධි වෙයි

ඔක්තෝබර් 10, 2019

කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ අධ්‍යක්ෂණය කරන ‘මහත්මා@ගාන්ධී.ජධථ’ මේ මස 16 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකා ගතවෙයි. මේ නාට්‍යය වේදිකා ගත වන්නේ මහත්මා ගාන්ධිගේ 150 වැනි ජන්ම සංවත්සරය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ හැට වැනි සංවත්සරය වෙනුවෙනි. මේ ඒ පිළිබඳ සරසවියට සැකසුණු ලිපියකි.

ඔබ මේ නාට්‍යය වේදිකාවට අරගෙන එන්නේ පරිවර්තනයකින්?

ඉන්දියානු මුල් කෘතියක් ඇසුරින් නිර්මාණය වුණු මෙහි ලේඛකයා වන්නේ අස්ගර් වජාහත්. මුස්ලිම් ජාතික ඉන්දියානුවකු වන මහාචාර්ය අස්ගර් වජාහත් ප්‍රසිද්ධ හින්දි ලේඛකයෙක්; සාහිත්‍යකරුවෙක්; වාර්තා සහ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඔහු මේ වන විට දීර්ඝ නාට්‍ය අටක් ලියා පළ කර තිබෙනවා. මහත්මා ගාන්ධි සම්බන්ධයෙන් ලියූ මේ නාට්‍යය බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණු ඔහුගේ එක් කෘතියක්. ඉන්දියානු ප්‍රාන්තීය භාෂා කිහිපයකට පරිවර්තනය වී ඇති මේ නාට්‍යය ගුජාරාටි ප්‍රාන්තයේ රඟදැක්වෙන බවත් සඳහන්. මා මේ නාට්‍යයට අදාළ මුල් කෘතිය සිංහල බසට පරිවර්තනය කර පළ කළේ 2015 වසරේදි. එය බොහොම උත්සව ශ්‍රීයෙන් සිදු කළ මොහොතේ මේ ලේඛකයා ඒ අවස්ථාවටත් සහභාගි වුණා.

ඔබ මෙවැනි නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න සිතුවේ ඇයි?

මේ කෘතිය මා මුලින්ම කියවන්න දුන්නේ මගේ පාසල් කාලයේ සිට මා හඳුනන ප්‍රවීණ රංගන ශිල්පියකු වන දයාදේව එදිරිසිංහ මහතාට. ඔහු ඒ කෘතිය කියැවීමෙන් පස්සේ පැවැසුවේ මේ වගේ අවධියක මෙවැනි නිර්මාණයක් බලාපොරොත්තුවෙන් සිටින ප්‍රේක්ෂක පිරිසකුත් සිටින බවයි. ඒ නිසා මේ නිර්මාණය සිංහල වේදිකාවට ගෙන ආ යුතු නිර්මාණයක්ම බවයි ඔහු පැවැසුවේ. දිගින් දිගටම ඔහු කළ උනන්දුවේ ප්‍රතිඵලයක් විදියටයි මේ කෘතිය අද අනුවර්තනයක් ලෙස වේදිකාවට පිවිසෙන්නේ. අපේ රටේ පවතින සමකාලීන දේශපාලන, සමාජික, විශේෂතාවලට අවධානය යොමු කරමින්, යම් සංස්කරණයකට ලක් කිරීමෙන් පස්සෙයි මේ පිටපත නිර්මාණය වෙන්නේ. එහිදි මගේ අවධානයට ලක් වුණේ එහි මුල් හරය නොසිඳෙන ආකාරයෙන් අනුවර්තන ස්වභාවයක් සහිත නාට්‍යයක් බවට පත් කරන්නයි. ඒ වගේම මා දන්නා තරමට මේ වන තෙක් ගාන්ධිතුමාගේ චරිතය සිංහල වේදිකාවට නැඟිලා නැහැ. එයත් මේ වේදිකා නාට්‍යය වේදිකාවට රැගෙන එන්න තවත් හේතුවක්. ඒ සඳහා මුල් වුණු අනෙක් කාරණය නම් මේ නාට්‍යයේ සාකච්ඡා කෙරෙන කාරණා අපේ රටේ සමකාලීන දේශපාලනයට කෙතරම් ගැළපෙනවා ද කියන කාරණය. එයට අමතරව හදවතට නොවේ බුද්ධියට ආමන්ත්‍රණය කරන මේ නාට්‍යය සිංහල වේදිකාවේ ප්‍රේකෂකයන්ට ඇසුරු කරන්න ලබා දිය යුතු වටිනා නිර්මාණයක් කියන අදහස මගේ සිතේ පැලපදියම් වුණා. එවැනි අදහස් රැසක එකතුවක් ලෙසයි ‘මහත්මා@ගාන්ධී.ජධථ’ ප්‍රේක්ෂකයා අතරට පිවිසෙන්නේ.

අනුවර්තනයක් කිරීම සඳහා ඔබ අසල්වැසි රාජ්‍යයේම කෘතියක් තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවා ද?

අපේ නාට්‍ය කලාව දෙස බලන විට පෙනී යන්නේ සැතපුම් දහස් ගණනක් දුරින් ඇති දේශ දේශාන්තරවල විශිෂ්ට නාට්‍ය කෘති පරිවර්තනය කිරීමෙන් පස්සේ ඒවා වේදිකාවට රැගෙන එන බවයි. එහෙත් අපේ රටේ අසල්වැසියාගේ විශිෂ්ට නිර්මාණ අපේ වේදිකාවට ගෙන ඒම අතිශය අල්පය කියන අදහසයි මගේ සිතේ තිබුණේ. මෑතකදී අසන්නට ලැබුණු ‘සන්ත් චරන්දාස් නාට්‍යය අපේ වේදිකාවට ආවත් මා දන්නා තරමට එයත් ඉංග්‍රීසි පරිවර්තනයකින් සිංහලට පරිවර්තනය කළ නිර්මාණයක්. අපේ වේදිකාවට එන විදේශ නාට්‍ය කෘති අතර මුල් බසින් කළ පරිවර්තන විරල වීම මේ නාට්‍යය සිංහල වේදිකාවට එකතු කළ යුතුය යන හැඟීම ඇති කරන්න මුල් වුණා. විදේශ භාෂාවලින් ලියැවුණු කෘති මුල් බසින් සිංහලට පරිවර්තනය කිරීමේ සංස්කෘතියක් කෙරෙහි අපේ පරිවර්තකයන් තුළ පෙලඹවීමක් ඇති කිරීමටත් මට වුවමනා වුණා. ඒ සඳහා අසල්වැසි රාජ්‍යයේ නිර්මාණ කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීමේ අදහස ඇතිවයි මා මෙවැනි නිර්මාණයක් තෝරා ගත්තේ.

ඔබ හින්දි පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. කලාවත් එක්ක ඔබට තිබෙන්නේ මොන වගේ ගනුදෙනුවක් ද?

නාට්‍ය කලාව සම්බන්ධයෙන් මට මුල් පරිචය ලැබෙන්නේ මගේ පාසල් කාලයේදි. 70 දශකයේ කැලණිය ගුරුකුල විදුහලේ ඉගෙනුම ලබද්දි එවකට සිටි මගේ සංගීත ගුරුතුමාණන් වූ විශාරද ලීලානන්ද රත්නායක මහතා මෙහෙයවපු ‘ආශා’ හා ‘එකමත් එක රටක’ යන ගීත නාටක පුහුණු වීම් බලන්න මමත් එහි යනවා. එහිදී අහම්බයක් විදියටයි ඒ නාටකවල හඬපටය ක්‍රියාත්මක කිරීමේ වගකීම මා වෙත පැවැරෙන්නේ. එතැන් පටන් ඒ නාට්‍යය කණ්ඩායමත් සමඟ සමීප ඇසුරක් ගොඩනඟා ගන්න මට පුළුවන් වෙනවා. එහි රඟපෑ දයාදේව එදිරිසිංහ, නැටුම් නිර්මාණය කළ විශාරද සිරිමතී රසාදරී යන ශිල්පීන් සමඟ ඇති කරගත් ඇසුරයි මගේ සිතේ නාට්‍ය කලාවට ඇල්මක් ඇති කිරීමට සමත් වන්නේ. ඉන් පසුව 1976 වසරේදි මට ‘සලඹ’ කියන වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. එය වැලිතුඩුවේ පඤ්ඤාසීහ හිමියන්ගේ උපාධි පර්යේෂණ නිබන්ධය සඳහා කළ නාට්‍යයක්. එය පළමු හා අවසන් වරට වේදිකා ගත කළේ බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාවේ. ඒ වගේම එයට පෙර පාසලේ උසස් පෙළ ශිෂ්‍යයකු විදියට ඉන්න කාලයේ විදුහලේ පැවැත්වුණු කෙටි නාට්‍ය උලෙළකට කෙටි නාට්‍යයක් ඉදිරිපත් කළා.‘සාමයේ සක්හඬ නමින්. එහි පිටපත, අධ්‍යක්ෂණය සහ සංගීතය මගේ. ඒකට හොඳම සංගීතය, හොඳම නාට්‍යය, හොඳම නළුවා, හොඳම සහය නළුවා කියන සම්මාන පවා ලැබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේදි ඒ කලාවට ඇති ළැදියාව තවත් වර්ධනය වෙනවා ද?

මා එහි ශිෂ්‍යයකු විදියට හිටිය අශෝක හඳගම ඉදිරිපත් කළ ‘අව්රෝරා’ කෙටි නාට්‍යයට සංගීතය සපයන්නේ. ඒ සඳහා හොඳම සංගීතයට සම්මානයකුත් ලැබෙනවා. ඔහුගේ තවත් නිර්මාණයක් වුණු ‘භූමිකා’ වේදිකා නාට්‍යයට නිර්මාණය කළ සංගීතය වෙනුවෙන් මට 1985 වසරේ යෞවන සම්මාන උලෙළේදි හොඳම සංගීතයට හිමි සම්මානයත් ලැබෙනවා. ඒ සියලු කටයුතුවලින් පසුව අශෝක හඳගමගේ ‘හෙණ’ වේදිකා නාට්‍යයට චන්දන ලියනගේ මහතා සමඟ සංගීතය නිර්මාණය කරනවා. ජගත් පී. විජේවීරගේ ‘ගිනි පොකුරු’ (1984), හරින්ද්‍රනාත් චන්ද්‍රසිරිගේ ‘දණ්ඩන කඳවුර’ (1984) කියන නිර්මාණවලට සංගීතය නිර්මාණය කරනවා.

‘මහත්මා@ගාන්ධී.ජධථ’ නාට්‍යයේ කතා නායකයා වන්නේ මහත්මා ගාන්ධියි?

මේ නාටකයේදි මහාචාර්ය අස්ගර් වජාහත් කියන්නේ නාථූරාම් ගෝඩ්සේගේ වෙඩි පහරින් මහත්මා ගාන්ධි මියගියේ නැති බවයි. එය ඒ ආකාරයෙන් මමත් මේ නාට්‍යයට යොදා ගත්තා. ඒ වෙඩි පහරින් ගාන්ධි මිය ගියේ නැතිව විතරක් නොවෙයි ඔහු සිරගත වී සිටින ගෝඩ් සේ සමඟ ඉහළ මට්ටමේ සංවාදයක් ඇති කර ගන්නවා. ඒ ප්‍රධාන කතාව මූලික කරගෙනයි මේ නාට්‍යය නිර්මාණය වී තිබෙන්නේ. මෙහි ප්යාරේලාල්, ජවහර්ලාල් නේරු, සර්දාර් පටේල්, මෝලානා අසාද්, නානා ආප්ටේ කියන බොහෝ දෙනා දන්න හඳුනන ඉතිහාසයේ හිටපු සැබෑ චරිතයි නාට්‍යයේ අනෙක් පාත්‍ර වර්ගයා වන්නේ.

මේ නාට්‍යය මඟින් හෙළි වන විවිධ වූ කාරණා මොනවා ද?

බන්ධනාගාරේදි ගාන්ධී සහ ජේලර්වරයා අතර ඇති වන සංවාදයෙන් සමකාලීන දේශපාලනික, සමාජික, තත්ත්වයන් පිළිබඳ අවබෝධයකුයි ප්‍රේක්ෂකයාට ලැබෙන්නේ. ඒ වගේම වර්තමාන සන්දර්භයට අනුව ‘විරෝධය, ‘එකතැන සිරවීම, ‘අවබෝධය නැතිකම, යන කාරණා සම්බන්ධයෙන් යම් උදාහරණයි මේ නාට්‍යය මඟින් මතු වෙමින් තිබෙන්නේ. අන්න එතැනදියි ගාන්ධිගේ ‘සංවාද ධර්මතාව’ අපට මඟ පෙන්වන්නේ. එපමණක් නොවෙයි මේ නාට්‍යයේදි ගාන්ධි සත්‍යය, අහිංසාව, බලය, සේවය කිරීම, ජනබලය, ආදි වචනවලට නව අරුත් සපයා දෙනවා. ෆණීශ්වර්නාථ් රේණුගේ ‘මෑලා අංචල්’ නවකතාවේ එන බවන්දාස්ගේ චරිතය මෙහිදී යොදාගෙන තිබෙන්නේ බලය යන්න කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ දෘෂ්ටිකෝණය කුමක් ද කියන කාරණය පැහැදිලි කිරීම සඳහායි.

මේ චරිතවලට පණ පොවන්නේ කවුරුන් ද?

ගාන්ධිගේ චරිතය රඟපාන්නේ වසන්ත විට්ටච්චියි. උදිත ගුණරත්න, මාලි ජයවීරගේ, උදේනි චන්ද්‍රසිරි, තරංග බණ්ඩාර, චන්න කුලරත්න, උපුල් මහානාම, ප්‍රභා සඳසීලි, ඉන්දික ප්‍රභාත්, අනුත්තරා එදිරිවීර, සම්පත් බණ්ඩි හෙට්ටි, රොෂාන් හඳුන්නෙත්ති, චරිත් මධුරංග, හසිත් වෙත්තසිංහ, ප්‍රසන්න රෝහිත, වත්සලා සමරකෝන් යන ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් වගේම ආධුනික අයත් මෙහි රංගනයෙන් මට සහය දක්වනවා. සහාය අධ්‍යක්ෂණයෙන් සහ වේදිකා කළමනාකරණයෙන් විමල් දේශප්‍රිය, නර්තන වින්‍යාසයෙන් සුවිනීතා සුබසිංහ, රංගවස්ත්‍ර නිර්මාණයෙන් තිලිණ ලක්ෂාන්, වේදිකා පසුතල නිර්මාණයෙන් රොහාන් සමරදිවාකර, අංගරචනයෙන් වසන්ත විට්ටච්චි, රංගභූමි පාලනයෙන් චන්දන නිශාන්තත් මේ කටයුත්ත සඳහා සහය වන අනෙක් පිරිසයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.