“දෙන්නෙක් නෑ එක්කෙනයි” ඒ මම තමයි

දිමුතු චින්තක
ඔක්තෝබර් 31, 2019

රංගන ශිල්පී දිමුතු චින්තකගේ ‘දෙන්නෙක් නෑ එක්කෙනයි’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය අද (31 වැනිදා) දින සවස බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර් හි වේදිකාගත වෙයි. 1986 වසරේ රෝහණ දන්දෙණියගේ ‘දෑවරයි’ නාට්‍යයෙන් වේදිකා ගමන ඇරැඹූ දිමුතු චින්තක අනුරාධපුරයේ වන්නි වේදිකාවට සම්බන්ධ වෙයි. ඒ මඟින් නිර්මාණය කළ ‘දොරකඩ අස්න’, ‘වරිග සන්නිය’, ‘මතක බණ’, ‘ඝාතකයෝ’ ආදි නිර් මාණවලට රංගනයෙන් දායක වන ඔහු ඒ නිර්මාණත් සමඟ රාජ්‍ය නාට්‍ය උලෙළ දක්වා ගමනක යෙදෙයි. ඒ අතර 1991 වසරේ උතුරු මැද කලා උලෙළේ හොඳම නළුවා බවට පත් වන දිමුතු චින්තක අද වන විට රටම හඳුනන රංගන ශිල්පියෙකි. එමෙන්ම ගුරුවරයෙකි.

ඔබ කොළඹට පිවිසෙන්නේ උතුරු මැද කලා උලෙළෙන් පසුව එහි පැවැත්වුණු වැඩමුළුවකින් පසුවයි?

උතුරු මැද කලා උලෙළේ හොඳම නළුවා වුණාට පස්සේ එහේ තිබුණ දවස් පහක වැඩමුළුවට මාත් සහභාගි වුණා. ඒ වැඩමුළුව කළේ ජයන්ත චන්ද්‍රසිරි, අනෝජා වීරසිංහ, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, වසන්ත විට්ටච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, උදිත ගුණවර්ධන කියන පිරිසයි. කොළඹ පැමිණෙන්න ඒ වැඩමුළුවයි මට හේතුවක් වන්නේ. ඒ වැඩමුළුවට සහභාගි වුණු පිරිස අතර මා වගේම ජයනි සේනානායක, වසන්ත දුක්ගන්නාරාල ඇතුළු අද රටේ බොහෝ දෙනා හඳුනන ශිල්පීන් රැසක් සිටියා.

ඔබ පළමුව නිර්මාණය කරන්නේ පාසල් නාට්‍යයයි?

2007 වසරේ 'අමාවකට අපි භය නෑ' නමින් මා සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියට නාට්‍යයක් කරනවා. ඒ නාට්‍යයට එහිදි ප්‍රථම ස්ථානය ඇතුළු සම්මාන එකොළහක් දිනා ගන්නවා. මා ඒ කටයුත්ත කළේ ඩී.එස්.සේනානායක ආදර්ශ විද්‍යාලයේ ගුරුවරයකු විදියට ඉන්න විටයි. එයට පස්සේ මා අනුරාධපුරයේ 'සසාරා' කියන නමින් නාට්‍යය පාසලක් නිර්මාණය කළා. එහි සිටින ළමයි මේ වන විට විවිධ සිනමා, ටෙලි, වේදිකා නිර්මාණවලට ඉදිරිපත් වී සිටිනවා. ඒ වගේ ම ඒ නාට්‍ය පාසල මඟින් 2011 වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළට 'මදුරුවන්ගෙන් පාඩමක්' කියන නාට්‍යය ඉදිරිපත් කළා. එහිදි නාට්‍යයට දෙවැනි ස්ථානයත්, හොඳම පිටපතට තෙවැනි ස්ථානයත් ලැබුණා.

ඔබ වේදිකාවෙත් සිටින රංගන ශිල්පියෙක් ?

පසුගිය දවස්වල වසර හතළිහක් සැමරුව ආර්.ආර්. සමරකෝන් මහත්තයාගේ 'කැලණි පාලම නාට්‍යයේ මැම්බර් චරිතය රඟපාන්න ලැබුණේ මටයි. මා පුංචි කාලයේ අටේ පන්තියේදී ජේ.එච්. ජයවර්ධන මහත්තය මැම්බර්ගේ චරිතය රඟපාන හැටි දැකලා තිබුණා. මේ වන විට වසර හයක් තිස්සේ ඔහු රඟපෑ ඒ චරිතය මා රඟපානවා. ඒක මගේ ජීවිතයට ලැබුණු බොහොම අහම්බයක්. ඒ නාට්‍යය ඇතුළු සරත් කොතලාවලගේ 'ජයසිරිට පිස්සු', කේ.බී. හේරත්ගේ 'මායාදේවි' නාට්‍යවලටත් මා රංගනයෙන් දායක වෙනවා.

ඔබට නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න හිතෙන්නේ මේ නිර්මාණවල රඟපාන අතරතුර ද?

මේ අතරතුරයි මගේ ආදි ශිෂ්‍ය සංගමයේ යාළුවා වන ලීලසිරි උපාලි මා රඟපෑ නාට්‍ය නරඹන්නේ. ඒ නරඹලා අවසානයේදියි ඔහු මට යෝජනා කරන්නේ ඇයි බං උඹට බැරි ද නාට්‍යයක් කරන්න කියලා. ඒ වෙලාවෙදියි මා ඔහුට පවසන්නේ නාට්‍යයක් කරන්න පුළුවන්. ඒත් වියදම් කරන්න කෙනෙක් ඇත්තේ නැති බව. ඉන් පස්සෙයි ඔහු පවසන්නේ එහෙනම් නාට්‍යයක් කරන්න පටන් ගන්න ඔහු වියදම් කරන්නම් කියලා. ඔහු නැත්නම් මගේ සිතේ කාලයක පටන් තිබුණ නාට්‍යයක් කිරීමේ අදහස අද සඵල වෙන්නේ නැහැ.

ඉන් පස්සේ රංගන ශිල්පියකු විදියට ප්‍රේක්ෂකයන් අතර සිටින ඔබ 'දෙන්නෙක් නෑ එක්කෙනයි' වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කරනවා?

අධ්‍යක්ෂණය විතරක් නොවෙයි, මේ නාට්‍යයේ කතාවත් මගේමයි. නාට්‍ය පිටපත ලිව්වේ ඩී. කේ. ආටිගලයි. නිෂ්පාදනය කරන්නේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ මගේ ම මිත්‍රයා උපාලියි. ඒ වගේම නාට්‍යය කිරීමට පෙර නාට්‍ය පිටපත නැවත නැවත සකසා ගැනීමේදී සහය දැක්වූ වසන්ත විට්ටච්චි, සරත් කොතලාවල, සරත් චන්ද්‍රසිරි, තරංග බණ්ඩාර, සංජීව දිසානායක, ගාමිණී ජයලත් කියන ශිල්පීන් මා මෙහිදී සිහිපත් කළ යුතුයි. විශේෂයෙන් සරත් කොතලාවල මේ නාට්‍යයේ රඟපෑවේ නැති වුණත් හැම දෙයකටම කළ උදව් සුළු කොට තැකිය නොහැකියි. ඔවුන්ගේ සහයෝගය හා මට තිබෙන ආදරය, ගෞරවයත් සමඟයි නාට්‍යය මෙලෙස වේදිකා ගත වන්නේ. මේ නාට්‍යය වේදිකා ගත කිරීමට කොයිතරම් වැඩකටයුතු තිබුණත්, ඒ සියලු කටයුතු අතර රංගනයෙන් සහභාගි වුණු ඒ සියලු දෙනාට මා ස්තුති කරනවා. මේ නාට්‍යයේ මගේ අධ්‍යක්ෂණයකට වඩා සියලු දෙනාගේ එකතුවකින් වූ දෙයක් ලෙසයි මා හඳුන්වන්නේ. මෙහි සිටි ප්‍රවීණ ශිල්පීන් ඔවුන්ගේ සහයෝගය මට උපරිමයෙන් ලැබුණා. ඔවුන් කියන දේ මා ඇසුවා. මා කියනදේත් ඔවුන් ඇසුවා. සියලුදෙනාගේ සහයෝගයෙන් මේ නාට්‍යය නිර් මාණය වුණා. මේ කටයුත්තට උදව් කළ සියලු දෙනාටම ස්තුති කරන්න මා මෙය අවස්ථාවක් කර ගන්නවා. හැමෝටම නාට්‍යය නරඹන්න පැමිණෙන්න කියලා මා සියල්ලටම ආරාධනා කරනවා.

මෙහි පඹයෙකුත් ඔබ භාවිත කරනවා?

එය සලකුණක් ලෙසයි මා භාවිත කළේ. වෙනස්ම අදහසක් ලබා දීමටයි මා අදහස් කළේ. සමහර විට මහජනතාව පඹයා වගේ තමයි වැඩ කරන්නේ. ඔවුන් කියන කෙනකුට ගිහින් කතිරේ ගහනවා. නායකයෝත් පඹයෝ වගේ ඉන්නවා. හැම එකකටම හිනාවෙලා. ඒත් විය යුත්තේ එය නොවන බවයි අප පවසන්නේ.

'දෙන්නෙක් නෑ එක්කෙනයි' පිටපතේ කතාව ඔබගේ සිතේ ගොඩනැඟුණු කතාවක්?

මා බොහෝ මිනිස්සු ඇසුරු කළා. දේශපාලනඥයන් පවා, ඔවුන් අසල සිටි ලේකම්ගේ පටන් වැඩකරන කම්කරුවා දක්වා පිරිසක් මා ඇසුරු කළා. ඒ මඟිනුයි මේ නාට්‍ය පිටපතේ ගොඩනැඟුණු කතාව මගේ සිතේ පිළිසිඳ ගන්නේ. එහිදි පරමාදර්ශී දේශපාලනඥයා කවුද කියලා පෙන්වමින් ඔහුට එතැනින් එහාට යන්න පුළුවන් ද කියන කාරණයයි මේ පිටපතෙන් ප්‍රශ්න කරන්නේ. ඒ වගේම මේ දේශපාලනය ඇතුළේ කොහොම ද සර්ව සාධාරණ වූ පාලනයක් කරන්න උත්සාහ ගන්නේ කියන දෙයයි මින් ප්‍රශ්න කරන්නේ. මේ තත්ත්වය නිර්මාණය වන්නේ නිකම්ම නොවෙයි. විදේශ බලවේගත් සමඟයි. මේ නාට්‍යයේදි පළාත් සභාවක් ඩැහැගන්න අන්තර් ජාතික සම්බන්ධතාවක් ගොඩනැඟෙනවා. ඒකත් සමඟ ඇති වන කතාවක්. යම් සුන්දර මනුස්සයකුව ඔහුගේ අයියා විසින් දේශපාලනයට ඇදලා දානවා. එයට පස්සේ ඔහුට ඇති වන ගැටලු පිළිබඳයි මෙහිදි කතාබහ වෙන්නේ. ඔහු මේ සිස්ටම් එන වෙනස් කරන්න හදනවා. මොන දේ ආවත් අවසානයේ ඔහු මේ සිස්ටම් එක වෙනස් කරනවා. අවසානයේ සිදු වන්නේ බොහොම සුන්දර මිනිස්සු අප අතුරින් විනාශ වී යෑම පමණයි. ඒ ආකාරයට මේ නිර්මාණය මඟින් එක්තරා පාඩමක් කියා දෙමිනුයි නාට්‍ය වේදිකාගත වන්නේ. මේ නාට්‍යයේදි මා ඉදිරිපත් කර තිබෙන පාඨයක් වන්නේ ප්‍රහසනයක් නොවන හැබැයි ඒත් ප්‍රහසනයක් කියන කාරණය. එතැනදි අපම හිනාවෙලා ටොක්කක් ඇණ ගන්නවා වගේ වැඩකුයි සිදු වන්නේ.

ඔබ මීට පෙරත් දිගු නාට්‍යයක් කළා නේද?

මා මුලින්ම දිගු නාට්‍යයක් කරන්නේ උතුරු මැද කලා උලෙළටයි. ඒ රෂෝමාන් චිත්‍රපටයේ අනුවර්තනයක් ලෙස 'එක් මරණයකට පසු' කියන නාට්‍යය කළත් එතැනින් පස්සේ නාට්‍යය ලත් තැනම ලොප් වුණා. ඒ නිසා 'දෙන්නෙක් නෑ එක්කෙනයි' කියන මේ නාට්‍යයයි මංගල දර්ශනයක් ලෙස වඩාත් පුළුල්ව පළමුවරට වේදිකාගත වන්නේ. ඒ නිසා මා මේ විදියට දිගු නාට්‍යයක් කරන්නේ වසර තිහකට පස්සේ. ගිය වසරේදියි මගේ කලා ජීවිතයට වසර තිහක් වීම සැමරුවේ. ඒ වෙලාවෙදියි මා මේ නාට්‍යය වේදිකාගත කරන්න හිටියේ. ඒත් පැමිණි වෙනත් ගැටලු නිසා එය වේදිකාගත කරන්න නොහැකි වුණා. ඒ අවස්ථාව උදා කර ගන්න හැකි වන්නේ අදයි.

'දෙන්නෙක් නෑ එක්කෙනයි' වේදිකා නාට්‍යය සඳහා ඔබ තෝරා ගත් රංගන ශිල්පීන් කොටස් දෙකකට බෙදන්න හැකියි නේද?

කොළඹ ජීවත් වන රංගන ශිල්පීන් වගේම අනුරාධපුර ජීවත් වන රංගන ශිල්පීන් පිරිසකුත් මේ වේදිකා නාට්‍යයේ රඟපානවා. වසන්ත විට්ටච්චි, සරත් චන්ද්‍රසිරි, සංජීව දිසානායක, ගාමිණී ජයලත්, තරංග බණ්ඩාර, අනූෂා දිසානායක, කෞශල්‍යා සමරසිංහ, නිමල් රත්නශ්‍රී, ජයතිස්ස අතුලසිරි, ගාමිණී වීරකෝන් ඒ පිරිසයි. මෙහි සංගීතය විමල්ජිත් දොඹගහවත්තගේ. මෙහි පුහුණු වීම් අනුරාධපුරයේ වගේම කොළඹදිත් සිදු කළා. පසුගිය සති තුනක කාලයේ නම් මා කොළඹට කේන්ද්‍රගතවයි සිටියේ. නාට්‍යයේ සියලු කටයුතු අවසන් කළේ ඒ ආකාරයෙන්.

තිලානි ශානිකා විතානාච්චි 
උදේනි අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.