අනුකරණය සහ පරිවර්තනය

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
අගෝස්තු 27, 2020

භරතමුනිට අනුව ලෝකයේ වාසය කරන මනුෂ්‍යයන් අතර ඇතිවන්නා වූ සුවයෙන් හෝ දුකින් යුක්ත වූ කිසියම් අවස්ථාවක් අනුකරණය කිරීම නාට්‍ය නම් වේ. විකාශනය නැතහොත් වර්ධනය වී තවත් සිද්ධි බවට පෙරළෙන සිද්ධියක් අනුකරණය කිරීම නාට්‍ය නම් වේ. අනුකරණෙය් දී සිදු වන්නේ ඇත්ත (සත්‍යය) නොව ඇත්ත වෙනුවට පෙනී සිටීමකි. කෙනෙකුට එය ව්‍යාජයක් හෝ බොරුවක් කිරීමක් නැතහොත් රැවටීමක් ලෙස විග්‍රහ කළ හැකිය. තමන්ගේ වේශය හෙවත් ස්වභාවය ඉවතලා අනෙකෙකුගේ එනම් හැම්ලට් හෝ සිංහබාහු හෝ මනමේ හෝ ඊඩිපස් නැතහොත් ගජමන් නෝනා, නෝරා, මනමේ කුමරිය ලෙස පෙනී සිටීමයි. මෙම පෙනී සිටීම ආරූඩ වීම, වෙස්වළාගැනීම ලෙස විස්තර කළ හැක. යහපත් ගති ඇත්තෙකු (හිට්ලර් වැනි) ලෙස පෙනී සිටිය හැක. එය නිශ්චිත කාලයකට සීමා වේ. නිශ්චිත කාලයෙන් පසු සාමාන්‍ය මිනිසා බවට පරිවර්තනය විය යුතු වේ. එය අනුකරණයෙන් මිදීම, ආරූඩ වීම. වෙස් වලා ගැනීම හෝ ආවේශ වීම ලෙස රංග ව්‍යවහාරය එන්නේ මෙම අනුකරණයයි. අපි නාට්‍ය ශාලාවකට යන්නේ සැබෑ දෙයක් බලන්නට නොවේ. සැබෑ දේ වෙනුවට වෙස්වළාගත් පිරිසක් සැබෑ දේ ඇසුරු කරගත් අනුකරණයක් කරනු දැකීමටයි. අනුකරණය යනු සහජයකි. අනුකරණයෙන් ප්‍රීතියත්, ප්‍රීතිය නිසා දැනුමත් වෙත අපගේ විචාරාක්ෂිය යොමු වේ. නාට්‍යමය අනුකරණය සාමාන්‍ය නොවන සවිඥානික දෙයකි. ඉවෙන් අනුකරණය කළ හැකි වුවත් රංගානුකරණය ඉවෙන් කළ නොහැක. ඉවෙන් රඟපෑ හැක්කේ එක්කෝ එක් අවස්ථාවකි. දිගින් දිගටම ඉව භාවිතයෙන් අනුකරණය කළ නොහැක. පාතර් පංචාලි හි ආච්චි හෝ ද කිඩ්ස් (The Kids) චිත්‍රපටයේ ළමයා විශිෂ්ට ලෙස අනුකරණයේ යදෙති. නමුත් ඔවුන්ට විශිෂ්ට නළුවන් බවට පත්වීමට නොහැකි විය. කමල් හසන්, අමීර් ඛාන් ළමා නළුවන් වෙති. එහෙත් රංගනයට පැමිණ ටික කලකට පසු ඔවුන් රංගනය ඉගෙනිමට පෙලඹිණ. අනුකරණයේ සවිඥනික ඵලය ප්‍රීතිය තුළින් දැනුම වෙනුවට ආනන්දය හා ප්‍රඥාව ලැබේ.

නළුවා අනුකරණයේ මූලධර්මවාදී අභිප්‍රේරකයා වේ. නළුවා චරිතය කායිකවද, මානසිකවද අනුකරණය කරයි. ප්‍රේක්ෂකයා චරිතය අදෘශ්‍යමානව අනුකරණය කරයි. නළුවාගේ කාර්යය සවිඥානය වූ දෘශ්‍යමාන අනුකරණයකි. එය ප්‍රේක්ෂකයා අවිඥානිකව කරයි. ප්‍රේක්ෂකයාගේ අදෘශ්‍යමාන වූ අවිඥනික අනුකරණ විසින් ඔහු තුළ ප්‍රහර්ෂයක් ඇති කරයි. ප්‍රේක්ෂකයා වඩාත් රුචි (නාට්‍ය කලාවේදී) සැබෑ දේ අනුකරණය කිරීම නොවේ. ඔවුන්ගේ අපේක්ෂාව සැබෑවේ පිළිබිඹුවක් අනුකරණය කරනු දැකීමකි. සැබෑ සිදුවීමක් තුළ පුද්ගලයා දක්වන දෑ රංගනයේ දී නළුවා රඟදැක්වීම කරයි. නමුත් සැබෑ සිදුවීමේ ඇති සියල්ල රංගයක දී අනුකරණය නොකරයි. එය දෘශ්‍ය මාධ්‍යන් වන චිත්‍රපටයකදී ටෙලිනාට්‍යයදී මෙන් ස්වභාවික ජීවිතයට කිට්ටු නොවේ. නිදසුනක් ලෙස සැබෑ සිදුවීමක් තුළ ඝාතනයක දී ප්‍රේක්ෂකයා ලේ බැලීමට කැමති නොවෙයි. එහෙත් එවන් සැබෑ සිදුවීම් රංඟයක දී වෙනස් වේ. සැබෑ සිදුවීමක් ප්‍රේක්ෂාගාරය තුළ දී නාට්‍යමය අවස්ථාවක් බවට පත්වේ. අපි ඊඩිපස් හෝ මනමේ කුමාරයා හෝ හැම්ලට් කුමාරයා මිය යනු දැක්කද, වේදිකාව මත දී සැබෑ ජීවිතයේ මෙන් ඔවුන්ගේ ඛේදවාචකය නිසා ඇති වෙන රුධිරය දැකීමට කැමති නොවෙමි. එහෙත් චිත්‍රපටයකදී, ටෙලිනාට්‍යයකදී, මරණය සාර්ථක අනුරූපණයකට ලේ දැකීම අත්‍යවශ්‍ය වේ. වේදිකාව මතදී ලේ පෙන්වීමෙන් රංගයේ විශ්වාසනීය බව අඩාල වේ. සැබෑ සිද්ධි සැබෑ ලෙසින් සැබෑ කාල අවකාශ අනුව සිදුවද්දී රංගනයේ දී එය භාවාතිශය වේ. එනම් Melodrama වේ. හාස්‍ය රංගයක දී ප්‍රහසන නම් වේ. Melodrama  යනු අතිශයෝක්තිය ඉක්මවා ගිය අතිශයෝක්තියකි. එවන් අනුකරණයන් නාට්‍යමය නොවේ.

නළුවා චරිතය අනුකරණය කොට දක්වනවා හා සමානවම ප්‍රේක්ෂකයාද නාට්‍ය බලන්නට එන්නේ පුරාවෘත්තය හෝ නාට්‍යයේ කතන්දරය මනසින් අනුකරණය කරමිනි. කතාව දැන ගෙන ඊට ආවේශ වීමෙනි. වර්තමාන අතීත හෝ අනාගත පුරාවෘත්තයක් මිනිස්සු පිරිසක් මිනිසුන් ඉදිරිපිට ජීවමානව අනුකරණය කරනු ඔහු දකියි. නාට්‍ය යනු ජීවමාන අනුකරණයකි. නාට්‍ය නිරන්තර වෙනස්වීම්, විපර්යාස, අනුවර්තනයට හසුවන එකම කලාවයි. අනෙක් කලාවන්ගේ අනුකරණ ක්‍රියාවලිය පොතක, චිත්‍රපටයක, සංයුක්ත තැටියක අඩංගු වෙයි. අනුකරණය දකින්නා මිස අනුකරණ ඵලය වෙනස් නොවේ. එහෙත් නාට්‍යයේදී අනුකාරකයා ද, එය විඳීන්නා ද, ඵලය ද නිරන්තරව වෙනස් වේ. නාට්‍ය යනු ජීවමාන කලාවක් වන්නේ එහි ඇති වෙනස් වීමට තිබෙන ශක්‍යතාව හේතුවෙනි.

අනුකරණයේ අරමුණ සහජය

අනුකරණයෙදී ආරූඪ වීම නැතහොත් සමාරෝපය, වෙස් වලා ගැනීම මෙන්ම සහජය ද ආවේණික ලක්ෂණයකි. සහජය පැමිණෙන්නේ ජානගතව උත්පත්තියෙනි. මනුෂ්‍යයාට පාරම්පරිකව මෙන්ම පොදු මනුෂ්‍යයෙක් ලෙස උපතින්ම ලැබෙන තත්ත්වයන් පවතී. ගායකයෙකුගේ දරුවෙකුට සහජයෙන්ම සමහරවිට කටහඬක් උරුම වේ. පියාගෙන්, මවගෙන්, පුතාට හෝ දියණියට උරුම වන සහජ ගති ලක්ෂණ පවතී. එසේම මනුෂ්‍යයෙක් වීම නිසාම අතීත මනුෂ්‍යයාගෙන් අපට උරුම වන ගති ලක්ෂණ පවතී. පිහියකට ඇඟිල්ලක් කැපුනු විට අප තුවාල වූ අත නිරායාසයෙන් මුඛය කරා ගමන් කරයි. කැපුමේ ඇති රුධිරය උරාබීම පාරම්පරික උරුමයක් නොව මනුෂ්‍ය සහජයකි. අනුකරණය ද අතීත මිනිසාගෙන් ආරම්භව නූතන මනුෂ්‍යයාට ද උරුම වූ සහජයකි. එය සහජ ආශයකි. ආශාවකි. කුඩා ළමයින් වැඩිහිටියන් අනුකරණය කරයි. සත්වයින් අතර පවා අනුකරණාත්මක සහජය පවතී. ඔවුන් දඩයම ඉගෙන ගන්නේ අනුකරණයෙනි. මනුෂ්‍යයා සියල්ල අත්හදා බලන්නේ සහජයෙන් ලද අනුකරණයේ ආභාසයෙනි. කුඩා දරුවන් පිරිමින් ගැහැනුන් ලෙස බෙදී වෙන් වන්නේ ද අනුකරණයේ කැමැත්ත අනුවයි. කුඩා පිරිමි ළමුන් තුවක්කු (සෙල්ලම්) ගෙන හොරා පොලිස් සෙල්ලම යෙදෙද්දි ගැහැනු ළමෝ වැලිබත් උයති. බෝනික්කන් නාවා කැවීම් පෙවීම් නිදි කිරීම් ආදිය කරති. පිරිමි ළමෝ වැඩිහිටි පිරිමින් ද, ගැහැනු ළමෝ වැඩිහිටි කාන්තාවන්ගේ ද චර්යාවන්, හැසිරීම් අනුකරණය කරති. මිනිසා භාෂාව. සිරිත් විරිත්, චර්යාවන් ඉගෙන ගන්නේ සහජ අනුකරණයේ පිහිටෙනි. එපමණක් නොව රිය පැදවීම්. පිහිනුම්, නැටුම්, ගැයුම් හා වැයුම් පවා උගන්නේ සහජයෙනි.

කුඩා අවදියේ දී සෑම ළමයෙක්ම සහජයෙන්ම ලබන අනුකරණයේ පිහිටෙන් නළුවෙකි, ගායකයෙකි, නර්තන ශිල්පියෙකි. සමහර දරුවන් තම අනාගත වෘත්තීය පවා තීරණය කරන්නේ අනුකරණයේ සහජ භාවිතයෙනි. සහජයෙන්ම ලබන අනුකරණය නිසා මනුෂ්‍යයා කරුණු දෙකක් සපුරා ගනී. සත්වයින් හා මනුෂ්‍යයන් වෙනස් වන්නේ මේ ලබන ප්‍රතිඵලයන්ගෙනි. එය නම් උගැන්ම හා ප්‍රීතියයි. සත්වයින් පවා උගැන්ම හා ප්‍රීතිය භුක්ති විඳීන්නේ සහජයෙන් ලබන අනුකරණයෙනි. සහජයෙන් මිනිසා ලබන අනුකරණයේ ප්‍රධාන අරමුණු දෙකකි. එකක් නම් විනෝදය සඳහා කරන ක්‍රීඩාවක්, නැතහොත් යම් ඉෂ්ටාර්ථ සිද්ධියක් අපේක්ෂාවෙන් අනුකරණයේ යෙදෙති. එනම් ස්වභාව ධර්මයේ නියමයන් අවබෝධකොට ගෙන එය එය හසුරුවාලීම බලය තමා අතට අත්පත් කර ගැනීමයි. එසේ කොට ස්වභාවධර්මය පාලනය කර ගැනීමට මනුෂ්‍යා උත්සාහ කළේය. යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් එය අනුකරණය කොට දැක්වීමෙන් අදෘශ්‍යමාන බලවේගවලින් අපේක්ෂිත දේවල් ලබා ගත හැකි බව ඔවුන් විශ්වාස කළහ. වැස්ස, අස්වැන්න, දරුඵල මෙන්ම අන වින කිරීම, යුද ධඡ ජයග්‍රහණ දඩයමට සතුන් ආදිය ලබා ගැනීම සඳහා අනුකරණය මෙවලමක්, අභිචාරයක්, යාතු කර්මයක් ලෙස භාවිත කළ හැකි බව අතීත වැසියා විශ්වාස කළහ. ඌරා යක්කම, නයා යක්කම මෙන්ම සොකරිවල එන දොස් කැපීම ලෑලි ඉරීම, නැව සෑදීම සහ ගම් මඩුවේ එන අඹ විදමන ආදිය මතුපිට පෙනෙන ස්වරූපය ඉක්මවා ගිය යටි අරමුණක් ඉෂ්ට සිද්ධ කර ගැනීම අපේක්ෂිත වේ.

සත්‍ය විශ්වාස ගොඩනැඟී ඇත්තේ ස්වභාව ධර්මය පාලනය කර ගැනීමේ අනුකරණ ක්‍රියාවලියේ පිහිටෙනි. විශ්වයේ ප්‍රකෘති නියමයන් ද, සමාජ නියමයන් ද අවබෝධ කර කරගැනීමේ අසමත්කම හේතුවෙන් පැරණි මිනිසා තුළ අදෘශ්‍යමාන බලවේග පිළිබඳ මිත්‍යා විශ්වාස, ප්‍රබන්ධ ගොඩනැඟිනි. ස්වාභාවික වස්තූන්ගෙන් අපේක්ෂිත යහපත් හා අයහපත් ඉෂ්ටාර්ථ සිද්ධියවලට අනුකූලව යකුන් ද දෙවියන් ද පිළිබඳ මිථ්‍යාව ගොඩනැඟිණි. ස්වභාවික සිදුවීම් වන වැස්ස, හෙණ හඬ, අව්ව, සඳ එළිය, රාත්‍රිය හා විදුලිය ඒ බලවේග හෙවත් දෙවියන්ගේ ක්‍රියාකාරකම් ලෙස සලකන ලදී. අචේතනික වස්තූන්ට සචේතනික බවක් ආරෝපණය කළ විට සන්නිවේදනය පහසු වේ. එවිට ඔවුන්ගේ කෝපය පාලනය කළ හැක. කෝපයේ අනිසි ප්‍රතිඵල වැළැක්විය හැක. එසේම ස්වාභාවික වස්තූන්ට වෙනස් වූ අද්භූත ලෝකයක් ද තමා අවට ඇතැයි ඔවුන් සිතූහ. මියගියවුන් යන තැන් කොහේ දැයි නොදත් ඔවුන් භූතාත්ම ලෙස තමා වෙත නැවත පැමිණ ඔවුන් කෙරෙහි බලපෑම් කරන්නේ යැයි සිතූහ. සමහරවිට දෙවියන්, යක්ශයින්. භූතයින් බවට පත් වූයේ මේ මළගිය ප්‍රාණකාරයෝ ය. ස්වභාවික විපත් පමණක් නොව ලෙඩදුක්, වසංගත. ව්‍යසන ආදිය ද මේ බලවේගවල ප්‍රතිඵල ලෙස තේරුම් ගත් අතීත වැසියා ඔවුන් සතුටු කිරීම සඳහා අනුකරණ ක්‍රියාවලිය උත්කර්ෂයට නැංවූහ. අනුකරණයේ ප්‍රවීණයෝ බලවේග පාලනය කිරීම සඳහා අවශ්‍ය සංවාදයට සුදුස්සෝ වෙති. ඒ සඳහා වෙස්වලාගත් පිරිසක් අවශ්‍ය විය. එසේ වෙස් වලා ගැනීමේ ශක්තිය ලබාගත් අය වූයේ කපුවන්, යකැදුරන්, ඇඳුරන් ආදීන්ය. ඔවුහු අනුකරණයේ සහජ බව ඉක්මවා එය ඉෂ්ටාර්ථ සිද්ධි බවට පත් කිරීමෙහි දක්ෂයෝ විය. අනුකරණ වස්තු පිළිබඳ ඒවායේ හැසිරීම් පිළිබඳ මෙන්ම උපක්‍රමශීලීව අනුකරණ වස්තූන් සතුටු කිරීමට ද රැවටීමට ද කපුවන් හා යකදුරන් දක්ෂයෝ වූහ.

මනුෂ්‍යයා සහජයෙන් ලත් අනුකරණය තම ජීවන පැවැත්ම හෙවත් තමාට තමාගේම ආත්මය සමඟ, අනෙකා (සමාජය) සමඟ ස්වභාව ධර්මය සමඟ සිදුවන අර්බුධ සමනය කර ගැනීම සඳහා යොදා ගැනීමට ගත් උත්සාහයේ අග්‍ර ඵලය වන්නේ රංග කලාවේ බිහිවීමයි.

 

අනුකරණය ගැඹුරු ප්‍රකාශනයක් ලෙස

නාට්‍ය ජීවමාන කලාවක් වනුයේ අතීත අනාගත හෝ වර්තමාන මනුෂ්‍යයින් පිරිසක් ඉදිරියේ මනුෂ්‍යයින් පිරිසක් විසින් ජීවමානව රඟ දක්වන බැවිනි. නාට්‍ය කලාව සජීවී කලාවක් ලෙස නිර්වචනය වන්නේ අනුකරණ කාර්යයට මෙන්ම අනුකරණ කාර්යයට සම්බන්ධ වන, නැතහොත් එය නරඹන මනුෂ්‍යාද නිරන්තරයෙන් වෙනස් වන බැවිනි. කවියක්, චිත්‍රයක්, චිත්‍රපටයක්, නවකතාවක්, ටෙලිනාට්‍යයක්, ගීතයක් නිර්මාණය කළ පසු එය නොවෙනස්ව පවතී. අදද අප රසවිඳින්නේ මීට වසර පනහකට පෙර නිර්මානය කළ නිධානය චිත්‍රපටයයි. රසවිඳින්නේ එදා ගැයූ “සිනිදු සුදු මුදු තලාවේ” ගීතයයි. පාඨකයා කියවන්නේ එදා වික්‍රමසිංහයන් ලියූ “ගම්පෙරළිය” නව කතාවයි. එහෙත් නිධානය එදා බැලූ සිනිදු සුදු මුදු තලාවේ ගීතය එදා ඇසූ, ගම්පෙරළිය එදා කියවූ පුද්ගලයා වෙනස් වී ඇති නමුත් අද අප නරඹන්නේ එදා නැරඹු මනමේ, සිංහබාහු, විකෘති හෝ ගජමන් පුවත නාට්‍ය අද නැරඹිය නොහැක. නාට්‍යයේ දී නිර්මාණයද ප්‍රේක්ෂකයාද නිරන්තරයෙන් වෙනස් වේ. එයට හේතුව නාට්‍යයක අනුකරණයේ අර්ථයන් ද ඒවා වටහා ගන්නා අර්ථයන් ද වෙනස් වන බැවිනි. නිධානය දැන් නරඹන විට ‘‘වැලිකතර“ දැන් නරඹන විට එහි දෙබස් ගාමිණි හෝ ජෝ විසින් කියන ආකාරය වෙනස් වී නැත. නමුත් එකම ප්‍රේක්ෂකයා එය මුලින් බලත්දී ඒ දෙබස් තේරුම් ගත්, අර්ථ ගන්වා ගත් ආකාරයට වඩා අද එය තේරුම් ගන්නා ආකාරය ද අතර විශාල වෙනසක් පවතී. නාට්‍යයක, මෙන් නොව චිත්‍රපටයක, නවකතාවක, කවියක, ගීතයක නිර්මාණය ස්ථාවර වේ. ප්‍රෙක්ෂකයා වෙනස් වෙමින් එය රස විඳියි.

අන් කලා කෘතියක අනුකරණ කාර්යයේ දී කලා කෘතියට තමන් අවට සමාජ පරිසරයේ සිදුවන භෞතික හෝ අධ්‍යාත්මික වෙනස් කම්, සමාජ ආර්ථික, දේශපාලනික, සංස්කෘතික වෙනස්කම් නිර්මාණයට ද ප්‍රේක්ෂකයා රසිකයා හෝ පාඨකයාටද ප්‍රතිචාර දැක්විය නොහැකිය. එහෙත් නාට්‍යයක අනුකරණ කාර්යය සිදු කරන නලුවාට තමා ජීවත්වන සමාජ පරිසරයේ දී ව්‍යුත්පත්තියෙන් ලබන අත්දැකීම් සතතාභ්‍යාසය සඳහා නිරන්තරයෙන් සවිඥානිකව හෝ අවිඥානිකව නාට්‍යයේ ප්‍රකාශනයට ප්‍රායෝගිකව යොදාගත හැකිය. නළුවා අත්දැකීම් මඟින් තම චරිතය විවිධ අර්ථකථනයන්ට බඳුන් කරන විට, කලා කෘතිය ද (නාට්‍ය) වෙනස් වේ. එවිට පේ‍්‍රක්ෂකයාගේ රසවින්දනයද වෙනස් වේ. පේ‍්‍රක්ෂකයා ද නළුවා චරිතයක් අනුකරණය කර දක්වන විට නාට්‍ය බලන්නට එන්නේ එහි කතාව එනම් චුල්ලධනුද්දර කතාව (මනමේ) ඊඩිපස් කතාව (ඊඩිපස්) සිංහබාහු කතාව (සිංහබාහු) දැන ගෙන ඊට එනම් කතාවට(Story) ආවේශ වෙමිනි. ප්‍රේක්ෂකයා ජීවත් වන සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික ජීවිතය ද නිරන්තරව වෙනස් වන බැවින් කතාව පිළිබඳ ඔහුගේ අර්ථකථන ද නිරන්තරයෙන් වෙනස් වේ. ඔහුද දෙවරක් නාට්‍ය නරඹන විට දෙවනවර සිටින්නේ පළමුවර නාට්‍ය නැරඹු ප්‍රේක්ෂකයා ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූවෙකි. එබැවින් නාට්‍යක් රසවිඳීිම ද වෙනස් වේ. නාට්‍යය ද නළුවා ද ප්‍රේක්ෂකයා ද ඔවුන් ජීවත් වන සමාජ දේශාලන ආර්ථික හා සංස්කෘතික ප්‍රපංචයන් ද නිරන්තර විචල්‍ය වන බැවින් නාට්‍ය යනු නිරන්තර වෙනස් වන අනුකරණයකට බඳුන් වෙන කලාංගයකි. නාට්‍යයක එන අවස්ථා හෝ සිද්ධි අනුකරණය වෙනස් වන දෙයකි. නාට්‍යයක අනුකරණය අනෙක් කලාවන්ට වඩා වෙනස් වනුයේ සමාජයේ ස්වභාවධර්මයේ, මනුෂ්‍ය සන්තානයේ සිදුවන වෙනස්වීම්වලට ප්‍රතිචාර දැක්වීම, ප්‍රතිචාරයන්ගෙන් පෝෂණය වී වෙනස්වීම්වලට නිරතුරුවම ගෝචර වීමට ඇති ප්‍රබල හැකියාව හේතුවෙනි. එනිසා අනෙක් කලා කෘතින් ඉතිහාසය පුරාම රසවිඳීන්නේ එකම එකකි. එකී නිර්මාණාත්මක අනුකරණයට වෙනස් වීමට ඉඩක් නැත. “නාට්‍ය කලාව ගංගාවක් වැනිය, එය නිරන්තරයෙන් ගලා යයි. එබැවින් එක ගඟක් දැකිය නොහැකිය දෙවරක් මෙන් එකම නාට්‍යයක්ද දෙවරක් නැරඹිය නොහැකිය. “අනෙක් කලා කෘතීන්වල අපි දකින්නේ එහි උත්කර්ෂවත්ම මොහොතයි. නමුත් නාට්‍යයක උත්කර්ෂවත්ම මොහොතක හමුවන්නේ එක මොහොතක දී පමණි. නිධානය, ගම්පෙරළිය, තුන්වෙනි යාමය වැනි චිත්‍රපටයක උත්කර්ෂවත්ම මොහොත නැවත නැවතත් නැරඹිය හැකිය. අනුකරණයක උත්කර්ෂවත් මොහොත නැරඹීමේ වරම අපට එහිදී හමු වේ. නමුත් කුඩා කාලයේදී එම උත්කර්ෂවත් ම මොහොත නැරඹූ විට අපට එය තේරුම් ගත නොහැකි වීමට පුළුවන. අප එය විශිෂ්ට කෘතියක් බව හඳුනා ගන්නේ ඇසූ පිරූ තැන් අපට ඇති විටයි. ඒ මොහොතේදීත් අප නරඹන්නේ උත්තර්ෂවත් සිනමා කෘතියමයි. නවකතාව, ගීතය, චිත්‍රය හෝ කෙටි කතාවයි. නමුත් මනමේ හෝ සිංහබාහු නාට්‍යයේ විශිෂ්ටතම උත්කර්ෂවත්ම මොහොත නැරඹීමේ හැකියාව අපට නැරඹිය හැකි වේවිද? මන්දා එක්කෝ ඒ මොහොත අවසාන වී ඇත. අපට ඒ මොහොත අහිමි වී යන්නට ඇත. නාට්‍යයේ අනුකරණයේ සුවිශේෂී බව එයයි.

නාට්‍යයක සිද්ධි හෝ අවස්ථා අනුකරණයේ දී නළුවා සහ අධ්‍යක්ෂවරයා මුහුණ දෙන අභියෝගය නම් අනුකරණ කාර්යය නිමක් නැති වීමයි. චිත්‍රපටයක. ටෙලි නාට්‍යයක. අනුකරණ කාර්යය යම් නිශ්චිත මොහොතක නවතියි. ඒ මොහොතින් පසු කෘතිය හා අනුකරණය කරන්නාගේ සම්බන්ධතාව නැවත කිසිදාක හමුවන්නේ නැත. නාට්‍යයක එසේ නොවේ. නාට්‍ය යම් නිශ්චිත මොහොතක නවතින තුරු එහි කාර්යය පවතී.  King and I  නම් නාට්‍ය වසර 50 ක් පුරා අඛණ්ඩව යුරෝපයේ රඟදක්වයි. මනමේ නාට්‍යය ද එසේමයි. ඒ නිසා අනුකරණ කාර්ය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වගකීම නළුවා වෙත පැටවේ. ඔහු ජීවිත කාලය පුරා රූපණයෙන් විශ්‍රාම ගන්නා තුරු තමා රඟපෑ සියලුම චරිත නඩත්තු කළ යුතු වේ. පෝෂණය කළ යුතු වේ. තම පෞද්ගලික ජීවිතය මොන තරම් ඛේදවාචකයකට මුහුණ දුන්නද තමා රඟපාන සුඛාන්තමය හෝ හාස්‍ය රංගයේ සුඛාන්ත හෝ හාස්‍ය රසය පවත්වා ගත යුතු වේ. තම පෞද්ගලික ජීවිතය කෙතරම් සන්තුෂ්ටිදායක වුවද තමා රඟපාන ඛේදාන්ත හෝ අතිනාටකයේ චරිතයට උරුම රසයන් උද්දීපනය වන අයුරින් රඟපෑ යුතුය. කකුලක් අහිමි වී සිටි වේදනාව දරාගෙන ‘‘බල්ලොත් එක්ක බෑ” නාට්‍යයේදී විජය නන්දසිරි අප හිනැස්සූ අයුරු සමහරවිට ප්‍රේක්ෂකයා නොදන්නවා විය හැකිය.

එබැවින් නාට්‍යයේ අනුකරණ කාර්යය වනුයේ සිද්ධි හෝ අවස්ථා අනුකරණයේ දී බාල මහලු. පිරිමි ගැහැනු. දුප්පත් පොහොසත්, පූජක ගිහි ආදීන්ගේ දුක්ඛ දෝමනස්සයෝ ද සංතෘෂ්ටිදායකයන් ද ආදී හැසිරීම් සත්‍යාන්විත ලෙසත්, යථාරූපී ලෙසත් අනුගමනය හෙවත් අනුකරණය කිරීමයි. තමනෙග ඉමො නම් පැරණි කබුකි නළුවා නාට්‍යයක අනුකරණයේ පළමු පාඩම ලෙස දක්වන්නේ එයයි. නෝ නාට්‍යයකරුවා නෝ නාට්‍ය නිර්වචනය කරන්නේ යථාර්ථය නිරූපණය කිරීමක් ලෙස. නෝ සහ කබුකි යනු ශෛලිගත වූ ගීතය හා නර්තනය රූපණය සමඟ ප්‍රකාශනයේ යෙදෙන කලා මාධ්‍යයක්. එසේ වුවත් ඔවුන් එම ප්‍රකාශනයේ නැතහොත් අනුකරණය අර්ථය අරමුණ ලෙස දක්වන්නේ යථාර්ථ නිරූපණයයි. ඔවුන් අනුකරණය හඳුන්වන්නේ ‘‘මොනොමනේ“ ලෙසිනි. එය නෝ රංගයේ ගැඹුරු පාඩමකි. මොනාමනේ හෙවත් යථාර්ථ නිරූපණය සියලු කලාවන්ගේ ආවශ්‍යයික මූලධර්මය ලෙස නෝ ශිල්පියා විස්වාස කරයි. සියලු කලාවන්ගේ ආවශ්‍යයික මූලධර්මය අනුකරණයයි. අනුකරණ වස්තූන් අගතිගාමීත්වයෙන් තොරව තෝරා ගත යුතු බවත්. කලාවට එය සම්බන්ධ කළ යුතු බවත් මෝ නළුවාගේ විශ්වාසයයි. මෝ නාට්‍යයක දී අනුකරණයේ යෙදෙන නළුවා චරිත ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිලි සංකල්පරූප‍කින් යුක්තව චරිතයට ආවේශ විය යුතුය. රංගනය පිළිබඳ කැමැත්තක් ඔහු තුළ තිබිය යුතුය. ‘‘අධිරාජ්‍ය හා රාජ සභාවට ළඟා වීම අතිශය දුෂ්කර වූවකි. නළුවා හැකිතාක් දුරට එවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ගේ හැසිරීම, කතාබහ. ආචාරධර්ම සොයා විමසා අධ්‍යනය කළ යුතුය. ”

 

ප්‍රියංකර රත්නායක -

ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ප්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, සිනමා රංගන ශිල්පියෙකි. ප්‍රවීණ නාට්‍යවේදියෙකි.