මේ දක්ෂ පසු පෙළක් නිර්මාණය කිරීමේ උත්සාහයක්

විජේසිරි මල්ලිකාරච්චි
මාර්තු 12, 2020

ප්‍රායෝගික නාට්‍ය හා රංගකලා වැඩමුළුවක් නොමිලයේ

හරසර සංස්කෘතික නිර්මාණ කුලකය විසින් නොමිලයේ ප්‍රායෝගික නාට්‍ය හා රංගකලා වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය. ලබන 28 වැනිදා සිට සෑම සෙනසුරාදාවකම පැවැත්වීම නියමිත එහිදී නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඉතා වටිනා දේශන මෙන්ම ප්‍රායෝගික පුහුණු වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ පිළිබඳ වැඩිදුර විස්තර පැහැදිලි කළේ හරසර සංස්කෘතික නිර්මාණ කුලකයේ සභාපති විජේසිරි මල්ලිකාරච්චි. කලා ක්ෂේත්‍රයේ අයට නම් විජේසිරි මල්ලිකාරච්චි නුහුරු නුපුරුදු කෙනෙකු නොවේ. පාසල් කාලයේ පටන් කලා කටයුතු වෙනුවෙන් දායක වූ ඔහු නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක්, සහය අධ්‍යක්ෂවරයෙක්, ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් සේම චිත්‍රපට නිෂ්පාදන කළමනාකාරවරයකු ලෙසින්ද කටයුතු කරන්නේය. එපමණක් නොව ඔහු කවියෙකි. හිටිවන කවි නිර්මාණයේ දක්ෂයෙකි. විපාකය, සුන්දර මාරයා, බලන්න ඇස් ඇර, සව්දිය. විකල්පය වැනි වේදිකා නාට්‍ය ඔහු විසින් නිර්මාණය කළ ඒවාය. සිනමාවේදී රාවන අඩවිය චිත්‍රපටයේ ප්‍රධාන සහය අධ්‍යක්ෂ, පරපුර චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරණය, සූවිසිවිවරණ චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කළේද ඔහු විසින්.

නුදුරේදී පැවැත්වීමට නියමිත ප්‍රායෝගික නාට්‍ය හා රංගකලා වැඩමුළුව පිළිබඳ තවත් විස්තර දැන ගැනීමට කැමැතියි?

හරසර සංස්කෘතික නිර්මාණ කුලකය අපි අරම්භ කළේ ජා-ඇල ප්‍රදේශය ඇතුළුව විවිධ ප්‍රදේශවල විසිරි සිටින කලාකරුවන් එක තැනකට රැස් කිරීමේ ව්‍යායාමයක් ලෙසින්. අපි අපේ පරම්පරාවෙන් පසු ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න අත්දැකීම් සපිරි දක්ෂ පසු පෙළක් නිර්මාණය කළ යුතුයි.

මෙවැනි වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කළේ, අපෙන් පසු පරපුරට යහපත්, හරවත්, වටිනා යමක් තිළිණ කිරීමේ අරමුණැතිවයි. මේ එම අරමුණේ එක් උත්සාහයක්. ජා ඇල, උතුරු බටගම, ශ්‍රී සුමන විහාරයේ පැවැත්වීමට නියමිත ඒ වෙනුවෙන් වයස් භේදයකින් තොර ප්‍රදේශයේ සිටින ඕනෑම අයෙකුට සහභාගි වීමේ අවස්ථාව වෙන්කර තිබෙනවා. මෙම වැඩමුළුව ලබන 28 වැනිදා සිට මාස 06ක් පුරා සෑම සෙනසුරාදාවකම පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වීමට නියමිතයි. මේ වෙනුවෙන් අයදුම්පත් ලබන 20 වැනිදාට පෙර හරසර සංස්කෘතික නිර්මාණ කුලකය, ශ්‍රී සුමන විහාරය, උතුරු බටගම, ජා ඇල ලිපිනයට යොමු කළ යුතුයි. වැඩමුළුව අවසානයේ අපි වටිනා සහතික පත්‍රයක් පිරිනැමීටත් කටයුතු යොදා තියෙනවා. මේ සියලු කටයුතු වෙනුවෙන් ශ්‍රී සුමන විහාරාධිපති පූජ්‍යපාද හඟුරන්කෙත ශාන්ත ජීව හිමිගෙන් අනුශාසකත්වය ලැබෙනවා. ඒ වගේම හරසර සංස්කෘතික නිර්මාණ කුලකය බිහිකිරීමට කැප වී කටයුතු කළ මා මිතුරු සමන්ත පෙරේරා වගේම වින්රෝ ඇක්ටින් ස්කූල්හි නිරෝෂිණි පෙරේරා මෙහිදි සිහිපත් කළ යුතුයි.

 

 

තිලක්