හෙට පරපුරේ “සෙවණැලි සහ රූප” 18 වැනිදා

දෙසැම්බර් 12, 2019

මේ කෙටි නාට්‍යය තිබෙන විශේෂතා වන්නේ ඔවුන්ගේ ම නිර්මාණ වීමයි. පාඨමාලාව ඇතුළේ කතා කළ, කතිකාවට ලක් වුණු දේ මඟින් සොයා ගත්ත වස්තු විෂයයන් ඔස්සේයි මේ නිර්මාණ ඔවුන්ගේ සිතේ පිළිසිඳ ගන්නේ. එයයි ඔවුන් නිර්මාණයක් බවට වේදිකාවට ගෙනෙන්නේ.

මෙරට කලා ක්ෂේත්‍රයට දක්ෂ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ඇතුළු විවිධ නිර්මාණකරුවන් බිහි කළ එක් ආයතනයක් වන්නේ ජාතික තරුණ සේවා සභාවයි. ඒ ජාතික තරුණ සේවා සභා නාට්‍ය පාසලේ 2019 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ගේ ‘සෙවණැලි සහ රූප’ කෙටි නාට්‍ය දැක්ම මේ මස 18 වැනිදා පස්වරු 6.00ට බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි නොමිලේ පැවැත්වෙයි. මේ පෙළ ගැසෙන්නේ ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන කෙටි නාට්‍ය උලෙළ පිළිබඳ එහි පාඨමාලා පාඨමාලා සමායෝජක ලෙස කටයුතු කරන රංගන ශිල්පී ප්‍රියන්ත ලලිත් සමඟ ‘සරසවිය’ට කළ සාකච්ඡාවකි.


කාලයක් ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලයි බොහෝ දෙනා අතර ජනප්‍රිය භාවයට පත් වෙලා සිටියේ?


සාමාන්‍යයෙන් ජාතික තරුණ සේවා සභාව තරුණයන් සංවර්ධනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒ අතුරින් එකක් විදියටයි නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමා පාඨමාලා ආරම්භ කරන්නේ. 1998 වසරේ ජුලි 15 වැනිදා. එදා පටන් මේ පාඨමාලාව අඛණ්ඩව පවත්වාගෙන යනවා. එපමණක් නොවෙයි එදා මේ මඟින් බිහි වුණු අය බොහෝ ජනප්‍රියයි. ඒ වගේ ම මෑත කාලයේ අය වුණත් නිර්මාණවලට දායක වෙමින්, ඇගයීම්වලට ලක් වෙමින් ඉන්නවා. 2019 වසරේ පැවැති නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය බවට පත් වන්නේත් 2015 වසරේ මේ නාට්‍ය පාසලේ සිටිය ළමයින්ගේ නාට්‍යයක්.

මේ වන විට ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසල ආරම්භ කළ කාලයට වඩා වෙනස් ආකාරයෙනුයි එය ක්‍රියාත්මක වන්නේ?
මීට ඉහතදි අප මේ පාසලේ ළමයින් පිටත් කළේ සහතිකයකට පමණක් සීමා කරලයි. එහෙත් මා උත්සාහ කළේ එතැනින් එහාට ගිය විපරමක් කරමින්, ඔවුන්ට එයට වඩා යමක් මේ නාට්‍ය පාසල මඟින් ලබා දීමටයි. ඒ අනුවයි මොවුන් අතුරින්ම නාට්‍ය හතරක්, පහක් බිහි කරගැනීමේ උත්සාහයක අප නිරත වුණේ.


‘සෙවණැලි සහ රූප’ කෙටි නාට්‍ය දැක්ම ඉදිරියට පැමිණෙන්නේ ඒ අනුව ද?


ඇත්තටම එහි ප්‍රතිඵලයක් විදියටයි ජාතික තරුණ සේවා සභා නාට්‍ය පාසල ‘සෙවණැලි සහ රූප’ කියන කෙටි නාට්‍ය දැක්ම බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර් එකේ වේදිකා ගත කරන්නේ. ඒ 2017 වසරේ. එය සිදු කරන්නේ පාසලේ ළමයින්ගේ උසස් දියුණු අභ්‍යාසයක් විදියටයි. එහිදී මුල් වතාවට කෙටි නාට්‍ය හතරක් වේදිකාගත වෙනවා. ඉන් සිදු වන තවත් ප්‍රතිඵලයක් වන්නේ ඒ නාට්‍ය උලෙළෙන් බිහි වුණු අශාන් කියන තරුණයා ඒ වසරේ පළාත් සභා කෙටි නාට්‍ය උලෙළේ හොඳම නළුවා බවට පත් වීමයි.

ඒ වගේ ම ඔහු අදටත් රාජිත දිසානායක, ප්‍රියංකර රත්නායක ආදී වේදිකාවේ නමක් දිනාගෙන සිටින නිර්මාණකරුවන්ගේ නිර්මාණවල නළුවකු විදියට කටයුතු කිරීමත් ඉන් ලැබූ යම් ජයග්‍රහණයක්. එවැනි නිර්මාණකරුවන් රැසක් අද කලා ක්ෂේත්‍රයට දායද වී සිටිනවා.


ඒ ආකාරයෙන් ඇරැඹුණු නාට්‍ය උලෙළ එදා පටන් අද දක්වාම මේ ආකාරයෙන් වේදිකා ගත වෙනවා?


ඔව්. ඒ කෙටි නාට්‍ය උලෙළෙයි මේ වසරේ සිටින ළමයින්ගේ දායකත්වයෙන් එළිදැක්වෙන්නේ. එහිදී අරවින්ද ප්‍රභාත්ගේ ‘ලිමිනියා’, චතුරංග පෙරේරාගේ ‘ඹ්ඥබ’ඵ ර්චපපර’, හසිත් වෙත්තසිංහගේ ‘තවත් ණයක්’, ජයනි කළුආරච්චිගේ ‘මස් ලොරිය’ යන කෙටි නාට්‍යයි වේදිකා ගතවන්නේ. ‘ඹ්ඥබ’ඵ ර්චපපර’හි රචනයෙන් චතුරංග පෙරේරාත්, රංගනයෙන් දිනූෂ ප්‍රතිභා, සඳුනි වරංගනාත්, ‘තවත් ණයක්’හි රචනයෙන් හසිත් වෙත්තසිංහත්, රංගනයෙන් ගයාන් සඳකැලුම්, පුබුදුනී එරන්දි, හසිත් වෙත්තසිංහ, කාවින්ද චතුරංග, නිවර්තනා සොනාලි, රවිඳු ස්වරංජන, හසිත චාමරත්, ‘මස් ලොරිය’ හි රචනයෙන් ජයනි කළුආරච්චි, රංගයෙන් සිතුම් පෙරේරාත්, ජයනි කළුආරච්චිත් ඇතුළු ශිල්පීන් ශිල්පිනියන් රැසක් සහය වෙනවා. මෙහි ‘ලිමිනියා’ කෙටි නාට්‍යය නිර්මාණය වී තිබෙන්නේ ග්‍රීක නාට්‍යයක ආකාරයෙන්. එමෙන්ම එය ස්වත්‍රන්තයක්.

එහි රංගනයෙන් මිලාන් කාවින්ද, සචිනි කල්හාරි, පුබුදුනි එරන්දිත්, ගායන වෘන්දයෙන් යෝෂිකා දුලාංජලී, සයුරිකා ද පීරිස්, තරූෂා දිමල්කි, ශශිකා නේරංජි, චතුරිකා විතානාච්චි, මධුෂානි විතානාච්චි, සඳුනි නිමේෂා‍, ඉෂානි උපේක්ෂා, හසිත චමර, ලහිරු සඳරුවන් යන ශිල්පීන් ශිල්පිනියන් රැසකගේ දායකත්වයෙනුයි මේ නාට්‍ය උලෙළ වේදිකා ගත වන්නේ.
ඔබට මා ආරාධනා කරන්නේ ඔවුන්ගේ කලා ගමනට අත්පුඩියක් ගහලා ශක්තියක් වෙන්න මෙහි පැමිණෙන්න කියලයි.


මේ කෙටි නාට්‍යවල තිබෙන විශේෂතා මොනවා ද?


මේ කෙටි නාට්‍යය තිබෙන විශේෂතා වන්නේ ඔවුන්ගේ ම නිර්මාණ වීමයි. පාඨමාලාව ඇතුළේ කතා කළ, කතිකාවට ලක් වුණු දේ මඟින් සොයා ගත්ත වස්තු විෂයයන් ඔස්සේයි මේ නිර්මාණ ඔවුන්ගේ සිතේ පිළිසිඳ ගන්නේ. එයයි ඔවුන් නිර්මාණයක් බවට වේදිකාවට ගෙනෙන්නේ. මේ නිර්මාණ නාට්‍යයක් බවට පත් කිරීමේදී ඒ සියලු කටයුතු සඳහා ඔවුන් සහය කරගනු ලබන්නේ නාට්‍ය පාසලේ ම ළමයින් වීම අනෙක් විශේෂ කාරණයයි.

එනම් රඟපෑම, වේදිකා පරිපාලනය, අංගරචනය, සංගීතය, පසුතල ආදි සියලු කටයුතු සඳහා සහාය වන්නේ ඔවුන්ගේ සහෝදර ශිෂ්‍ය - ශිෂ්‍යාවන්. අවසානයේ ඔවුන්ගේ ඇඳුම් නිර්මාණය කරගැනීමට ඒවා මැසීම සඳහා මැෂිමක් අරගෙන ඇවිත් ඒවා මසන්න තරම් ඔවුන් උනන්දු වුණා. වේදිකා පසුතල නිර්මාණය කිරීමට ඔවුන් පෙලඹුණා. ඒක තරුණ සේවා සභා නාට්‍ය පාසල ලෙස අප ලද ජයග්‍රහණයක් විදියටයි මා දකින්නේ.


මේ නාට්‍ය පාසලට සම්බන්ධ වන සියල්ලන් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වේවි කියලා ඔබ සිතනව ද?


මේ පාඨමාලාවේ තිහක් පමණ දරුවන් පිරිසක් ඉගෙන ගන්නවා. ඔවුන් සියල්ලන් එහි ඉඳීවි ද කියලා නම් මට කියන්න බැහැ. එහෙත් අපේ උත්සාහය එවැනි පිරිසක් මේ කලාව ඇතුළේ රඳවා ගැනීමයි. ඒ සඳහායි කලාත්මක විවේකයක් හැර, තරුණයා අයාලයේ නොයන, එක ආකෘතියක් ඇතුළේ, රාමුවක් ඇතුළේ හිර කරගෙන, රාමුව ඇතුළේ විවිධ තැන්වලට යන්නයි අප නාට්‍ය පාසල දියත් කරලා තියෙන්නේ. සමහර වෙලාවට ළමයින්ට මහන්සියි.

අපි ඔවුන්ට කියන්නේ මහන්සි නොවී දුවන්න උත්සාහ කරන්න යන්නයි. නාට්‍ය දකින්න, ඒවා ගැන සොයන්න; බලන්න; කියවන්න‍; විචාරශීලි වෙන්න කියන කරුණු කාරණා එක්කයි නාට්‍ය පාසල ඔවුන්ව ගොඩනඟලා එක තැනකට ගෙනැත් තිබෙන්නේ. මේ කෙටි නාට්‍ය උලෙළ එහි ප්‍රතිලාභයයි. මේ අද දකින්නට ලැබෙන්නේ ඔවුන්ම සජීවව කරන, ඔවුන්ම ඔවුන් තුළින් නිර්මාණයක් කරන්න වුවමනායි කියන රණ්ඩුව කරගත්ත, මෙහෙම නිර්මාණයක් කළ යුතුයි කියලා සිතූ සිතිවිලිවල ප්‍රතිඵලයයි.


ඒ ප්‍රතිඵලය අනුව බිහි වුණේ කෙටි නාට්‍ය කොපමණ සංඛ්‍යාවක් ද?


මුලින්ම කෙටි නාට්‍ය දාහතක් බිහි වුණා. ඉන් තෝරා ගැනුණු විශේෂ තෝරාගත් කෙටි නාට්‍ය හතරකුයි මේ ‘සෙවණැලි සහ රූප’ කෙටි නාට්‍ය උලෙළට ඉදිරිපත් වන්නේ. එහෙත් ඒ බිහි වුණු සියලු කෙටි නාට්‍ය කෙටි නාට්‍යයක් විදියට දියුණු කළ හැකි නිර්මාණයි. එයයි මෙහි තිබෙන විශේෂත්වය වන්නේ.


මෙලෙස ඔබලාගේ විෂය නිර්දේශය අනුව නිර්මාණය වුණු කෙටි නාට්‍ය සියල්ල එකතු කර ඔබ කෙටි නාට්‍ය ශිල්පීන් හා ශිල්පිනියන්ව ඇගයීමට ලක් කරන්නේ පළමු වරට නේද?


2007 වසරේ කෙටි නාට්‍ය දැක්මක් පවත්වා ඒ අය එළියට යවන්න මා අදහස් කළා වගේ ම මෙවරත් මා උත්සාහ කළේ ඔවුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණය දිනයේදි වෙනත් විදියකට ඔවුන්ට ඇගයීමකට ලක් කිරීමටයි. ඒ නිසා මා තරුණ සේවා සභාවට බරක් නොවන ආකාරයෙන් ප්‍රතිපාදන සොයාගෙන මේ කෙටි නාට්‍ය දාහතේ හොඳම නළුවා, නිළිය, හොඳම සහය නළුවා, නිළිය, හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම අංගරචනය, හොඳම ඇඳුම් නිර්මාණය කියන අංශ සඳහා සම්මාන ලබාදීමක් සිදු කළා. පසුගිය නොවැම්බර් 22 වැනිදා ඒ කටයුත්ත සිදු කරනු ලැබු‍වේ සම්මාන උලෙළක ආකාරයෙන්. මා හිතන්නේ ඔවුන් ජීවිතයට පළමු වරට අතට ගත් ඒ සම්මානය ඔවුන්ගේ ජීවිතයට ආලෝකයක් ලබා දේවි ය යන්නයි. ඔවුන්ට කලාවට පිවිසෙන්න එය පාලමක් කර ගනීවි යැයි මා සිතනවා.


මෙහි කලා ක්ෂේත්‍රයට බොහොම අඩුවක්ව පවතින පිටපත් රචකයන් කිහිපදෙනකු ද එළිදකිනවා
මේ ප්‍රායෝගික පරීක්ෂණය දිනයේදී අලුත් පිටපත් රචකයන් 10ක් වැනි ප්‍රමාණයක් එළිදකිනවා. ඒ පිටපත් හොඳ තැනක තිබෙන බව විනිශ්චය මණ්ඩලය මඟින් ඔප්පු වෙනවා. මේ නිර්මාණ 10ම වේදිකාවට ගෙනෙන්න බැහැ. ඉන් කිහිපයක් පමණයි අපට 18 වැනිදා වේදිකා ගත කරන්න ලැබෙන්නේ. මේ වන විට ඔවුන් සිය නිර්මාණ යොවුන් නාට්‍ය උලෙළට දැමීම සඳහා සූදානම් වන බවකුයි පෙනුණේ. ඉදිරියේදිත් මේ පාඨමාලාව දිගටම පැවැත්වෙනවා. නොමිලේ පැවැත්වෙන මේ පාඨමාලාව සඳහා ලබන වසරට අයදුම්පත් භාර ගැනීම මේ දිනවල සිදු කරනවා. එයට කැමැත්තක් දක්වන අයට ඒ සඳහා ඉදිරිපත් විය හැකියි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.