යකැදුරාගේ සිට නාට්‍යවේදියා දක්වා

ජූලි 9, 2020
ප්‍රියංකර රත්නායක -  ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ප්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමා රංග ශිල්පියෙකි. ප්‍රවීණ නාට්‍යවේදියෙකි.

 

නාට්‍ය කලාව 

පහළවීමේ ස්වරූපය

ආදි මනුෂ්‍යා මෙසේ තම තාර්කික ඥාණයෙන් අවබෝධ කර ගත නොහැකි වූ බලවේග පාලන කිරීමට ගත් උත්සාහයේ දී මෙසේ නොපෙනෙන, තේරුම් ගත නොහැකි ස්වභාව ධර්මයේ බලවේග ඒවා තමන්ට පාලනය කර ගත හැකි බලවේග බවට පත් කර ගත් අතර ඒවාට යම් පුද්ගලත්වයක් ආරෝපණය කිරීමෙන් ඒවා පාලනය කළ හැකි පහසු මාර්ගයක් සකස් කර ගත්තේය. මෙසේ තමන් පාලනය කළ යුතු නපුරු බලවේග යක්ෂයින් ලෙසින් ද, හොඳ බලවේග දෙවියන් ලෙසින් ද සඳ තරු වැනි වස්තූන් ග්‍රහයින් ලෙසින් ද පුද්ගලත්ව ස්වරූපයකට හරවා ගත්තේය. නාට්‍යයේ පමණක් නොව සංගීතය, නර්තනය, අක්ෂර, චිත්‍ර ආදී කලාවන්ගේ බිහිවීමේ එක් ස්වරූපයක් වූයේ දෙවියන්, යක්ෂයින් ග්‍රහයින් සමඟ කරන ලද සංවාදයේ ස්වරූපයයි. නාට්‍යමය ලක්ෂණ පහළවීමේදී සංවාද, අනුකරණය, අනුරූපණය ආදිය ඇති විය. දෙවියන් යක්ෂයින් ග්‍රහයින් ඇතුළු බොහෝ අභිචාර විදින් දෙවියන්, යකුන්, ග්‍රහයින්ගේ බිහි වීම සම්බන්ධ පුරාවෘත්තයන්ය. හඬ, ශබ්ද, අංග චලන ආදිියෙන් එම පුරාවෘත්ත විස්තර කිරීමට යෑමේදී නාට්‍යමය ලක්ෂණ බිහි විය. පිරිසක් විසින් බලා සිටියදී තව පිරිසක් මූලික වී අභිචාර යාතුකර්ම ආදිය කිරීමේ වගකීම බාර ගත්තේය. වගකීම බාරගත් පිරිස පුරාවෘත්ත පිළිබඳව හා දෙවියන්, යකුන්, ග්‍රහයින් හා කථා කිරීමේ භාෂාව දන්නවුන් විය. ඔවුන් සතුටුවන ආකාරයෙන් අංග චලන, හඬ, ශබ්ද, වෙස් ගැනීමේ ආදියේ මෙම පිරිස දක්ෂයෝ විය. අභිචාර යාතුකර්මවලට නායකත්වය ගනිමින් එය මෙහෙය වන්නා ඒ පිළිබඳ ඇසූ පිරූ තැන් ඇත්තෙක් විය. ගයමින්, නටමින්, දෙවියන්, ග්‍රහයින් හා යක්ෂයින් සමඟ සංවාදයේ යෙදෙන නායකයා වර්තමානයේ නාට්‍ය අධ්‍යක්ෂවරයා වේ. නාට්‍යයේ මුල් ස්වරූපය ගොඩනැගූ තැනැත්තා වේ. අභිචාර යාතුකර්ම, සෙත් ශාන්තිවල පෙරමුණ ගත් පුද්ගලයා දෙවියන් සමඟ අභිචාර විධීන්හිදී කපුරාල විය. යකුන් සමඟ අභිචාර විධීන්වලදී යකැදුරා විය. ග්‍රහයින් සමඟ අභිචාර විධින්වලදී බලි ඇදුරා විය.

දඩයමේදී මුහුණ දුන් අත්දැකීම්, නපුරු හා හොඳ බලවේග පිළිබඳ අත්දැකිම් ඔවුන්ගේ ප්‍රබන්ධමය එකතු කිරීම් සමඟ කතන්දර ලෙසින් පිරිසට කියා දෙන්නට ඇත. සිද්ධි අනුකරණය කිරීමේදී ඊට අනුරූප වන ලෙස ලේ, අළු, අඟුරු ආදියෙන් වෙස් වළා ගනිමින් ද ගුහාවල ඒවා ඇඳ පෙන්වමින් (ගුහාචිත්‍ර) බඩට උදරයට ගනිමින් ශබ්ද උත්පාදනය කර ගනිමින් තමන් දුටු වස්තූන් පුද්ගලත්ව රෝපනය කරමින් දඩයමේ දක්ෂ වූ අති විශේෂ පුද්්ගලයන් මුතුන් මිත්තන් ගැන විස්තර කරමින් නාට්‍යානුසාරයෙන් පිරිස සතුටු කරන්නට ඇත. ඒවා අසා බලා පිරිස සතුටුවන්නට ඇත. ඒ පිළිබඳ ප්‍රශ්න කරමින් විස්තර අසන්නට ඇත. නාට්‍යමය ලක්ෂණ වූ අනුකරණයේ, සමාරෝපයේ වෙස් වලා ගැනීමේ, සංවාදයේ, අනුෂාංගික අංග (අංග රචනය, වෙස් මෝස්තර) භාවිතය් මුල් ස්වරූපය මෙසේ බිහි වන්නට ඇත. ඒවා ආසා සිටි, රස විඳි අය ප්‍රේක්ෂකාගාරයේ මුල් ස්වරූපය විය. දෙවියන්, යක්ෂයින්, ග්‍රහයින්ට අමතරව සුවිශේෂ පුද්ගල වෘත්තාන්ත ඔවුන්ගේ මුතුන් මිත්තන් සම්බන්ධ කතාන්දරවලට ද දෙවියන් යකුන් පිළිබඳ ප්‍රබන්ධ එකතු වන්නට ඇත. ජපන් ඇදහිලිවල ‘කමි’ යනුවෙන් විස්තර කරන්නේ දෙවියන්ය. එහි අදහස ‘උත්තම‘ යන්නයි. ජපන් ෂින්තෝ් ආගමේ අප්‍රමාණ කම්වරු (උත්තම) හෙවත් දෙවිවරු සිටිති. පෘතුවියේ හා දෙව් ලොව වසන සියලු උත්තම ගණයේ පුද්ගලයෝ ද දෙවිවරු වෙති. ඊට අනුව සූර්යා දෙවඟනකි. ඇගේ පුතු ද, දියණිය ද දේවත්වයෙහිලා සලකති. කමි හෙවත් දෙවිවරු යනු ස්වභාව ධර්මයේ විවිධ බලවේගවලට දේවත්වය ආරෝපණය කිරීමකි.

ග්‍රහයින්ට (සූර්යා) හා මනුෂ්‍යන්ට පමණක් නොව සිවුපාවුනට, වෘක්ෂ ලතාවනට, කඳු, මුහුදු ආදී ප්‍රාණික හා අප්‍රාණික සියල්ලන්ටම දේවත්වය ආරෝපණය වේ. පසු කාලයකදී මේ කතා කියූ වැඩිහිටියෝ ආගමික කටයුතුවල මෙන්ම තැනින් තැන යමින් කතන්දර කියන්නන් බවට පත් විය. ග්‍රීක ඉතිහාසයේ එන “හෝමර්” නම් කවියා එවැන්නෙකි. ඔහුගේ පුරාවෘත්ත ඇතුළත් ග්‍රන්ථය ඊලියඩ් හා ඔඩිසි නම් විය. ඉන්දීය ඉතිහාසයේ එන වාල්මිකි ද එවැන්නකි. ඔහු විසින් ප්‍රබන්ධ කරන ලද කථාන්දර රාමායනය කෘතීයේ දැක්වේ. ඔවුන් ඉතිහාසයේ විස්තර කරන්නේ වංශකතා රචකයෝ ලෙසිනි. ජපානයේ එවැනි වංශ කථා මූලාශ්‍රය වූයේ කොජිකි, නිහොන් ෂොකි, ගෙන්ජි මොනොගොතරි නමින් හැඳින්වේ. සම්භාව්‍ය නාට්‍ය කලාවක් ග්‍රීසියේ, ජපානයේ, ඉන්දියාවේ පහළ වු යුගවලදී නාට්‍යයට අවශ්‍ය වස්තු විෂයන් උපුටා ගන්නා ලද්දේ (ර්‍ථතධබ) මෙ වංශ කතාවලිනි. අපට ද මෙවන් වංශ කතා මූලාශ්‍ර දෙකක් ඇත. සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍යයට මූලාශ්‍ර ගැමි නාට්‍යකරුවා ද වූ චුල්ලධනුද්දර ජාතකය උපුටා ගත් ජාතක පොතෙය. සිංහබාහු නාටකයට මූලාශ්‍රය උපුටා ගන්නේ මහාවංශය අනෙක් වංශ කතාවයි. ලෝකයේ සෑම රටකම වංශ කතාකාරයෝ නාට්‍යයට නෘත්‍යයට අවශ්‍ය කතාන්දර ප්‍රබන්ධ කළේ්ය. දෙවියන්, යකුන්, ග්‍රහයින්, මුතුන් මිත්තන් පිළිබඳ ප්‍රබන්ධ ගෙතූ අභිචාර විධින් සිදු කළ වංශ නාට්‍යකාරයෝම නාට්‍ය සම්බන්ධ මූල ග්‍රන්ථ සම්පාදනයේ ද යෙදිනි.

ජපානයේ ඉමිබේ වංශ පරම්පරාවේද ආගමික කාර්යයන්වල යෙදීමේ ආරම්භකයෝය. එහි පැරණි වංශයක් වූ නකතමිවරුන්ගේ ද මුතුන් මිත්තෝ එවැන්නෝ වෙති. සංස්කෘත නාට්‍යයේ නාට්‍ය ශාස්ත්‍රය ලියූ භරත මුණි යනු එවැනි පරම්පරාවක් යැයි විශ්වාස කරති. නාට්‍යවේදය දෙව්ලොව සිට මිනිස් ලොව වෙත ගෙන ගොස් ඉදිරිපත් කිරීීමේ කාර්යභාරය පැවරුණේ භරතයන්ටය. ගෝත්‍රික යුගයේ පිරිසක් (ප්‍රේක්ෂකයන්) ඉදිරියේ කතාන්දර, අත්දැකීම් විස්තර කිරීම සඳහා ඔවුන් භාවිතා කළ ශබ්ද සංගීතයට ද අංග චලනයන් නර්තනයට ද විස්තර හා වෙස් වළා ගැනීමට භාවිත සිත්තම් චිත්‍රයට ද මූලාරම්භය සැපයීය. මේ සියල්ල එක්ව ගෙන ඉදිරිපත් කළ නාට්‍යානුසාරි විස්තරය නාට්‍ය කලාවට මුල් විය.

නාට්‍යයේ ආරම්භය පිළිබඳ ප්‍රබන්ධමය මත

නාට්‍ය මනුෂ්‍යාගේ නිර්මාණයක් බව පැහැදිලිය. නාට්‍ය කලාව මනුෂ්‍ය ශ්‍රමය මත පදනම් වූවක් බැවින් මනුෂ්‍යයා මෙලොව පවතිනතුරු නාට්‍ය කලාව ද නොනැසී පවතින්නේය. නමුත් පෙරදිග ද අපරදිග ද නාට්‍ය පෝෂණය වීමට ආගමික සන්නිවේදනය වැදගත් වූ බව ආගමික ඉතිහාසය හා නාට්‍ය ඉතිහාසය සංසන්දනය කරන විට පැහැදිලිය. නාට්‍ය කලාව ආගමික බලපෑමෙන් සම්පූර්ණයෙන් විතැන් වූයේ අපරදිග ලෝකයේදී එළිසබතන් යුගයේදීය. අපේ නූර්ති මිනර්වා, ටීටර් ආගමික බලපෑමෙන් වියුක්ත විය. ලෝකය කෘෂිකාර්මික වැඩවසම් යුගයෙන් වියුක්ත වෙනතුරු ග්‍රීක, රෝම, මධ්‍යකාලීන ජපන්, චීන, සංස්කෘත, කෝළම් නාඩගම් සියල්ල ආගම හා බැඳී තිබිණ. එබැවින් නාට්‍යයේ උපත සම්බන්ධව දිව්‍යමය ප්‍රබන්ධයන් ද පවතී. එම උත්පත්ති කතාව දෙවියන්, ග්‍රහයින්, යක්ෂයින්, මුතුන් මිත්තන් හා ද සම්බන්ධ වේ.

 

 

 

සංස්කෘත නාට්‍ය සාහිත්‍යයේ උපන් කථාව

මිත්‍යා ස්වරුපයක් ගත් කථා පුවතකට සමීප නාට්‍ය ප්‍රභවයේ විස්තරය තාර්කික නොවූව ද ප්‍රබන්ධයට අනුව නාට්‍යවේදයකි. වේද යනු හින්දු ආගමේ භක්තිමත් ආගමික ඉගැන්වීම් වේ.

සෘග් වේදය

සාම වේදය

යජූර් වේදය

අථර්වන් වේදය යන වේද සතර මෙන් නාට්‍ය ද වේදයකි. එය පස්වන වේදය වේ. නාට්‍ය යන වදන අපට මුලින් හමු වන්නේ සතර වේදයේ පාඨ වලය. ‘සෘග් වේදයේ’ එන නෘතු යන පදය ‘නටන්නා’ යන අර්ථයෙන් උසස් දෙව්දුවටය. සෘග් වේදයේ එන ‘සුක්ත’ කොටස් රචනා වී ඇත්තේ දෙබස් සංවාද ලෙසිනි. සංස්කෘත ඉතිහාසයේ එන සෝම යාග පූජාව, මහා ප්‍රාණ පූජාව (මිනිසුන් අතර ප්‍රජනන ශක්තිය දියුණු කිරීම මෙම පූජාවේ අරමුණ වේ. සෝම යුෂ ආරක්ෂා කරන ගාන්ධර්වයන්ගෙන් ලබා ගැනීම අනුකරණය කිරිම) මඟින් හිරුගේ තාපය වැඩි කොට වැසි වස්සවා පොළව සාරවත් කිරීම අපේක්ෂිත මෙම යාගයේ ද සුරයන් විසින් අසුරයන් පළවා හැරීම අනුරූපණය කරයි. වෛදික යුගයේ ප්‍රචලිත මෙම සිදුවීම් නාට්‍ය කලාවේ උපතට ද හේතු වී ඇත. නාට්‍ය කලාව වේද කෘතීන් මෙන් දිව්‍යමය නිර්මාණයකි. සම්භාවභාව්‍ය

නාට්‍ය ශාස්ත්‍රයේ එන විස්තර කිරීමට අනුව වෛදික යුගය අවසානයෙහි ලෝ වැස්සන්ගේ ඇස් කන් නාසා පිනවීමට ද එමඟින් විනෝද සුවය අත්පත් කර ගැනීම නව සාහිත්‍ය විශේෂයක් විය. සතර වේදයේ ද ගැටළුව ඇත්තේ එය ඇදහීමේ අයිතියක් ශුද්‍ර ඇතුළු පහත් කුලවලට අයට නොමැති වීමය. ඒ සඳහා ශුද්‍ර ඇතුලු වර්ග 04 ටම රස විඳීමට යෝග්‍ය නාට්‍යවේදය නිපදවෙන ලෙස දේව සමූහයා බ්‍රහ්ම දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය. ඊට සවන් දුන් මහා බ්‍රහ්මයා සතර වේදයෙන් ඊට අවශ්‍ය කොටස් උපුටා ගත්තේය. සෘග් වේදයෙන් පාඨයද, සාම වේදයෙන් ගීතය ද, යජුර් වේදයෙන් අනුකරණය හා නැටුමද අථර්වන්වේදයෙන් රසයද ලබා ගත්තේය. ඉන් පසු ඔවුහු රඟහලක් හදන ලෙස විශ්වකර්ම දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය. එසේ කොට කරන නාට්‍යවේදය රඟහලෙහි රඟ දක්වන ලෙස දෙවියන්ට අණ කළේය. නාට්‍ය රඟ දැක්වීමේ වගකීම භරතයන්ට පැවරීය. වෙනත් දෙවිවරු එය සාර්ථක කර ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ සඳහා ශිව දෙවියන්ගෙන් තාණ්ඩව නැටුමද, පාර්වතී දෙවඟනගෙන් ලාස්‍ය නැටුම ද ලබාගෙන විෂ්ණු දෙවියන්ට සිව් වැදෑරුම් නාට්‍ය රීතියෙන් එය පෝෂණය කොට ඉදිරිපත් කිරීමට පැවරීය. දෙව්ලොව නිර්මිත නාට්‍ය මිනිස් ලෝකයට ගෙන යෑමේ වගකීම පැවරුණේ භරතයන්ටය.

නාට්‍යයේ ප්‍රභවය පිළිබඳ ජපන් නාට්‍ය කලාවේ පුරාවෘත්තය

නෝ නාට්‍යයේ ප්‍රභවය පූර්ව ඓතිහාසික යූගවල පැරණි පුරාවෘත්ත හා බැඳී පවතී. තාර්කික ගවේෂණවලදී අපට හමුවන්නේ ජපන් නාට්‍ය කලාවේ ප්‍රභවය දොළොස් වන දහතුන් වන සියවස්වල ප්‍රචලිත විවිධ නෘත්‍ය දර්ශනයන්ගෙන් ආරම්භ වූ බවයි. නමුත් ජපන් නාට්‍ය කලාවේ ප්‍රභවයට මූලික වූ ප්‍රාථමික ආගමික ධර්මයන්ට අනුව ස්වභාව ධර්මයේ බලවේග වන්දනාමාන කළ නෘත්‍ය දර්ශන නාට්‍ය කලාවේ උපතට මුල් විය. බූගකු, දෙන්ගකු සරුගකු වැනි ලෞකික හා ආගමික නෘත්‍යන් නෝ නාට්‍ය කලාවේ ප්‍රභවයට මුල් විය. මෙම සමහර නෘත්‍යාංග චීනයෙන් ද, කොරියාවෙන් ද සංක්‍රමණය වූ ඒවා වේ. නමුත් දෙන්ගකු සොරුගිකු නෝ නාට්‍යයේ සැබෑ ප්‍රභවයට මුල් වී ඇත. නෝ, කබුකි ක්යොගෙන් නම් නාට්‍ය ශෛලීන් හා ඒවායේ චරිත වස්තු විෂය, අනුෂාංගික අංග විමසා බැලීමේදී ජපන් මිත්‍යා විශ්වාස වල එන දෙවිවරු, ෂින්තෝ ආගම, බුදු දහම නාට්‍ය කලාවේ උත්පත්තියට බලපා ඇත. සන්ගිකු හා දෙන්ගකු ආගමික චාරිත්‍ර සමඟ සෘජුව බැඳී තිබූ අධ්‍යාත්මික රංග විශේෂයෙකි. ඒවායින් උපන් නෝ වූ කලී දැනට ජීවමානව පවතින ලෝකයේ පැරණිතම නාට්‍ය සම්ප්‍රදාය වේ. ‘සරුගකු’ වූ කලී ජනප්‍රියවාදී ජනහිතකාමී නාට්‍ය ශෛලියකි.

ඉන් විකාශනය වූ කබුකි නාට්‍යයද දැනට ජීවමානව රඟ දැක්වෙන පැරණිතම ලෞකික නාට්‍ය සම්ප්‍රදායකි. ක්යෝගන් වූ කලී නෝ නාට්‍ය අතර මැද රඟදැක්වෙන හාස්‍යයෝත්පාදක නාට්‍ය විලාසයක් වේ. මෙම නාට්‍ය සම්ප්‍රදායන් තුනම පූර්ව - ඓතිහාසික ඇදහිලි හා බැඳී පවතින අතර පුරා වෘත්තවලට අනුව නාට්‍ය කලාවේ උත්පත්තිය දෙවිවරුන්ගේ සමයේ දිව්‍යමය පර්වත ගුහාවෙහි ඇති වූ වසංගතයක් හා බැඳී පවති ඔවුන්ගේ අදහස දෙවිවරුන් පහළ වූ දා සිටම නාට්‍ය ද පහළ වී ඇත. සූර්ය දෙවියන් හා එම පුරා වෘත්තය බැදී පවතී. කොජිකි සහ නිහොන්ෂොකි නම් පැරණි ග්‍රන්ථවල නාට්‍ය ඉපැද්දීමට හේතු වූ වසංගතය පිළිබඳ පුරාවෘත්තය විස්්තර වේ.

සූර්ය දේවතාවිය සිය කැමැත්තෙන්ම දිව්‍යමය ගල් ගුහාවෙහි සැඟවුණු විට සියල්ල අඳුරින් වෙලී ගියේය. සියලු දෙවියෝ දෙව්ලොව ‘කගු’ නම් පර්වතයට රැස් වී සූර්ය දේවතාවියගේ කෝපය නිවන මඟක් ගැන කල්පනා කළහ. ඔවුන් පූජනීය හැඟීම් ජනනය කරන සංගීතය ද හාස්‍ය ජනනය කරන නැටුමින් ද ඇය සතුටු කිරීමට උත්සාහ කළහ. එහෙත් ඉන් සූර්ය දේවතාවිගේ කෝපය පහ නොවීය. ඔවුන් අතර වුන් “අමනෝ උගුමෙනො මිකොකො” නම් දෙව්දුව ‘සකකි’ නම් ශුද්ධ වෘක්ෂයේ එල්ලා වැටෙන ‘ෂිදෙකි’ නම් අත්ත සොලවමින් දිව්‍යමය ප්‍රබෝධයෙන් යුතුව ගායනය කරමින් ගයන්නට වයන්නට පටන් ගත්තීය. ඇගේ කටහඬට සූර්ය දෙව්දුව දිව්‍යමය ගුහාවේ දොරටුව මදක් විවර කළාය. එවිට සෑම තැනම ආලෝකය පැතිරෙන්නට විය. මහත් සතුටට පත් දෙවි දේවතාවියෝ නර්තනයෙන් ගායනයෙන් සූර්ය දෙව් දුවට සංග්‍රහ කළහ. සරුගකුවල උත්පත්තියට හේතු වූයේ මේ ප්‍රබෝදමත් නර්තනය හා ගායනයන්ය. මෙම ප්‍රීති උත්සවවලින් නෝ ප්‍රභවය සිදු විය. චීනයේ සිට ජපානයට සන්ගකු හෙවත් සරුගකු පැමිණි අතර ඉන් නෝ නාට්‍ය ද කබුකි නාට්‍යය ද ක්යෝගෙන් නාට්‍ය ද ඇති විය.