නාට්‍ය යනු කුමක්ද?

ජූලි 2, 2020

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්

නාට්‍ය හා රංග කලාව විෂයේ ඉතිහාසය විමසා බලන විට නාට්‍ය යන්න හඳුනා ගැනීමට විග‍්‍රහයන් වර්ග දෙකක් හමු වෙනු ඇත. පළමුවැන්න නම් නාට්‍ය යනු කුමක්ද, එහි උපත කෙසේ සිදුවීද, නාට්‍ය විෂයෙහි ස්වරූපය කෙසේ ද යන්න විග්‍රහ වන ජන මුලාශ්‍රයන්හී එන විස්තර කිරීමයි. දෙවැන්න, පුරා විද්‍යා සාධක හා තාර්කික විග්‍රහයන්ට අනුව අප අවබෝධ කර ගත හැකි රංග කලාවේ උපත පිළිබඳ විග්‍රහයයි. මෙම විග්‍රහයන් දෙකම නාට්‍ය ඉතිහාසය පිරික්සීමේදී අපට හමු වේ. මෙම විග්‍රහයන් දෙකම සහිත රංග කලාවේ උත්පත්තිය හා නාට්‍ය හා රංග කලාව පිළිබඳ ප්‍රාමාණික දැනුම් සම්භාරයක් සහිත මූලාශ්‍ර ග්‍රන්ථ හෙවත් නාට්‍ය හා රංග කලාවේ ප්‍රායෝගික හා න්‍යායාත්මක ශාස්ත්‍රීය කරුණු සෑහෙන ප්‍රමාණයක් අඩංගු ඓතිහාසික ග්‍රන්ථ ත්‍රිත්වයක් අදටත් අපගේ අධ්‍යයනයන් සඳහා ඉතිරිව ඇත. එනම්

ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය (ග්‍රීක) ක්‍රි. පූ. 03

භරතමුණි නාට්‍ය ශාස්ත්‍රය (ඉන්දීය) ක්‍රි. ව. 02

සෙදමි පුෂිකදෙන් (ජපන්) ක්‍රි. වර්. 12

මොතොතියෝ වේ.

මෙම කෘතීන් තුනෙහිම නාට්‍ය ප්‍රභේද, රචනය, රූපණය, භාව ප්‍රති නිර්මාණය, ආනුශාංගික අංග භාවිතය, නාට්‍ය ප්‍රේක්ෂකයා, ප්‍රේක්ෂකාගාරය, නාට්‍ය රස වින්දනය හා විචාරය පිළිබඳ ඉතා විශාල කරුණු රාශියක් විස්තර කොට ඇත. නාට්‍ය රංග කලාවේ මූලිකාංග ගැන ලිය වී ඇති කෘතීන් සියල්ලක්ම පාහේ ඉහත කෘතීන් ත්‍රිත්වයේ විග්‍රහයන් තවදුරටත් විග්‍රහ කරමින් ඊට අටුවාවන් සපයන කෘතීන් වේ. නාට්‍ය විෂය පමණක් වෙනත් කලාංග (සිනමාව, චිත්‍ර කලාව, නර්තන කලාව) කෙරෙහි ද ඉහත සඳහන් කෘතීන්වල බලපෑම දක්නට ඇත. නිදසුනක් ලෙස වර්තමානයේ චිත්‍රපට රචනයේ දී අප හදාරන මූලාශ්‍ර කෘතියක් වන සිග්ෆිලඩ්ගේ තිර රචනය සම්බන්ධ ග්‍රන්ථ කෙරෙහි වැඩිම බලපෑමක් කොට ඇත්තේ ඇරිස්ටෝටල් විසින් සම්පාදිත කාව්‍ය ශාස්ත්‍රය නම් ග්‍රන්ථයයි. මෙම මුල් ග්‍රන්ථයන් සංසන්දනය කරමින් ද සමාන්තරව විග්‍රහ කරමින් ද ලියන ලද පොත්පත් විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ. නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්නා විට නිතර අපට ඇසෙන පෙරදිග හා අපරදිග රංග කලාව යන වෙන් කිරීමට මුලාශ්‍ර වන්නේ මෙම මූලාශ්‍ර කෘතීන් තුනෙහි විග්‍රහයන්ය.

 

පෙරදිග රංග කලාව

ඇරිස්ටෝටල්් විසින් සම්පාදනය කරනු ලැබූ කාව්‍ය ශාස්ත්‍රය නම් කෘතියෙන් පූර්ව කාව්‍ය ශාස්ත්‍ර යුගයේ සිට පශ්චාත් කාව්‍ය ශාස්ත්‍ර යුගය එනම් නූතන යුගය දක්වා යුරෝපය, ඇමරිකාව, එංගලන්තය, රුසියාව ආදී බටහිර රටවල විසිරී ඇති නාට්‍ය හා රංග කලාවයි.

 

අපරදිග රංග කලාව

භරතමුණි විසින් විරචිත නාට්‍ය ශාස්ත්‍ර හා සෙදුම් මොතොකියෝ විසින් සම්පාදනය කරනු ලැබූ පුෂිකදෙන් යන (පුෂිකදෙන් කෘතිය කෙරෙහිද භරත මුණිගේ නාට්‍ය ශාස්ත්‍රය බලපා ඇත) කෘතීන් ලියවෙන්නට පූර්වයෙහි ඉන්දියාව, ජපානය හා චීනය ප්‍රමුඛ පෙරදිග ආසියාතික රටවල විසිරී ඇති රංග කලාවේ සිට වර්තමානයෙහි රංග කලාව දක්වා රංග සම්ප්‍රදායන් අධ්‍යයනය නාට්‍ය ශාස්ත්‍රයේ බලපෑම අපේ රටෙහි නාඩගම් කෝලම් ආදී ජන නාට්‍යවල සිට සරත්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධනයන් ආදීන්ගේ නාට්‍යයන්හි දක්නට ලැබේ. එපමණක් නොව පෙරදිග රටවල ඇති චීන ජපන්, තායිලන්ත, ඉන්දුනීසියා ආදී රටවල නාට්‍ය අප නිතර අසන කියවන නෙව්, කබුකි, පීකිං ඔපෙරා මෙන්ම ඉන්දියාවේ නෝටාංකි, ආට්ටම්, තුල්ලල් ආදී ගැමි නාට්‍ය කෙරෙහිද නාට්‍ය ශාස්ත්‍රයේ බලපෑම දක්නට ලැබේ. රංග කලාව පමණක් නොව සිනමාව නර්තනය සංගීතය ආදී පෙරදිග කලාවන් කෙරෙහිද නාට්‍ය ශාස්ත්‍රයේ බලපෑම දක්නට ලැබේ. සංස්කෘත නාට්‍යයක එන තේමාවන් චරිත ආකෘතිය නවනළු රසය යන සංකල්ප හින්දි චිත්‍රපටයක් හා සසඳා බලන්න. එවිට මෙම බලපෑම හොඳින් අවබෝධ කොට ගත හැක. වීරයා, දුෂ්ටයා (ප්‍රතිවීරයා) කවටයා ආදී හින්දි චිත්‍රපට පමණක් නොව පැරණි අපගේ සිංහල චිත්‍රපටවලත් එන මෙම චරිත සිනමාවට ආගමනය වී ඇත්තේ සංස්කෘත නාට්‍ය ආශ්‍රයෙනි. කතානායකයා (වීරයා) ප්‍රති කතානායක (දුෂ්ටයා) විහිළුකාරයා (කවටයා) කථා නායිකාව (වීරවරිය) ආදී චරිත කවරාකාරයෙන් විය යුතු ද, ඔවුන් හැසිරෙන කතා කරන ආකාරය, පෙනුම, ගතිගුණ ආදිය කෙසේ විය යුතු ද යන්න භරතමුණි විසින් නාට්‍ය ශාස්ත්‍රයේ දීර්ඝ ලෙස විස්තර කොට ඇත.

නාට්‍ය කලාවේ උපත පිළිබඳ පෙරදිග මෙන්ම අපරදිග ලෝකයේ ද විවිධ ප්‍රවාද කථාවන් දක්නට ලැබේ. එයට හේතුව නාට්‍ය කලාවේ උපත ආගම්, දෙවිවරු, සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයේ විශ්වාසයන් සමඟ බැඳී පැවතීමයි. බොහෝ විට නාට්‍ය කලාවේ උත්පත්තිය සශ්‍රීකත්වය සම්බන්ධ කෘෂිකාර්මික පූජාකර්ම හා සම්බන්ධව පවතී. නාට්‍ය කලාවේ උත්පත්තිය හා ගැමි නාට්‍යයන්හි ප්‍රභවය ගැමි ඇදහිලි හා යාතුකර්ම පූජා කර්ම හා බැඳී පවතී.

 

ග්‍රාමීය ඇදහිලි හා නාට්‍ය කලාව

ගැමි නාට්‍ය කලාව සම්බන්ධ ප්‍රවාදයන් හා සම්බන්ධ ගැමි යාතුකර්ම හා ඇදහිලි විශ්වාසවලම වර්ධනීය අවස්ථාවක අප උසස්, සම්භාව්‍ය නාට්‍ය යැයි විශ්වාස කරන සංස්කෘත, ග්‍රීක, ජපන් නාට්‍ය කලාවේ ප්‍රභවය සම්බන්ධ මූලාශ්‍රවලට ද හේතු සාධක වී ඇත. නාට්‍ය කලාව සම්බන්ධ මෙම පූජා කර්ම, යාතු කර්ම මූලික වශයෙන් ඇදහිලි විශ්වාසයන් තනිකම් මත වර්ධනය වී ඇත. එනම්

දෙවියන් පිළිබඳ විශ්වාසයන්

යකුන් පිළිබඳ විශ්වාසයන්

ග්‍රහයින් පිළිබඳ විශ්වාසයන්

බොහෝ විට ශාන්තිකර්ම එනම් ජනයාට සෙත්පතා කෙරන කොහොඹ කංකාරිය, සොකරි වැනි ගැමි රංගනයන් මෙන්ම ග්‍රීක, සංස්කෘත, ජපන් නාට්‍ය උත්පත්තියේ මූලාශ්‍රයන්ට ද දෙවියන් පිළිබඳ විශ්වාසයත්, ඔවුන් පිළිබඳ කතාන්දර සම්බන්ධ වේ. ග්‍රීක නාට්‍ය උපත ඩයනිසස් දෙවියන් සමඟ ද සංස්කෘත නාට්‍යයේ උත්පත්තිය විශ්ව කර්ම දෙවියන්, ශිව දෙවියන්, පාර්වතී දේවිය, විෂ්ණු දෙවියන්ගේ සම්බන්ධතා දක්නට ලැබේ. කබුකි නාට්‍යයේ උත්පත්තිය කෙරෙහි ෂින්තෝ ආගම, අමිදනද බුත්සු හෙවත් අමිතාභය බුදුන්, සූර්ය දේවතාවා සම්බන්ධ තොරතුරු දක්නට ලැබේ.

යකුන් සම්බන්ධ ඇදහිලි විශ්වාසයන් හෙවත් ප්‍රවාදයන් යාතුකර්ම උත්පත්ති විෂයෙහි දක්නට ලැබේ. අපේ කෝලම්, යාග (රිද්දි යාගය වැනි) දහ අට සන්නිය විෂයෙහි මෙන් ග්‍රීක සංස්කෘත නෝ කබුකි නාට්‍යවලද යකුන් පිළිබඳ කතාන්දර චරිත බහුලව දක්නට ලැබේ.

ග්‍රහයින් යනුවෙන් ආදි ජනතාවගේ විශ්වාසයන්ට ඇදහීමට මූලික වූ හිරු, සඳු, තාරකා, ග්‍රහයින් පිළිබඳ රංග කර්ම ද නාට්‍ය කලාවේ විකාශනයට බලපා ඇත. කබුකි නාට්‍යයේ උපත කෙරෙහි සූර්ය දේවතාවිය සම්බන්ධ වේ. අපේ බලි ශාන්ති කර්ම ග්‍රහයින් විෂයෙහි පැවැත්වෙන ශාන්ති කර්මයක් වේ.

මෙසේ දෙවියන්, යකුන් හා ග්‍රහයින් සම්බන්ධ යාතුකර්ම, ශාන්ති කර්ම හේතු කොටගෙන නාට්‍ය කලාවේ උත්පත්තියට හේතු වූ නාට්‍යමය අවස්ථා පහළ විය. මන්ද යත් මේ ඇදහිලි ත්‍රිත්වයම මනුෂ්‍යාගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතය කෙරෙහි බලපෑමක් ඇති කළ අය විය. නාට්‍යයේ මූලික ලක්ෂණ පහළ වන්නේ මනුෂ්‍යයා විසින් දෙවියන් යක්ෂයින් හා ග්‍රහයින් තමන්ට අවශ්‍ය ලෙස පාලනය කිරීම මෙන්ම මනුෂ්‍යාගේ ජීවිතයට හොඳ හා නරක බලපෑම් කෙරෙන ඔවුන්ගේ මැදිහත්වීම පාලනය කර ගැනීම සඳහා කරන උත්සාහයන් හේතු කොටගෙනය.

 

දෙවියන්, ග්‍රහයින්, යක්ෂයන් නිර්මාණය වූයේ ඇයි

දෙවියන් හා යක්ෂයින් යනු මනුෂ්‍යාගේ විඥානයේම පවත්නා විශ්වාසයන් දෙකකි. එනම් ස්වභාව ධර්මයේ මනුෂ්‍යයාට බලපෑම් කරන ඇසට නොපෙනෙන බලවේග දෙකකි. ග්‍රහයින් යනු එසේ බලපෑම් කරන ඇසට පෙනෙන බලවේගයකි. මනුෂ්‍යා ස්වභාව ධර්මය තමන්ට අවශ්‍ය ලෙස පාලනය කර ගැනීමට ගත් උත්සාහයේ ඵලයකි දෙවියන් හා යකුන්. මනුෂ්‍යා තමන්ගේත් අනෙකාගේත් සතුට සඳහා බලපෑම් කරන ස්වභාව ධර්මයේ බලවේග මෙන්ම මනුෂ්‍යයින් අතර මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගොස් මනුෂ්‍යාට සතුට ළඟා කර දුන් බලවේග දෙවියන් බවට පත් විය. මනුෂ්‍ය පැවැත්මට අහිත කර බලපෑම් කරන ස්වභාව ධර්මයේ නරක බලවේග යකුන් ලෙස නම් කෙරේ. ඉර, හඳ, තරු ග්‍රහලෝක භෞතිකව අප ඉදිරියේ පෙනී සිටිමින්ම මනුෂ්‍යාව පාලනය කරනු ලබයි. අව්ව, වැස්ස, දවාල, කරුවල පාලනය කරනු ලබන්නේ ග්‍රහයන් විසිනි. ඒවා උපයෝගි කොටගෙන ඔවුන් මනුෂ්‍යාට සෙත් ශාන්තිය මෙන් අපල උපද්‍රවයන් ද කරයි. සමහර විට අපට ලෙඩ රෝග ආදී පීඩාවන් ග්‍රහයින් විසින් සිදු කරන්නේය. හිරු රශ්මිය වැඩි වූ විට ලෙඩ රෝග ඇති වී අපව අකර්මණ්‍ය කරයි. වැස්ස නිසා සෙම් රෝග ඇති වේ. අපගේ මානසික පීඩාවන්, සෙම් රෝග, පිත් රෝග විසින් ඇති කරනු ලබයි. අප ආභරණ පලඳින්නේ ද එසේ ග්‍රහයින්ගේ උදව්වෙනි. රත්‍රන් රිදී ආදී ලෝහයන් අපගේ ශරීරයට ආභරණයක් පමණක් නොව නොපෙනෙන බලවේග විසින් අපට කරන ලෙඩ දුක් රෝගවලින් අපව ආරක්ෂා කරනු ලබයි.

 

 

ප්‍රියංකර රත්නායක -

ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ප්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමා රංග ශිල්පියෙකි. ප්‍රවීණ නාට්‍යවේදියෙකි.