චෝදනාවක් නොවේ අකුසල කර්මයක්

තිලානි ශානිකා විතානාච්චි
දෙසැම්බර් 26, 2019

මෙරට බෞද්ධ ජනතාවගේ ආදරයට පාත්‍ර වූ ජාතක පොත ඇසුරින් ක්‍රිශාන්ත වීරමන් නිර්මාණය කරන ලද ‘පදමානවක’ වේදිකා නාට්‍යය මේ මස 28 වැනිදා බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි වේදිකා ගතවෙයි. මේ නාට්‍යය වේදිකා ගත වන්නේ ක්‍රිශාන්ත වීරමන්ගේ කලා ජීවිතයට වසර විස්සකටත් වඩා කාලයක් ගතවීම මූලික කර ගනිමිනි.

ඔබගේ කලා ජීවිතය ආරම්භ කරන්නේ මොනවගේ කාලයක ද?

හරියටම 1994 වසරේ. ‘ඌ ඈ කෑ මැතිවරණය’ කියන දේශපාලන වේදිකා නාට්‍යයේ රඟපෑමත් සමඟයි මා කලාවට අවතීර්ණය වන්නේ. මෙහිදී මා මතකයට නැඟිය යුත්තේ ‘ලා හිරු දහසක්’ ටෙලි නාට්‍යයේ කථාංග නළුවා වන රෝහිත සමරවීරයි. මා කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඔහු ඇසුරෙයි. එතැන් පටන් වේදිකා නාට්‍යය වගේ ම ටෙලි නාට්‍ය රැසකටම මා රංගනයෙන් හා සහය අධ්‍යක්ෂණයෙන් සහභාගි වෙනවා.

ඒ නිර්මාණ මොනවා ද?

‘උතුරේ රාහුල’, ‘බොරැල්ලේ ගෙදර’, ‘තිප්පොළ’, ‘නෙයිනගේ සූදුව’, ‘රජ කපටියෝ’ වගේ වේදිකා නාට්‍යවල මා රඟපෑවා. ඒ වගේම ‘ගංගා සහ නිශ්ශංක’, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ ‘මාරුතය’, සුනිල් සෝම පීරිස්ගේ ‘පිස්සු ට්‍රිබල්’ චිත්‍රපටයේ රඟපෑමෙනුත්, ධර්මසේන පතිරාජගේ ‘බවකඩතුරාව’ තුන්වැනි සහය අධ්‍යක්ෂවරයා විදියටත් කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණා. මේ අතර මගේ ම වේදිකා නාට්‍ය කිහිපයකුත් මා අධ්‍යක්ෂණය කරනවා. ‘සිටුකුමරියගේ රන්තලිය’, ‘බලාපොරොත්තුව’, ‘චරිත තුනක්’, ‘ඉන් අනතුරුව’ යි. මා අධ්‍යක්ෂණය කරන චිත්‍රපට වන්නේ ‘වියරු මායා’, ‘මතට තිත’, ‘කුමරු ඡත්ත මානවක’යි. මගේ අලුත් ම වේදිකා නාට්‍යය වන්නේ ‘පදමානවක’යි.

‘පදමානවක’ ඔබ චිත්‍රපටයක් විදියටත් තිරයට ගෙනෙන්නයි සූදානම් වන්නේ?

‘පදමානවක’ වේදිකා නාට්‍යයක් ලෙස වගේම චිත්‍රපටයක් ලෙසත් මා නිර්මාණය කළා. එහි වැඩ කටයුතු කිරීමට සිටි කාලයේදියි එහි ප්‍රධාන නළුවා වුණු මාක් සැම්සන් මිය ගියේ. යළිත් ලබන වසරේ එහි කටයුතු ආරම්භ කිරීමටයි අප සූදානම් වන්නේ. ඒ වගේ ම මගේ චිත්‍රපට දෙකක් ලබන වසරේ තිරගත වීමට නියමිතයි. ඒ ‘කුමරු ඡත්ත මානවක’, ‘හිතත් හොඳයි වැඩත් හොඳයි’ කියන චිත්‍රපටයි. ලබන මාසයේ සිට ‘සදහම් වරුසා’ නමින් පෝය ටෙලි නාට්‍ය මාලාවක් අධ්‍යක්ෂණය කිරීමටත් මා සිතාගෙන ඉන්නවා.

‘පදමානවක’ වේදිකා නාට්‍යය මඟින් ඔබ පවසන්නේ කුමක් ද?

මේ නාට්‍යය නිර්මාණය වෙන්නේ පන්සිය පනස් ජාතක පොතේ එන පදමානවක ජාතකය මුල් කරගෙනයි. වරදේ බැඳීිමේ සාපය නිසා අශ්ව මුහුණක් සහිත යක්ෂණියක ලෙස ඉපදුණු රජ බිසවකගේ අනුවේදනීය කතාවයි මේ නාට්‍යය මඟින් දිග හැරෙන්නේ.

වේදිකා නාට්‍යයක් සඳහා ඔබ පන්සිය පනස් ජාතක පොතේම එන කතාවක් තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවා ද?

බෞද්ධයෝ හැටියට අපේ කතා නායකයා වනනේ බුදු හාමුදුරුවෝයි. උන් වහන්සේ අපට ගොඩක් කතා දායාද කරලා තිබෙනවා. එහෙම නම් අපේ හිත මේ නොයෙක් කසිකබල් දේවල්වලට යොමු කරනවාට වඩා මෙවැනි බෞද්ධ තේමාවකට යොමු විය යුතු යැයි මා සිතුවා. පන්සිය පනස් ජාතක පොතේ කතා ගොඩක් තිබුණා. ඒ අතුරින් බුදුන් වහන්සේගේ පෙර භවයක උත්පත්තිය රැගත් මේ කතාව මා තෝරා ගත්තා. අනෙක් කාරණය නම් බොහෝ දෙනකු බෞද්ධ කතා වේදිකාවට ගෙනාවත් ඒ කතාවේ ආකාරයෙන්ම වේදිකාවට අරගෙන එන්නේ නැහැ. මෙහි තිබෙන විශේෂ බව නම් පදමානවක ජාතකයේ විදියටමයි මා වේදිකා නාට්‍යයත් නිර්මාණය කරන්නේ.

පදමානවක ජාතක කතාව මඟින් කියැවෙන්නේ කාන්තාව පිළිබඳයි?

මේ නාට්‍යය කාන්තාවන්ට විශේෂයි. කාන්තාවකගේ අනියම් ඇසුරක් නිසා සිදු වන ඝට්ටනයකුයි මේ කතාව ඇතුළේ ගොඩනැඟෙන්නේ. තම ස්වාමියාට බොරු කියමින් වෙනත් පුරුෂයකු ඇසුරු කිරීමට යොමු වුණු කාන්තාවක් වටා ගෙතුණු කතාවකුයි පදමනාවක මඟින් සංවේදිව මා ගෙන එන්නේ. ඈ අවසානයේ උපදින්නේ අශ්ව මුහුණක් සහිතවයි. ඈට එසේ ඉපදීමට සිදු වන්නේ ඈ කරන ලද බොරුවට කරන ලද ශාපයක් නිසයි. ඒක බොහොම ලස්සන සංවේදි කතාවක්. ආදර්ශවත් කතාවක්.

ඒ සංවේදි කතාව දිගහැරෙන්නේ කොහොමද?

මේ නාට්‍යයේ සිදු වීම් පෙළ ගලාගෙන යන්නේ බිසව රජුට හොරෙන් කරන අනියම් ප්‍රේමයක් මූලික කරගෙනයි. නාට්‍යයේ මුල් භාගය වෙන් වී තිබෙන්නේ මෙසේ රජ බිසවගේ අනියම් ප්‍රේමය හසු වීමත් ඇයට මරණීය දණ්ඩනය නියම කිරීමත් කියන කාරණය මූලික කරගෙනයි. විවේකයෙන් පස්සෙයි යක්ෂණියක් විදියට වෙසමුණි රජුගෙන් වරමක් ඉල්ලීම හා ඈ පුරුෂයකුට ආදරය කිරීම, පදමානවක කුමාරයාගේ උත්පත්තිය ආදි කාරණා දිගහැරෙන්නේ. විවේකයෙන් පසු යන්නේ පදමානවක කුමාරයාගේ කතාවයි.

මෙහි රඟපෑමෙන් සහභාගි වන පිරිස කවුරුන් ද?

ප්‍රවීණ සටන් නළුවකු වන සුමිත් මුදන්නායක, නිශානි තෙන්නකෝන්, සමන් සුජීව, ටෙක්ලා ප්‍රින්සි, අමිල චින්තක ගමගේ, ක්‍රිශාන්ත වීරමන්, ඩික්ෂන් ජෙරාජ්, අචිනි රාජපක්ෂ, පදමානවක කුමාරයා ලෙස චිරාගත වීරබද්ධනආරච්චිත් මෙහි රංගනයෙන් දායක වෙනවා. අංගරචනයෙන් අරවින්ද කමල්, නිෂ්පාදනයෙන් නිශානිත් පදමානවක සඳහා සහය වනවා.

පදමානවක නාට්‍යය මඟින් ඔබ කාන්තාවට යම් චෝදනාවක් ඉදිරිපත් කරනවා ද?

අපි ඇයට චෝදනාවක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒත් කාන්තාවක් කරන ලද අකුසල් කර්මයක් ගැනයි මෙහිදී කතා කරන්නේ. මේ වගේ දෙයක් කළොත් මේ වගේ දෙයක් සිදු වේවි කියන අදහසයි අප සමාජ ගත කරන්නේ. ඒ නිසා ඒ මඟින් ඉදිරිපත් කරන්නේ ආදර්ශයක්. මේ නාට්‍යයට කිසිම දෙයක් අප අතින් දැම්මේ නැහැ. ඒ නිසා මේ නිර්මාණය මා කළේ කාන්තාවන්ට ගැරහීමට නොවෙයි. බුදුන් වහන්සේ මේ කතාවෙන් කියලා තිබෙන්නේ කාන්තාව මේ විදියට හැසිරුණු නිසා මෙවැනි ප්‍රතිඵල විඳීන බවයි. එයයි අපි නාට්‍යයට ගෙනාවේ.

රජ බිසව වගේ ම පුරුෂයාත් හැසිරුණා නම් ඔහුටත් මේ දේම ද සිදු වන්නේ?

මෙවැනි වැරැද්දක් කවුරුන් කරත් වැරැදියි. මේ කතාව ඇතුළේ බුදු හාමුදුරුවන් පවසා තිබෙන්නේ දෙන්නාගෙන් කවුරුන් හෝ කෙනකු මෙවැනි වැරැද්දක් කර ශාපයක් ලැබුවොත් ඒ ශාපයට ඔවුන් මුහුණ දිය යුතු බවයි. ඒක ගැහැනිය ද පිරිමියා ද යන්න වැදගත් නැහැ. ප්‍රේක්ෂකයාට අවබෝධ වන කාරණය නම් වැරැද්ද කවුරුන් කළත් වැරැද්දම බවයි.

ඔබ කිසිම නිර්මාණශීලි වෙනසක් නොකරයි පදමානවක ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්නේ?

ජාතක කතාවක් නිර්මාණයකට ගත්තට පස්සේ අපට ඕන විදියට වෙනස් කරන්න බැහැ. අනෙක් කාරණය නම් ප්‍රේක්ෂකයන් මේ කතාව වෙනස් කළා කියලා නඟන චෝදනාව අහන්න මා කැමැති නැහැ. නිර්මාණකරුවකු විදියට මා කතාවට අවශ්‍ය දේ යොදලා තිබෙනවා. එහි ගුණාංග සියලු දේ එහි ගැබ්ව තිබෙනවා. එයට අමතරව ගීත තුනක් යෙදුවා. ඒ කතාව අලංකාර කිරීම සඳහායි. ප්‍රේක්ෂකයන්ගේ රසවින්ඳනය වර්ධනය කිරීම සඳහායි.

ඔබ පවසන ආකාරයට ජාතක පොතේ නිර්මාණ කිසිම වෙනසක් කළ නොහැකි වුවත්, බෞද්ධ සාහිත්‍යයේ එන නිර්මාණ ඕනෑ තරම් සමාජයට අදාළ පරිදි වෙනස් කරමින් කළ නිර්මාණ බොහොමයි.

මෙය එවැනි නිර්මාණයක් නොවෙයි. මොකද මේ නිර්මාණය මා වෙනස් කළා නම් සමහර විට උගත් මහානායක හිමිවරු ප්‍රශ්නයක් ඇති කිරීමට ඉඩ තිබෙනවා. මනමේ වැනි කතාවලට වඩා වෙනස් කතාවකුයි මේ පදමානවක ජාතකයෙන් දිගහැරෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ උත්පත්ති කතාවකුයි මෙහි ඇතුළත් වන්නේ. පදමානවක කුමාරයා කියන්නේ එක කාලයක බුදුහාමුදුරුවොයි. ඒ කතාව වෙනස් කරලා මට වුවමනා දේ දැමුවොත් මේ කතාව සම්පූර්ණයෙන් ම වෙනස් වෙනවා. ඒ නිසා මේ කතාවේ වුවමනා කරන අදහස තිබෙනවා. එහෙම නම් ඇයි තවත් දේවල් මේ කතාවට මා එකතු කරන්නේ. ඒ නිසා මෙහි නියම ස්වරූපය නැරැඹීමට නම් ප්‍රේක්ෂකයන්ට වේදිකාවට පැමිණීමට ම සිදු වෙනවා. ඒ සඳහා මා ඔවුන්ට ආරාධනා කරනවා.

 

ටෙනිසන් එදිරිසිංහ