75 වැනි උපන්දිනයට ‘ඈන් ෆ්‍රෑන්ක්’ අපේ වේදිකාවට

පෙබරවාරි 27, 2020

ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂ එම්.සෆීර්ගේ නවතම නාට්‍යය ‘ඈන් ෆ්‍රෑන්ක්’ ය. ලෝක ප්‍රසිද්ධ නවකතාවක් වන ‘ඈන්ක් ෆ්‍රෑන්ක්’ කෘතිය ඇසුරෙන් නිර්මාණය කරන ද මේ නාට්‍යය පිළිබඳ එම්. සෆීර් පවසන ලද්දේ මෙවැනි අදහස් කිහිපයකි.

‘ඈන් ෆ්‍රෑන්ක්’ අපේ රටේ ප්‍රේක්ෂකයන්ට නරඹන්නට ලැබෙන්නේ කවදාද? කොහේදී ද?

‘ඈන් ෆ්‍රෑන්ක්’ නාට්‍ය යේ මංගල දර්ශනය පැවැත්වෙන්නේ මාර්තු 05 වැනිදා හා 06 වැනිදා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ. 05 වැනිදා සිංහල භාෂාවෙන් ලියැවුණු නාට්‍යයත්, 06 වැනිදා ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු නාට්‍යයත් වශයෙන් භාෂා දෙකෙන්ම මේ නාට්‍යය වේදිකා ගත කිරීමට අපි සියල්ල සූදානම් කරලයි තිබෙන්නේ.

 

‘ඈන් ෆ්‍රෑන්ක්’ කියන්නේ ලෝක ප්‍රසිද්ධ නවකතාවක්. එවැනි නිර්මාණයක් වේදිකාවට ගෙනෙන්න ඔබ සිතුවේ ඇයි?

නාට්‍යකරුවකු විදියට මා නිතරම අත්හදා බැලීම් කරන්න කැමැති කෙනක්. ඒ අත්හදා බැලීම් එක්ක මා විවිධ විදියේ නාට්‍ය කරනවා. ඒ අනුව ‘ඈන් ෆ්‍රෑන්ක්’ කියන්නෙත් මා කරන තවත් වෙනස් විදියේ වැඩක්. ඒ වගේ ම ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත වගේම ඇගේ 75 වැනි උපන්දිනය මේ වන විට ලෝකයේ බොහෝ තැන්වල සමරනවා. මේ උපන්දිනය සැමරීමත් එක්ක වසර අටකට පස්සේ මට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ආරාධනා කරන්නේ ඒ අය කරන වැඩ කටයුතු අතර ‘ඈන් ෆ්‍රෑන්ක්’ගේ දිනපොත ඇසුරෙන් නාට්‍යයක් නිෂ්පාදනය කරන්න පුළුවන් ද කියන කාරණයටයි. මේ අනුවයි මා ‘ඈන් ෆ්‍රෑන්ක්’ නාට්‍යය නිර්මාණය සිංහල භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය කරන්නේ.

 

කෙටි කාලයක් ඇතුළේදියි ඔබ මේ නාට්‍යය කරන්නේ?

පසුගිය වසරේ පටන් සැලසුම් කළත් විවිධ කරුණු මත නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න වුණේ මෑතකදී. එය අපහසු කටයුත්තක් වුණත් මගේ සමස්ත ශිල්පීන් කණ්ඩායමේ තිබුණු විශාල කැපවීම හා ආදරය නිසා මෙය යථාර්ථයක් බවට පත් කරගන්න මට හැකියාව ලැබුණා.ඒ නිසා අප ඉතා සැලසුම් සහගතව ඉතා කෙටි කාලයක් ඇතුළේ එක ම නාට්‍යය සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයයෙන් නිෂ්පාදනය කළා. එතැනදි ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය පෙට්රා රේමන්ඩ්, පුස්තකාලයාධිපති ඩැනියෙන් ස්ටොප් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම දැක්වූ සහය නොවන්න මෙය තවත් කාලයක් සිතුවිලිවල රැඳෙන නිර්මාණයක් පමණක් වන්න තිබුණා.

 

‘ඈන් ෆ්‍රෑන්ක්’ නාට්‍යය සිංහල වගේම ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන්න සිතුවේ විශේෂ කාරණයක් නිසා ද?

වසර තිහක කාලයක් ඇතුළේ මා නාට්‍ය කරද්දි නිතරම සිතුණ සිතිවිල්ල වුණේ එකම භාෂාවකින් නාට්‍යයක් හැදුවට පස්සේ එය ඒ භාෂාව දන්න අයට පමණක්ය යන හැඟීම. ඒත් ‘ඈන් ෆ්‍රෑන්ක්’ගේ දිනපොත වගේ ලෝකයම දන්න නිර්මාණයක් මධ්‍යස්ථ භාෂාවකින් එහෙමත් නැත්නම් ඉංග්‍රීසි වගේ භාෂාවකින් කළාට පස්සේ ඒ මඟින් අපට යම් විදියකට ලෝකයටම ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඒ නිසා මේ භාෂා දෙකන් කළ නිර්මාණයෙන් පස්සේ ම ස්ථිර වශයෙන්ම මා සූදානම් වී සිටින්නේ ‘ඈන් ෆ්‍රෑන්ක්’ නාට්‍යය දෙමළ භාෂාවෙනුත් කරන්නයි. මා දැන් විශ්වාස කරන්නේ නිර්මාණ කරන විට මධ්‍යස්ථ තැන ඉඳගෙන අප නාට්‍යය නිෂ්පාදනය කරනවා නම් එය වඩාත් සාර්ථක වන බවයි.

 

වර්තමානයේ අපේ රටේ මෙවැනි ලෝක ප්‍රකට සාහිත්‍ය කෘති පාදක කර ගනිමින් නාට්‍ය නිෂ්පාදනය කිරීම සිදු වන්නේ අඩුවෙන්?

ලෝකයේ මෙවැනි කාර්යයන් ඕනෑතරම් සිදු වෙනවා. ඒත් වර්තමානය වනවිට අපේ රටේ එවැනි සාහිත්‍ය කෘති පාදක කර ගනිමින් නාට්‍ය නිෂ්පාදනය වීම සිදු වන්නේ අඩුවෙන්. ඒ නිසා මා උත්සාහ කළෙත් ලෝක ප්‍රකට සාහිත්‍ය කෘතියක් පාදක කරගෙන නාට්‍ය නිෂ්පාදනයක් කරන්න හැකි ද බලන්නයි. ඒක ලෙහෙසි වැඩක් නොවෙයි. ඒ අත්හදා බැලීමේදි නාට්‍යකරුවකු විදියට මට විශාල අභියෝග ප්‍රමාණයක් තිබුණා. ඒ අතර නාට්‍ය භාවිතය කොහොම ද ප්‍රේක්ෂකයාට දනවන්නේ කියන කාරණය ප්‍රබලයි. මා සිතන්නේ ඒ අභියෝගය මේ නාට්‍යය මඟින් ජයගත් බවයි.

 

මේ තරම් දිගු කෘතියක් නාට්‍යයක් බවට පත් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. එය ප්‍රේක්ෂකයන්ට දනවන්න ඔබ මොන වගේ උත්සාහයක ද නිරත වුණේ?

දීර්ඝ ලියැවිල්ලක් නාට්‍යයක් විදියට අපට සම්පූර්ණයෙන්ම ගන්න බැහැ. ඒකේ තිබෙන වැදගත් කොටස් සහ අත්‍යවශ්‍ය යැයි කියලා සිතන, නාට්‍යයක් විදියට ගලා ගෙන යන්න වුවමනා කරන යම් යම් කොටස් කිහිපයක් පමණයි නාට්‍යයට මා තෝරා ගත්තේ. උදාහරණයක් විදියට ඒ කෘතියේ හැමෝම දන්න කොටස් ටික මා නාට්‍යයට ගත්තේ නැහැ. මා උත්සාහ කළේ නාට්‍ය අධ්‍යක්ෂවරයා විදියට නිර්මාණාත්මකව අර්ථකථනය කළ හැකි සුදුසු කොටස් ටිකක් පමණක් තෝරා ගැනීමටයි.

 

‘ඈන් ෆ්‍රෑන්ක්’ නාට්‍යය මඟින් ඔබ ප්‍රේක්ෂකයාට රැගෙන එන්නේ මොන වගේ කාරණා ද?

ඈන් ෆ්‍රෑන්ක්ලා සැලසුම් කරලා සැඟවෙලා සිටියා. ඒත් ඒ කාලයේ ඔවුන්ට තිබුණු නීතිය නම් පාසල්වලට යන්න බැහැ. නාට්‍ය, චිත්‍රපට නරඹන්න බැහැ. පොදු ස්ථානවලට යන්න බැහැ. මේ වගේ කාරණා ගොඩක් ඒ කාලයේ යුදෙව්වන්ට පැනවිලා තිබුණා. මා මේ නාට්‍යය මඟින් කියන්න උත්සාහ කළේ මිනිසුන්ගේ මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය වුණාට පස්සේ මිනිස්සුන්ට තිබෙන අසහනය සහ පීඩනය ගැනයි.

 

මෙහිදී නාට්‍යයේ පසුතලය ඔබ සකසන්නේ කුමන ආකාරයෙන් ද?

‘ඈන් ෆ්‍රෑන්ක්’ නාට්‍යය අප පෙන්වන්නේ බ්ලැක් බොක්ස් තියටර් ආකෘතියෙන්. ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ මුළු ශාලාවම අප භාවිත කරන්නේ ඈන් ෆ්‍රෑන්ක් සැඟවිලා සිටි නිවෙස විදියටයි. ඒ නිවෙස ඇතුළෙයි ප්‍රේක්ෂකයා ඉඳගෙන නාට්‍යය නරඹන්නේ. ඉදිරියේදි අපි ප්‍රොසීනියම් වේදිකාවටත් මේ නාට්‍යය අනුවර්තනය කරන්නයි සිතාගෙන ඉන්නේ.

 

‘ඈන් ෆ්‍රෑන්ක්’නාට්‍ය යේ සංගීතය, පිටපත හා නළු නිළි පිරිස පිළිබඳත් යමක් සඳහන් කරමු?

මෙහි සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ එම්.ශාරෆ්. ඔහු එහිදී සංගීතය භාවිත කළේ සජීව ආකාරයෙන්. එය නිර්මාණය වෙන්නෙත් එහි පවතින අවශ්‍යතාව අනුවයි. මෙහි පිටපත පිළිබඳත් යමක් පැවසිය යුතුයි. එය ලියන්නේ මා හා ජයලත් එස්. ගෝමස්. එහිදී අපි මෙහි මූලිකවම ඈන් ෆ්‍රෑන්ක් සම්බන්ධව ලියැවුණු ඉංග්‍රීසි පොත්පත් කිහිපයක්ම භාවිත කළා. ඒ භාවිත කළ පොත්පත්වලින් තෝරාගත් කොටස් කිහිපයකුයි මුලින් ඉංග්‍රීසි භාෂාවටත්, පසුව සිංහල භාෂාවටත් අරගෙන පිටපත සකස් කර ගත්තේ. එය වේදිකාවට ගෙනෙන්න සහභාගි වන්නේ එකම නළු නිළි පිරිසක්. අවසාන වශයෙන් එහෙම නම් ඇවිත් බ්ලැක්බොක්ස් තියටර් එකේ ඉඳීමින් වෙනස්ම නාට්‍යය අත්දැකීමක් විඳගන්න මා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.