24 වරෙව් බෙරහඬ බලන්නට වරෙව්

නොවැම්බර් 21, 2019

"හොරකම කියන සංසිද්ධිය එදා ඉඳන්ම තිබුණු දෙයක්. ඒවා ඉහළ පැළැන්තියේ කෙනෙක් කළාම, තමන්ගේ කෙනෙක් කළාම දිව්‍ය ලෝකයේ එක්කගෙන යෑම, සැප දීම කොයිතරම් උපහාසාත්මකව කියා තිබෙනවාද?

හනික වරෙව් කොල්ලනේ 
මෙන්න මෙහෙ වරෙව් 
මෙන්න මෙහෙ වරෙව් 
කොල්ලනෙ නට නටා වරෙව් 
තොපිට හරිම වාසියක් 
නට නටා වරෙව් යකෝ!

සෑම උදෑසනකම තම ගව රෑන ද පෙරටු කරගෙන අහසේ සැරිසරන හිරු දෙවියන්ගේ ගව රෑන යමෙකු විසින් හොරකම් කර තිබේ. ඒ හොරා කවුදැයි සොයා ගැනීමට පවරන්නේ යක් රජුටය. ඉහත ගීයෙන් යක් දෙටුවා අමතන්නේ තම යක් රෑනටය. හිරු දෙවියන්ගේ හරක් හොරා අල්ලා දුනහොත් බොහෝ තෑගි බෝග ලැබෙනු නියතය. එහෙත් අවසන සිදු වන්නේ කුමක්ද? හොරා කුඩා දරුවෙකි. ඔහු බෙරය නම් සංගීත භාණ්ඩය තනා ඇත්තේ වයස අවුරුදු හයේදීය. එතරම් දස්කම් ඇති පන්සිළු නම් දරුවා මිනිස් මවකගේ කුසින් උපන්නද ඔහුගේ පියා ශක්‍ර දිව්‍ය රාජයාය. ඒ නිසා දඬුවම් දීම වෙනුවට සිදුවන්නේ පන්සිළු දිව්‍ය ලෝකයට රැගෙන යෑමයි. මේ බෙරහඬ කතාවේ ඉතාම සරල සංක්ෂිප්තයයි. 

බන්දුල ජයවර්ධන නම් වූ මෙරට විශිෂ්ට නාට්‍යකරුවා විසින් රචිත මෙය සැබැවින්ම ග්‍රීක යුගයේ සුප්‍රකට නාට්‍යකරුවකු වූ සොෆොක්ස්ලීස්ගේ (ක්‍රි.පු. 496-409) සැටර් ගණයට අයත් ඉක්නෙවුටාඉ නම් කතාවේ අනුවර්තනයක් ලෙස සැලකිය හැකිය. සැටර් හෙවත් ප්‍රහසන නාට්‍යයක් ලෙස සොෆොක්ලීස් මෙය ගොඩනඟා තිබූ ආකාරය බන්දුල ජයවර්ධනයන් සිත් ගත්තේ ඔහු ග්‍රීක නාට්‍ය කෙරෙහි මහත් ලොල් බවක් දැක්වූවකු නිසාය. ඒ බව ඔහු පිළිබඳ ලියැවුණු බොහෝ පොත පතේ මෙන්ම ඔහුගේ බිරිය වූ පෙමාලි ජයවර්ධන මහත්මිය සමඟ සරසවියටම මවිසින් ලියූ 'යුග පුරුෂයකුට බිරියකව' ලිපි මාලාව සඳහා කළ කතා බහේදී හෙළි දරවු විය. ඔවුන් දෙදෙනා විවාපත් වීමේ යෝජනාව ස්ථිර වූයේද දෙදෙනාම 'වෙස්ටර්න් ක්ලැසික්ස්' සහ බෞද්ධ දර්ශනයට වඩාත් ප්‍රිය කළ නිසා බව එදා ඇය පැවසූ ආකාරය සිහිවද්දී මගේ සිතට මහත් වේදනාවක් දැනෙන්නේ ඇයද අද අප අතර නැති නිසාය. ජයවර්ධන මහතා බෞද්ධ විශ්ව කෝෂයේ සංස්කාරක වන්නට ද ඒ කැමැත්ත හේතුවන්නට ඇත.

කෙසේ වෙතත් අපේ ක්‍රමයට ඇය කොහේ හෝ සිට බලා සිටී නම්, ඇයගේ ඉල්ලීමක් තව දින තුනකින් ඉටු වනු දැක සතුටු වනු ඇත. ඒ බන්දුල ජයවර්ධන තම ස්වාමි පුරුෂයාගේ දෙවැනි නිර්මාණය වූ බෙරහඬ යළි වේදිකාගත වීමය. බන්දුල ජයවර්ධනයන් සිය ජීවන කරළියෙන් සමුගෙන යෙදෙන පහළොස්වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඇය ඒ ඉල්ලීම කර තිබුණේ මෙරට තවත් ප්‍රවීණ නාට්‍ය ශිල්පියකු මෙන්ම එවකට ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතාගෙනි.

"ඒත් විවිධ හේතු නිසා අපට ඒ ඉල්ලීම ඒ වසරේ ඉටු කරන්න බැරි වුණා. 2003 වසරේ අප අතරින් සමුගත් බන්දුල ජයවර්ධන ශූරීන්ගේ 16 වැනි ගුණ සමරුව වෙනුවෙන් මේ වසරේ හෝ එය වේදිකාගත කර එතුමියගේ ඉල්ලීම ඉටු කළ යුතුයි කියන හැඟීම මට තිබුණා. ඒත් ඒ සඳහා සූදානම් වනවිට එතුමියත් අප අතර නැහැ. ඒ වෙනුවට රනිති දියණියට සහ අරුණ බෑණනුවන්ට අපි ආරාධනා කළා ජයවර්ධන දෙපළට මල්මාලා පලඳා මේ නාට්‍යය වේදිකාගත කරන අයුරු නරඹන්න. 24 වැනිදා සවස 6.30 එල්ෆින්ස්ටන් රඟහලේදී බෙරහඬ නොමිලේ ප්‍රදර්ශනය වෙනවා. ප්‍රධාන දේශනය ප්‍රවීණ නාට්‍යවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් කරන්නේ." ඩග්ලස් සිරිවර්ධන මහතා බෙරහඬ හා වේදිකා නාට්‍ය පිළිබඳ පිළිසඳරක යෙදෙමින් සිටියදී පැවසුවේය.

ඔහුගේ නීතිඥ කාර්යාලය පුරා දක්නට ලැබුණේ නාට්‍යයේ පසුතල සහ රංග වස්ත්‍ර, රංගභාණ්ඩ ආදියයි. එහි තිබූ පොත් කීපයක් මගේ නෙත ගැටිණ. එකක් බෙරහඬ පිටපතය. එහි ග්‍රීක දෘශ්‍ය කාව්‍යයේ සැටර් නාට්‍යයට හිමි තැන පිළිබඳ මෙන්ම ඉක්නෙවුටාඉ, බෙරහඬ බවට පත් වූ ආකාරය පිළිබඳ බන්ධුල ජයවර්ධනයන් විසින් හඳුන්වා දෙන ආකාරය මනාය. ඉන් පසු මගේ නෙත ගැටුණේ අභිනය 8 වැනි කලාපයටය. එහි මේ සුවිශේෂී නාට්‍යකරුවා සමඟ විජේරත්න පතිරාජ විසින් කළ සාකච්ඡාවක් ඇසුරෙන් සැකසූ ලිපියකි. ලේනුන් බහුල වූ නිසා ලේන්දැඩිය නම් වූ රත්නපුර වෙරළුපේ පිහිටි ගම්මානයක උපත ලද බන්ධුල ජයවර්ධන කිරිකැටියා උපන් දවසේ මවුපිය දෙදෙන මෙන්ම සොයුරිය බොහෝ සතුටට පත්ව ඇත්තේ පවුලේ පිරිමි දරුවන් අඩු නිසාය. ඔහුගේ පියා සාඩින් ටින් එකකින් බිම දුවන ඉබ්බෙකු තනා දී ඒ හාවා සමඟ තරගෙට දිවූ ඉබ්බා යැයි කීම පිටරටින් එන සෙල්ලම්බඩුවලට වඩා කුඩා බන්දුලගේ ආසාව අතට අසුවන ලී කැබලි ආදියෙන් දේශීයව සෙල්ලම්බඩු තනා ගැනීමට යොමු කරලීය. ඒ ලෙසම ඔහු විදේශ නාට්‍ය අනුවර්තන කළද ස්වතන්ත්‍ර නිර්මාණ සඳහා වැඩිපුර යොමු වීමට එය බලපාන්නට ඇතැයි ඔහුම කියා ති‌බේ. විවිධ පාසල්වලට ගිය පාසල් කාලයක් හිමි ඔහු අවසානයේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සංගමයේ ලේකම් ලෙස දේශනාවකට ආරාධනා කරන්නට ගිය මොහොතේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පළමුවරට මුණගැසිණ. ඒ හමුව මෙන්ම පාසලේම ග්‍රීක බස ඉගැන්වූ ගුරුවරයාත්, ධර්මපාල හිමියනුත් සිය නාට්‍යවලට මෙන්ම පෞද්ගලික ජීවිතයට බලපෑ ප්‍රබල සාධක බව සදහන් කර තිබේ. 1950 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ඔහු දිනපතා සවස මනමේ නාට්‍ය පුහුණු බලන්නට ගිය සගයා වූයේ ගුණදාස අමරසේකරය. 1956 නොවැම්බර් 03 වැනිදා මනමේ මුල් දර්ශනය නැරඹීමෙන් ලද උද්දීපනය ඔහුගේ ප්‍රථම නාට්‍යය වූ ඝෝෂක වස්තුව රචනයට හේතු සාධක සැපයීය. එය 58 වසරේ කලා මණ්ඩලය මඟින් සංවිධානය කරන සමස්ත ලංකා නාට්‍ය තරගයේදී හොඳම නාට්‍ය පිටපත ලෙස ප්‍රථමස්ථානයට තේරී පේරාදෙණිය සිසු සිසුවියන් සමඟ නිෂ්පාදනය කළ පසු ඔහු තවත් දිරිමත් විය. 1961දී මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නිර්මාණය වන සිංහබාහු නිමවන විට බන්දුල ජයවර්ධනයන් පර්යේෂණ නිර්මාණයක් ලෙස ග්‍රීක නාට්‍ය ඇසුරින් දේශීය නාට්‍ය කලාවේ ප්‍රගමණය ඇති කරලිය හැක්කේ කෙසේද යන්න උරගා බැලීමට තම සරසවි සගයන් සමඟ බෙරහඩ නිර්මාණය කළේය. එහෙත් එකල පේරාදෙණියේ රජයේ ගොවිකම් දෙපාර්තමේන්තුවේ සාහිත්‍ය සංගමය සමඟ නාට්‍යයක් කරන ලෙස එවක එහි නිලධාරියකු වූ එම් සී මාතුපාල මහතා කළ ආරාධනය අනුව බෙරහඬ පළමු නිෂ්පාදනය සිදු වූයේ එම ආයතනයේදීය. මුල් වරට බෙරහඬ රැඟුවේ 1961වසරේ දෙසැම්බර් මස 21 වැනිදා මහනුවර පුෂ්පදාන ශාලාවේදීය.

දේශීය රංගන විධි, තොවිල් පවිල් ආදිය පිළිබඳ ඔහු සතු දැනුමත්, ලයිරාව වෙනුවට බෙරය යොදා ගැනීමත් නිසා දේශීයකරණය වූ මේ ග්‍රීක නාට්‍යයේ අනුවර්තනයේ රඟපෑ ජයන්ත කරුණාරත්න සහ සසල තිලකා රණසිංහ නාට්‍යලෝලීන්ගේ විශිෂ්ට ඇගයුමට ලක්විය. සංගීතඥ එච්. එච් බණ්ඩාරගේ තනු අදටත් අපටද කටපාඩම් බඳුය. වසන්ත කුමාර නර්තන නිර්මාණය කතාවට මනාව ගැළපිණි. ඒ ජනප්‍රියත්වය නිසාම එකල රූපවාහිනියේ අධ්‍යක්ෂව සිටි එම්.ජේ. පෙරේරා නාට්‍යයේ කිසිදු වෙනසක් නොකර රූපවාහිනි පටිගත කිරීමක් කරන ලෙස දැන්වීය. එහි මෙන්ම ලූෂන් බුලත්සිංහල කලාකරුවා විසින් 80 දශකයේ මෙය යළි වේදිකාගත කරන ලදී. ලක්ෂ්මි දමයන්ති විසින්ද මෙය වේදිකාගත කෙරිණි. ඒ හේතූන් නිසා අපේ පරපුරටද බෙරහඬ මතකයෙන් ගිලිහී නොයයි. එදා ජැක්සන් ඇන්තනි, ගාමිණී සමරකෝන්, අනුලා බුලත්සිංහල, රොඩ්නි වර්ණකුල වැනි නළු නිළියන් එය ඔපවත් කළ ආකාරය අපූරුය.

ඩග්ලස් සිරිවර්ධන විසින් නිර්මාණය කරන බන්ධුල ජයවර්ධනයන් විසින් රචිත බෙරහඬට මෙවර පණ දෙන්නේ ජයනාත් බණ්ඩාර, මාදනී මල්වත්තගේ, චමින්ද මැදගෙදර, අරවින්ද පාදුක්ක, ඇන්ටන් ජූඩ්, හර්ෂා ජයතිලක, සංඛ ශ්‍රී නාත්, අමිල බාලසූරිය, සුමුදු චතුරංග, රංග ලක්මාල්, සචිත්‍රි වික්‍රමසූරිය, ඉරේෂා චන්ද්‍රමාලි, චතුරි කුමාරි, සුජානි මේනකා, නිල්නයන ඒකනායක, දිලිප් තාරක, අජිත් පෙරේරා, සමන් ඒකනායක, වාසනා බණ්ඩාර සහ චලිත ඒෂාන්ය. එච්. එච්. බණ්ඩාර සහ ඔස්ටින් මුණසිංහ විසින් තනු නිර්මාණය කරන ලද මෙහි මෙවර සංගීතය මෙහෙයවීම රංජිත් බාලසූරියගෙනි. වසන්ත විට්ටච්චි අංග රචනයෙන්ද, ගාමිණි වන්නිආරච්චි රංගාලෝකයෙන්ද දායක වන බෙරහඬ නිෂ්පාදන කළමනාකාරීත්වය වසත් චන්ද්‍රසිරි, රාජා රණසිංහ සහ රවීන්ද්‍ර එදිරිසිංහ විසින් සිදු කරනු ඇත. ඩග්ලස් සිරිවර්ධන විසින් 2013 වසරේ මේ නාට්‍යය නිර්මාණය කරන ලද්දේ ටවර් නාට්‍ය හා රංග කලා පාසලේ ටවර් වෘත්තියාභිමුඛ නාට්‍ය සංසදයේ ඉදිරිපත් කිරීමක් ලෙසය. ඒ බන්ධුල ජයවර්ධනයන්ගේ දසවැනි ගුණසමරුව වෙනුවෙනි. 

බන්ධුල ජයවර්ධනයන් නිර්මාණය කළ දියසේන නොපැමිණීම (1963), ස්වර්ණහංස (1965), බිහිවනු බෝසතාණනි (1966) සහ ස්වර්ණමාලි (1999) නාට්‍ය තිබියදී සිරිවර්ධනයන් බෙරහඬ නාට්‍යයම මෙලෙස නව නිර්මාණයක් ලෙස ගෙන ඒමට හේතුව මෙසේ විස්තර කළේය.

"ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ ගමන්මඟ පිළිබඳව විශේෂ හැදෑරීමක් කරමින් තමයි මහාචාර්ය සරච්චන්ද්‍රයන් මනමේ නාටකයට පසු සිංහබාහු නාට්‍යය විශිෂ්ටතම නිර්මාණය කරගන්නේ. සරච්චන්ද්‍රයන්ගේ ඇසුරේ සිටි බන්ධුල ජයවර්ධනයන් ජන නාට්‍ය සම්ප්‍රදායත්, තමන් විශේෂයෙන් ප්‍රගුණ කළ ග්‍රීක නාට්‍ය කලාවත් උකහාගෙනයි බෙරහඬ නිර්මාණය කරන්නේ. මීට අවුරුදු 2500කටත් එහා නිර්මාණය වුණු පුරාණෝක්තිය ලංකාවේ සාර්ථකව ගෙන යා හැකි වේය කියලා බන්ධුල මහත්මයා හිතනවා. මෙය සරල වුණාට අභව්‍යයි කියලාත් හිතනවා. කොහොම වුණත් හිරු දෙවියෝ හොරා හොයන්න අන්තිමට එන්නෙ ලංකාවට. ඒ කියන්නේ ඕන හොරෙක් අල්ලන්න ලංකාවට ආවාම හරි කියල දෙවිවරු පවා දන්නවා. හොරා හොයන්න බාර දෙන්නේ යක්ඛ නායකයකුට" ඔහු සෝපාසාත්මකව කියයි. එහිදී මට මතක් වන්නේ අරීසෙන් අහුබුදු සූරීන් සමඟ කළ සාකච්ඡාවකදී ඔහු අපේ පැරැණියන් ගැන කී කතාවකි. අහුබුදුවන්ට අනුව යක්ඛ වැනි අපේ අතීත වැසියෝ ග්‍රීසියට පවා පය තැබූවෝය. ඒ නිකම්ම නොව එකල අපේ රජවරු ඒ රටවල් දික්විජය කර තිබුණු බැවිනි. එයට කිසිදු සම්බන්ධයක් නැති අවස්ථාවක ඇමටියගොඩ නිලමේ සමඟ පැරැණි දේවාල සහ වලව් පිළිබඳ ලිපි පෙළක් සිළුමිණට කරන අවස්ථාවක දැනගන්නට ලැබුණේ සපරගමුවට අයත් බොල්තුඹේ සමන් දේවාලයේ නීරෝයි දිවීම නම් ගී‍්‍රක නමින් යුතු සම්ප්‍රදායක් අදටත් පවතින්නේ ගී‍්‍රසිය දක්වා විහිදුණු රාවණ රාජ්‍යය සහ රාම රාවණ යුද්ධය සිහිකරන්නට බවය. රාවණ යුගයේ ග්‍රීසිය අල්ලන්නට ගිය ගමන පිළිබඳ සිහිකිරීමක් වශයෙන් බවය. මෙහි සත්‍ය අසත්‍ය කුමක් වුවත් රත්නපුරේ සම්භවයක් ඇති බන්ධුල ජයවර්ධනයන් මේවා දැනසිටියේදැයි වරෙක සිතේ. ඩග්ලස් සිරිවර්ධනයන් දිගටම කියයි.

"හොරකම කියන සංසිද්ධිය එදා ඉඳන්ම තිබුණු දෙයක්. ඒවා ඉහළ පැළැන්තියේ කෙනෙක් කළාම, තමන්ගේ කෙනෙක් කළාම දිව්‍ය ලෝකයේ එක්කගෙන යෑම, සැප දීම කොයිතරම් උපහාසාත්මකව කියා තිබෙනවාද? මෙය මම දැන් කරන්නේ මගේම නිෂ්පාදනයක් ලෙස. මෙහි රංගවස්ත්‍ර ආදිය ග්‍රීක සැටර් නාට්‍යවල ස්වභාවයට වඩා විසිතුරුව නිර්මාණය කරන්න මම උත්සාහ කළා. ග්‍රීක නාට්‍ය කලාවේ තියෙන්‌නේ අවම පසුතල ආදි යොදා ගැනීම්. ඒත් අද අපේ ඇහැට හුරු මෙගා නාට්‍ය සහ තරු තරගවල තිබෙන්නේ ඉතා විසිතුරු පසුබිම්. ඒ දැවැන්ත ගතිය නාට්‍යවලත් රසිකයන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පිටපත බන්ධුල මහත්මයාගේ ම වුණා‌ට ඒ පිටපත මම ඉදිරිපත් කරන ආකෘතියේ වෙනසක් තිබෙනවා. ප්‍රේක්ෂකයාගේ රසවින්දනයට ගෝචරවන ආකාරයේ නිර්මාණයක් ගීතයෙන්, නර්තනයෙන් යොදා ගන්න කටයුතු කළා. එය මේ කාලයට අනුව කරන වෙනසක්."

අපේ පිළිසඳරේදී බන්ධුල ජයවර්ධන නාට්‍යවේදියා සැමරීමට හේතු සහ නව නාට්‍ය පරපුරක් බිහි කිරීමට පරිපාලන සේවකයකු ලෙස රාජ්‍ය නැටුම් සහ සංගීත කණ්ඩායම් බිහිකිරීම, රංගාලෝක කට්ටල ලබාදී ශිල්පීන් පුහුණුකිරීම, නාට්‍ය අනුමණ්ඩල සාමාජිකයකු හා සභාපති ලෙස ජෝන් ද සිල්වා සමරු රඟහල ගොඩනැඟීම සඳහා පුරෝගාමීව කටයුතු කිරීම, රාජ්‍ය රංගකලා ආයතනයක් පිහිටුවීමේ පූරෝගාමී වීම, නාට්‍ය හා රංගකලාව පිළිබඳ විවිධ පොතපත හා ලිපි සම්පාදනය, නාට්‍ය අධ්‍යාපනය පාසල් හා විශ්වවිද්‍යාල විෂයයක් බවට පත් කරන්නට පුරෝගාමී වීම ආදිය පිළිබඳ බොහෝ තොරතුරු පිළිබඳ කතාබහ කළෙමු. එහෙත් අභිනව ජනපතිවරයකු රට බාරගත් මොහොතේ වර්තමානයේ වේදිකා නාට්‍ය පිළිබඳ ඩග්ලස් සිරිවර්ධන නාට්‍යවේදියාගේ මතය අවසන් වශයෙන් සටහන් කිරීම යෙහෙකැයි සිතමි.

"අපි නාට්‍ය කලාවට පිවිසුණ 1970 දශකයේ අපට ඒ පිළිබඳ ඉගෙනගන්න කිසිදු ආයතනයක් තිබුණේ නෑ. අපි ඇගේ උණට, උනන්දුවට නාට්‍ය කළේ. ඒත් අපට ඇසුරු කරන්න ලැබුණා මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, බන්ධුල ජයවර්ධන, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති, ප්‍රේමරංජිත් තිලකරත්න, ආර්. ආර්. සමරකෝන් වගේ ද්විභාෂා දැනුමෙන් පෝෂණය වූ ශ්‍රේෂ්ඨ, ‌ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදීන්. ඔවුන්ගේ නිර්මාණ නිසා සුවිශේෂී රසික පිරිසක් වේදිකා වටා ගොනු වුණා. ඔවුන්ගේ නාට්‍ය පෙළ සහ ආකෘති වගේම නිෂ්පාදන හැඩතල අප වශීකරගෙන රස ජනනය කර ඒවාට ආශක්ත කරගත්තා නාට්‍ය නැමැති රෝගී තත්ත්වයෙන් පෙළෙන්න. අපි කවදාවත් සම්මාන හෝ මුදල් සඳහා නෙවෙයි ජනතාව ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනයෑමයි අපේ අරමුණ වුණේ. ඔවුන් හැදුවේ ලෝකප්‍රකට නාට්‍යකරුවන්ගේ නාට්‍ය. අද එවැනි ගුණාත්මක නාට්‍ය බහුලව දකින්න ලැබෙන්නේ නැහැ. ඇසුරක් නැහැ. ඒ නිසා මෙවැනි නාට්‍ය කිරීම මඟින් යහපත් පිවිසුමක් ලැබේය කියා හිතනවා. අපි නව පරපුර විවේචනයට කරනවාට වඩා ඔවුන්ට ප්‍රවීණයන්ගේ නාට්‍ය නරඹන්න අවස්ථාව දිය යුතුයි. නැත්නම් රූපවාහිනිය තදින් ඔළුව වෙනස් කරනවා. මුදල් හෙවීම සඳහා ගුණාත්මක බවින් අඩු ජුගුප්සා ජනක වේදිකා නාට්‍ය හදනවා. ඒ නිසා නාට්‍ය මේ තත්ත්වයෙන් බෙරා ගත යුතුයි.

අනෙක අද රංගශාලාවල ගාස්තුව දරන්න අමාරුයි. ඒ නිසා පිළිතුරක් විදිහට පුළුවන් තරම් අංගසම්පූර්ණ රංගශාලා ප්‍රේක්ෂකයන්ට ලැබෙන්න ප්‍රධාන පාඨශාලා වගේම පළාත් පාලන ආයතනවල ස්ථාපනය කළ යුතුයි. එතකොට රජයට මුදල් වගේම රසිකයන්ට පහසුකම් ලැබෙනවා. ප්‍රදේශයේ නාට්‍යකරුවන්ට වැඩි අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ජාතික නාට්‍ය මධ්‍යස්ථානයක් ඇති කළ යුතුයි. මේවා ක්‍රියාත්මක වුණොත් වේදිකා නාට්‍ය සඳහා හොඳ කාලයක් එන්න පුළුවන්."

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.