ළමයින්ට පක්ෂව රතු සාක්කියක්

නොවැම්බර් 7, 2019

2019 රාජ්‍ය නාට්‍ය උලෙළේ සිංහල සීමිත අංශයෙන් වසරේ හොඳම ළමා නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘රතු සාක්කිය’ ළමා නාට්‍යයයි. කොළඹ සිරිමාවෝ බණ්ඩාරානායක විද්‍යාලය මඟින් ඉදිරිපත් කරන ලද මේ නාට්‍යය හොඳම ළමා නාට්‍යය ඇතුළු සම්මාන රැසක්ම දිනා ගත්තේය. මේ ලැබූ ජයග්‍රහණ හා ‘රතු සාක්කිය’ බිහි වීමේ පසුබිම පිළිබඳ එහි අධ්‍යක්ෂවරියන් දෙදෙනා වන ජයනි කපුගේ හා ධනුෂිකා නයන කුමාරි සරසවිය සමඟ කළේ මෙවැනි කතාබහකි.

“මේ නාට්‍යය හොඳම ළමා නාට්‍යයට අමතරව සම්මාන හයක් දිනා ගන්නවා. ඒ අතර හොඳම රංග වස්ත්‍රාභරණ මට හා ධනුෂිකාටත්, හොඳම රංග වින්‍යාසය, හොඳම සංගීතය තරිඳු අබේසිංහ, හොඳම සහය නිළිය අදුෂි අමන්දිනී, හොඳම පිටපත දෙවැනි ස්ථානය සෙව්මිණී නයනාංජලී, රුසඳී විනෝමා, රංගන කුසලතා අමාෂා මංචනායක, කවිත්මි බෙලිගල්ල යන ශිල්පීන් හා ශිල්පිනියනුයි දිනා ගන්නේ. මේ වන විට මා උගන්වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ. ජයනි මිස් ඒ පාසලේ ඉන්නේ වසර 9ක කාලයක පටන්. මුලින්ම මා මේ නාට්‍යය දකින්නේ ගිය වසරේ නිවාසාන්තර නාට්‍ය උලෙළේදි. ඒ නාට්‍ය උලෙළේ විනිශ්චය මණ්ඩලය අතර මාත් සිටියා. ඒ කාරණයෙන් පස්සෙයි මා සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට පිවිසෙන්නේ. පාසලට පැමිණියාට පස්සේ අප දෙදෙනාත් එක්කම වැඩක් කිරීමට ආසාවක් ඇති වෙනවා.”

රාජ්‍ය නාට්‍ය උලෙළට අයඳුම්පත් ඉදිරිපත් කිරීමට පැමිණෙන්නේ මේ අතරේ ය. ඒ සඳහා ‘රතු සාක්කිය’ පිටපත වඩාත් ගැළපෙන බව ඒ දෙපළට හැඟී ගියේය. 

“මේ පිටපත ලිව්වේ පාසලේම ළමයි. ළමා පිටපතක් විදියට ඒ පිටපත බොහොම හොඳ තැනකයි තිබුණේ. එහි මූලික සංකල්පය ඔවුන්ගේ. ඒත් එහි යම් යම් දේවල් වෙනස් කරන්න අපට වුවමනා වුණා. ඒ වගේම එය තවත් පෝෂණය කළ යුතු යැයි අප තීරණය කළා. මේ අනුවයි පිටපතේ යම් යම් වෙනස්කම් සිදු කළේ. මමත්, ධනුෂිකාත් මේ පිටපතේ ප්‍රසාංගික බව වැඩි කරන්න අවශ්‍ය ගීත කිහිපයක් එකතු කළා. අධ්‍යක්ෂණයත්, රංග වින්‍යාසය, රංගවස්ත්‍ර නිර්මාණයත් අප දෙදෙනාම භාර ගත්තා. දෙබස්වලට අර්ථ ලබා දුන්නා. එහි අවසානයේ නාට්‍යය අවසාන වටයට පැමිණියා.”

ධනුෂිකාටත්, ජයනිටත් මෙලෙස පිටපතේ අඩුපාඩු සැකසීමට නම් පාසල් ළමයින් අතින් මෙවැනි නිර්මාණයක් බිහි විය යුතුය. ඔවුන් අතින් මෙහි මූලික සැලැස්ම නිර්මාණය වීම අගය කළ යුත්තකි.

“මෙහි වැදගත්ම කාරණය නම් ළමයින් වෙනුවෙන් නාට්‍ය ලියන්නේ ගුරුවරුන් විසින්. එහෙත් මේ නාට්‍යයේ පිටපත ගොඩනඟන්නේ ශිෂ්‍යයන්. වැඩිහිටියන් ලෙස අපට අවශ්‍ය වන්නේ ශිෂ්‍යයන් ගොඩනැඟීමයි. එය නියම ආකාරයෙන් මේ නාට්‍යය මඟින් සිදු වූ බවයි මටත්, ජයනිටත් හැඟෙන්නේ. හොඳම පිටපත දෙවැනි ස්ථානය ලබා ගැනීමෙන් ඒ කාරණය ස්ථිර වෙනවා. එය ශිෂ්‍යයන් අතුරින් ලොකු ජයග්‍රහණයක්. අනෙක් කාරණය වන්නේ තවත් ළමයින්ට මෙවැනි පිටපත් ලියන්න පෙලඹවීමක් ඇති වීම හා උත්තේජනයක් ඇති වීමත් මෙවැනි කාර්යයක් මඟින් සිදු විය හැකි වීමයි.”

මේ නාට්‍යයට ‘රතු සාක්කිය’ යන නම තබන්නේ ද ළමයින් ම ය. එවැනි නමක් තබන්න ඔවුන්ට හේතු වූ කාරණය පෙළ ගැසෙන්නේ ද මේ නාට්‍යයේ ඇතුළත පෙළ ගැසෙන විවිධ සිද්ධි මඟින් ම ය.

“මේ නාට්‍යයේ ‘රතු සාක්කිය’ කියන නම තියන්නට ළමයින්ට මුල් වන හේතු වන්නේ රතු හැට්ටකාරි කියන සුරංගනා චරිතය. ඒ චරිතය එක්තරා මොහොතකදි අතුරුදන් වෙනවා. මේ අතුරුදන් වුණු සුරංගනා චරිතය හොයන්න සින්ඬරෙල්ලා, පීටර් පෑන්, ජැක්, එලීසා කියන එවැනිම සුරංගනා චරිත හතරකුයි පැමිණෙන්නේ. එතැනිනුයි නාට්‍යය පටන් ගන්නේ. ඒත් ඔවුන්ට ඈ අතුරුදන් වුණු නියම හේතුව සොයා ගන්න බැරි වෙනවා. මේ අතරදියි ඔවුන්ට නූතන තාක්ෂණයත් එක්ක ඇලී ගැලී ඉන්න ළමයකු මුණ ගැසෙන්නේ. මේ චරිත හතර තමන් කවුදැයි ඔහුට හඳුන්වා දෙමින් රතු හැට්ටකාරි ගැනත් හඳුන්වා දෙනවා. මේ මඟින් කතා කරන්නේ ළමයි විශ්වාස කරන තාක් පමණයි සුරංගනා චරිතවලට සිටින්න හැකියි කියන පණිවිඩය. අවසානයේ මේ චරිත හතර මුළු ප්‍රේක්ෂකාගාරයම තමන් වෙතට ආකර්ෂණය කර ගන්නවා. අත්පොලසන් නාදයක් ලබා දෙන්න යනුවෙන් පවසමින්. අවසානයේ රතු හැට්ටකාරි ප්‍රේක්ෂකාගාරය මැදින් යළිත් එනවා. ඇයව වැලඳ ගැනීමෙන් යළිත් කතා ලෝකය අමතක නොකරන බවටයි ඔවුන් පොරොන්දු වන්නේ. ගේම් එකක් එක්ක ඉන්න ළමයා යළිත් කතා ලෝකයට පිවිසීමයි සිදුවන්නේ. ”

එලෙස ජයනි පවසන්නේ මේ නාට්‍යය මඟින් නැවතත් කතා ලෝකයෙන් ඉවත්ව සිටින ළමයින්ව එයට රැගෙන ඒමේ පණිවිඩය රැගෙන එන බව ය. එපමණක් නොවේ ධනුෂිකා ද එහිදී පවසන්නේ සුරංගනා කතා ළමයින්ගේ පරිකල්පනය වර්ධනය කරන බව ය.

“අපට වුවමනා වුණේ මේ ළමයි ඉදිරිපත් කරන සංගීත නාටකයට ආසන්න වූ මේ නාටකයෙන් ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ළමයින්වත් මේ පණිවිඩයට ඈදා ගන්නයි. ඔවුන්ට අමතකව ගිය සුරංගනා කතා ලෝකය යළිත් ඔවුන්ට මතකයට නැඟීමයි. අද වන විට ළමයින් කතා කියවන ලෝකයෙන් ඈතට ගිහිල්ලා. ඒ වගේම ඔවුන් ඒ කතා විශ්වාස නොකරන තැනකට ඇවිල්ලා. මේ නිසා අවසානයේ සිදු වී තිබෙන්නේ හිතන්නේ නැති නිර්මාණශීලි නොවන ළමයකු සමාජයට දායාද වීමයි. කටපාඩම් කර ගත්ත ළමයකු හා යන්ත්‍රයක් වැනි ළමයකු සමාජයට දායාද වීමයි. ඒ තත්ත්වයයි අපට වෙනස් කරන්න ඕනෑ වුණේ. කියැවීමේ රුචිය ඇති කිරීමෙන් නිර්මාණශීලි ළමයකු නිර්මාණය කිරීමයි.”

ඒ නිසා මේ කාරණාවල එකමුතුවත්, සුරංගනා කතා මේ දෙන සාක්කි පදනම් කරගෙනයි ‘රතු සාක්කිය’ යන නම ළමයින් නාට්‍යයට යොදා තිබෙන්නේ.

“ළමයින් මොහොතින් මොහොත වෙනස් වීමට කැමැතියි. ඒ කියන කාරණය අප වේදිකාවට භාවිත කළා. රංග වින්‍යාසයට සම්මානය ලැබීමට හේතුවත් එයමයි. සාමූහිකව කතන්දරයක් නිරූපණය කරන ක්‍රමවේදයයි අප නාට්‍යයේ ආකෘතියට යොදා ගත්තේ. ඒ ඉදිරිපත් කළ ආකෘතිය නිසාමයි ළමයින් මේ නාට්‍යයට වඩාත් කැමැත්තක් දැක්වූයේ. මේ නාට්‍යයේදී රංග වින්‍යාසය හා චරිත වේදිකාවට පැමිණෙන විදිය මමත්, ධනුෂිකාත් වෙනස් විදියකට භාවිත කරන්න උත්සාහ කළා.” 

සංගීත නාටකයකට වඩාත් ළං වන ‘රතු සාක්කිය’ නාට්‍යයේ වැඩිපුරම සංගීතයට මුල්තැන දීම සිදු ව තිබේ.

“මෙහි ගීත හතක් භාවිත වෙනවා. ඒ වගේම සමහර හැඟීම් ප්‍රකාශ කිරීම සඳහාත් භාවිත කළේ සංගීතයයි. මෙහි සංගීත අධ්‍යක්ෂවරයා වන්නේ තරිඳු අබේසිංහයි. පරිසරයේ තිබෙන ශබ්ද ගැනීමට ඔහු භාවිත කළේ ළමයින්වයි. ඔවුන්ගේ හඬ ආශ්‍රයෙනුයි ඔහු ඒ දෙය කළේ. වෙනම ගායන වෘන්දයක් වගේම වාද්‍ය වෘන්දයකුත් මේ නාට්‍යයට හිටියා. ජන නාද මාලා වගේම මොඩර්න් සංගීතයත් ඔහු මේ නාට්‍යයට යොදා ගත්තා. රෝසන් කතාව ගත්තට පස්සේ එහි තේමා සංගීතය එක සිහිපත් වන විදියටයි එලිසගේ ගීතයේ සංගීතය නිර්මාණය වී තිබුණේ. අනෙක් අයව හඳුන්වා දෙන ගීතයෙත් ඒ විදියටම කටයුතු කරන්න ඔහු උත්සාහ ගෙන තිබුණා. රැප්, රෙගේ වැනි ළමයින් දැන් අහන සංගීත ඛණ්ඩත් මේ නාට්‍යයට භාවිත කිරීම මඟින් ළමයින්ට සරල විදියට අහන්න කැමැති සංගීතයක් ඉදිරිපත් කිරීම මේ නාට්‍යයේ තිබෙන විශේෂ බවක්. මේ සියලු දේ මඟින් තරිඳු නිර්මාණශීලි සංගීතයක් නාට්‍යයට ගෙනැවිත් තිබුණා.”

ධනුෂිකා පැවැසුවේ මේ නාට්‍යයේ සංගීතය පිළිබඳ ය. මේ සියලු දේ කිරීමට ඔවුන් දෙදෙනා සමඟ එකතු වූයේ ළමයින් තිස් හතරක කණ්ඩායමකි. රඟපෑමේ කටයුතු සඳහා සහභාගි වූයේ ළමයින් විසි දෙනෙකි. අනෙක් අය නාට්‍යයේ අනෙක් කටයුතුවලට සහය වූහ.

“ඔවුන් සියලු දෙනාම අප පුහුණු වීම්වලදි ගෙන්වා ගත්තා. ඒ සියලු දෙනාටම නාට්‍යයක් වේදිකා ගත කිරීම දක්වා වන කාර්යය කුමක් ද යන්න වටහා දීම සඳහායි. ඒ සියලු දේ මඟින් ඒ සඳහා සහභාගි වුණු ඔවුන්ගේ කියැවීමේ රුචිය පවා වර්ධනය වූ බවයි අපට හැඟුණේ. මේ සඳහා අප යොදා ගත්තේ 6 – 12 දක්වා ශ්‍රේණිවල ළමයින්. පාසලේ අධ්‍යාපන කටයුතුවලින් පසුව හා නිවාඩු දිනවලදිත් අප පුහුණු වීම් සිදු වුණා. ඒ අතර පන්ති භාර ගුරුවරුන් ඔවුන්ට අධ්‍යාපන කටයුතුවලට සහයෝගය ලබා දී තිබුණා. මෙහිදි මව්පියන් විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඔවුන් කෑම- බීමවල පවා වියදම් දරමින් අපව සියලු දේවලින් නිදහස් කරමින් සාර්ථක ලෙස නිර්මාණය කිරීමට සහය දැක්වූවා. විශේෂයෙන්ම අපේ පාසලේ විදුහල්පතිනිය මාලනී හේරත් මහත්මියව සිහිපත් කළ යුතුයි. දරුවන් දිරිමත් කිරීමට මෙන්ම අවසානය දක්වා අපත් සමඟ රැඳීි සිටීම ගැන ඈට අප ස්තුති කළ යුතුයි. ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශයටත් ස්තුති කළ යුතුයි. රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ විධිමත් ආකාරයෙන් කිරීම සම්බන්ධයෙන්.”

‘ජනේලයෙන් පනින්න ද’ නාට්‍යය නිර්මාණ මඟින් ප්‍රේක්ෂකයා වැලඳ ගත් ධනුෂිකා නයන කුමාරි සිය නිර්මාණ ජීවිතයේ ලැබූ අත්දැකීම් ද මේ නිර්මාණයට යොදා ගන්නට ඇත. ඒ හා සමාන ලෙස ම සිය නිර්මාණ අත්දැකීම් ‘රතු සාක්කිය’ට යොදාගත් ජයනි කපුගේ යන ගුරුවරියන්ගේ උත්සාහයේ ප්‍රතිඵලය පසුගියදා මල්ඵල ගැනිණි. ඒ රතු සාක්කිය මඟින් ඔවුන්ගේ උත්සාහයට සාක්කියක් සපයමිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.