ගරු කටානායකතුමනි, මම උදයසිරි වික්‍රමරත්න

ඔක්තෝබර් 17, 2019

උදයසිරි වික්‍රමරත්නගේ ‘ගරු කටානායකතුමනි’ වේදිකා නාට්‍යය නොවැම්බර් මස 09 වැනිදා බොරැල්ල පුංචි තියටර්හි වේදිකා ගතවෙයි. ‘සුද්දෙක් ඔබ අමතයි’, ‘361’ ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයක්ම ප්‍රේක්ෂකයාට රැගෙන ආ ඔහුගේ ‘ගරු කටානායකතුමනි’ නවමතම නාට්‍යයයි. ඒ පිළිබඳ උදයසිරි වික්‍රමරත්න ‘සරසවිය’ සමඟ කරන ලද්දේ මෙවන් කතාබහකි.

‘ගරු කටානායකතුමනි’ නාට්‍යය පිටපත සඳහා ඔබ භාවිත කරන්නේ විවිධ දේශපාලන චරිතයි. එයට විශේෂ හේතුව කුමක් ද?

විවිධ දේශපාලන චරිතවලට ජනතාවගේ තිබෙන්නේ බොහෝ ආකර්ෂණයක්. නාට්‍යයක් නිර්මාණය කරද්දි මා අනුගමනය කරන එක් ක්‍රමයක් තමයි ජනතාවගේ ආකර්ෂණය තිබෙන යම් කාරණාවක් නාට්‍යය ආකෘතිය ලෙස තෝරා ගැනීම. මගේ ‘361’ නාට්‍යයේදි මා කළෙත් රූපවාහිනි වැඩසටහන්වලට ජනතාවගේ තිබෙන ආකර්ෂණයත් එක්ක ඒ ආකෘතිය නාට්‍යයකට භාවිත කිරීමයි. ඒක එක කාරණයක්. අනෙක් කාරණය වන්නේ නායකයකු බිහි වන්නේ නිකම්ම නොවෙයි. ඔහුගේ කලාත්මක ලක්ෂණ තිබෙනවා. ජනතාව ආකර්ෂණය කරගැනීම සඳහා ඔවුන් යම්කිසි කලාවක් භාවිත කරනවා. ඒ අනුව අපට පෙනෙන්නේ නායකයන් බිහිව තිබෙන්නේ යම් කිසි කලාවක් සමඟ බවයි. මේ කියන කාරණායි මගේ නවතම නාට්‍යය කිරීමේදී මා භාවිත කළේ.

දේශපාලන චරිත උපහාසයට ලක් කිරීම දිව යන්නේ අපේ ජන නාට්‍ය ඉතිහාසය දක්වා. ඒ කලාව ඔබ වේදිකා නාට්‍යයකට යොදා ගත්තේ මොන විදියට ද?

නාට්‍යයක තිබෙන උපහාසය කියන කාරණයේදී දේශපාලන උපහාස නාට්‍ය හෝ නායකයා හෝ නායකත්වය උපහාසයකට ලක් කිරීම අදට වඩා ප්‍රබල විදියට සිදු වුණේ ගමේ නිර්මාණය වුණු කෝලම් නාට්‍යයේදි. ඔවුන්ගේ ඇඳුම් ඒ විදියටම අරගෙන ඔවුන් විවිධ නිර්මාණ කළා. මුහන්දිරම්, පොලිස් කෝලම, ආරච්චිල වගේ චරිත විමසන කොට අපට ඒ බව පෙනෙනවා. කොයිතරම් මාධ්‍ය නිදහස, කලා නිදහස තිබෙනවා කියලා අද කිව්වොත් එදා ඒ ගමේ තිබුණු නිදහස අද ඇත්තේ නැහැ. එදාත් ඒ නාට්‍ය ඒ මුදලි, මුහන්දිරම්ලා නරඹන්න වගේම ඒවාට විනෝද වෙන්න, ඔවුන්ගේ වැරැදි ඔවුන්ම අවබෝධ කරගන්නත් ඇති බව සිතෙනවා. ඒ තරමටම ඒ කලාව පොහොසත් බවයි අපට හැඟෙන්නේ. ඕනම කෙනකු වැරැදි කරන ක්‍රම දෙකක් තිබෙනවා. ඒ දැන හෝ නොදැන. නොදැන කරන වැරැදි මතක් කර දීමටයි එක අතකින් කලාව තිබෙන්නේ. කලාකරුවන් ඉන්නේ. කලාව කැඩපතක් කියලා කියන්නේ ඒකයි. එහෙම උත්සාහයකුත් මේ නාට්‍යයේ තිබෙනවා. ඒ වගේම එක් පැත්තකින් නායකයන් ජනතාවගේ ආකර්ෂණයක් දිනා ගැනීමට භාවිත කළ සෞන්දර්යයම නාට්‍යයක් බිහි කිරීමට මා භාවිත කළ ප්‍රධාන කාරණය විදියටත් දකින්න පුළුවන්. ඒ කාලයේ මුදලි කෝලම එහෙම හදන කොටත් එහි ජනප්‍රිය වී සිටි මුදලි කෙනකුගේ චරිත ලක්ෂණ, හැසිරීම් රටාව, කතා කරන විදිය ඒ කලාකරුවා භාවිත කරන්න ඇතැයි සිතනවා. මේ නාට්‍යයේදිත් මා එවන් නාට්‍ය උපක්‍රම භාවිත කළා.

මේ නාට්‍යයේ සිටින දේශපාලන චරිත කතා කරන්නේත් සැබෑ ජීවිතයේදිත් ඔවුන් කතා කරන දේ පමණක් ද?

ඔබ සිතන්න යම් කිසි දේශපාලන කතා මඩුවක ආකෘතිය භාවිත කරනවා කියලා. ඒ කියන්නේ දියවන්නාවේ සිදු වන කතාබහ හරි ඒ සිදු වන දේවල් හරි මිනිස්සු අහගෙන ඉන්නවා කියලා. හැබැයි අපේ නාට්‍ය ඇතුළෙත් ඒ චරිත තිබුණට ඒ චරිත කතා කරන්නේ ඒ දේශපාලන කතා නොවෙයි. මොකද නාට්‍යයකින් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන දේවල් ටිකක් තිබෙනවා. දේශපාලනයෙන් ඔබ්බට ගිය ටිකක්. ‘ගරු කටානායක තුමනි’ නාට්‍යයේ චරිත ඒ දේවලුත් කතා කරනවා. දේශපාලන චරිතයකින් අහන්න නොලැබෙන බොහෝ දේවල් මේ නාට්‍යයේ දේශපාලන චරිතවලින් අහන්න ලැබෙන බවත් කියන්න ඕනෑ. කලාකරුවා සතු නිදහස උපරිමයෙන්ම භාවිත කරන්න ඕන කියන අදහසේ ඉඳගෙනයි මා මේ නාට්‍යය නිර්මාණය කරන්නේ. ඒක කලාවට, රටට වගේ ම ප්‍රේක්ෂකයන්ටත් වඩා හොඳක් වේවි.

‘ගරු කටානායකතුමනි’ නාට්‍යයේ ඉදිරිපත් කරන දේ මඟින් විවිධ දේශපාලන චරිතවල ස්වභාවය කියැවෙනවා?

ඕනෑම ප්‍රතිනිර්මාණයක් මඟින් සිදු වන්නේ චරිතයක් අරගෙන චරිතයක් මැවීමයි. එය නාට්‍ය කලාවටත් පොදු කාරණයක්. ඒ සියලු දේ ඇතුළේ මේ නිර්මාණය නාට්‍යයක් විය යුතුයි. දේශාපලන මතිමතාන්තර හෝ දේශපාලන කතාවක් හරි කියන මේ සියල්ලටම වඩා මතු විය යුත්තේ නාට්‍ය කියන දේයි. මේ නිර්මාණය මඟින් රිදෙන පාක්ෂිකයන්ට රිදේවි. ඒ රිදීම පැත්තකට තියලා හැම පාක්ෂිකයකුම මේ නාට්‍යය නරඹාවි කියලා මා සිතනවා. ඒත් සමහර විටෙක මට සිතුණ කාරණයක් තමයි මේ නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයා මට බණියි ද දන්නේ නැහැ කියන එක. ඒ එක් එක් පක්ෂයේ නායකයාට නාට්‍යයෙන් කියලා තියෙන දේවල් නිසා. හොඳ වෙලාවට මංගල දර්ශනයේදි මට එවැනි තත්ත්වයකට මුහුණ දෙන්න වුණේ නැහැ.

එදින මේ නාට්‍යය දේශපාලනඥයන් පවා නැරැඹුවා?

එක එක පක්ෂවල අය මෙය නිර්මාණයක් විදියට රස විඳලා තියෙන බව ඔවුන්ගේ කතාවලින් මට හැඟුණා. ඒ ගැන සන්තෝෂයි. මගේ ඉලක්කය වුණෙත් ඒකයි. මේ නාට්‍යයේ නම දැක්ක ගමන් ටිකට් අරගෙන තිබුණේ ගරු කතානායක තුමයි. එතනදි ඔහු මේ නාට්‍යය නැරැඹුවේ සතුටෙන් හා විනෝදයෙන්. එහි තිබුණු කාරණයක් සම්බන්ධයෙන් පොඩි අදහසකුත් ඔහු මට ලබාදුන්නා. නාට්‍යයේ සෙන්කෝලය අරගෙන දුවන්නේ කතානායක තුමායි. ඒ දෙය නම් කරන්න එපා කියලා එපමණයි ඔහු පැවැසුවේ.

ඔබ පවසන්නේ අපේ රටේ දේශපාලන චරිත ඒ ආකාරයෙන්ම වේදිකාවට රැගෙන එන බව ද?

අපේ රටේ දේශපාලනයේ සිටින ඒ ඒ චරිත ප්‍රතිනිර්මාණයක් කිරීමකුයි මා කළේ. නියම විදියට ගත්තොත් ඒ දේශපාලන චරිත ඔක්කොම වේදිකාවට ගෙනෙන්න එපායෑ. එහෙත් අපේ රටේ එවැනි ප්‍රසිද්ධ චරිත තිහක්, හතළිහක් සිටිනවා. ඒ නිසා එක් චරිතයකින් චරිත තුන හතරක ගතිගුණ, ගුණාංග හඳුනා ගැනීමට හැකියි. ඒ නිසා සමහර විටෙක මේ මේ චරිතය යන්න එවැනි චරිතයකින් හඳුන ගැනීමේ හැකියාවක් වුණත් නැති විය හැකියි. පොදුවේ දේශපාලනඥයා කියන චරිතය මතු වෙන්නත් පුළුවන්. සමහර තැනෙකදි ඒ ආකාරයට මතු වුණත් සමහර තැනකදි ඒ ඒ දේශපාලන චරිතය මතු නොවන්නත් පුළුවන්.

මේ මඟින් ඔබ ගෙන එන්නේ දේශපාලන කතාවක් ද? 

දේශපාලන කතාවක්ම නොවෙයි. මේ දේශපාලන චරිත මඟින් අප ගොඩක් දේවල් කතා කරනවා. මේ විදියට එන මේකේ එක කොටසක් තිබෙනවා. ඒ “දිලේ දිලේ දිලේ දැල්ල දිලේ - ලාම්පු කුප්පියේ දැල්ල දිලේ....” කියන ගායනාවලින් කියැවෙන්නේ වෙනම කතාවක්. මේ අතර ප්‍රේම ගීතයක් තියෙන්නත් පුළුවන්. ඒ විදියට මෙහි ඉදිරිපත් කරන චරිත මඟින් වෙනම මානවලට යෑමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා නාට්‍යයේ දේශපාලනයට කොටුවීමක් දකින්න නැහැ. දේශපාලනයයි නාට්‍යයට කොටු වී තිබෙන්නේ. එතැනදි දේශපාලනය වගේම මිනිස්සු අතර ප්‍රසිද්ධ දේශපාලන සංස්කෘතියේ නොකියවෙන දේත් නාට්‍යයට කොටු කිරීමකුයි නාට්‍යයේදි දැකිය හැක්කේ.

මෙවැනි වස්තු බීජයක් වේදිකාවට අරගෙන එන්න ඔබට අදහසක් මතු වන්නේ කොහොම ද?

මා එක් එක් දේශපාලනඥයන්ගේ කතා අහනවා. ඒ ඒ අයට වෙන වෙන ම අනන්‍යතා තියෙනවා. ඒවා අල්ළලා ඒ චරිත කරයි කියලා හිතෙන, ඒ සමීපව යන, ඒහා සමානව යන වෙනස් කතා කිහිපයක්ම මා ලියලා තිබුණා. ඒත් ඒක දේශපාලනඥයා කිසි දවසක කරන කතාවක් නොවෙයි. ඒක ඒ චරිතය කියයි කියලා හිතන මා ප්‍රතිනිර්මාණය කරන කතාවක්. ඒවා ලිව්වේ ඔවුන් කතා කරන ශෛලියෙන්. මේ කතා ටික මට ගොනු කරගන්න විදියක් තිබුණේ නැහැ. මේ අතර එකපාරටම ඒ ආකෘතිය මතු වුණේ පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ සිදු වුණු විශාල ගුටිබැට හුවමාරුව හා එයට ලැබුණු ප්‍රතිචාරත් එක්කයි. දියවන්නාවේ සභා ගර්භයේ ආකෘතිය නාට්‍යයට ආවේ ඒ විදියටයි. ඒ ආකෘතියට අනුව මා ලිව්ව දේවල් ගැළපීමක් සිදු වුණා.

මෙහි රංගන කටයුතු සඳහා ඔබ තෝරා ගත්තේ කවුරුන් ද?

ජයලාල් රෝහණ, සංජීව දිසානායක, සුලෝචනා වීරසිංහ, ඉෂාර වික්‍රමසිංහ, සුදර්ශන බණ්ඩාර, මිහිරි ප්‍රියංගනී, සුසංග කහඳවලආරච්චි, තිලාන් විජේසිංහ, කුසල් මධුරංග, ප්‍රබෝධ බුද්ධිප්‍රිය යන නළු නිළියනුයි මේ නිර්මාණයට රංගනයෙන් දායක වන්නේ. ලලිත් වික්‍රමරත්න සංගීතයෙන් සහයෝගය දක්වනවා. නිෂ්පාදනයෙන් සහාය වන්නේ ජූඩ් ශ්‍රීමාල්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.