අවුරුදු 80 යි උලෙළ හෙට

ඔක්තෝබර් 24, 2019

පුංචි තිරයේ මේ දවස්වල බොහොම ජනප්‍රිය සීමන් සීයාට අවුරුදු අසුවක් පිරිලා. මේ සීයා ගැන තවත් විධියකින් කිව්වොත් පුංචි දරුවන්ගේ ඉඳලා වැඩිහිටියොත් බොහොම ආශාවෙන් නරඹන සිඳු ටෙලි නාට්‍යයේ සීමන් සීයා. ඒ වාගේමයි මේ දවස්වල පුංචි තිරයේ දිග හැරෙන ‘ක්ලික්’ ටෙලි නාට්‍යයේ උණ්ඩියා රාළ. මේ චරිත ද්විත්වයටම මේ දවස්වල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන බව නම් රහසක් නොවෙයි.

රංගනයේ නියැලෙන චරිතවලින් ඔහු මෙලෙස හැඳින් වුවත් සැබෑවට නම් ඔහු අපි කවුරුත් හොඳින් හඳුනන ප්‍රවීණ රංගන ශිල්පී දයා වයමන්.

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය, ගුවන් විදුලිය ආදී බහු විධ කලා ක්ෂේත්‍රයන් ඔස්සේ දශක හයකට අධික කාලයක් රසික හදවත් අමන්දානන්දයට පත් කළ දයා වයමන් වෙනුවෙන් ඔහුගේ අසූ වන ජන්ම දිනය නිමිති කොට පැවැත්වෙන ‘දඟකාරයාට අසූවයි’ රසික ජන උත්තමාචාරය හෙට 25 වැනිදා සවස 3.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. ඒ නිමිත්තෙන් ඔහු සමඟ කෙරෙන පිළිසඳරකි මේ.

 

දයා දඟකාරයාට අසූවයි?

ඔව්. මේ මාසේ 23 වැනිදාට මට අවුරුදු අසූව ලැබුවා. දඟකාරයා කියන්නේ මගේම පනස් වෙනි නාට්‍යය. මම විසින්ම රචනා කොට නිෂ්පාදනය කළ දඟකාරයා නාට්‍යයේ නම මම වෙනුවෙන් පිදෙන රසික ජන උත්තමාචාරයට යොදා ගත්තා.

ඔබට අවුරුදු අසූවක්. කලා දිවියට වසර හැටකටත් වැඩියි?

මම කලා ක්ෂේත්‍රයට අත් පොත තැබුවේ 1959 දී. එතකොට මට අවුරුදු දාහතරක් විතර ඇති.ඒක සිද්ධ වුණේ අහම්බෙන්. ජයතිස්ස අලහකෝන්ගේ පියා වන මාටින් මාස්ටර් නාට්‍යයක් කළා ශ්‍රී විජය කියලා. මේ නාට්‍යයේ කුවේනි චරිතයට රඟපෑවේ මගේ නංගි කෙනෙකු වූ විජිතා හෙට්ටිආරච්චි. ඇයගේ තනියට නාට්‍ය පුහුණුවීම්වලට මම තමයි එයත් එක්ක ආව ගියේ. ඔය එන යන අතරේ මාටින් මාස්ටර් මට කතා කළා මේ නාට්‍යයේම චරිතයක් කරන්න. ඒ විජිත සේනාධිපතිගේ චරිතය. කොහොම හරි මේ නාට්‍යය වේදිකාවට ගේන්න බැරි වුණා. නාට්‍යයට කලින් කුවේණි විජය කුමාරයත් එක්ක පැනලා ගියා.

ඔබේ රංගනයේ ගුරුවරයා වුණේ?

මම මේ ක්ෂේත්‍රයට ඇවිත් තමයි හැම දෙයක්ම ඉගෙන ගත්තේ. කලාවේ න්‍යායන්ට යට වුණු පුද්ගලයෙක් නෙවෙයි මම. මගේ සීයා කෙනෙක් කලාවට ආරම්භයේ සම්බන්ධ වෙලා තියෙනවා. අපේ පරපුර හඳුන්වලා තියෙන්නේ සරනේලිස් පරපුර ලෙසින්. කවුරුවත් ගුරුවරු නොවුණු මට මමම මට ගුරුවරයෙක් වුණා කිව්වොත් හරි. මම කලාවේ නීති රීති න්‍යායන්ට යට වෙලා මේ ක්ෂේත්‍රයට ආව නම් සමහර විට ඒ බැඳීම තුළ මම කොටු වන නිසා මම මේ වගේ විසිරුණු පැතුරුණු ක්ෂේත්‍රයක අත් තටු සලා ඉඟිලෙන්න බැරි වෙන්න තිබුණා කියලයි මගේ පෞද්ගලික හැඟීම.

ඔබ විසින් රචනා කර නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය ප්‍රමාණය අති විශාලයි?

සංඛ්‍යාත්මකව ගත්තොත් වේදිකා නාට්‍ය 51 ක්. 1959 හේමමාලි නාට්‍යය තමයි මගේ මුල්ම නාට්‍ය නිෂ්පාදනය. 2012 මලල්ගොඩ සාක්කිය තමයි මගේ පනස් එක් වෙනි නාට්‍ය නිර්මාණය වුණේ. ඔය අතර කාල පරාසය තුළ දහම් සොඬ උතුම් පුතා, ලෝක හොරු, හැට හතරෙන් එක, ජය විදානෙ, ධර්මාශෝක, සයිබු නානා, තංගම්මා, සරදියෙල්ගේ කථාව, නෙයිනගෙ සූදුව, සූරියකන්ද, සෙනසුරු මාරුව ආදී නාට්‍ය නිර්මාණ රැසක් වේදිකා ගත කළා.

ඔබේ නාට්‍ය නිර්මාණ ජීවිතයේ ආපසු හැරී බලන කොට කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ලෝක නාට්‍ය දිනය සුවිශේෂයි කියා නේද?

කොටින්ම කිව්වොත් මම ලෝක නාට්‍ය දිනය පස්සෙන් එලවපු පුද්ගලයෙක් කිව්වොත් වරදක් නෑ. මම රචනා කොට නිෂ්පාදනය කළ හැට හතරෙන් එක වේදිකා නාට්‍ය නිර්මාණය මුල්වරට ප්‍රසිද්ධ වේදිකාවේ ලුම්බිණි රඟහලේ වේදිකා ගත වුණේ 1963 මාර්තු 27 වනදා. ඒ තුන් වැනි ලෝක නාට්‍ය දිනයේ. මේ දිනය මට තවත් අයුරකින් වැදගත් වුණා. ඒ 2012 මාර්තු 27 වැනිදා මගේ 51 වැනි නාට්‍ය නිර්මාණය වූ බණ්ඩාරනායක ඝාතන නඩුව - මලල්ගොඩ සාක්කිය ලුම්බිණි රඟහලේ වේදිකා ගත වුණේ 51 වැනි ලෝක නාට්‍ය දිනය වෙනුවෙන්. 1974 දී ලංකාවේ පළමුවරට ලෝක නාට්‍ය දිනය නිමිත්තෙන් මගේ නාට්‍ය සතියක් පවත්වනු ලැබුවේ වහන්තරාව, අම්මයි පුතයි, නටබුන්, පුනරුත්පත්තිය, මඟුල් කෑම, ගුස්තිනා, මාර පරාජය නාට්‍ය නිර්මාණ වේදිකා ගත කරමින්.

දයා වයමන් කියන නාමය ගම් නගර සිසාරා රැව් පිළිරැව් දුන්නේ ඔබේ නෙයිනගෙ සූදුව නාට්‍ය නිර්මාණයත් සමඟ නේද?

1984 වසරේ වේදිකා ගත කළ මගේ තිස් අට වැනි නාට්‍ය නිර්මාණය වුණේ නෙයිනගෙ සුදුව. මේ නාට්‍යය මම රචනා කළේ සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන. සර් ජෝන් කොතලාවල ශ්‍රීමතාණන්ගේ පියාණන් වූ සාජන් මේජර් ජෝන් කොතලාවල ශ්‍රීමතාණන්ගේ රාජකාරි ජීවිතය ඇසුරෙන් තමයි මම මේ නාට්‍යය නිර්මාණය කළේ. මම තමයි මේ රටේ නාට්‍ය හරහා හාස්‍යොත්පාදක රැල්ලක් නිර්මාණය කළේ. දැනට වසර තිස්පහකට පෙරාතුව රංග ශිල්පීන් තිස් අට දෙනෙකු යොදාගෙන මම නිර්මාණය කළ නෙයිනගෙ සූදුව නාට්‍ය දර්ශන වාර 6000 ඉක්මවනු ලැබුවා. ප්‍රධාන චරිත රඟපෑ රංග ශිල්පීන් අතරින් නෙයින මරික්කාර් නානා (ජයලත් ප්‍රනාන්දු), සේද වත්තේ චණ්ඩි ජෝන් (ඩේෂන් අමරසිංහ), ගිනි වතුර ඇඩ්ඩින් (කුමාරසිංහ පෙරේරා), ඉංග්‍රීසි ආණ්ඩුකාරයා (ලාල් සේනාධීර), සාජන්ට් නල්ලතම්බි (නිහාල් සිල්වා), කෝලමා (විපුල විදාන ගමගේ) ආදීන් මේ වන විටත් මිය ගිහින්. ඒ අතරින් තවම ජීවත් වන්නේ මෝදර ගස්බාර් සොයිසාගේ චරිතය රඟපෑ රන්ජිත් සිල්වාත් කවි කොලකාරයාගේ චරිතය රඟපෑ මමත් විතරයි.

ඔබ මේ කලා ක්ෂේත්‍රය පුරාවට විවිධ වූ ඉසවු ඔස්සේ පිය මැන්න පුද්ගලයෙක්?

කලාව කියන බිමේ මම බිම් කෙටුවා, සුද්ධ පවිත්‍ර කළා, වී වැපුරුවා, අස්වැන්න නෙලා ගත්තා. ඒ හැම දෙයක්ම කළේ බොහොම සතුටින්. කලාව නිසා මම අපමණ මානසික තෘප්තියක් ලැබුවා. රඟපෑව, නාට්‍ය පිටපත් රචනා කළා, අධ්‍යක්ෂණය කළා, නිෂ්පාදනය කළා, සංගීත නිර්මාණය කළා. ඒ ඇරෙන්න රංග ශිල්පීන් පුහුණු කළා. රංග පාඨමාලා, වැඩමුළු, දේශන, සම්මන්ත්‍රණ පැවැත් වූවා. මේ හැම අංශයකින්ම මම කලාවට අමරණීය සේවයක් කළා.

සිනමාව තුළත් ඔබ බොහෝ දුර ගමනක් ගිහින්?

හඳයා ඇතුළු චිත්‍රපට නමයක මම සහය අධ්‍යක්ෂක ලෙසින් කටයුතු කරලා තියෙනවා. තිර නාටක රචකයකු ලෙස ඔක්කොම රජවරු, පොර කුකුල්ලු, කතරගම රූමතිය, කිවුලෙගෙදර, සංචරා නිමිත්ත, අම්මයි පුතයි චිත්‍රපට සඳහා දායක වුණා. චිත්‍රපට 120 කට වැඩි ප්‍රමාණයක හඬ කැවීම් ශිල්පියෙකු ලෙසින් කටයුතු කළා. රංග ශිල්පියෙක් ලෙස මම චිත්‍රපට 19 ක පමණ රඟපාලා තියෙනවා. දේශීය මෙන්ම විදේශීය චිත්‍රපටත් ඒ අතර තියෙනවා. හඳයා, බට්ටි, බිරිඳ, කිවුලෙගෙදර, පොර කුකුල්ලු, කතරගම රූමතිය, පෙම් රජ 

දහන, පොඩි රාළහාමි, කෝමාලි කිං, ආශාවරී විදෙස් චිත්‍රපට දෙකකත් රඟපෑවා. වෙරෝනිකා-2, මිඩ් නයිට් චිල්ඩ්රන් තව තිරගත නොවූ චිත්‍රපට 4 ක් එන්නත් තියෙනවා.

ගුවන් විිදුලියත් ඔබේ ගමනේ කොටස්කරුවෙක්?

මම ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ නාට්‍ය ශිල්පියෙකු ලෙසින් වසර විසි හතක පමණ කාලයක සිට කටයුතු කරනවා. ගුවන් විදුලි නාට්‍ය රචකයකු, කලා තොරතුරු සංවාදකයකු ලෙසත් මම කටයුතු කළා.

රූපවාහිනී මාධ්‍ය තුළත් ඔබ රංගනයෙන් බොහෝ ජනප්‍රිය චරිතයක්?

රූපවාහිනිය ආරම්භයත් සමඟ මේ දක්වා විකාශය වූ ටෙලි නාට්‍ය 56 ක පමණ මා රංගනයෙන් දායක වී තියෙනවා. දිමුතු මුතු, රේඛා, අගරු සිත්තම්, බැද්දට සඳ, මකර විජිතය, කඩමුණ, සිඳු, එතුමා, මුවන් පැලැස්ස, ක්ලික්, රාජයෝගය ආදිය ඒ අතරින් කීපයක්. මේ දවස්වල සිඳු ටෙලි නාට්‍යයේ සීමන් සීයා ගොඩක් අය අතරේ ජනප්‍රියයි.

ඔබේ නිර්මාණ රචනයේදී මේ දසක හයක් පුරාවට ඒ සඳහා වස්තු බීජ වුණේ මොනවාද?

සමාජය. මේ පොදු සමාජයේ අපිට නිර්මාණකරුවකු ලෙස ලබා ගන්න තියෙන දේවල් බොහොමයි. මම කවදාවත් පරිවර්තන, අනුවර්තන කළේ නැහැ. මගේම ස්වඋත්සාහයෙන් එළිදුටු නිර්මාණ තමයි මගේ නිර්මාණ සියල්ල.

මුද්‍රණ කලාවේ මෙන්ම පුවත්පත් ලේඛනයේද ඔබ නිරත වනුයේ කලා නිර්මාණයන් වෙත දායක වන අතරේ?

වානිජ මුද්‍රණ කලාවේ ඕල් රවුන්ඩ් ප්‍රින්ටර් කෙනෙක් ලෙස මම රැකියාව කළා. මව්බිම, ඇත්ත, පෝදා ඇත්ත පුවත්පත්වලට ලිපි සම්පාදනය කරනු ලැබුවා. 1972 දී ලේක්හවුස් ආයතනයට එක් වූයේ දිනමිණ, සිළුමිණ දැන්වීම් අංශයේ රැකියාවක් වෙනුවෙන්. 1977 ආණ්ඩු පෙරළියත් සමඟ මගේ රැකියාව අහිමි වුණා. ඊට පසුව තිරතරු, සෙනෙහස, සොඳුර, ලක්දිව, කේන්දරේ යන පුවත්පත්වලට ලිපි සම්පාදනය කරනු ලබුවා. ඉන් පසු සත්‍යයේ හඬ පුවත්පතේ සංස්කාරක, ත්‍රිශූලේ පුවත්පතේ හා දිනකර නියෝජ්‍ය කර්තෘවරයා ලෙසිනුත් කටයුතු කරන්න මට අවකාශ උදා වුණා.

නාට්‍ය හා රංග කලාව පාසල් විෂයක් ලෙස සකස් කළ ප්‍රථම විෂය මාලා නිර්දේශ කමිටුවේ එක් සාමාජිකයෙක් ඔබ?

1974 අපි 15 දෙනෙක්ගේ සාමුහික එකතුවකින් තමයි මේ කමිටුව හැදිලා තිබුණේ. එයින් මේ වන විටත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ධම්ම ජාගොඩ, එච්. ඩී. සුගතපාල, ගාමිණී විජේසූරිය, ගාමිණී හත්තොටුවෙගම, සුගතපාල සිල්වා, දයානන්ද ගුණවර්ධන, මහින්ද ඩයස්, සුනිල් ශ්‍රියානන්ද, හෙන්රි ජයසේන, සෝමබන්දු විද්‍යාපති, සෝමලතා සුබසිංහ ජීවන ගමනින් සමුගෙන. තවම ඒ කණ්ඩායමේ ඉතිරිව ඇත්තේ චන්ද්‍රසේන දසනායක, නාමෙල් වීරමුණි හා මම පමණයි.

ඔබ මේ වන විට වේදිකා නාට්‍ය නිර්මාණයෙන් සමුගෙනද?

2012 වනතුරු මම නාට්‍ය නිෂ්පාදනය කළා. ඒත් තවදුරටත් මට ඒ වෙනුවෙන් නිෂ්පාදන කටයුත්ත ඉදිරියට කරන්න බැරි තත්ත්වයක් උදා වුණේ මගේ බාල දියණිය ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මූල්‍ය කළමනාකරණ උපාධිය හදාරනවා. ඇය තෙවන වසරේ සිසුවියක්. ඒ නිසා මට ඇගේ වියදම් පවා දැරීම ඒ වන විටත් ගැටලුවක්ව තිබුණා. ඒ නිසාවෙන් අලුතින් නාට්‍ය නිර්මාණය කිරීම මම අත් හරිනු ලැබුවා.

කලා ජීවිතයේ දශක හය පුරා ආපසු හැරිල බලන කොට ඔබට මොකද හිතෙන්නේ?

රංග කලාව කියන දේ මගේ ජීවිතය හා බද්ධ වූ දෙයක්. වේදිකාව මගේ තිඹිරිගෙය වුණා. මගේ නාට්‍ය කලා ජීවිතයේ ආරම්භය වගේම අවසානයත් ලෝක නාට්‍ය දිනයක්ම වුණා. නාට්‍ය කලාව පිළිබඳ මට තියෙන්නේ නොනිමෙන පිපාසයක්. මේ නොනිමෙන පිපාසය නිසාවෙන් මම වින්ද දුක් ගැහැට බොහොමයි. මේ ගමනේ මා පැමිණි මාවත ගැන මම තෘප්තිමත්. ඒත් කලාව පැත්තෙන් තෘප්තිමත් වුණත් ජීවිතය පැත්තෙන් මම අංග සම්පූර්ණ මිනිහෙක් නෙවෙයි කියලයි මට හැඟෙන්නේ.

44/1, වටද්දර, වේයන්ගොඩ ලිපිනයෙන් හෝ 0712723815 / 0711438784 අංකයට ඇමතුමක් දීමෙන් මේ අසූ වියැති ප්‍රතිභාපූර්ණ කලාකරුවාණන්ට ඔබට සුබ පතන්නත් හැකි වේවි.

 

නිශ්ශංක විජේරත්න

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.