රාජිත එන්න අවුරුදු 25ක වේදිකාවේ මල් පිපුණා දැයි බලන්න

ජනවාරි 23, 2020

ඇත්තෙන්ම වයින් ටිකක් බීලා වාහනයක් පැද්දත් අද කාලේ අල්ලනවා. අනතුරු සිදුවීම අදවෙද්දි වැඩිවෙලා නිසා යම් පාලනයක් ඕනේ තමයි. ඒත් ඒ පාලනය තමන්ගේ බදු ආදායම වැඩිකරගන්න රජය දරන උත්සාහයක් ලෙස නොගැනෙන පරිදි විය යුතුයි.

 

“සක්වා දහවල ලයනල් වෙන්ඩ්ට් එකේ වේදිකා ගත කරලා අවුරුදු 25යි. සිහින හොරු අරන් අවුරුදු 12ක් රංගගත කරලා ඊටත් අවුරුදු හතරකට පස්සේ නව නිෂ්පාදනයක් හැටියට එනවා. අවුරුදු විසිපහක් ඇතුළත මම වෙන්ඩ්ට් එකේම නාට්‍ය 11ක් නිර්මාණය කරලා රංගගත කරලා තිබෙනවා. ඒ සියල්ල නිමිත්තෙන් හෙට (24), අනිද්දා(25), ඉන්අනිද්දා (26) දවස් තුනේ මගේ නාට්‍ය උලෙළක් ලයනල් වෙන්ඩ්ට් එකේ පවත්වනවා. හිතල ගත්තු තීරණයක්, නැතුව බැරි මිනිහෙක් සහ සිහින හොරු අරන් ඒ උලෙළේ වේදිකාගත කරනවා. එය පෞද්ගලිකව මට වගේම මේ නාට්‍යවලට දායක වුණු පිරිසටත් විශේෂ අවස්ථාවක්.“

රාජිත දිසානායක නම් ප්‍රවීණ වේදිකානාට්‍ය වේදියා සිය නාට්‍ය උලෙළේ අරමුණ පැහැදිලි කරමින් අපට කීවේ ලයනල් වෙන්ඩ්ට් පරිශ්‍රයේම පුහුණුවීම් අතරය. අපි ඔහුගෙන් තවත් දේ විමසුවෙමු.

 

මේ නාට්‍ය උලෙළට විශේෂ තේමාවක් තිබෙනවාද?

සිහින හොරු අරන් නාට්‍යයට පාදක වුණු තේමාව එය වේදිකාගත වුණු කාලයටත් වඩා අද අදාළයි. විශේෂයෙන්ම මිනිසුන්ගේ සිහින අපේක්ෂාවන් වන්නේ ගතවන ජීවිතයට වඩා සුඛිත මුදිත ජීවිතයක්. එය ගත කරන්නට දරන උත්සාහයේදී ඇතිවන ගැටලු සහ අනුන්ගේ ජීවිත ගැන කිසි වගකීමක් නැතුව තමන්ගේ සිහින අරමුණු කරා යන්න තතනන විට ඇතිවන තත්ත්වයන් සමකාලීන සමාජයේ මනුෂ්‍ය සබඳතා පිළිබඳ නැවත සිතීමකට ඉඩ සදනවා. හිතලා ගත්තු තීරණයක් නාට්‍යය අපේ ආදර සබඳතාවලදී අප ගනුලබන තීරණ සහ ඒවාට මුහුණ දෙන ආකාරය අනුව අපි ජීවිතයේ අත්විඳීන තත්ත්වයන් පිළිබඳ නැවත සිතීමකට ඉඩ සකසනවා. නැතුව බැරි මිනිහෙක් මනුෂ්‍ය සබඳතා වගේම ආගම සහ ජාතිය බලය වෙනුවෙන් යොදා ගන්නා අවස්ථාවාදී ස්වභාවය පිළිබඳ මූලිකව විවරණය කරනවා. එහෙම බැලුවාම මේ නාට්‍ය තුනෙන්ම මනුෂ්‍ය සබඳතා හා සමකාලීන සමාජය පිළිබඳ අපට තේරුම්ගන්න ඉඩහසරක් විවර කරනවා කියලා මම හිතනවා.

සුනේත්‍රා බණ්ඩාරනායක පදනම මේ උලෙළට අනුග්‍රාහකත්වය දැක්වීම ගැනත් මම කිව යුතුයි. ඒ වගේම නාට්‍ය නැරඹීටම වැඩි ඉඩක් ලබා දීම වෙනුවෙන් විශ්වවිද්‍යාල සිසුන් ආදීන්ට අද (23) දවස තුළ විශේෂ ප්‍රවේශපත්‍ර වැඩපිළිවෙලක් යොදා තිබෙනවා.

ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ නාට්‍ය නිෂ්පාදනය කර වසර 25ක් වුණත් ඔබේ නාට්‍ය ජීවිතය ඊටවඩා වැඩිමල්?

ඔව්. මම නාට්‍ය කරන්න පටන් ගත්තේ 1988 වසරේ. මම හලාවත ශාන්ත මරියා විද්‍යාලයේ උසස් පෙළ කරද්දි නාට්‍ය කළා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ඇතුළු වනතුරු දිගු කලක් ඉන්න සිදු වුණා ඒ අතරත් නාට්‍යකරණයේ නිරත වුණා. පසුව විශ්වවිද්‍යාලයේදීත් පළමු වසරේ සිටම නාට්‍ය කරන්න යොමු වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉද්දි නිර්මාණය කළ නාට්‍යය තමයි සක්වාදහවල. ප්‍රසිද්ධ වේදිකාවේ රංගගත කළ මුල්ම නාට්‍යය ලෙස ගැනෙන්නේ එයයි. එය තමයි ලයනල් වෙන්ඩ්ට් රංගායතනයේ මගේ මුල්ම වේදිකාගත කිරීම. ඊට පෙර අනෙක් නාට්‍ය හයක් ඒ කියන්නේ පාසල් නාට්‍ය සහ ප්‍රාදේශීය වශයෙන් අප කළ නාට්‍ය ඒ ඒ ප්‍රදේශවල පමණයි වේදිකාගත වුණේ.

මීට වසර විසිපහකට පෙර නාට්‍යයක් කිරීමේදී සහ අද ඔබට පෞද්ගලිකවත්, බාහිරවත් දැනෙන වෙනස?

කාලයත් සමඟ අපේ ජීවිතේ ඇති වුණු වෙනස්කම් අත්දකිමින් ඉන්නවා. පාරේ යද්දි වුණත් වෙළෙඳපොළට ගියත් හැම ක්ෂේත්‍රයකමත් ඒ අත්දැකීම අපිට දැනෙනවා. ඒ නිසා නාට්‍ය කරද්දි විතරක් එය වෙනස් නොවී තිබෙන්න විදිහක් නෑනේ. ඒත් නාට්‍යකරණයේදී වුණත් සමහර මූලික කාරණාවල වෙනසක් නැහැ. උදාහරණයක් කීවොත් නාට්‍යයක් කිරීමේදී අපට විසඳගන්න තිබෙන ප්‍රශ්න එක වගේමයි. ඒ කියන්නේ අවුරුදු විසිපහකට කලින් වගේම අදත් අපට අනුග්‍රාහකයෙකු සොයාගන්න තිබෙන අපහසුව එකමයි. කාලය සමඟ තමන්ගේ තවත් බොහෝ දේ වෙනස් වන නිසා ශිල්පීන්ට කැප කළ හැකි කාලය සම්බන්ධව තිබෙන ගැටලුව එකවගේමයි. ඒත් දශක දෙකහමාරකට කලින් හැමදේම හරි මාරයි කියලත් මම කියන්නේ නැහැ. හැබැයි නාට්‍යයක් කරද්දි යෙදෙන සංවාදය, සම්භාෂණය අදට වඩා තරමක් වැඩියි. පුහුණුවීම්වලින් පසුවත් ඔවුන්ට මිඩංගු කරන්න යම් කාලයක් තිබුණා. සමහරවිට සම්භාෂණවලදි අපි බීර ටිකක් මධුවිතක් පානය කරන එක සාමාන්‍ය දෙයක්නේ. ඒ අවස්ථා මේ වනවිට සෑහෙන අඩුවෙලා. එකක් ආර්ථික සාධකය. අනෙක පොලිසීයේ මැදිහත්වීම මේ රංගකලා සම්භාෂණයට සෑහෙන බාධාවක්.

අපූරු කතාවක්නේ? තව ටිකක් විග්‍රහකරන්න පුළුවන්ද?

ඇත්තෙන්ම වයින් ටිකක් බීලා වාහනයක් පැද්දත් අද කාලේ අල්ලනවා. අනතුරු සිදුවීම අදවෙද්දි වැඩිවෙලා නිසා යම් පාලනයක් ඕනේ තමයි. ඒත් ඒ පාලනය තමන්ගේ බදු ආදායම වැඩිකරගන්න රජය දරන උත්සාහයක් ලෙස නොගැනෙන පරිදි විය යුතුයි. මොකද ලංකාවේ කලා සම්භාෂණයට එයින් විශාල බලපෑමක් තිබෙනවා. එය සාධනීය ලක්ෂණයක් නෙවෙයි. අවුරුදු 25ට කලින් අපි ඒ වින්දනය අත්වින්දා. අපට කතාබහ කරන්න අවස්ථාව තිබුණා. ගෝල්ෆේස් එකේ හෝ පාර්ලිමේන්තු පිටියේ හෝ එළිමහනේ වාහන නවත්වාගෙන අපට සුන්දර කතාබහක යෙදෙන්න අවස්ථාව තිබුණා. එය තරුණ පරපුරට නොලැබෙන්නේ මේ සීමාවන් නිසා මිස එය අපේ විශේෂත්වයක් නෙවෙයි. ඒ කාලේ එහෙමයි දැන් එහෙම නෑ කියන තත්ත්වයට පත් කරලා තිබෙනවා. රිය අනතුරු නැතිව ගමන් කළ යුතු ආකාරයක් ඇති කරලා හෝ මේ නීති තරමක් ලිහිල්වෙනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා.

ඔබ දියොනිසස් දෙවියන්ගෙන් පණිවුඩයක්ද ගෙනඑන්නේ?

පැහැදිලිවම. ඒ වයින්වලත් දෙවියානේ. සාමාන්‍යයෙන් අපි හොඳ රිහර්සල් එකක්, නාට්‍ය දර්ශනයක් ඉවර වුණාම එක්වෙලා බීරටිකක්, වයින් උගුරක් පානය කරන එක පාපයක් නෙවේනේ... දියෝනිසස් දෙවියන් සමරන්නෙත් වයින් පානය කරලා. (සිනාසී) අපි ඒ පරම්පරාවෙන් පැවතෙන අයනේ... ඉතින් කලාවට මධුවිතත් අනිවාර්යයි.

නිශේධනීය තත්ත්වයන් විතරමද තිබෙන්නේ?

නෑ. අපි අත්වින්ද සාධනීය තත්ත්වයක් තමයි අනුග්‍රහයකයන් සොයාගන්න තවමත් සීමාව තිබුණාට, ලයනල් වෙනඩ්ට් එකේ සිංහල නාට්‍ය නරඹන්න, විශේෂයෙන් අපේ නාට්‍ය නරඹන්න ප්‍රේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් ගොනුවෙලා සිටීම. ඉස්සර ඉංග්‍රීසි නාට්‍යවලට විතරක්ම සීමා වෙලා තිබුණු රංගශාලාවක් ලෙස අද වනවිට සිංහල නාට්‍යවලට මේ පිරිස එක් වීම ඉතා සතුටුදායක තත්ත්වයක්. විශේෂයෙන් පසුගිය අවුරුදු දහය ඇතුළත අපේ නාට්‍යවලට ඉතා හොඳ ප්‍රේක්ෂාගාරයක් ගොඩනඟාගන්න ලැබීම හොඳම සාධනීය ලක්ෂණයක්.

ඔබ නාට්‍ය කලාවටම ඇරුණේ ඇයි?

එක එක්කෙනාගේ සමහර තේරීම් තිබෙනවානේ. හිතලා ගත්තු තීරණයක් නාට්‍යයේම දෙබසක් තිබෙනවා ‘ආදරය කියන්නෙම තීරණයක්‘ කියලා. අපි ගන්න තීරණය අනුව ඒ මාධ්‍ය යේම නිරත වීමයි මේ සිදු වන්නේ. මම කුඩා කාලයේ නාට්‍ය බලලා රසිකයකු ලෙස වින්ද චමත්කාරය මට ඇති කරන්න පුළුවන්ද කියලා බලන්න ගත්ත උත්සාහය තමයි නාට්‍යකරණයට යොමුවීම. පසුව දැනෙන්න ගත්තා තවත් පරිපූර්ණ කරන්න වින්දනාත්මක සිතීමක් ප්‍රේක්ෂකයාට ඇති කළ හැකියි කියලා. ඒ සඳහා උත්සාහ දැරීමයි මේ කරන්නේ. මීට වඩා සාර්ථකව පරිපූර්ණව තව කරන්නේ කොහොමද කියන එක තමයි මට ඉතුරුවන හැඟීම. සමාජයේ අපි ජීවත්වන විට විඳීන වේදනා, සතුට, අත්දැකීම් බෙදාගන්න අවස්ථාවක් මෙයින් ලැබෙනවා. ඒ වගේම සමූහයක් ලෙස මෙහි නිරතවන විට ඒ සාමූහික ක්‍රියාවලියට මම කැමතියි. පවුල තුළ සහ මම රැඳෙන අනෙක් තැන්වලට අමතරව මේ සාමූහිකත්වය සමඟ ගෙවන ජීවිතයට මම කැමතියි. අනෙක නාට්‍යයක් කියන්නේ සජීවී ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය හරිම අභියෝගාත්මකයි. හරිම අසිරිමත්. ප්‍රේක්ෂක සහභාගීත්වය සමඟ තමයි නාට්‍යය බිහිවන්නේ. ඔවුන්ගේ සජීවි ප්‍රතිචාර, නාට්‍යයෙන් පසු ඔවුන් සමඟ බෙදාගන්නා දේවල් බොහොම සජීවී නිසා මගේ ජීවිතේ විශේෂ කැමැත්තක් ඒවාට තිබෙනවා. එනිසාම ජීවිතේ බොහෝ කාරණා ඈතින් තබන්නත් සිදුවෙනවා. ඒ ගැන කිසිදු පසුතැවීමක් නැහැ. එහෙම තමයි ජීවිතේ.

බොහෝ නාට්‍යකරුවන් සිනමාවට හැරුණා?

සිනමාව සුවිශේෂි මාධ්‍යයක් වුණත් එයට ගියොත් මට නාට්‍යවලට දිය හැකි ඉඩ අඩුවෙනවා. මම නාට්‍යකලාවෙම නිරතවන්න කැමැතියි බොහෝ දේවල්වල නියැලෙවාට වඩා.

නාට්‍ය රසිකයන් ගැන ඔබේ අදහස?

පසුගිය අවුරුදු 25 බැලුවොත් අන් විෂයයන් එක්ක බලද්දි නාට්‍යකලාවට හැමදාම ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් හිටියේ නැහැ. ඒත් වැඩිහිටියන් ජීවිතයෙන් සමුගද්දි තරුණයන් ප්‍රේක්ෂාගාරයට යොමුව තිබෙනවා. අනෙක් රටවලට සාපේක්ෂව අපේ තරුණ ප්‍රේක්ෂකයන් වැඩියි. ඒ නිසා සියයට පනහක හැටක තරුණ ප්‍රෙක්ෂක පිරිසක් නිරන්තර වේදිකාව සමඟ රැඳෙනවා. මැදිවියේදී අතහැරෙන අයත් නැතුව නොවෙයි. අලුත් පිරිස කොහොම හෝ එක්වෙනවා. එය කොළඹටත් පිටටත් පොදුයි. ඒ වගේම කාන්තා නියෝජනයත් සැලකිය මට්ටමක තිබෙනවා.

මේ උලෙළෙන් පසු?

2021ට නාට්‍යයක් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ පිටපත නම් රචනා කර අවසන්. ඒ ගැන ඉදිරියේදි විස්තර කියන්නම්.

තිලක් පෙරේරා