මේ මනෝරත්නගේ නාට්‍ය හතක් ගැන හැඳින්වීමක්

මහගිරිදඹ
ජනවාරි 16, 2020

ජයලත් මනෝරත්නගේ පළමු වේදිකා නාට්‍යය ලෙස ගැනෙන්නේ ‘මහගිරිදඹ’ යි. එය ඔහු නිෂ්පාදනය කරන්නේ 1980 වර්ෂයේයි. නාට්‍ය නිෂ්පාදනය කරන නිෂ්පාදකවරයකුගේ දියණිය ප්‍රධාන නිළියට ගත යුතුය කියන අදහසේ සිටින අයකු සමඟ වැඩ කරන අධ්‍යක්ෂවරයකු අතර ඇතිවන ගැටුමක් ඇසුරෙන් නිර්මාණය වී ඇති මේ නාට්‍යයේ රඟපෑ නළු නිළියන් අතර අද කලා ලෝකයේ දක්ෂ රංගන ශිල්පීන් රැසක් සිටියා. හේමසිරි ලියනගේ, විජේරත්න වරකාගොඩ, චිත්‍රා වරකාගොඩ, සුනිලා අබේසේකර, නිශ්ශංක දිද්දෙණිය, ජය ශ්‍රී චන්ද්‍රජිත්, ලාල් කුලරත්න, සෝමපාල පතිරගේ, සුවිනීතා පෙරේරා ඒ අතර සිටි කිහිප දෙනෙක්. මෙහි සංගීතය නිර්මාණය කළේ ප්‍රවීණ සංගීතඥයකු වූ ඔස්ටින් මුණසිංහයි. ස්වත්‍රන්ත්‍ර නාට්‍යය නිර්මාණයක් වූ මෙහි ඔහු රඟපාන ලද්දේ ගුරුජි නම් ප්‍රධාන චරිතයයි.


පුත්‍ර සමාගම

ජයලත් මනෝරත්න පුත්‍රසමාගම නාට්‍යය වේදිකාවට ගෙන එන්නේ 1985 වසරේදියි‍. මේ නාට්‍ය යේ තිබෙන විශේෂ බව නම් පරිවර්තනයක් ඇසුරෙන් පුත්‍රසමාගම නිර්මාණය වීමයි. 'ද එල්ඩර් සන්' නමැති නිර්මාණයේ පරිවර්තනය පුත්‍රසමාගම නමින් පරිවර්තනය කරන ලද‍්දේ ප්‍රවීණ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ විසින්. මෙහි මුලින්ම රඟපාන ලද්දේ අජිත් ජිනදාස, ශ්‍රියන්ත මෙන්ඩිස්, රත්නා ලාලනී, චාන්දනී සෙනෙවිරත්න, සම්පත් කෙන්නකෝන්, ජය ශ්‍රී චන්ද්‍රජිත් යන පිරිසයි. මෙහි සංගීතය නිර්මාණය කරන ලද්දේ ලක්ෂමන් විජේසේකරයි. මෙහිත් ප්‍රධාන චරිතය රඟපාන ලද්දේ ද ජයලත් මනෝරත්නම ය. මේ නාට්‍යයට රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නළුවා ලෙස ජයලත් මනෝරත්නටත්, හොඳම සහය නළුවා ලෙස ජය ශ්‍රී චන්ද්‍රජිටත් සම්මාන හිමි වූහ.


තලමල පිපිලා

1988 වසරේ නිර්මාණය වූ 'තලමල පිපිලා' නාට්‍යය ජයලත් මනෝරත්නගේ ස්වත්‍රන්ත නිර්මාණයකි. එහි සංගීතය නිර්මාණය කරන ලදදේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ රෝහණ වීරසිංහයි. ජයලත් මනෝරත්නගේ ගමේ පරිසරය අලළා නිර්මාණය වුණු වේ නාට්‍ය යේ මුලින්ම රඟපාන ලද්දේ ජයලත් මනෝරත්න ඇතුළු රත්නා ලාලනී, ලාල් කුලරත්න, සම්පත් තෙන්න‍කෝන්, සරත් චන්ද්‍රසිරි, බණ්ඩාර ඇහැලියගොඩ, ජගත් බෙනරගම ඇතුළු නළු නිළි පිරිසයි.


අන්දරේලා

හාස්‍යෝත්පාදක චරිතයක් වූ අන්දරේගේ චරිතය අලළා නිර්මාණය වුණු 'අන්රේලා' නාට්‍යය රාජ්‍ය පාලකයා ඇතුළු රාජ්‍ය තන්ත්‍රයේ යම් යම් කටයුතු හාස්‍යයට ලක් කරමින් කළ නිර්මාණයකි. 1993 වසරේ නිර්මාණය වූ මේ නාට්‍යයේ 1995 වසරේ

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම පිටපත ලෙස ද, හොඳම සංගීතය ලෙස රෝහණ බැද්දගේට ද සම්මාන හිමි වෙයි.


ගුරුතරුව

1996 වසරේ ජයලත් මනෝරත්න අතින් නිර්මාණය වූ 'ගුරුතරුව' නාට්‍යය සඳහා

මේ නාට්‍යය සඳහා 1997 වසරේ රාජ්‍ය නාට්‍ය සම්මානය හිමිවිය. ඒ වගේම හොඳම සංගීතය ලෙස ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ රංජිත් බාලසූරිය‍ටත්, හොඳම රචනයටත් ඒ වසරේම සම්මාන හිමිකර ගැනිණි‍. එහි සාහිත්‍ය ගුරුතුමා ලෙස ජයලත් මනෝරත්න රඟපෑ අතර දයාදේව එදිරිසිංහ, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, රත්නා ලාලනී ජයකොඩි, සනත් විමලසිරි ආදි නළු නිළි පිරිස රඟපෑමෙහි නිරත වූහ.


ලෝකය තනියායක්

මහගමසේකරගේ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය ඇසුරෙන් ජයලත් මනෝරත්න නිර්මාණය කරන ලද ‍ලෝකය තනියායක් නාට්‍යය වේදිකා ගත වන්නේ 2006 වසරේයි. මෙහි මාදනී මල්වත්ත හා ජයලත් මනෝරත්න ඇතුළු අවශේෂ නළු නිළියෝ රැසක් රංගනයෙන් සහභාගි වූහ‍‍‍. මෙහි සංගීතය නිර්මාණය කරන ලද්දේ ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේයි.


හඬනිහඬ

එක්දහස් නවසිය තිස් ගණන්වල සිදු වුණු සංගීත ශිල්පීන් පිළිබඳ කියැවෙන 'හඬනිහඬ' නාට්‍යයේ මෙන් ජයලත් මනෝරත්න ද සඳහටම නිහඬව ගියේ ය. 2016 වසරේ නිර්මාණය වූ මේ නාට්‍යය රෝද පුටුවකට වී කාලය ගත කරන සංගීත ශිල්පියකුගේ ජීවිතයේ අවසානය ගැන කියැවෙන්නක්. ඔහු මෙන් ජයලත් මනෝරත්න ද අප අතැර යයි. ඔහු නිර්මාණය කරන ලද අවසාන නාට්‍යය වන මෙහි ඩබ්ලිව්. ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, සංජීව දිසානායක, රවීන්ද්‍ර යසස්, ලංකා බණ්ඩාරනායක, ෆර්නි රෝෂිනී, ගංගා පරණවිතාන යන නළු නිළියන් රඟපෑමෙන් සහය වෙති.