රැලිය රට යයි

පෙබරවාරි 20, 2020

සිසිල් ගුණසේකරගේ ‘රැලිය’ වේදිකා නාට්‍යය මේ මස 22 වැනිදා වෙරානෝහිත්, 23 වැනිදා මිලානෝහිත්, මාර්තු 01 වැනිදා රෝමයේ රතුපල්ලි ශාලාවේදිත් වේදිකා ගතවෙයි. මීට පෙරදී කාලයක් බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණු රැල්ල ‘රැලිය’ට පෙරළෙයි. එය ද වසර කිහිපයක් වේදිකා ගතවුවත් පසුව එහි ගමනත් අතරමඟ නවතී. යළිත් එහි ගමන ආරම්භ කිරීමට සිසිල් ගුණසේකර තීරණය කර ඇත.

සිසිල්, රැලිය, ටෙනිසන් කියන සුසංයෝගය කාලයක පටන් පැමිණෙන්නක්?

ඇත්තටම ‘රැලිය’ නවත්වමු කිය කිය ඉඳලත්, අලුත් නාට්‍යයක් කරමු කියලා ටෙනිසන් කිව්වත් අපි අතර මොකක්දෝ බැඳීිමක් තිබෙන බව නම් මට සහතිකයි. ඒ බැඳීිම මොකක් ද කියලා මට අද වනතුරුත් සොයා ගන්න බැහැ. මේ නාට්‍යය අපි දෙන්නා තනියමත් කළා. ඒත් අවුරුදු තිස්හතක් විතර පරණ ‘රැල්ල’ත් එයට පසුව කළ ‘රැලිය’ත් මිනිසුන්ට තවමත් මතකයි.

කාලයක් ‘රැලිය’ වේදිකා ගත වුණේ නැහැ නේද?

මම ජීවත්වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ වුණත් කලාවට තිබෙන හිත නිසාමයි වරින් වර ලංකාවට ඇවිත් මේ විදියට ‘රැලිය’ වේදිකා ගත කරන්නේ. ඒත් කාලයක් ‘රැලිය’ වේදිකා ගත කරන එක නැවතුණා. ඒත් ඉන් පස්සේ ටෙනිසන්ගේ ආරාධනාවත් එක්ක ‘රැලිය’ වේදිකා ගතවීම ආරම්භ කළත් අවාසනාවකට වගේ වෙනත් පෞද්ගලික කාරණා කිහිපයක් උඩ යළිත් වරින් වර මේ නාට්‍යය වේදිකා ගතවීම නැවතුණා.

ඒත් යළිත් ‘රැලිය’ වේදිකා ගතවීම අරඹන්න සියල්ල සූදානම්?

ඉතාලියේ ඉන්න රුවන් රණසිංහට ‘රැලිය’ වේදිකා ගත කරන්න අවශ්‍ය වෙනවා. ඒ ගැන අහන්න ඔහු සොයාගෙන යන්නේ ටෙනිසන් කුරේවයි. ඔහුයි රුවන්ව මා වෙත යොමු කරන්නේ. ‘රැලිය’ නැවතත් ආරම්භ කිරීමේ මූලිකයා වන්නේ ඔහුයි. ඒ වගේ ම ඉතාලියේ නාට්‍ය සංවිධානය කරන සුදත් රෝහණත් ‘රැලිය නාට්‍යයේ දර්ශන කිහිපයක් විවිධ ස්ථානවල සංවිධානය කරන බවත් මෙහිදී සිහිපත් කළ යුතුයි.

මේ කොරෝනා වසංගතයත් එක්ක විදේශ සංචාරය කරන්න බියක් ඔබට නැද්ද?

ඉස්සෙල්ලා නම් එහෙම දෙයක් තිබුණා. ඒත් පැරිස්වල ඉන්න අපේ හිතවත් අය කිහිපදෙනෙක් අපව ධෛර්යවත් කළා. ඒ නිසා මොන දේ තිබුණත් අපි විදේශ ගත වීම ස්ථිර කළා. වෙන්න තියෙන දෙයක් නම් ඒක කොහේ හිටියත් සිද්ධ වන නිසා අපි මේ ගමන යන්න තීරණය කළා.

‘රැල්ල’, ‘රැලිය’ නිවුන් සොහොයුරන් ද?

ඔවුන් දෙදෙනා එවන් සොහොයුරෝ තමයි. මොකද රැලියේ බොහොම පුංචි වෙනස්කම් කිහිපයක් විතරයි තිබෙන්නේ. කතා දෙකක් වුණත් ස්ටයිල් එක එකයි. ඒත් ‘රැලිය’ බැලුව කෙනකුට හිතෙන්න පුළුවන් මේ තියෙන්නෙත් ‘රැල්ල’ ම නේද කියලා. ඒ එකම ස්ටයිල් එකේ නිසයි ප්‍රේක්ෂකයන්ට එහෙම හැඟෙන්නේ. ඒ වගේම මේ අතර නාට්‍යය දර්ශන වාර දෙකම නැරැඹුව ප්‍රේක්ෂකයනුත් මට මුණගැසිලා තිබෙනවා.

ටෙනිසන් කුරේ මේ නාට්‍ය දෙකේම හිටිය නළුවෙක්?

‘රැල්ල’ට වගේ ම මගේ මතකයේ හැටියට ‘රැලිය’ටත් වසර විස්සක් විතර කාලයක් ගත වුණා. මේ දෙකේම හිටිය එකම නළුවා ටෙනීයි. සමහර කාලවලදි අපි දෙන්නා අතරත් ඒ වගේ වෙන්වීම් තිබුණා. අපි දෙන්නා ඉඳලා හිටලා බැණ ගන්නවා තමයි. ඒත් තරහ ඉක්මනින්ම නිවිලා යනවා. එක්කෝ ගෙදර ගිහින් ටෙනී මට කතා කරනවා. නැත් නම් මම ටෙනීට කතා කරනවා. එතැනින් ඒ රණ්ඩු අවසානයි.

කාලයක් ඔබ ඇතුළු පිරිස නාට්‍යශාලා තහනමට ලක් වුණා?

ඒ හරියටම මීට වසර දහයකට විතර ඉහතදි. මහරගම යොවුන් රඟහලේදියි ඒ ප්‍රශ්නය ඇති වුණේ. ඒ දවස්වල ඒක අපට දුන්නේ නැහැ. ඇයි ඉතින් එළියේ හයිලෙවල් පාර පිරෙන්න විශාල පිරිසක් ඉන්නවා. රඟහලේ සීට් තියෙන්නේ එක්දහස් දෙසීයකට විතරයි. නුවර සෙන්ඇන්තනීස්, කිරිබත්ගොඩ වගේ ප්‍රදේශවලදි අපි මෙවැනි සිද්ධිවලට මුහුණ පෑවා. ඇත්තටම මේක ආරම්භ වුණේ එල්ෆින්ස්ටන් රඟහලෙන්. ‘රැලිය’ නරඹන්න ඇතුළු වන ප්‍රේක්ෂකයන්ගේ තෙරපීම වැඩි වුණු නිසා එහි තිබුණු වීදුරු කැඩුණා. අන්තිමේදි ටිකට් එක එක රැයෙන් දාහ කරන්න වුණා. ඒ වගේම මට මතකයි මේ නාට්‍යය වේදිකා ගත කරන කාලයේ අපි ජූනි මාසයේ 01 වැනිදා බස් එකට නැඟ්ගට පස්සේ ඒකෙන් බැස්සේ ජුලි 30 වැනිදයි. ඇඳුම් මාරු කරෙත්, නෑවෙත් අතරමඟ මුණ ගැහෙන ගංගා ඇළදොළවලයි. ඒ තරමට නාට්‍යය දිව්වා.

මෙහි පිටපත ලියැවෙන්නේ ඔබ අතින්මයි?

මෙහෙමයි. මේ පිටපතට ටෙනීගෙත් වැඩි දායකත්වයක් තිබෙනවා. මම ලියනවා. ඒක පොලිෂ් වෙන්නේ ටෙනීගෙන්. මම කොමඩි විශේෂඥයෙක් නොවෙයි නේ. ඒ නිසා අපි කතාබහ කරමින් පිටපත සැකසුවා. ඒ වගේ ම බොහෝ අය පිටපත ලියලා නළුවන් තේරීමයි කරන්නේ. ඒත් මා කළේ නළුවන් තෝරා පිටපත ලිවීමයි. නාට්‍යයට නම යොදා පිටපත ලිවීමයි. ඒ නිසා මුලින්ම මගේ නාට්‍යයේ ප්‍රධාන නළුවා ටෙනිසන් කුරේ බව මා තීරණයකට ඇවිල්ලයි සිටියේ. 

‘රැලිය’ නාට්‍යයේ සියලුම දෙනා විදේශ ගත වෙනවා ද?

එහෙම කරන්න බැහැ. දොළොස් දෙනකුටම වීසා දෙන්නේ නැති ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා විදේශ ගත වන්නේ කිහිපදෙනකු පමණයි. මගේ බිරියත්, මහින්ද පතිරගේත්, තක්ෂිලා සෙව්වන්දිත් ඒ කණ්ඩායමට ඇතුළත්. වාසනාවකට වගේ මෙවර ටෙනී ඇතුළු තුන්දෙනාටම වීසා ලැබුණා. මේ කාරණාව නිසා අප කරන්නේ පිටපත එහෙමම තියෙද්දි චරිත වෙනස් කරගැනීමයි. එහිදී එක් කෙනකුට චරිත හතරක් පමණ රඟපාන්න වෙනවා.

මෙහි රඟපාන අනෙක් නළු නිළි පිරිස වෙන්නේ ලාල් සරත් කුමාර, කුමුදුනී අධිකාරී, මහින්ද කරුණාරත්න, රංජිත් දිසානායකයි. ඔවුන්ව පසුව විදේශ සංචාරවලට සහභාගිකරවා ගන්නයි මං හිතාගෙන ඉන්නෙ.

‘රැලිය’ කොමඩි වගේම දේශපාලනය හාස්‍යයට ලක් කරන නාට්‍යයක් ද?

මේ නාට්‍යයේ තිබෙන්නේ දේශපාලනය තමයි. ඒක අප ඉදිරිපත් කරන්නේ කොමඩියකින්. බෝතල් පත්තර කාරයකුට රටක ඉහළට යන්න පුළුවන් කියලයි අප මේ නාට්‍යයෙන් පෙන්නන්නේ. මේ චරිතය රඟපාන්නේ ටෙනී. ඔහු අවසානයේ රටේ බලධාරියා බවට පත් වෙනවා. ඔහුව පාලනය කරන්නේ සාස්තරකාරියක්. කොහොම වුණත් බෝතල් පත්තරකාරයකුට රට ගියාට පස්සේ මොක ද වෙන්නේ කියලා ඔබට සිතා ගන්න පුළුවන් නේ. අන්න ඒ ගැනයි අප මේ නාට්‍යයෙන් කතා කරන්නේ.

කොමඩියි කියන නාට්‍යවල තියෙන්නේ විහිළු කියලයි බොහෝ දෙනා කියන්නේ. ඒ චෝදනාව ඔබටත් වලංගු ද?

බය නැතුව ලියන්න. ඔය චෝදනා කරනවා කියන අයට කවදාවත්ම වැඩක් කරන්න බැහැ. මම නම් ඔය චෝදනා කරන අයට බණින්න යන්නේ නැහැ. බැණලා බොරුවට මගේ ප්‍රෙෂර් එක වැඩි කරගන්න මා කැමැති නැහැ. අනෙක් එක මේ වගේ නිර්මාණවලට බණින්නේ කලාවේ ඉන්න අයම තමයි. ඒ චෝදනා කරන එකා කරන්නේත් නැහැ. කරන එකකුට කරගෙන යන්න දෙන්නෙත් නැහැ. සුගතපාල ද සිල්වා, ආර්.ආර්. සමරකෝන් වගේ ප්‍රවීණ නාට්‍යකරුවන් මගේ නාට්‍යය අගය කරලා තියෙනවා. දයානන්ද ගුණවර්ධන මහත්තයා මගේ නාට්‍යය බලන්න ආවා. මගේ නාට්‍යයට වට කරලා ගහද්දි ජයලත් මනෝරත්නයන් ආවා එය නරඹන්න.

ටෙනිසන් එදිරිසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.