ඇන්ටිගනීට රතු වෙස්මුහුණක්

ප්‍රියංකර රත්නායක
මාර්තු 5, 2020

ප්‍රවීණ රංගන ශිල්පී, අධ්‍යක්ෂ ප්‍රියංකර රත්නායකගේ නාට්‍ය ද්විත්වය ‘රතු වෙස්මුහුණු’ හා ‘අද වගේ දවසක ඇන්ටිගනී’ වේදිකා ගතවීමට සියලු කටයුතු සූදානම් ය. ඒ අනුව ඔහුගේ නවතම නාට්‍යය ‘රතු වෙස්මුහුණු’ හි මංගල දර්ශනය 05, 06 දිනවලත්, එකොළොස් වැනි වර්ෂ පූර්ණය සමරන ‘අද වගේ දවසක ඇන්ටිගනී’ 07 වැනිදාත් කොළඹ 07 ලයනල් වෙන්ඩට් රඟහලේදී වේදිකා ගත වෙයි. විශේෂයෙන්ම මේ පෙළ ගැසෙන්නේ ඔහුගේ නවතම නාට්‍යය පිළිබඳ සරසවියට පැවසූ අදහස් කිහිපයකි.

ඔබගේ ‘රතු වෙස්මුහුණු’ හා ‘අද වගේ දවසක ඇන්ටිගනී’ නාට්‍යයට පාදක වන්නේ සොෆොක්ලීස්ගේ ‘ඊඩිපස්’ නාට්‍යයත්, ‘ඇන්ටිගනී’ කියන කියන නාට්‍යයත් නේද?

‘අද වගේ දවසක ඇන්ටිගනී’ නාට්‍යයට පාදක වන ඇන්ටිගනී නාට්‍යයේ මුල් කොටස වන්නේ ‘ඊඩිපස්’. එහෙම වුණත් එය නාට්‍ය දෙකක්. එය නාට්‍ය දෙකක් වුණත් කතාවේ චරිතවල සම්බන්ධයක් තිබෙනවා. එහෙම කියලා නාට්‍ය දෙකම නැරැඹිය යුතු නැහැ. එහෙම නැරැඹුවත් නාට්‍ය දෙකක රසය වෙන වෙන ම ප්‍රේක්ෂකයාට විඳීය හැකියි. ඉන් එකක් නැරැඹුවේ නැති වුවත් එකක රසය අනෙක් නිර්මාණයට බාධාවක් වන්නේ නැහැ. 

‘ඊඩිපස්’ හා ‘ඇන්ටිගනී’ මඟින් කියැවෙන්නේ වෙනස්ම කාරණා කිහිපයක්?

ඊඩිපස් නාට්‍යයෙන් කතා කරන්නේ පුද්ගල ඛේදවාචකයක් කොහොම ද සමාජයක වෙනස් වීමට බලපාන්නේ කියන කාරණයයි. ඒ මඟින් සමාජය ආරාජික බවට, දේශපාලන අර්බුදයකට පත් වන්නේ කොහොම ද කියන කාරණය වඩාත් කතාබහට ලක් වෙනවා. ඒ වගේ ම ‘ඇන්ටිගනී’ නාට්‍යයෙන් කතාබහ කරන්නේ පුද්ගලයකුගේ ක්‍රියාව කොහොම ද සමාජ ඛේදවාචකයකට බලපාන්නේ කියන කාරණයයි. ඒ වගේ ම බලයට පත් වුණු කෙනකුගේ තීන්දුවක් කොහොම ද සමාජ ඛේදවාචකයකට බලපාන්නේ කියන අදහසත් එයින් කියැවෙනවා. ඒ නිසා මේ නාට්‍ය දෙකෙන් කතා කරන්නේ අත්දැකීම් දෙකක්.

‘රතු වෙස්මුහුණු’ පරිවර්තනයක් ද? අනුවර්තනයක් ද?

මේ නාට්‍ය දෙකම අනුවර්තන. මුල්කෘතිය මඟින් නාට්‍යයක් අනුවර්තනයක්, පරිවර්තනයක් හෝ ස්වතන්ත්‍රයක් කරන්න තෝරා ගන්නේ අප ඒකට යම් ආශක්ත බවක් ඇති වුණු නිසා. ඒ ආශාව අපේ සිතේ ඇති වන්නේ අපේ අත්දැකීම් එක්කයි. අත්දැකීම් ඇති වෙනවා කියන්නේ මේ මොහොතේ අපේ රටේ ජන සමාජයේ, පවුලේ, අප වෘත්තිය කරන ආයතනය ඇතුළේ ජීවත් වෙලා අප ලබන අත්දැකීමයි. ඒ අත්දැකීම්වලට සමීප වන අත්දැකීමකටයි අප පරිවර්තනයක් ඇතුළේ සංවේදි වන්නේ. එවැනි දෙයක් ඇසුරෙන් අප නිෂ්පාදනයක් කරන කොට වන්නේ එය පරිවර්තනයක් නොවෙයි; අනුවර්තනයක්. ඒ කියන්නේ ‘රතු වෙස්මුහුණු’ හා ‘අද වගේ දවසක ඇන්ටිගනී’ නාට්‍යවලින් කතා කරන්නේ මේ මොහොතේ අපේ රටේ තිබෙන අත්දැකීමක්.

හැබැයි ඔබ ඒ අත්දැකීම වේදිකාවට ගෙනෙන්නේ වෙනස්ම විදියකටයි?

ඒ පැරැණි කෘතිවල තිබෙන අත්දැකීම අපේ අත්දැකීමක් බවට පත් කරගැනීමේදී මුල් කෘතියේ තිබෙන ඇඳුම්- පැලඳුම්, පසුබිම්, සංගීතය වගේ දේ එක්ක නොවෙයි අප නිර්මාණය කරන්නේ.  අපි හිතමු යම්කිසි රටක නාට්‍යයක් ගත්තොත් ඒ අයට ආවේණික සංස්කෘතියක් තියෙන බව. ඒ සංස්කෘතියට අදාළව නේ ඒ අය අඳීන පලඳීන, රසවිඳීන දේවල් තීරණය වෙන්නේ. ඒ වගේ ම අපේ සංස්කෘතිය ඒ අයගෙන් වෙනස්. එහෙමනම් ඒ කෘතිය අරගෙන අපේ සංස්කෘතිය කියව ගන්න බැරි නම් එවැනි නිර්මාණයක් අපේ මිනිස්සු රස විඳීන්නේ නැහැ. ඒ නිසා ඒ කාරණය අපි සොයා ගන්න ඕනෑ. ඕනෑ ම උසස් කලා කෘතියක තියෙන්නේ මුළු ලෝකයට පොදු වූ අත්දැකීමක්. විශ්වසනීය අත්දැකීමක්. එය අපේ මිනිසුන්ටත් සමීපයි. අප කළ යුත්තේ ඒ විශ්වසනීය අත්දැකීම අපේ ප්‍රේක්ෂකයාත් සමඟ බෙදා ගැනීමයි. මේක ඒ වගේ වැඩක්.

ඔබ මේ නාට්‍යයට ‘රතු වෙස්මුහුණු’ කියන නම යෙදුවේ ඇයි?

රතු වෙස්මුහුණු කියන නම යෙදුවේ කාරණා කිහිපයක් උඩයි. රතු වෙස්මුහුණු කියන අර්ථය එන්නේ පොදු අර්ථයක් විදියටයි. මේ නාට්‍යයට වස්තු විෂය වන්නේ එක් පුද්ගලයකුගේ ඛේදවාචකය වීම වුණාට එය සමස්ත සමාජයටම බලපානවා. ඒ ඛේදවාචකයෙන් ඔහුව ගලව ගන්න අනෙක් අයටත් බැරි වෙනවා. බැරි වෙන්න හේතුව තමයි ඛේදවාචකයට ලක් වන පුද්ගලයාගේ තිබෙන උද්ධච්චකමයි, ඛේදවාචකයෙන් ඔහුව ගලව ගන්න එන පුද්ගලයාගේ තිබෙන ආඩම්බරකමයි කියන කාරණා දෙකේ ගැටීම. කොයිම වෙලාවකවත් උද්ධච්ච කෙනකු, ආඩම්බර කෙනකු කියන දෙයට එකඟ වෙන්නේ නැහැ. ඒක දකින්නේ වෙනම විදියකටයි. අනෙක් පැත්තෙන් මෙහි එන ප්‍රධාන චරිතයෙන් වැරැදි දෙකක් සිදු වෙනවා. එකක් පියාව ඝාතනය කරනවා. අම්මාව විවාහ කරගෙන දරුවෝ ලබනවා. මේ දෙකෙන්ම කියැවෙන්නේ ප්‍රචණ්ඩ බව හා ලිංගිකත්වයයි. මේ දෙකම අපේ ජන විඥානයේ ගැනෙන්නේ රතු පාටත් එක්කයි. ඒවගේ ම මේ ලිංගිකත්වය සම්බන්ධයෙන් තේරුම් ගැනීම අනවබෝධයට ගියාට පස්සේ මිනිසුන්ගේ හැසිරීම් එක්තරා විදියකට ප්‍රචණ්ඩ බවට පත් වෙනවා. එය කායික හෝ වාචික ප්‍රචණ්ඩත්වයත් විය හැකියි. මේ ආකාරයෙන් මිනිසුන්ගේ යටි සිතේ හැංගිලා තියෙන කායික හෝ වාචික ප්‍රචණ්ඩත්වය යම් තීරණාත්මක සාධකයක්. මේවා වරින්වර මිනිස්සු අතුරින් එළියට එනවා. ඒ විවිධ හේතු හා ඔවුන් මුහුණ දෙන අත්දැකීම් මතයි. එහෙම වුණාට පස්සේ මේ දෙකත් සමඟ හැසිරීම ඛේදවාචකයකට හේතුවක් වෙනවා. මේ අනුව ඊඩිපස්ගේ චරිතය, ඔහුගේ ඛේදවාචකය දිවෙන්නේ ලිංගිකත්වය හා ප්‍රචණ්ඩත්වයත් සමඟයි. ඒක සංකේතවත් කිරීමටයි මා ‘රතු වෙස්මුහුණු’ කියන නම මේ නාට්‍යයට යොදා ගත්තේ. මේ කාරණය නාට්‍යය නරඹන වෙන අයකු වෙනත් විදියකට අර්ථකථනය කරන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අප නාට්‍යයකට දමන නම මඟින් නාට්‍ය රස විඳීම හා නාට්‍ය ගැඹුරින් කියවා ගැනීමට අවස්ථාවක් ප්‍රේක්ෂකයාට දිය යුතු බවයි මා සිතන්නේ.

මීට පෙරත් කිහිපවතාවකම ඊඩිපස් නිෂ්පාදනය වුණා. ඒ අතුරින් ඔබගේ නාට්‍යය වෙනස් වුණොත් ප්‍රේක්ෂකයාගේ ප්‍රේක්ෂාවට මොකද වෙන්නේ?

මුල් කෘතියට වඩා මේ නිර්මාණය වෙනස්. මෙහි එන චරිත, භාවිත කරලා තිබෙන වර්ණ, පසුතල නිර්මාණය ආදි බොහෝ දේ වෙනස්. ඒ නිසා මේ මඟින් මට අවශ්‍ය වී තිබෙන්නේ මේ මොහොතේ ලංකාවේ ප්‍රේක්ෂාගාරයත් එක්ක අත්දැකීම බෙදා ගන්නේ කොහොම ද කියන කාරණය මිසක් අනෙක් කාරණා නොවෙයි. මා මේ නාට්‍යය කළේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට රසවිඳීන්නයි; ඔවුන්ට මේ නාට්‍යයේ තිබෙන ඥානනය ලබා ගන්නයි.

නිශ්ශංක විජේරත්න