දැන් වේදිකා නාට්‍ය හැදෙන්නේ වාණිජ වුවමනා මත

-කපිල ගමගේ
මාර්තු 19, 2020

වේදිකා නාට්‍ය යනු ලාංකේය ප්‍රසාංගික කලා මාධ්‍යයේ අතීත හිතවතාය. මේ වන විට විද්‍යුත් මාධ්‍යයන් ප්‍රචලිත වීම නිසා වේදිකා නාට්‍ය කෙමෙන් කෙමෙන්       ප්‍රේක්ෂකයන්ගෙන් ඈත් වෙමින් පවතී. නමුදු තවමත් මේ කොදෙව්වේ වේදිකා නාට්‍ය නිර්මාණය වෙමින් පවතී. ඔහු කපිල ගමගේ. වසර ගණනාවක් වේදිකා නාට්‍ය සංගීත ශිල්පියෙක් ලෙස කටයුතු කළ හෙතෙම මේ වන විට වේදිකා නාට්‍ය රංගනයටද පිවිසී ඇත. මේ තම කලා ගමන ගැන කපිල ගමගේ කියූ තතුය.

සංගීත ගමන කොහොමද පටන් ගන්නේ?

සංගීත ගමන පටන් ගන්නේ 1989දී. ඒ කාලේ අපිට සංගීත කණ්ඩායම් පිස්සුව තමයි තිබුණේ. පාසල් යන කාලයෙම ගිටාර් එක ගහන්න ඉගෙනගත්තා. සංගීත කණ්ඩායමක් ආරම්භ කරන එක තමයි ඒ කාලේ හීනේ වුණේ. මමයි මගේ යාලුවෝ ටිකයි 1989දි "සොනාටෝ" කියලා සංගීත කණ්ඩායමක් පටන්ගත්තා. ටික කාලෙකින් අපි "සියොත්" කියලා සංගීත කණ්ඩායමක් පටන්ගත්තා. ගොඩක් ප්‍රසංගවලට ඒ සංගීත කණ්ඩායම එක්ක මම සහභාගි වුණා. දැන් මට තියෙනවා "වියෝලා" කියලා ශිල්පීන් විසිදෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක්.

වේදිකා නාට්‍ය සංගීතය සඳහා දායක වෙන්නේ කොහොමද?

ඒ මීට වසර 10කට පමණ කලින්. ආනන්ද අතුකෝරලයන්ගේ නාට්‍යවලට මම සංගීත ශිල්පියෙක් ලෙස සුළු දායකත්වයක් ලබාදුන්නා. "දෙන්නා දෙපොළේ", "විනෝද ගෙදර" වගේ නාට්‍යවල සංගීතයට සුළු දායකත්වයක් ලබාදීලා තියෙනවා. ඉන්පසුව 2013දී අතුකෝරලයන්ගේ "හොරු හොඳයි" වේදිකා නාට්‍යයේ සංගීතය සම්පූර්ණයෙන් නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ සංගීතයට මට හොඳ ප්‍රතිචාර රාශියක් ලැබුණා. 

ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කළොත්?

"හොරු හොඳයි" වේදිකා නාට්‍ය දර්ශන වාර සියය පසු කළා. ඒ හැම වතාවකදිම මිනිස්සු ඇවිත් මට කතා කරලා නාට්‍යයේ සංගීතය අගය කළා. ප්‍රේක්ෂකයෝ විතරක් නෙමෙයි. ලංකාවේ අග්‍රගණ්‍ය කලා ශිල්පීන්ගෙන් පවා ප්‍රතිචාර ලැබුණා. 

රිදී තිරයේ හෝ පුංචි තිරයේ නිර්මාණ සඳහා සංගීත අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවාද?

රිදී තිරයේ හෝ පුංචි තිරයේ කුමන අභියෝගයක් ආවාත් මම භාරගන්නවා. නමුත් මේ ක්ෂේත්‍රයේ එකම පිරිසක් රජයන්නේ. ආධුනිකයන්ට අවස්ථාව ලැබෙනවා අඩුයි. ඒ නිසා මට තවම අවස්ථාවක් ලැබිලා නැහැ. 

ඔබ රංගනයටත් පිවිසුණා නේද?

ඔව්. ආනන්ද අතුකෝරලයන් ඔහුගේ වේදිකා නාට්‍යවල සුළු චරිත මට දුන්නා රඟපාන්න කියලා. මේ අතරවාරයේ ඒකාංගික ටෙලිනාට්‍යයකටත් රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරිගේ තිරගත වීමට නියමිත චිත්‍රපටයක සංගීත ශිල්පියෙක්ගේ සුළු චරිතයක් කරන්න අවස්ථාව ලැබුණා. 

වර්තමාන වේදිකා නාට්‍ය සංගීතය ගැන මොකද හිතෙන්නේ?

දැන් තියෙන වේදිකා නාට්‍යවල සංගීතය මිනිස්සුන්ට මතක හිටින්නේ නැහැ. ඉස්සර අපි "තාරාවෝ ඉඟිලෙති", "ගුරු තරුව" වගේ නාට්‍ය බලලා ප්‍රේක්ෂකාගාරයෙන් එළියට එන්නේ ඒ සිංදු මුමුණමින්. ඒත් දැන් එහෙම හොඳ වේදිකා නාට්‍ය ගීත නිර්මාණය වෙන්නේ නැහැ. නාට්‍ය ඉවර වුණු ගමන් සිංදු ටික මතක නැහැ. දැන් වේදිකා නාට්‍ය හැදෙන්නේ වාණිජ වුවමනා මත විතරයි.

Add new comment