වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
ඇඟිලි කැපිලි පැත්තක දමා අංගුලිමාල කිති කවලා
ජගත් චමිල ඉගෙන ගන්නේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ. ඔහු බොහොම ආදරයෙන් සිහිපත් කරන අය අතරට පාසල වගේම තිස්ස ගුණවර්ධන ගුරුතුමාටත් හිමි වන්නේ ප්‍රධාන ස්ථානයක්. තිස්ස සර්ගෙන් තොරව ඔහුගේ කතාවක් තිබුණොත් ඔබ පුදුම විය යුතු කාරණයක්. ඔහු එහෙම කියන්නේ ඔහුගේ රංගනයේ අක්මුල් රැඳුණේ ඒ ගුරුතුමා ළඟ නිසා. ඒ වගේම ජගත් ඔහුව සිහිපත් කරන විට පාසලේ නමත් කියන්න අමතක කරන්නේ නම් නැහැ. ඒ නිසාදෝ කොහෙද ජගත්ගේ අතීත මතකය අතරට ඔහු රැගෙන එන්නේ පාසල් වේදිකාව. පාසල් වේදිකාව මතක් කරන විට ඔහුට ඒ කාලයේ හිටිය අපූරු යහළුවකු ගැන මතකයට එන්නේ ඉබේම. ඔහු ජේආර්. ජේආර් කියන කොට අපගේ මතකයට නිතැතින්ම එන්නේ අපේ රටේ ප්‍රථම විධායක ජනාධිපතිතුමා. ජගත් කිව්වේ එතුමා ගැන නම් නොවෙයි. ඔහු පැවසුව මේ ජේආර් ජනප්‍රිය වුණේ මොරටුව ප්‍රදේශයට. ජගත් එක්ක එකම පන්තියේ සිටි මේ යාළුවාගේ නම ජයලත්. ඒ වුණාට ජයලත්ට ජේආර් කියලා දැම්ම අන්වර්ථ නාමය පටබැඳුණ හේතුවක් තිබුණා. ඒ ඔහුටත් හරියටම හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධනයන් වගේ මුහුණක් හිමි වීම. මේ නිසා ජයලත්ට ඒ පාසලේ වගේම ඒ ප්‍රදේශයේ අය හැමෝම කතා කළේ ජේආර් නමින්. මේ ජේආර් රඟපාන්න දක්ෂයෙක්. ඒ වගේමයි ඔහුට කරන්න බැරි වැඩක්වත් තිබුණේ නැහැ.
ඒ වන විට ජගත් චමිල වගේම ජයලත් ඉගෙන ගත්තෙත් සාමාන්‍ය පෙළ එකම පන්තියේ. ඒ කාලයේ තිබුණු නාට්‍ය තරගයකට තිස්ස සර් වේල්ස් කුමර විද්‍යාලයෙනුත් නාට්‍යයක් සූදානම් කළා. ඒ නාට්‍යය හදලා තිබුණේ අංගුලිමාල දමන කතාව මූලික කර ගනිමින්. ඒ නාට්‍යය නම් කරලා තිබුණේ ‘පසන් මාවත’ නමින්. අද නාට්‍ය ක්ෂේත්රයේ ජයලත් නැති වුණත් ඒ කාලයේ ජයලත් බොහොම දක්ෂ නළුවෙක්. ජයලත්ව ක්ෂේත්රයට අහිමි කරන්නේ ඒ කාලයේ ඔහු වටා තිබුණු පරිසරය. කොහොම වුණත් ‘පසන් මාවත’ නාට්‍යයේ ජයලත් රඟපෑවේ අංගුලිමාලගේ චරිතේ. ජගත් රඟපෑවේ දිසාපාමොක්ගේ බිරියගේ චරිතේ. මේ නාට්‍යයේ එක අවස්ථාවක දිසාපාමොක්ගේ බිරිය, කැලෑ වැදිලා ඉන්න අංගුලිමාල හොයාගෙන යන ජවනිකාවක් තියෙනවා.
මේ ජවනිකාවට කලින් තිබෙන්නේ ශිෂ්‍යයන් පාසලේ ඉගෙන ගන්න ජවනිකාව. ඊළඟට තිබෙන දිසාපාමොක්ගේ බිරියට කැලෑවට යන ජවනිකාවට මාරු වෙන්න තිස්ස සර් අපූරු විදියට ගස් කිහිපයක් වේදිකාවේ නිර්මාණය කරලා තිබුණා. ඒ කපාපු ගස් හදලා තිබුණේ ලොකු පිටපලුවලින්. පාසලෙන් ඉවත් වන ළමයින් කාටවත් නොපෙනෙන්න මේ ගස් ඇතුළේ හැංගිලා ඒ ගස් කිහිපය වේදිකාවේ වෙනත් ස්ථානයකට රැගෙන එන්න ඕන. ඔන්න දැන් දිසාපාමොක්ගේ බිරිය කැලෑවට පිවිසුණා. ටික දුරක් ආව විතරයි එකපාරටම ගහක් ජගත්ගේ ඇඟට කඩා වැටෙන්න ඔන්න මෙන්න වගේ. මේ ගහ ටික ටික ම ඉදිරියට එනවා. ජගත්ට හිතාගන්නවත් බැහැ. දෙබස් ටික කියනවා කොහොම වෙතත් ජගත් කරන්නේ වරින්වර ගහ දිහා බලන එක.
ටික වෙලාවකින් ආයෙත් මෙන්න ගස ඉදිරියට කඩා වැටෙන්න එනවා. මේ පතරංග ගහ ඇඟට වැටුණොත් මැරෙන එක අනිවාර්යයයි. ජගත් ඉස්සරහට යනවා. ගහත් හෙමින් හෙමින් ඉස්සරහට එන්නේ ජගත්ගේ ඇඟටම කඩා වැටෙන්න. මීළඟට හරි නම් ඔන්න අංගුලිමාල එන්න ඕන. ඒත් අංගුලිමාල නැහැ. අන්තිමට අංගුලිමාල වේදිකාවට එන්නේ හොඳටම පරක්කු වෙලා. මොකද්ද දන්නවද වෙලා තිබුණේ. ජයලතුත් අර ගස් අතර ඉන්න කොට වෙනදා නැති ළමයෙක් ගහ ඇතුළට ඇවිත්. ඒ වැරැදීමකින්. ඒ ළමයා ඇඟේ ගෑ වුණත් කිති තියෙන ළමයෙක්. ජයලත් ඇඟේ ගෑ වෙන කොටම ඒ ළමයට කිති. මේක දැන ගත්ත ජේආර් අංගුලිමාල චරිතය රඟපාන එක පැත්තකින් තියලා කිති ළමයාගේ ඇඟේ ගෑවෙන්න අරගෙන.
ජේආර්ට දැන් රඟපාන එක අදාළ නැහැ. ඔහුට වුවමනා අර ළමයාව තව තවත් කිචි කවන්න. ඒකෙන් බේරෙන්න අර ළමයා දුවන්න හැදුවම වෙන්නේ ගහ ඉදිරියට යන එක. ගහ ඉදිරියට යනවා විතරක් නොවෙයි දැඟලිල්ලට තව චුට්ටෙන් ගහ කඩාගෙනත් වැටෙනවා. මේ නිසා ජගත්ගේ ඉස්සරහට යන කාරණාවත් ජයලත්ට අමතක වුණා. අවසානයේ වෙලාවත් පහුවෙලයි අංගුලිමාල කැලෑවෙන් මතු වුණේ. ඒ සිදු වීම අදත් මතක් වන විටත් ජගත් චමිලගේ මුවඟට නැඟෙන්නේ හිනාවක්.
මේ සිදු වීමත් ජේආර් නිසා ජගත් ඇතුළු නාට්‍ය කණ්ඩායමට මුහුණ දෙන්න වුණු සිදු වීමක්. පාසලේ තිබුණු තරගයකටයි මේ නාට්‍යය තිස්ස සර් ඉදිරිපත් කළේ. ඒකේ නම ‘රුවල් යාදින්න’. මේ නාට්‍යයේ නර්තනයත් ඇතුළත්. තිස්ස සර් ‘රුවල් යාදින්න’ට සංගීත භාණ්ඩ වගේම යක් බෙරයකුත් යොදාගෙන තිබුණා. එහි එක් කොටසක තියෙන්නේ සියල්ලන්ම යක් බෙරයට නර්තනයේ යෙදිය යුතු ජවනිකාවක්. මේ යක් බෙරය වයන්න තිස්ස සර් තෝරගෙන තිබුණේ ඒ කාලයේ තොවිල්, නාඩගම්වල යක්බෙරය වයන තිස්සර්ගේ යහළුවෙක්. ඔහුගේ නම නෝබට්. තිස්ස සර්ගේ හැම නාට්‍යයකම වගේ යක්බෙරය වැයුවේ වයසක නෝබට් මාමා. නාට්‍ය කණ්ඩායම නාට්‍ය පුහුණු වුණේ පාසලේ.
නාට්‍ය පුහුණු වෙන්න කලියෙන් නෝබට් මාමාට එක පුරුද්දක් තිබුණා. ඒ ළමයි ටික අල්ල ගෙන බොහොම භයංකර කතා කියන එක. ඒ කතාවල තිබුණේ තොවිල් පවිල්වල වුණු දේ ගැන; යක්කු ගැන. නෝබට් මාමා කොයිතරම් මේ කතා කිව්වත්, යක්බෙර ගැහුවත් යක්කුන්ට, භූතයන්ට නම් බය කෙනෙක්. මේක ජගත් ඇතුළු නාට්‍ය කණ්ඩායමේ ළමයිනුත් දැනගෙනයි හිටියේ. නාට්‍ය පුහුණු වීම් වලින් පස්සේ ජගත්ලාගේ ඒ කම්පෙටිෂන් එකට යන්න ඉස්සෙල්ලා දවසෙත් නාට්‍යයේ අන්තිම පුහුණු වීම තිබුණේ රාත්‍රියේ පාසලේ නාට්‍ය ශාලාවේ (දැන් මේ වේදිකාව නම් කරල තිබෙන්නේ තිස්ස ගුණවර්ධන රංග ශාලාව නමින්). මේ නාට්‍ය ශාලාව බොහොම දිග ශාලාවක්.
මේ දවසට ඉස්සෙල්ලා දවසේත් රාත්‍රියේ පුහුණු වීම්වලදි නෝබට් මාමා මේ කතා කියලා ළමයින්ව බය කරලයි සිටියේ. ඒ බයත් ළමයින්ගේ හිතේ තිබුණා. ඔන්න නාට්‍යය ආරම්භ කළා. එහි එක ජවනිකාවකදියි නෝබට් මාමාට යක්බෙරය වයන්න තියෙන්නේ. ඔන්න නෝබට් මාමා බෙරය වයනවා. ජගත් ඇතුළු ළමයි ටික බෙරයේ තාලයට නටනවා. ටික වෙලාවක් ගියා විතරයි. එකපාරටම නෝබට් මාමාගේ නම කියලා භූතයෙක් කෑ ගහන විදියට වරින්වර කවුරු හෝ කෑගහන්න පටන් ගත්තා. යක්බෙරය වයන නෝබට් මාමාටත් තමන්ගේ නම කියලා කතා කරන මේ භූත කටහඬ ඇහුණා.
“නෝ... බ....ට්....”
වේදිකාවේ එක පැත්තකින් වගේම එක එක පාරට තවත් පැති කිහිපයකින්ම යක්බෙරයේ හඬ අතරින් ඇහෙන්නේ හරියටම භූතයකුගේ හඬක් වගේ. පාසලේ රාත්‍රියේ කිසිම හැලහොල්මනක් නොනැඟෙන නිහඬතාව මැද්දේ බෙරයක හඬක් අතරින් වරින්වර කරන මේ හඬගෑම ජගත්ට වගේම වේදිකාවේ නටන අනෙක් ළමයින්ටත් ඇහුණා. නෝබට් මාමාටත් ඇහුණා. එකපාරටම ජගත්ට බැලුණේ නෝබට් මාමා දිහා. නෝබට් මාමාගේ ඉරියව් ටික ටික වෙනස් වෙන ආකාරය ජගත් දැක්කා. නෝබට් මාමාට හීන් දාඩිය දාලා. ඔහු දාඩියත් පිහදැම්මා. අන්තිමට නෝබට් මාමා යක්බෙරයෙන් ගහන පදත් වැරදුණා. ඒත් බෙරය ගහන එක නවත්තන්න බැහැ. මේ අන්තිම පුහුණු වීම.
කවුරුන් හෝ මොකක් හරි මඟඩියක් කරන බවයි ජගත් ඇතුළු පිරිසටම වැටහුණේ. ඒත් ඉතින් නටන එක නවත්වන්නත් ඔවුන්ට බැහැ. මේ අතර යක්බෙරයෙන් සංගීත වාදනයකට මාරු වෙන එක් තැනක් නාට්‍යයේ තිබුණා. ඒත් ආයෙත් ඒ සංගීත වාදනය යක්බෙරයේ පදවලට මාරු විය යුතුයි. ඒ මාරු වෙන තැන සංගීතය අවසන් වුණත් යක්බෙරයේ වාදනය නැවතිලා. යක්බෙරය තිබුණත් නෝබට් මාමා පේන්න නැහැ. හොයලා බලද්දි නෝබට් මාමා බයිසිකලයත් අරගෙන ගෙදර ගිහින්. තිස්ස සර් ඊළඟට හෙව්වේ ජේආර්ව. ඔහු එකපාරටම මතු වුණේ මඬත් නාගෙන. වුණු දේ මොකක් ද කියලා හැමෝම දැනගත්තේ ඒ වෙලාවේ. කොහොම වුණත් තිස්ස සර්ගෙන් ජේආර්ට අපූරු දඬුවමක් ලැබුණා. ඒ ඊළඟ දවසේ උදේ ගිහින් ජේආර්, නෝබට් මාමාගෙන් සමාව අරගෙන ඔහුව එක්කගෙන කම්පටිෂන් එකට ආ යුතු බව.
මේ සිදු වීම වෙන්නේ ජගත් රඟපෑව ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ ‘කලම්බු කලම්බු’ නාට්‍යයේදි. ඔහුත් එක්ක සෞම්‍ය ලියනගේ, සරත් කරුණාරත්න, අනුසූයා සුබසිංහ, උපුල්, තිලංක ගමගේත් රඟපෑවා. ඒකේ තියෙනවා බස් එකක ජවනිකාවක්. එතැනදි යන දෙබස් ටික නළු නිළියන් අතර ඉක්මනට ඉක්මනට යා යුතුයි. ඒත් මෙතනදි එකපාරටම ජගත්ට තමන්ගේ දෙබස අමතක වුණා. දැන් නාට්‍යය ඉදිරියට යන්නේ නැතිව නැවතිලා. ඒත් එක්කම ජගත්ගේ දෙබස කිව්වෙ ඔහුට එහා හිටිය නළුවා. ඒ තැනට ඔබින විදියට. ඒත් ඒ ප්‍රශ්නයට උත්තරය දිය යුත්තේ ඒ නළුවාම වුණත් තැනට ඔබින විදියට ඔහු ඒකටත් උත්තර දුන්නේ ජගත්ගේ ජාමය බේරන ගමන්. ඒ එක්කම දෙබස ජගත්ට මතකයට නැඟුණත් ඔහුත් හෙමිහිට එතැනට වෙන දෙබසක් තෙපළලයි යන්තමට ගොඩ ගියේ. ප්‍රේක්ෂකයාට ඒ නොදැනුණත් නාට්‍යය අවසානයේ අධ්යක්ෂවරයා ෆර්ඩිගෙන්, ජගත්ට ඒ සිදු වීම ගැන විෂය කරුණුත් එක්කම ලුණු ඇඹුල් ඇතුව අහගන්න ලැබුණ එක වෙනම කතාවක්. කොහොම වුණත් මේ අමතක වීම නිසා සිතේ ඇති වුණු බලපෑම ජගත්ට අදත් දැනෙන බවයි ඔහු පැවසුවේ.
ඒ වගේම කාලයකට කලින් හෙන්රි ජයසේනයන් පරිවර්තනය කළ ‘මකරා’ නාට්‍යය ජයලත් මනෝරත්නයන් අධ්‍යක්ෂණය කළා. ඒ නව නිෂ්පාදනයක් ලෙස. ජගත් මේ නාට්‍යයෙත් රඟපෑවා. ඔහු එහි රඟපෑවේ ලාන්ස්ලොට්ගේ චරිතය. ප්‍රවීණ නළු ජයලත් මනෝරත්නයන් මෙහි රඟපෑවේ පුරපතිගේ චරිතය. ජගත්ගේ හිතේ ජයලත් මනෝරත්නයක් ගැන තිබුණේ බොහොම ගෞරවයක්. ඒ ඔහු ප්‍රවීණ රංගන ශිල්පියෙක් නිසා. අනෙක් කාරණය ජගත්ගේ ගුරුවරයෙක්. මේ නිසා ඔහු ජයලත් මනෝරත්නයන් සමඟ මේ නාට්‍යයේ රඟපාන ජවනිකාවේ රඟපෑවේ බොහොම අපහසුතාවෙන්. එහිදි පුරපතිව වැරැදි කරලා අහුවෙන ජවනිකාවේ ජගත්ට මනෝරත්නට අත්දික් කරලා ඔහුගේ මුහුණ බලලා කියන්න තියෙන්නේ “අරන් පලයල්ලා මූව” කියන දෙබස. ඒත් හැමදාම ජගත් කළේ ඒ දෙබස කියන කොටම මනෝරත්නයන්ට අත දික් කරත්, ඔහුගේ මුහුණ නොබලා ඉවත බලාගෙන කියන එක. මේ ගැන කොයිතරම් අධ්යක්ෂවරයා හදා ගන්න කිව්වත් ජගත්ට හදාගන්න බැරි වුණු එකම වරදත් ඒකම බවයි ඔහු සිතන්නේ. ඒක ජගත්ගේ අඩුපාඩුවක් විදියට ජගත්ම දැක්කත් මනෝරත්නයන්ට තිබුණු ගෞරවය නිසාමත්, මොකක්දෝ දෙයක් නිසාමත් කිසිම දවසක ඒ දෙබස ජයලත් මනෝරත්නයන් දෙස බලාගෙන කියන්න ජගත්ට බැරි වුණා.