“මුළු ලෝකයම පණ අදිනවා”

ජූලි 30, 2020

ආචාර්ය හෙන්රි ජයසේනයන් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ “ර්ධබඩඥප ඛ්ධභපචඨඥ චදඤ ඩඥප ඛ්ඩඪතඤපඥද” ඇසුරෙන් නිර්මාණය කළ “දිරිය මව හා ඇගේ දරුවෝ” (1972) නාට්‍යය ලාංකේය වේදිකාවේ ස්ත්‍රී භූමිකා නිරූපණය අරභයා විමංසනාක්ෂිය හෙළීමේදී බැහැර කළ නොහැකි නාට්‍යයකි.  කරත්තයක බඩු පටවාගෙන දිරිය මවත් සිය පුතුන් දෙදෙනාත්, ගොළු දියණියත් යුද සමයේ සටන් බිම හරහා වෙළඳාමට යති. ඇගේ වෘත්තිය වෙළඳාමය. යුද්ධයෙන් වැනසුණු මානව දයාව අතර ගන්ධබ්බ වූ ඇය අවසන එහි ගොදුරක් බවට පත් වේ. පුතුන්  දෙදෙනා යුද්ධයට බඳවා ගනු ලබන්නේ ඇයගේ අකැමැත්තෙනි. එක පුතෙකු මෙහිදී මියයන අතර අනෙක් ප්‍රත්‍රයා ද ඛේදනීය ඉරණමකට ගොදුරු වේ. අවසානයේ ඉතිරි වනුයේ දිරිය මවත් ගොළු දියණියත් පමණි. සතුරු සේනා පැමිණි බව බෙරයක් වයා සංඥා කරන්නට යෑමේදී ගොළු දියණිය වෙඩි වැදීමෙන් මරණයට පත් වේ.         ක්ෂණභංගුර ජීවිතය වටහා ගෙන ඉන්ද්‍රකීලයක් සේ නොසැලෙන මව දිරිමත්ව සුපුරුදු පරිදි කරත්තය පදවාගෙන      වෙළඳාමට යන්නීය.

 

“දිරිය මව” නාට්‍යයේ මුඛ්‍ය අදහස එහි එක් භූමිකාවකින් මෙසේ හෙළි වේ.

 “මුළු ලෝකයම පණ අදිනවා”

හෙන්රි ජයසේනයන්ගේ “හුණුවටයේ කතාව” හා “දිරිය මව සහ ඇගේ දරුවෝ” බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් මෙරට  වේදිකාවට ගෙන ඒමට දැරූ හරවත් ප්‍රයත්න වේ. ඉන් “හුණුවටයේ කතාව” සාර්ථක වුවත් “දිරිය මව සහ ඇගේ දරුවෝ” සාර්ථක නොවූ බව වරක් මා හට පැවසුවේ ප්‍රවීණ නාට්‍යවේදී ආර්. අර්. සමරකෝන් මහතාය. ඔහු ඊට හේතු ලෙස දැක් වූයේ “දිරිය මව සහ ඇගේ දරුවෝ” හී සමාජ පසුබිම මෙරට  සමාජයට නොගැළපීමය. මෙහි දිරිය මව ලෙස මානෙල් ජයසේනගේ රූපණ කෞශල්‍යය සහෘදයාට අමතක නොවේ.  

 

සියලු දුක් පීඩා ඉවසා සිටින මවකගේ භූමිකාවක් ඉන් පෙර හෙන්රි ජයසේනයන්ගේම “අපට පුතේ මඟක් නැතේ” (1968) නාට්‍යයෙහි ද දක්නට ලැබේ. අයිරාංගණී සේරසිංහ එහි මවගේ භූමිකාව ශූර ලෙස නිරූපණය කළාය. ඉතා  දුක සේ හරිහම්බ කොට තම දූ  දරුවන්ට විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයක් ලබා දෙනු පිණිස වෙර දරන දිළිඳු මව්වරු පියවරු කොතෙකුත් අප සමාජයේ එදත් අදත් සිටිති. විශ්වවිද්‍යාලයට ගොස් ඉගෙනීම හැර සෙසු සියලු “බහුභූත”වල නියැළෙමින් බොහෝ විට දේශපාලන අතකොලු බවට පත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද මෙකල හිඟ නොවෙති.

 “අපට පුතේ මඟක්  නැතේ” හී අන්තර්ගත වූයේ සර්වකාලීන තේමාවකි. දිනපතා කුලියට කළු ගල් තැළීම ජීවනෝපාය කොට ගත් කම්කරු මවක් තම පුතු විශ්වවිද්‍යාලයට යවා උසස් පුරවැසියකු බවට පත් කිරීමට ප්‍රයත්න දරයි. පුතු විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ ඔහුගේ දක්ෂතාව නිසාවෙනි. එහෙත් විශ්වවිද්‍යාලයෙහි මතු නොව සමස්ත  සමාජයෙහිම පවත්නා දූෂිත, ජරාජීර්ණ විෂමතා හමුවේ ඔහුට ඉහළ නැඟීමට තම දක්ෂතාව ප්‍රමාණවත්  නොවේ. 

මේ හරහා අනෙක් අතට ව්‍යංග්‍යාර්ථයෙන් හෙන්රි ජයසේන පෙන්වා දෙනුයේ සමාජයේ ඉහළ නැඟීමට හැකියාව, දක්ෂතාව නොව පිට කොඳු බිඳ ගත් හීන දීන ගති අවැසි බවය. ඔහු තම මව මෙන්ම කළු ගල් තළා යමක් උපයා ගැනීමට උත්සුක වුව ද මවගෙන් ඊට ඉඩක් නොලැබේ. අවසන ඔහු ඉච්ඡා භංගත්වයට පත්ව සිය දිවි නසා ගනී. මෙහි පුතාගේ චරිතය ඩග්ලස් රණසිංහ නිරූපණය කළ ආකාරය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඇගැයුමට ලක් විය. “අපට පුතේ මඟක් නැතේ” එකල මහත් ආන්දෝලනයකට ලක් වූ නාට්‍යයකි. එකල (1968) රජය මෙය තහනමට ලක් කළේය. වාමාංශිකයෝ “මෙය කම්කරු දරුවන් එල්ලා මැරීමට පොලඹවන නාට්‍යයක්” ලෙස චෝදනා කළහ. “තම තත්ත්වය විකෘති කළ” නාට්‍යයකැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මෙයට චෝදනා කළහ.

පවතින සමාජ යථාර්ථය අරභයා හෙන්රිගේ දෘෂ්ටිය යථාර්ථවාදී බව සැබවි. එහෙත් ඊට විසඳුම් සෙවීමේදී පවතින ක්‍රමය හමුවේ නොසැලී අභියෝග ජය ගැනීමට දිරි ගන්වන දැක්මක් මේ නාට්‍යයේ නොතිබිණ. එහෙයින් ඊට එරෙහිව නැඟුණු ඇතැම් විචාර සාධාරණ යැයි මට  සිතේ. පවතින සමාජ ගැටලුවලින් පැන ගොස් අවසානයේ මෙහි සරසවි සිසුවා දිවි නසා ගැනීම අනුමත කළ නොහැකිය. “අපට පුතේ මඟක් නැතේ” නාට්‍යය එදා ජනිත කළ ආන්දෝලනය කෙබඳු ද යත් මීට ප්‍රතිවිරුද්ධ නාට්‍යයක් ද බිහි විය. ඒ වේහැල්ලේ පියතිලක නිර්මාණය කළ “අපට පුතේ මඟක් ඇතේ” නාට්‍යය වේ. මේ නාට්‍යය අතිශය සටන්කාමී මුහුණුවරක් ඉසිලූ අතර එය ද එවක රජය විසින් තහනම් කරන ලදි.

 

හෙන්රි ජයසේනයන්ගේ “අහස් මාලිගා” (1966) ටෙනිසි විලියම්ස්ගේ “The Glass Menagerie” නමැති සුප්‍රකට නාට්‍යයේ අනුවර්තනයකි. මෙය වෙසෙස් ස්ත්‍රී භූමිකා ද්වයක් සංකේන්ද්‍ර කොට ගත් නාට්‍යයකි.

හෙන්රිගේ  මුල් “අහස් මාලිගා” නාට්‍යයෙහි මවගේ භූමිකාව මානෙල් ජයසේනත් ආබාධිත දියණියගේ භූමිකාව ග්‍රේස් ද සිල්වාත් (තෙන්නකෝන්) රඟපෑහ. 1978 කරුණාරත්න හඟවත්ත “අහස් මාලිගා” යළිත් නිෂ්පාදනය  කළේය. එහිදී මවගේ භූමිකාව මානෙල් ජයසේනත් දියණියගේ භූමිකාව රසාදරී ෆොන්සේකාත් රැඟූහ. ආචාර්ය හෙන්රි විසින් විරචිත “අහස් මාලිගා” නාට්‍යයේ පිටපත “පුංචි පළිඟු රෑන” නමින් 90 දශකයේ ග්‍රන්ථයක් ලෙස එළි දුටුවේය. මේ ග්‍රන්ථය කියැවූ  නූතන පරපුරේ කෘතහස්ත නාට්‍යවේදියකු වන බුද්ධික දමයන්ත මේ පිටපතට කෙතරම් වශිකෘත වූයේ ද යත් එය “පළිඟු රෑන” නමින් (1995) යළිත් නිෂ්පාදනය කළේ හෙන්රි ජයසේනයන්ගෙන් අනුමැතිය පවා ලබා නොගෙනය. එහෙත් සාර්ථක ලෙස පළමු දර්ශනය වේදිකා ගත කිරීමෙන් පසුව බුද්ධික ලිපියක් ලියමින් හෙන්රි ජයසේනගෙන් අනුමැතිය ඉල්ලා සිටියේය. හෙන්රි පෙරළා ලිපියක් එවමින් “පළිඟු රෑන” සාර්ථක නිෂ්පාදනයක් බව තමාට අසන්නට ලැබුණු බව දක්වා එදා අංකුර නාට්‍යවේදියාට සුබ පතමින් අනුමැතිය දුන්නේය.  වංශවත් සල්ලාල මිනිසකුට රැවටීමෙන් ඔහු සමඟ විවාහ වූ ගැහැනියක පසුව තම සැමියා හැර යෑමෙන් අතරමං වූවාය. ඇයට ඔහුගෙන් පුතකු  හා දියණියක ලැබුණු අතර දියණිය ලෝරා පාදයක ආබාධයකින් පෙළෙන්නීය. මෙකී ආබාධය හේතු කොට ඇය පළිඟු සතුන් රාශියක් වට කොට ගෙන හුදෙකලාව කුසීතව දිවි ගෙවීමට පෙලඹුණාය. තම ආබාධිත දියණියට සුදුසු සහකරුවකු සොයා දීමට මව නිබඳව වෙහෙසෙන්නීය. බුද්ධිකගේ “පළිඟු රෑන” නාට්‍යයෙහි මවගේ චරිතය ගංගා ජීවනී වැලිවත්තත් ලෝරා ලෙස ජයනි  සේනානායකත් රඟපෑහ. උපුල් නිශාන්ත පුත්‍රයා  ලෙස රඟපෑවේය. වරක් පුතාගේ මිතුරෙක් (සනත් විමලසිරි රඟපෑ) ලෝරා සමඟ විවාහ වීමට උත්සුක වුවත් පසුව ඒ සබඳතාව බිඳ වැටෙනුයේ ලෝරාගේ උකටලී බව හේතු කොට ගෙනය. ඇය ඉගෙනීමට දක්වනුයේ ද එවැනිම කුසීතභාවයකි. ටෙනිසි විලියම්ස්ගේ බොහෝ නාට්‍යවලට වස්තු විෂය වූ වංශවත් පවුල්වල බිඳ වැටීම “The Glass Menagerie” නාට්‍යයෙහි ද දිස්වේ. හොඳම පිටපත වෙනුවෙන් හෙන්රි ජයසේන රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මානයට පාත්‍ර වූයේ “පළිඟු රෑන” උදෙසාය. ජයනි  සේනානායක වසරේ හොඳම  සහාය නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූවාය. ලෝරා වැනි ආබාධිත තරුණියෝ අදත් අප අතර සිටිති. එසේම එබඳු දියණිවරුන් විවාහ කොට දීමට නොහැකිව තම දිවිය පුරාම දුක් සුසුම් උසුලන අම්මාවරුද අප සමාජයේ වෙසෙති. 

ඉතිරි කොටස ලබන සතියේ