‘බ්රේන් වොෂ්’ කරමුද?

ජනවාරි 2, 2020

මෙවර යොවුන් නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය ඇතුළු සම්මාන අටක් දිනා ගත් ලහිරු ප්‍රසාද්ගේ ‘බ්‍රේන් වොෂ්’ අභිරූපණය මූලික කරගත් වේදිකා නාට්‍යයකි. කැබිතිගොල්ලාව නම් ග්‍රාමයෙන් උපත ලද ඔහු තවමත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. මේ සිය නිර්මාණය ගැන ඔහු පැවසූ අදහස් කිහිපයකි.

 

‘බ්රේන් වොෂ්’ නිර්මාණය වන්නේ කොහොම ද?

මුලින්ම ‘බ්රේන් වොෂ්’ නාට්‍යය ගොඩනැඟෙන්නේ කෙටි නාට්‍යයක් විදියට. ඒ 2017 වසරේ විශ්වවිද්‍යාලය ඇතුළේ. ඒත් මේ නාට්‍යය ටෙහ්රාන් විශ්වවිද්‍යාලයේ නාට්‍ය උලෙළ සඳහා විනාඩි 45ක් තරම් කාලය දික් කරලා මා යළිත් දිගු නාට්‍යයක් විදියට ගොඩනඟනවා. හරියටම ඒ 2019 අප්‍රේල් මාසයේ. එයට පසුවයි මා ‘බ්රේන් වොෂ්’ නාට්‍යය යෞවන නාට්‍ය උලෙළේ දිගු නාට්‍ය අංශයට පසුගිය කාලයේ ඉදිරිපත් කරන්නේ.

මේ ලැබූ ජයග්‍රහණය ලබා ගන්නේ ඔබගේ පළමු නිර්මාණයෙන්මයි?

ඔව්. ‘බ්රේන් වොෂ්’ තමයි මගේ පළමු නිර්මාණය. මේ නාට්‍යයට හොඳම නාට්‍ය ඇතුළු සම්මාන අටක් ලැබෙනවා. හොඳම නළුවා හා හොඳම නාට්‍ය නිෂ්පාදනය, රංග වින්‍යාසයට මටත්, හොඳම හොඳම ආලෝකකරණයට චාමර සඳරුවන්, හොඳම වේශ නිරූපණයට මදූකා ලක්ෂානි සහ රන්දික, හොඳම ඇඳුම් නිර්මාණයට රිද්මා ලක්සරණී, හොඳම සංගීතයට හේෂාන් කුරුප්පු, හොඳම වේදිකා පරිපාලනයට බිමල් රසාංජය සහ මිහිරි කාංචනා යන අයටයි සම්මාන හිමි වන්නේ.

ඔබත් නාට්‍ය කිරීම අරඹන්නේ පාසල් කාලයෙන් ද?

මගේ ගම කැබැතිගොල්ලෑව. අ.පො.ස.සාමාන්‍ය පෙළ දක්වා කැබැතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුව මා අනුරාධපුරය මාංකඩවල මහා විද්‍යාලයට පිවිසන්නේ උසස් පෙළ හදාරන්නයි. එහිදි මා නාට්‍ය හා රංග කලාව විෂයයක් විදියට හැදෑරුවත් නාට්‍ය කටයුතුවල නියැළෙන්නේ නැහැ.

එහෙම නම් ඔබට නාට්‍ය කලාව ගැන කැමැත්තක් ඇති වෙන්න බලපෑම් කළේ මොන වගේ සිද්ධියක් ද?

රඟපෑම ගැන මගේ සිතේ කැමැත්තක් ඇති වෙන්නේ මා කුඩා කාලයේදිමයි. ඒ කියන්නේ මා එතකොට ඉගෙන ගන්නේ 7 වසරේ. මට නෑදෑකමින් පුංචි වුණු ඈ ඉගෙන ගත්තේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ. ඈ කරන ලද නාට්‍යයකටයි මා මුලින්ම රංගනයෙන් සහභාගි වන්නේ. ග්‍රාමීය නාට්‍ය උලෙළකට කළ ඒ නාට්‍යයේ මා කළ රංගනයට මට හොඳම නළුවා විදියට සම්මාන ලැබෙනවා. මේ ආසන්න සිදු වීම මගේ සිතේ නාට්‍ය කිරීමේ උණක් නිර්මාණය කරනවා. ඒ නිසා ම අධ්‍යාපන කටයුතු අවසන් වූ පසුව මා කරන්නේ ප්‍රසන්නජිත් අබේසූරිය සර්ගේ නාට්‍ය වැඩමුළුවකට සම්බන්ධ වීමයි. මාව, ඔහුයි තරුණ සේවා සභාවෙන් කරන නාට්‍ය පාසලට යොමු කරන්නේ. ඉන් පසුවයි මා නාට්‍ය කිරීම පිළිබඳ උනන්දු වන්නේ. විශ්වවිද්‍යාලයට ඇතුළු වීමෙන් පසුව එය වඩාත් වර්ධනය වුණා.

යෞවන නාට්‍ය උලෙළට වුවමනා විදියට ඔබ ‘බ්රේන් වොෂ්’ නිර්මාණය කළා?

මුලින් මගේ නාට්‍ය කණ්ඩායමයි යෞවන නාට්‍ය උලෙළට ‘බ්රේන් වොෂ්’ කෙටි නාට්‍යයක් විදියට ඉදිරිපත් කරමු යන යෝජනාව කරන්නේ. එහෙම වුණත් මගේ තනි මතයටයි මේ නාට්‍යය දිගු නාට්‍යයක් විදියට මා යෞවන සම්මාන උලෙළට ඉදිරිපත් කරන්නේ. එහෙම කරන්න මා පෙලඹෙන්නේ මේ නාට්‍ය පිළිබඳ මගේ සිතේ තිබුණු විශ්වාසයයි. ඒ වගේම එයට බලපෑ අනෙක් කාරණය මගේ නාට්‍ය කණ්ඩායමේ කැපවීමයි.

‘බ්රේන් වොෂ්’ නිර්මාණය වෙන්නේ අනෙක් නාට්‍යය කරන ආකාරයට වඩා වෙනස් විදියකට?

අපේ විශ්වවිද්‍යාලයෙන් වසරක් පාසා සංවිධානය කරන නාට්‍ය උලෙළට අභිරූපණ නාට්‍යයක් ඉදිරිපත් කිරීම විවිධ බවක් ගෙන දෙන කලාවක් විදියටයි සලකන්නේ. නාට්‍ය උලෙළකට අභිරූපණ නාට්‍යයක් (මයිමින්) ඉදිරිපත් කිරීම ආලෝකයක් විදියටයි සලකන්නේ. මගේ වසරට කලින් ඉන්න වැඩිහිටි අයියලා තමයි අභිරූපණ නාට්‍යයක් කරන්න යැයි මට යෝජනා කරන්නේ. ඒත් මේ නාට්‍යය ගොඩනැඟෙන්න ලොකු අදහසක් මගේ සිතේ තිබුණේ නැහැ. ඉන් පස්සේ මා කරන්නේ මේ නාට්‍යය කරන්න අවශ්‍ය ශිල්පීන් තෝරා ගැනීමට වැඩමුළුවක් පැවැත්වීමයි. ශිල්පීන් තෝරා ගත්තට පස්සෙයි අප මේකට නමක් සොයන්නේ.

‘බ්රේන් වොෂ්’ සඳහා වන භාෂාව වන්නේ අභිරූපණයයි?

මෙහි කිසිම දෙබසක් භාවිත වන්නේ නැහැ. ඒ නිසා එවැනි නාට්‍යයකට සංගීතය භාවිත වුණත් එය ට්‍රැක් එකක් ආකාරයෙනුයි භාවිත කරන්නේ. ඒත් අප මෙහිදී සංගීතයක් සැපයෙනවා. ඒ සජීවවයි. ඒ නිසා මේ නාට්‍යය ගොඩනැඟෙන්නේ පර්යේෂණයක් ආකාරයෙන්. එසේ වීමට තිබෙන සාධක නම් සජීව සංගීතයත් සමඟ සජීව රංගනයත් භාවිත කිරීමයි.

මෙහි පිටපත ලියන්නේත් ඔබ ම ද?

ඔව්. නාට්‍යය හැදුණාට පස්සෙයි පිටපත ලියැවෙන්නේ. පිටපත ලියන්න පෙර අපට චරිත කිහිපයක් පමණයි තිබුණේ. ඒත් නාට්‍යය කරන්නේ කොහොම ද? නාට්‍ය අවසන් වෙන්නේ, ආරම්භ කරන්නේ, කතාව ගලාගෙන යන්නේ කොහොම ද කියන කාරණා ගැන පිටපතක් අපට තිබුණේ නැහැ. ක්ෂණික නිරූපණ කරමිනුයි මා පිටපත ගොඩනඟා ගත්තේ.

එහෙත් ඕනෑම නාට්‍යයක් ගොඩනැඟීමට යම් යම් කතා වින්‍යාසයක් තිබිය යුතුයි?

‘බ්රේන් වොෂ්’ සඳහා මා අර ගත්තේ සමාජයේ සිටින චරිත කිහිපයක්. මේ චරිත මඟින් මා ඉදිරිපත් කරන්නේ විවිධ බවක් තිබෙන සමාජයේ මිනිස් හැසිරීම්. ඒ හැසිරීම් හා සංස්කෘතික මිනිසාගේ පැවැත්ම කොහොම ද අභිරූපණය හා ශරීර භාෂණ ක්‍රම මඟින් නාටකීය ආකාරයෙන් ප්‍රේක්ෂකයාට දෙන්නේ කියන කාරණයයි මා මේ නාට්‍යයෙන් කතා කරන්නේ. එහිදී අභිරූපණය මඟින් ප්‍රේක්ෂකාගාරය සංවේදීව සංතර්පණය කරන්නේ කොහොම ද කියන කාරණයයි මා විමසා බලන්නේ. මේ කතාව සැලුන් එකකයි මුලින්ම ගොඩනැඟෙන්නේ. එතැන සිටිමිනුයි කතාව විහිදෙන්නේ. අවසානයේ මිනිසුන්ගේ මොළය සෝදන තැනට පත් කරන ප්‍රශ්නයක් අප ප්‍රේක්ෂකාගාරයෙන් විමසනවා. ඒ මේ සමාජය ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේ දැයි යන්නයි. මේ සමාජයට දැඩි බල අධිකාරයක් තිබෙන මිනිහෙක් ආවට පස්සේ ඒ බල අධිකාරය වැඩි පුද්ගලයාගේ කීමටයි අප යටත් වෙලා වැඩ කරන්නේ. ඇත්තටම අප එහෙම යටත් වෙනවා ද? නැත් නම් අප ජීවත් වෙන්නේ කොහොම ද? කියන කාරණයයි මා ප්‍රේක්ෂාගාරයෙන් විමසන්නේ.

ප්‍රේක්ෂකයාට අභිරූපණය මඟින් යම් කාරණා පැහැදිලි කිරීම පහසු නැහැ. ඒ සඳහා ඔබ අනුගමනය කළ පිළිවෙළ කුමක් ද?

මෙතැනදි මට එල්ල වුණු අභියෝගය වුණේ මගේ අදහස ප්‍රේක්ෂකාගාරයට දැනෙන ආකාරයෙන් කියන්නේ කොහොම ද කියන කාරණයටයි. ප්‍රේක්ෂකයන් මෙතෙක් හුරු වී තිබෙන්නේ දෙබස් සහිත නාට්‍යය නරඹන්නයි. එහෙත් ඉන් එහා ගිය අලුත් දෙයක් ඉදිරිපත් කළොත් අපට ඔවුන් සමඟ ඒ සම්බන්ධතාව තබා ගත හැකියි යන මතයෙයි මා සිටියේ. එවිට අභිරූපණයක් මඟින් කතාවක් කියන්නේ කොහොම ද කියන කාරණයේදි ඒ ඒ දේ ගොඩනඟා ගන්න මාස අටක කාලයක් පුහුණු වීම් කරන්න අපට සිදු වුණා. එතැනදි මට තිබුණු අභියෝගය වුණේ මේ ගොඩනඟා ගත්ත දේ ප්‍රේක්ෂාගාරය කොහොම භාර ගනීවි ද කියන ගැටලුවයි. ඒත් නාට්‍යය අවසානයේදි ඒ ගැටලුව විසඳුණේ ප්‍රේක්ෂකයන් ඒ අභිරූපණ වඩාත් හොඳීන් වටහා ගෙන මට දක්වන ලද විවිධ ප්‍රතිචාරවලින්.

අභිරූපණය දැක්වීම සඳහා යොදා ගන්න වේශනිරූපණයේදී ඔබ යම් විශේෂයක් සිදු කළා ද?

එහිදි මා කළේ චරිතය ගොඩනඟා පෙන්වීම පමණයි. සාමාන්‍යයෙන් අභිරූපණයේදී අප යොදා ගන්නේ වයිට් කලර් එකක්. එහෙත් මා මේ නාට්‍යයේදි යොදා ගත්තේ සාමාන්‍ය නාට්‍යයක යොදන වේශනිරූපණයක්. එහි තිබෙන විශේෂ බව වන්නේ චරිතය ඉස්මතු වන ආකාරයෙන් එය යොදා තිබීමයි. උදාහරණයක් විදියට පෞද්ගලික ලේකම්ගේ හෙයාර්ස්ටයිල් එක ගත හැකියි.

ඔබගේ අදහස කියන්න ඔබ සමාජයේ ජීවත් වන චරිතවලින් යොදා ගත්තේ මොන වගේ චරිත ද?

මේ නාට්‍යයේ ඉන්නේ බාබර් කෙනෙක්. ආදරයෙන් පැරැදුණු ලවර් කෙනෙක්. සංගීතකරුවෙක්. හාමුදුරුවෝ කෙනෙක්. පෞද්ගලික ලේකම් කෙනෙක්. වැඩි බල අධිකාරයක් තියාගෙන ඉන්න පුද්ගලයෙක්. ඔහු සෙබළෙක්. මේ චරිත වටායි කතාව විදහා දැක්වෙන්නේ. මෙහි රංගනයෙන් චංචලා ශෙහානි, ඉසුරු මධුශාන්, බිනෝලි මහේෂිකා, බිමල් රසාංජය, ඩිලාන් ගුණහේරත් කියන නළු නිළියන් මට සහය දැක්වූවා. හසිත විනෝද්, ජනන්දු සචිනි ඇතුළු තවත් දෙන්නෙක් හේෂාන්ට සංගීතයට සහය වුණා. ඒ වගේම අවසාන වශයෙන් වෙනස් විදියේ ඇහැකින් මේ නිර්මාණය දෙස බැලීම සම්බන්ධයෙන් මා විනිශ්චය මණ්ඩලයටත් ස්තුති කිරීමට කැමැතියි. ඒ නිසයි මගේ නිර්මාණය ඇගයීමට ලක් වුණේ.

නිශ්ශංක විජේරත්න