ආදරවන්තයන්ගේ දවසට ඉන්ද්‍රජාලික පෙම්වතියක්

පෙබරවාරි 6, 2020

අනුරාධ සුබසිංහගේ ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය ‘ඉන්ද්‍රජාලික පෙම්වතිය’ මේ මස 14 වැනිදා බොරැල්ල නාමෙල් - මාලිනි පුංචි තියටර්හි වේදිකා ගතවෙයි. කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය රංග කලා හා ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන අනුරාධ සුබසිංහගේ අධ්‍යයනයක ප්‍රතිඵලයක් මත බිහි වන ‘ඉන්ද්‍රජාලික පෙම්වතිය’ ප්‍රේක්ෂකයාට නැවුම් අත්දැකීමක් රැගෙන එයි. මේ ඒ පිළිබඳ ඔහු සරසවියට දැක් වූ අදහස් කිහිපයකි.

ඔබ නාට්‍ය කලාවට පා නඟන්නේ ශාස්ත්‍රීය පසුබිමක නේද?

ඔව්. ඒ කැලණි විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකයේ ශිෂ්‍යයෙක් විදියටයි. ඉන් පස්සේ ඒ අංශයේම කථිකාචාර්යවරයකු විදියට මා නාට්‍ය විෂයය උගන්වන්න පටන් ගන්නවා. මේ පසුබිමත් එක්කයි මා නාට්‍ය කලාවට පිවිසෙන්නේ.

ඔබගේ ප්‍රකාශන මාධ්‍ය විදියට ඔබ නාට්‍ය කලාවම තෝරා ගන්නේ ඇයි?

පාසල් යන කාලයේ පටන් කලාවට දැඩි ළැදිකමක් තිබුණා. විශේෂයෙන් ම ඒ කාලයේ මා සිටියේ ප්‍රබන්ධ කතාවත් එක්ක හා සිනමාවත් එක්ක. ඉන් පස්සේ විශ්වවිද්‍යාලයට ඇවිත් නාට්‍ය හා රංග කලාව හැදෑරීමෙන් පස්සේ මට පැහැදිලි වුණේ වෙනස් ම කාරණයක්. ඒ කලාවේදී ප්‍රකාශන මාධ්‍යයක් විදියට වඩාත්ම ප්‍රබල මාධ්‍ය වන්නේ නාට්‍ය කලාව බවයි. සිනමාව ඉතා කෙටි මොහොතකින් විශාල ප්‍රේක්ෂක පිරිසකට ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් තිබෙනවා. එහෙත් කාලන්තරයක් පවත්වාගෙන යෑමේ හැකියාව තිබෙන්නේත්, පිටපතක් විදියට නැවත නැවත අර්ථකථනයට භාජනය කිරීමේ ඉඩකඩ ඉතිරි කර තිබෙන්නේත් නාට්‍ය කලාවෙයි. ඒ නිසයි මා නාට්‍ය කලාවට යම් ඇල්මක් දක්වන්නේ.

එහෙත් ඔබ විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ සිනමාව හදාරන්නයි?

අප විශ්වවිද්‍යාලයට පිවිසෙන කාලයේ සිනමාව ගැන ඍජුව උගන්වන පාඨමාලාවක් තිබුණේ නැහැ. ඉන් පස්සේ ඩී. බී. නිහාල්සිංහයන්ගේ ප්‍රමුඛත්වයෙන් ඒ පාඨමාලාව ආරම්භ වුණා. මේ කොහොම වුණත් අදටත් මා විශ්වාස කරන්නේ සිනමාවට ප්‍රවිෂ්ට වෙන්න වුණත් වඩාත් හොඳම මාධ්‍ය වන්නේ වේදිකා නාට්‍ය මාධ්‍ය බවයි. ඒක ලෝකයේ උදාහරණ සහිතව ම හඳුනා ගැනීමට හැකියි. ස්පීල්බර්ග්, ඔර්සන් වේල්ස් ගැන කතා කළත්, අපේ රටේ ප්‍රසන්න විතානගේ ගැන කතා කළත් ඔවුන්ගේ ආරම්භය වේදිකාවයි. කලාකරුවකුගේ පරිකල්පනය වඩාත් පෘථුල බවට පත් කරන මාධ්‍ය නාට්‍ය බවයි මා විශ්වාස කරන්නේ.

ඒත් ඔබ විශ්වවිද්‍යාලයේ සිටිද්දි නාට්‍ය ලිව්වේ නැහැ.

ඒ කාලයේ මා නාට්‍ය නොලිව්වත් නවකතාවක් ලිව්වා. ඒ 2008 වර්ෂයේදී ප්‍රකාශනයට පත් වුණු ‘වනපෙතක උරුමය’. ඒ අතර නාට්‍ය කලාව වගේම සිනමාවත් හැදෑරුවා. ඒ කාලයේ කළ අධ්‍යයන කටයුතුවල නියැළෙනවා හැරෙන්න වෙනත් කාර්යයක් කළේ නැහැ. එහෙත් අධ්‍යයන කටයුතුවලදි ඇන්ටන් චෙකොෆ්ගේ ‘ද සීගල්’, ‘මුහුදුලිහිණියා ’නමිනුත්, ගර්ෂියාලෝකාගේ ‘යෙර්මා’ නාට්‍යයත් මා නිර්මාණය කළා. එහෙත් නිර්මාණාත්මක කාර්යයක නියැළී නැහැ.

ඔබගේ ‘ඉන්ද්‍රජාලික පෙම්වතිය’ අනෙක් පෙම්වතියන්ගෙන් වෙනස් වූ කෙනෙක් ද?

මේ අදහස මගේ සිතට පිවිසෙන්නේ ස්පාඤ්ඤ නවකතාවක ආභාසයෙන්. රෝමාන්තිකවාදි නවකතාවේ දර්ශනයයි මා මෙහිදී ගෙන එන්නේ. ඒ අය ජීවිතය අර්ථකථනය කරන ආකාරය. එහෙමත් නැත් නම් ආදරය හා ප්‍රේමය සම්බන්ධයෙන් ඔවුන් ගෙන එන්නේ පරමාදර්ශී අර්ථකථනයක්. එයයි අපි ජීවත්වන සමාජයට අත්‍යවශ්‍ය වන්නේ. ඒ පරමාදර්ශයයි අද අප ජීවත් වන යුගයට අත්‍යවශ්‍ය වන්නේ. එවැනි පසුබිමක් ඇතුළේ මේ නාට්‍යයේ ආකෘතිය පෝෂණය කරගැනීමේදී ලතින් අමෙරිකානු නවකතාව හා පශ්චාත් නූතනවාදි අමෙරිකානු නවකතාවත් මට බලපෑම් කළා.

කතාව ගලාගෙන යන්නේ ප්‍රධාන චරිත කිහිපයක් ඇසුරෙයි?

මෙහි ප්‍රධාන කථානායිකාව වන්නේ ෆ්ලෝරා. ඇගේ ප්‍රේමවන්තයා වන්නේ ලේඛකයා. වනාන්තරගතව ජීවත් වන ඔවුන්ව කාලයකට පසු හමු වීමට එන්නේ ෆ්ලෝරාගේ හොඳම මිතුරිය සමන්තා හා ඇගේ සැමියායි. එහිදි ඔවුන් සමඟ කාලය ගත කරද්දි ඔවුන්ගේ ශිෂ්ටාචාරය විසින් ජීර්ණය කරන ලද ප්‍රේමය අර්බුදයට ලක් වීමයි සිදු වන්නේ. ඒ අර්බුදයට ලක් වීමේ ගැටලුවයි අප නාට්‍යයේදි කතාබහට ලක් කරන්නේ. එහිදි අප ආදරය හා ප්‍රේමය කියන්නේ කුමක්දැයි යන්න අර්ථ නිරූපණය කිරීමට උත්සාහ ගන්නේ මේ හතරදෙනාගේ දෘෂ්ටිකෝණ හතර ගැටුමට කේන්ද්‍ර කරගනිමින්.

ඔවුන් අතුරින් ෆ්ලෝරා කියන්නේ වෙනස්ම විදියකට සිතන තරුණියක්?

ෆ්ලෝරා කියන්නේ ආධ්‍යාත්මික අර්ථයක් සොයන ළමයෙක්. එයා විශ්වාස කරන්නේ මනුෂ්‍යයාගේ අර්ථය තිබෙන්නේ ස්වභාව ධර්මයේ බවයි. ඉන් කෙළවරට ගියාට පස්සේ බෞද්ධ දර්ශනයේ තිබෙන මූලික හරයයි මෙතැන තිබෙන්නේ. ඒ කියන්නේ ජීවියා හා ස්වභාව ධර්මයා අතර තිබෙන්නේ ඵෙන්ද්‍රීය බැඳීිමක්. ඔහු ශිෂ්ටාචාර ගතවීම කියන්නේ ස්වභාව ධර්මයාගෙන් මනුෂ්‍යා ටික ටික ඈත් කිරීමයි. මෙතැනදි මා ගෙනෙන දාර්ශනික මතය වන්නේ නැවත ස්වභාය ධර්මයට යෑමෙන් ජීවිතයේ අර්ථය සොයාගත හැකිය යන්නයි. ෆ්ලෝරා කියන්නේත් ඒකමයි. එහෙත් ඈට එය තර්කානුකූලව ඔප්පු කරගන්න බැරි වෙනවා. ඇගේ සැමියා ද්‍රව්‍යමය ලෙස හඳුනාගත හැකි ජීවිතය ගැනයි විශ්වාස කරන්නේ. මේ මත නිසා දෙදෙනා අතර ආකල්ප වශයෙන් ගැටුමක් ඇති වෙනවා. මේ ගැටුම නිසා සිදු වන්නේ ඔවුන්ගේ පවුල් සංස්ථාව අර්බුදයට යෑමයි. ෆ්ලෝරාගේ ආකල්පවලට සමන්තාගේ සැමියා වන නළුවා එකඟ වීම ඇතුළේ චරිත අතර ඇති වන ගැටුම, ෆ්ලෝරාට ඈ සමඟම තිබෙන ගැටුමයි අප ආදරය නිර්වචනය කිරීම සඳහා භාවිත කරන්නේ.

ෆ්ලෝරා වැනි යුවතියන් මේ සමාජයේත් ජීවත් විය හැකි ද?

ෆ්ලෝරාගෙන් අප නිරූපණය කරන්නේ මේ යුගයේ තමන්ගේ ජීවිතය සොයාගෙන යන තරුණියයි. ඇය මේ මොහොතේ කොළඹ කොටුවේ මහ පාරේත්, කැලණිය විශ්වවිද්‍යාලයේත්, පොත් සාප්පුවක, සිනමා ශාලාවක වුණත් හමු විය හැකියි. හැබැයි මේ කාර්යය වන්නේ මේ ඉන්ද්‍රජාලික පෙම්වතියගේ ඉන්ද්‍රජාල හැඟීම් ශිෂ්ටාචාරමය යථාර්ථය විසින් යටපත් කර තිබීමයි. ඈ ජීවිතය සොයන්න උත්සාහ කරන විට ඇගේ නිදහස අහිමි කර තිබීමයි. ආර්ථිකය හෝ කුලය හෝ මුදල කියන මේ කුමන හෝ සාධකයක් මඟින් එය සිදු විය හැකියි. එහෙම නම් ඈට අධ්‍යාත්මයේ ප්‍රහර්ෂය සොය යෑමට අනෙක් අයගේ උදවු අවශ්‍යයයි. 

හැබැයි ඈ වටා තිබෙන ඒ සාධක සියල්ල තිබෙන්නේ ඈට ප්‍රතිවිරුද්ධවයි?

අද ගැහැනු ළමයකුට තීරණ ගැනීමට සිදුවී තිබෙන්නේ අධ්‍යාත්මයේ ප්‍රහර්ෂයට අනුකූලව නොවෙයි. අම්මා, තාත්තා, ඒ අයගේ ආකල්ප, ආගම, ආගමික විශ්වාස, ඒ අයගේ පවුල ආදි කියන මේ කාරණාවලට අනුවයි. මේ නිසා සිදු වන්නේ ඈ අර්බුදයට යෑමයි. එහෙත් පුරුෂයාට ජීවිතය සොයා යෑමේ නිදහස දී තිබුණත් ගැහැනියට එහෙම නැහැ. පුරුෂයා සොයා පාදාගන්න ජීවිතයේ ගැහැනිය ජීවත්විය යුතු බවයි අදටත් පැවසෙන්නේ. ඒ නිසා අප විශ්වාස කරන්නේ ඒ නිදහස ඈට ලැබිය යුතු බවයි.

ඔබගේ අදහස වේදිකාවට රැගෙන එන පිරිස කවුරුන් ද?

මේ නාට්‍යයේ සමිත සූධීෂ්වර, මයුර කාංචන, උමා අසේනි, දිව්‍යශාරිකා පිගේරා, සමන් පුෂ්ප ලියනගේ, දයාදේව එදිරිසිංහ කියන නළු නිළියන් රඟපෑමෙන් දායක වෙනවා. සංගීතයෙන් අමිල නිදහස, අංගරචනයෙන් පසන් මල්ෂාන්, රංගවස්ත්‍ර නිර්මාණයෙන් රුවනි නිසංසලා, පසුතල නිර්මාණය දමිත් ඉද්දමල්ගොඩ, අචිනි ශෂිප්‍රභා ප්‍රචාරණ සැලසුම් සංජය ඈපා කියන පිරිසගේ සහභාගිත්වයෙනුයි නාට්‍යය වේදිකා ගතවන්නේ.

‘ඉන්ද්‍රජාලික පෙම්වතිය’ වේදිකා ගතවන්නේ පෙම්වතුන්ගේ දවසෙදියි. ඒ සඳහා විශේෂ හේතුවක් තිබෙනවා ද?

අපේ විෂය ආදරය හා ප්‍රේමයයි. මේ විෂය නැවත අර්ථකථනය කිරීමයි අපේ අදහස වන්නේ. ඒ වචනවල අර්ථය නැවත සිතන්න උත්සාහ කරවීමයි අපේ අදහස වන්නේ. ඒ පෙලඹවීමේ ප්‍රවේශයක් විදියටයි මේ දිනෙයේදි අපි නාට්‍යය වේදිකා ගත කරන්නේ. ඒ නිසා තමන්ගේ ආදරවන්තිය හා ආදරවන්තයා එක්කම ඇවිත් මේ නාට්‍යය නරඹන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා.

තිලක් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.