නිත්‍ය නරියො කොහෙවත් නැහැ

27 වසරක් නරිබෑනා වූ රොඩ්නි වර්ණකුල කියයි
සැප්තැම්බර් 3, 2020

රොඩ්නි වර්ණකුල තරමක් මිටි රූපකායකින් හෙබි නිරන්තරයෙන් සිනහවෙන් මුව සරසාගත් කා සමඟත් බොහොම ළෙන්ගතු චරිතයක් වන රොඩ්නි වර්ණකුල කවුද යන්න නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. ළදරු පාසලේ සිඟිත්තාගේ පටන් වියපත් වැඩිහිටියා දක්වා කවුරුත් ඔහුට දක්වනුයේ අසීමිත ළෙන්ගතුකමකි. රංගනයෙන් මෙන්ම ගායනයෙන් ද අසීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් තමන් වෙත ආකර්ෂණය කොට ගෙන ඇති රොඩ්නි හාපුරා කියා කලාවට අවතීර්ණ වූයේ 1981 දීය. එදා මෙදාතුර ගෙවී ගිය ඔහුගේ කලා දිවියේ ඇසූ පිරූ තැන් බොහෝය. පුරා දශක හතරකට ආසන්න කාලයක් කලා ක්ෂේත්‍රයේ නියැළෙමින් ප්‍රේක්ෂකයා ආනන්දයෙන් පටන්ගෙන ප්‍රඥාව කරා රැගෙන ගිය රොඩ්නි වර්ණකුල සමඟ කතාබස් කරමු.

මේ දිනවල ඔබේ කලා කටයුතුවල අලුත් තොරතුරු කොහොමද?

මාර්තු මාසයේ පටන් මේ දක්වා මාස හයක් පමණ කාලයක් කොරෝනා වසංගත රෝග තත්ත්වයත් සමඟ අපට කලාවෙන් ඈත් වෙලා ඉන්න සිද්ධ වුණා. මේ දවස්වල තමයි ටිකෙන් ටික යළිත් කලා කටයුතු සඳහා කලඑළි බසිමින් ඉන්නේ. ඒ ගෙවී ගිය මාස හයක පමණ කාලය ගෙදරටම සීමා වූණා. ටවර්හෝල් රඟහල පදනමේ සභාපති ඩග්ලස් සිරිවර්ධන ප්‍රමුඛ කණ්ඩායම ආරම්භ කරපු ප්‍රේක්ෂා සතිය නිසාවෙන් යළිත් වේදිකාව ප්‍රේක්ෂකයන්ගෙන් පිරෙන්න පටන් ගත්තා. ජූලි 24 වැනිදා සිට ජූලි 30 වැනිදා දක්වා පැවැති ප්‍රේක්ෂා සතිය පුරා නාට්‍ය බලන්න ළමයි වැඩිහිටියෝ වයස් බේදයෙන් තොරව පැමිණියා. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මේ නාට්‍ය සතිය ගෙවිල ගියා.

එහිදී නාට්‍ය සතිය අවසන් දින ජූලි 30 වැනිදා වේදිකා ගත වුණේ මම රඟපෑ දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකා නාට්‍යය. මේ ප්‍රේක්ෂා සතිය සඳහා වේදිකා නාට්‍ය රසිකයන්ගේ තිබුණු අසීමිත උනන්දුව නිසාම එහි තිබූ සාර්ථකත්වය නිසාම ටවර්හෝල් රඟහල පදනම තීරණය කළා ප්‍රේක්ෂා නාට්‍ය උලෙළක් සංවිධානය කරන්න. ඒ අනුව අගෝස්තු 16 වැනිදා සිට සැප්තැම්බර් 15 වැනිදා දක්වා පුරා මසක් මේ නාට්‍ය උලෙළ වෙනුවෙන් එල්ෆින්ස්ටන් එකේ නාට්‍ය තිහක් හා ටවර් රඟහලේ නාට්‍ය තිහක් වේදිකා ගත වෙනවා. මෙහිදී ප්‍රේක්ෂකයන්ට එකම තැනකදී තමන් කැමති නාට්‍ය එකක් හෝ දෙකක් රසවිඳින්න පුළුවන්. මේක නාට්‍ය රසවිඳින ප්‍රේක්ෂකයන්ට හොඳ අවස්ථාවක්. මේ දවස්වල මේ ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ සාර්ථකව කෙරීගෙන යනවා. මේ නාට්‍ය උලෙළ වෙනුුවෙන් මම රඟපෑ දයානන්ද ගුණවර්ධනගේ නරිබෑනා නාට්‍ය සැප්තැම්බර් තුන්වෙනි දින (අද) එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත වෙනවා. ඒ වගේම මේ නාට්‍ය උලෙළ අවසන් වන සැප්තැම්බර් 15 වැනිදා මගේ නාට්‍ය නිර්මාණය වූ සාරංගා නැවෙන් ඇවිත් එල්ෆින්ස්ටන් එකේදි පස්වරු 3.30, 6.30 දර්ශන වාර දෙකක් සමඟ වේදිකා ගත වෙනවා.

ප්‍රේක්ෂා නාට්‍යකරුවන්ට වගේම නාට්‍ය රසිකයන්ටත් හොඳ අත්දැකීමක්?

නාට්‍ය රසිකයන්ගේ රසිකත්වය කොච්චර ඔප් නැංවෙනවද. කෙනෙකුට පුළුවන් එක හෝල් එකක එක් දර්ශනයක් බලලා ඊළඟ දර්ශනය තව හෝල් එකක බලන්න. මේක හොඳ අවස්ථාවක් නාට්‍ය රසිකයින්ට. ඒ වගේම අලුතින් නාට්‍යයක් බලන, වේදිකා නාට්‍යයක් කියන්නේ මොකක්ද කියලා හාපුරා කියල බලන අයට මේක ලොකු උත්තේජනයක්. පළමුකොටම නාට්‍යකරුවන් හැටියට මේ ප්‍රේක්ෂා වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රබෝධය අපටත් ආවා. වේදිකාවෙන් ගිලිහෙන ප්‍රේක්ෂකයාත් වේදිකාවෙන් ගිලිහෙන නාට්‍යකරුවාත් වේදිකාවට නැවත ගෙන්වා ගැනීමට හොඳ උත්තේජන චූර්ණයක් හැටියටයි මම ප්‍රේක්ෂා දකින්නේ. ප්‍රේක්ෂා සතිය අති සාර්ථක වුණා. ඒ නිසාම තමයි ඒ මුල් සතියට ඇතුළත් කරගන්න බැරි වුණ නාට්‍යකරුවන් තම නිර්මාණ මේ ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ වෙනුවෙන් ඉදිරිපත් කළේ. පේ‍්‍රක්ෂකයොත් පවුල් පිටින් ඇවිත් නාට්‍ය රස වින්දා. පේ‍්‍රක්ෂකයා වගේම නාට්‍යකරුවනුත් ප්‍රේක්ෂා නිසා තෘප්තියක් ලැබුවා. ඒක ලොකු ජයග්‍රහණයක්.

 

රංගන ශිල්පියෙක් හැටියට ඔබ මේ මාස හයක පමණ කාලය තුළ නිවසට පමණක් කොටු වී සිටියාද?

ප්‍රධාන වශයෙන් මම වේදිකා නාට්‍ය නළුවෙක් ලෙසින්නේ කටයුතු කරන්නේ. ඒ සඳහා අවස්ථාවක් මේ කාලය පුරාවට තිබුණෙත් නෑනේ. විශේෂයෙන් ගීත පටිගත කිරීම්වලට කොරෝනා සම්බන්ධයෙන් තිබුණු වැඩ සටහන්වලට සම්බන්ධ වුණා මිසක් රංගනයෙන් කිසිදු අයුරකින් දායකවීමක් සිද්ධ කළේ නැහැ. අලුත් නාට්‍ය නිර්මාණවලට කතා කරලා තියෙනවා. ඒවත් තවම පටන් ගන්න වකවානුවක් දන්වල නැහැ.

රොඩ්නි වර්ණකුල කියන පුද්ගලයාව ප්‍රේක්ෂකයා වඩාත් කැමැත්තක් දක්වන්නේ කොයි වගේ පුද්ගලයෙක් හැටියට දකින්නද?

වේදිකා, ටෙලි නාට්‍ය, චිත්‍රපට මාධ්‍ය ත්‍රිත්වයේම මගේ රසිකයෝ අපමණ ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තම කියනවා නම් මේ සියලු දෙනා මාව ගායකයකු, චිත්‍රපට නළුවකු, ටෙලි නාට්‍ය නළුවකු, වේදිකා නාට්‍ය නළුවකු කියන කොයි ආකාරයෙන් වුව ද දකින්න කැමතියි. මම කියපු කරපු දේවල් අනුව පුංචි දරුවන් වැඩිහිටියෝ, තරුණ තරුණියෝ මගේ ප්‍රේක්ෂකයෝ හැටියට මට ආදරෙයි.

ඔබ ටෙලි නාට්‍යවල දකින්නේ බොහොම අඩුවෙන්?

සමහරු අහනවා ඇයි ටෙලි නාට්‍යවල නැත්තේ කියලා. මට ඒවට තියෙන සම්බන්ධතා ගොඩක් අඩුයි. එහෙම වුණා කියලා මගේ රසිකයෝ මට අඩුවක් නැහැ.

ඉදිරියේ ඔබ රඟපෑ චිත්‍රපට තිරයේ දිග හැරෙන්නත් ඇති?

තියෙනවා තියෙනවා. ඒව එනකන් රසිකයෝ නිතර විමසිල්ලෙන් පසු වෙනවා කියලා මට ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පේන්න තියෙනවා. උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී - 3 ගිරිරාජ් කෞශල්‍යගේ කතුරු මිතුරු, සේනක නවරත්නගේ ජොබ්ලස් ඩග්ලස් ඒ අතරින් කීපයක්.

ඔබ වයසින් වැඩිහිටි පුද්ගලයෙක්. ඒත් පෙනුමෙන් ඔබ අපොස උසස් පෙළ ශිෂ්‍යයෙක් හෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ගේ පෙනුමක පුද්ගලයෙක්. මෙහි යම් රහසක් තියෙනවද?

මම හිතන විදියට මම සරලව ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. නිතරම හිනාවෙලා සතුටින් ඉන්න උත්සාහ කරනවා. ඒකම වෙන්න ඇති මේ පෙනුමේ තාරුණ්‍ය. නාට්‍ය හා ගීතයට තියෙන ඇල්මත් එක්ක හිතේ තියෙන සතුට වෙන්න ඇති මගේ ඒ තරුණකමේ රහස.

බැලුවහම තාරුණ්‍ය පිරි ඔබගේ සැබෑ වයස?

දැන් මට අවුරුදු පනස් නවයක්. ලබන අවුරුද්දට මට අවුරුදු හැටක්. හැම කෙනෙක්ම කියන දෙයක් රොඩ්නි මීට දශක දෙක තුනකට එහා දැක්ක වගේම අදත් ඒ වගේමයි කියලා.

ජීවන ගමනේ වයස අවුරුදු හැටක් සපුරාලන්නට කඩඉමට පැමිණ සිටින ඔබගේ කලා ජීවිතයටත් දිගු අතීතයක් ඇති?

ලබන අවුරුද්දට මගේ කලා ජීවිතයට අවුරුදු හතළිහක් පිරෙනවා. 1981 ලූෂන් බුලත්සිංහල මහතාගේ තාරාවෝ ඉගිළෙති නාට්‍යයෙන් තමයි මම නළුවෙක් ලෙස කරළියට ආවේ.

ගෙවුණු දශක කීපය පුරා කොපමණ කලා නිර්මාණ ප්‍රමාණයක ඔබ රංගනයෙන් දායක වෙලා තියෙනවාද?

මම හිතන විදියට වේදිකා නාට්‍ය පනස් පහක, චිත්‍රපට දොළහක, ටෙලි නාට්‍ය විස්සක විතර.

ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිළෙති නාට්‍යයේ රඟමින් ඔබ කලා කෙතේ අස්වනු වපුරන්නට උත්සාහ කරන නළුවෙක් වශයෙන් ඔබේ කලා දිවියේ ප්‍රවිෂ්ටය කොයි ආකාරයෙන් ද සිද්ධ වෙන්නේ?

මම ටවර්හෝල් එකෙන් බිහිවන අංකුර නළුවෙක්. 1980 ටවර් පදනම මඟින් නාට්‍ය පාඨමාලාවක් පවත්වනවා ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් කථිකාචාර්යවරු ගෙන්වා. ඒ සඳහා සිය දෙනෙක් සහභාගි වුණා. ඒ අය අතරිනුත් වැඩි ප්‍රමාණයක් හිටියේ ඒ වෙනකොට නාට්‍ය ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණයෝ. ආධුනිකයන් ලෙස සිටියේ බොහෝ ටික දෙනයි. ඒ අතරින් සිටි පුංචි තිදෙනා අතරින් එක් කෙනෙක් තමයි මම. අපි හොඳින් පාඨමාලාව හැදෑරුවා. අපිට සහතිකත් ලැබුණා. ඒ පිරිසෙන් මතු වෙච්ච අලුත් කෙනා තමයි මම. ඒ පාඨමාලාවට සම්බන්ධ වෙලා හිටියා අනුලා බුලත්සිංහල මහත්මිය. එතුමිය මට ආරාධනා කළා ලූෂන් බුලත්සිංහල මහත්තයා නාට්‍යයක් අලුතින් කරන්න යනවා ඒකට මල්ලිව ගන්නම් කියලා. ඒ අනුව තමයි තාරාවෝ ඉගිළෙති නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ.

ඔබේ කලා ජීවිතයේ තිඹිරි ගෙය වේදිකාව. නමුත් වේදිකාවෙන් බිහිවන බොහොමයක් ශිල්පීන් පසු කලෙක වේදිකාව අමතක කරනවා. ඒත් ඔබ තමන්ට නඟින්න උදව් කරපු වේදිකාව නැමැති ඉණිමගේ අදත් නගිනවා?

මගේ ප්‍රධාන කැමැත්ත තියෙන්නේ මගේ කලා ජීවිතයේ ආත්මය තියෙන්නේ සතුට තියෙන්නේ වේදිකාව තුළ. ඒ නිසයි මම මැරෙන තුරාවට වේදිකාව අත හරින්නේ නැත්තේ. මගේ නිර්මාණ වේවා වෙන අයකුගේ වේදිකා නිර්මාණ වේවා මම දායක වෙනව. ඊට සාපේක්ෂව ටෙලි නාට්‍යවලට තියෙන මගේ ඇල්ම ටිකක් අඩුයි. නමුත් හොඳ චිත්‍රපටයක් ලැබුණොත් මම පැනලා යනවා. නමුත් මම එක දෙයක් දකිනවා. ඔබ කිව්වා සේ වේදිකාවෙන් බිහි වෙච්ච මිනිස්සු ඕනෑ තරම් වේදිකාව අමතක කරලා තියෙනවා. ඒ ගැන මගේ හිතේ පුංචි කනගාටුවක් තියෙනවා. ඒ නිසා තමයි අද අපිට නාට්‍යයකට පුහුණුවීමකට ශිල්පියෙක්ව හොයා ගන්න බැරි වෙලා තියෙන්නේ. දැන් අද බොහෝ වේදිකා නාට්‍ය ශිල්පීන්ගේ ප්‍රධාන කටයුත්ත ටෙලි නාට්‍යය.

ඔබ රඟපෑ දයානන්ද ගුණවර්ධනගේ නරිබෑනා වේදිකා නාට්‍යයේ නරියාගේ චරිතය තවදුරටත් දිගටම කරන්නද ඔබේ අදහස?

1993 ඉඳල නරිබෑනා වේදිකා නාට්‍යයේ මම තමයි නරියට රඟපාන්නේ. මේ නාට්‍යයේ මම නරියට විතරක් මේ වෙනකොට අවුරුදු 27 ක් රඟපාලා තියෙනවා. යම් අයුරකින් මේ නාට්‍යයේ යම් දර්ශන වාරයකදී මට අපහසු අවස්ථාවන්හිදී නරියා චරිතයට රඟපාන්න වෙනත් ආදේශක නළුවොත් ඉන්නවා. හැබැයි මම මේ නාට්‍යයේ නිත්‍ය නරියා නොවෙයි. මට එහෙම කියන්න බැහැ. අවුරුදු විසි හතක් මේ චරිතය කළත් මේ නාට්‍යයේ ස්ථිර නරියෙක් හිටිය නම් 1961 ඉඳල ඒ නරිය ඉන්න ඕනෑ මේ නාට්‍යයේ. නමුත් එහෙම නෑනේ. මුලින්ම මේ නරිබෑනා නාට්‍යයේ මුල්ම නරියා වුණේ ආචාර්ය සොලමන් ෆොන්සේකා. ඊට පස්සේ ලෙස්ලි රත්නායක, ජයශ්‍රී චන්ද්‍රජිත්, ගාමිණී සමරකෝන් වරින්වර නරියට රඟපාලා තියෙනවා. මම හිතන්නේ මේ නාට්‍යයේ හයවෙනි නරිය මම. නිර්මාණයක් ස්ථිරවම දිගට ගලාගෙන ගියත් ස්ථිර නළුවො නැහැ. මගෙන් පස්සේ වුණත් තව නරියො එන්න එපායැ. නැත්නම් නරිබෑනා නවතිනවනේ. හැබැයි කවුරු හරි කියනව නම් දැන් මම තමයි ස්ථිර නරිය කියලා ඒක වැරදියි. රඟපාන නළුවා නැතිදාට ඒ චරිතය කළා කියලා මම තමයි ස්ථිර නරිය කියල කියා ගන්නව නම් ඒක විහිළුවක්. මම කියන්නේ දයානන්ද ගුණවර්ධනගේ නරි බෑනා නාට්‍ය නිර්මාණය තව අවුරුදු සීයක් පරම්පරා ගාණක් ඉස්සරහට යන්න ඕනෑ. හැබැයි රඟපාන නළුවෝ වෙනස් විය යුතුයි. නමුත් නිර්මාණය පැවතිය යුතුයි.

ඔබේ මුල්ම නාට්‍ය අධ්‍යක්ෂණය සාරංගා නැවෙන් ඇවිත්?

2003 වසරේ ජනවාරි 24 වැනිදා තමයි මරදානේ එල්ෆින්ස්ටන් රඟහලේදි සාරංගා නැවෙන් ඇවිත් මම ප්‍රේක්ෂක ජල ප්‍රවාහයට මුදා හැරියේ. මේ නැවේ නිර්මාණකරුවාත් කපිතාන්වරයාත් වුණේ මම. රට පුරා ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් සාරංගා නැවෙන් ඇවිත් ගම් නියම් ගම් නගර සිසාරා ප්‍රේක්ෂකයන් අතරට ගොඩ බැස්සා. මේ නාට්‍යයට 2010 වසරේ අපි විරාමයක් තිබ්බා. ඒකට ප්‍රධාන හේතුව වුණේ නාට්‍යයේ රඟපෑ ශිල්පීන් සමහරු විදේශ ගතවීම ඇන්ටන් ජූඩ් වගේ කලා ශිල්පීන් ජීවිතයෙන් සමුගැනීම වගේ කාරණා ගොඩක් බලපානවා. ඒ නිසාම එවක තිබූ රටේ තොටේ වාතාවරණයත් සලකලා අපි නාට්‍යයට විරාමයක් තිබ්බා. පසුව අපි නාට්‍යය අලුත් නිෂ්පාදනයක් ලෙස 2018 දී නැවතත් ප්‍රේක්ෂකයන් අතරට දියත් කිරීම ඇරඹුවා.

වේදිකාවට අසීමිතව ආදරය කරන ඔබ කලා ජීවිතයේ දශක හතරක් පුරා අධ්‍යක්ෂණය කරන්නේ එක් නාට්‍යයක් පමණයි?

මම බොහෝ විට කරලා තියෙන්නේ වෙනත් අයගේ නාට්‍ය නිෂ්පාදන සඳහා රංගනයෙන් දායක වීම පමණයි. නමුත් මට අවශ්‍ය වෙලා තියෙනවා තවත් අලුත් නාට්‍ය නිෂ්පාදනයක් කරන්න. ඒ සඳහා මම දිවිහිමියෙන් කටයුතු කරනවා. මම කලාවට ඇවිත් අවුරුදු විසි දෙකකට පස්සේ තමයි මගේ මුල්ම නාට්‍ය අධ්‍යක්ෂණය වූ සාරංගා නැවෙන් ඇවිත් එළිදක්වන්නේ.

ඔබ නළුවකු ලෙස කරළියට එන මුල්ම නිර්මාණයෙන්ම ජනප්‍රියත්වය ලබා ගන්නා පුද්ගලයෙක්. ඒ ජනප්‍රියත්වය තුළ තමන්ගේ නිර්මාණයක් වෙත හඹා නොයන්නේ ඇයි?

මට මුලින්ම මාව ජනප්‍රිය වුණා කියලා නාට්‍යයක රඟපෑවා කියලා නාට්‍යයක් නිර්මාණය කරන්න හිතුණේ නැහැ. බන්දුල විතානගේ, ලූෂන් බුලත්සිංහල, දයානන්ද ගුණවර්ධන, ජයලත් මනෝරත්න වගේ එකිනෙකට වෙනස් නාට්‍යකරුවන් සමඟ වැඩ කරලා මම පන්නරයක් ලැබුවා. ඊට පස්සේ ඒ කාලයත් සමඟ ලබපු අත්දැකිම් එක්ක මට හිතුණා නාට්‍යයක් කරන්න මම දැන් සුදුසුයි කියලා. ඒ වෙන කොට මම අවුරුදු විසි දෙකක් විතර වෙන නාට්‍යකරුවන් වෙනුවෙන් මගේ රංගන දායකත්වය එක්කරලයි තිබුණේ. ඔය ගෙවුණු කාලය තුළ මට බොහෝ දේ මම අයිති කරගත්තා වේදිකාව තුළ.

වේදිකාවේ පෙළහර පාන ඔබ සිනමාවට එක් වෙන්නේ බොහෝ කාලයක් ගෙවී ගිහින්?

තාරාවෝ ඉගිළෙති වේදිකා නාට්‍යයේ මම රඟපාලා අවුරුදු විසි එකකට පස්සේ තමයි 2002 වසරේ උදය කාන්ත වර්ණසූරිය මාව බහුභූතයෝ චිත්‍රපටයට සම්බන්ධ කර ගන්නේ. 1988 දී තමයි මම පුංචි තිරයට එක් වෙන්නේ ඇන්ඩෲ ජයමාන්නගේ ගමේ විත්ති ටෙලි නාට්‍යයත් සමඟ.

පුංචි තිරයේ ඔබ වඩාත් ජනප්‍රිය වන්නේ?

1989 දී බෝඩිම ටෙලි නාට්‍යයත් සමඟ බෝඩිම පුංචි තිරයේ විකාශයත් සමඟ එක රැයකින් මාව ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ඔසවා තබනවා. කොටින්ම කිව්වොත් බෝඩිම තමයි මට ජනප්‍රියත්වයේ ඉණිමඟ වුණේ.

අසීමිත ප්‍රේක්ෂක පිරිසක් ඔබව ග්‍රහණය කර ගත්තේ මොන පැතිකඩකින් කියලද ඔබ විශ්වාස කරන්නේ?

අපේ රටේ වේදිකා නාට්‍යයක් බලන්න එන පිරිස සීමිතයි. ඒ එන පිරිස් තමයි අපිව එතනදි සජීවීව දකින්නේ. නමුත් ටෙලි ඩ්‍රාමා එකකදී මුළු රටක් එක මොහොතකදී දකිනවා. බෝඩිම, එතුමා, නෝනාවරුනි මහත්වරුනි මේ වගේ ටෙලි නාට්‍ය හරහා බොහෝ දෙනෙක් මට සමීප වුණා. ඇත්තම කියනවා නම් මාව බොහෝ දෙනෙක් දැනගත්තේ ටෙලි නාට්‍ය හරහා.

රංගනය වගේම ගායනයත් ඔබට ජනප්‍රියත්වය රැගෙන ආව කිව්වොත්?

ඇත්ත මට මුලදි ඉඳලම තාරාවෝ ඉගිළෙති නාට්‍යයේ පටන් ලැබුණ වේදිකා නිර්මාණ රංගනයත් සමඟ ගායනය ඉදිරිපත් කරන්න ලැබුණේ. එතනදි මට ගායන හැකියාව නිසාම මගේ රංගනයට එය ආභරණයක් වුණා. ඒ මම ගොඩනැගුණ ඒ ප්‍රසාංගික අත්දැකිම කතාවක් ලෙස ගොඩ නඟල තමයි මම සාරංගා නැවෙන් ඇවිත් නාට්‍ය නිෂ්පාදනය කළේ. විවිධ නාට්‍යවල ගීත ගොන්නක් එකම නාට්‍යයක රස විඳීමක් මගේ සාරංගා නැවෙන් ඇවිත් නාට්‍යයේ තියෙනවා. මුල් අයිතිකරුවන්ගේ අවසරය පරිදි මම ගායනා කරන නාට්‍ය ගීත වගේම මා විසින්ම ගායනා කරන මගේම ගීතත් මේ සාරංගා නාට්‍යයේ අන්තර්ගතයි. නාට්‍ය ගීත විස්සක් සමඟ තමයි සාරංගා නැවෙන් ඇවිත් වේදිකාවට පදවගෙන එන්නේ.

හතළිස් වසරක කලා ජීවිතයේ ආපසු හැරිල බලන කොට දැන් බිහිවන කලා නිර්මාණ නළු නිළියන් ගැන ඔබට මොකද හිතෙන්නේ?

දැන් හොඳ නිර්මාණ බිහි වෙනවා. විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය නිර්මාණ ඔවුන් අතින් බිහි වෙනවා. නමුත් වේදිකාව ඇතුළේ තියෙන විනය අද පිරිහිලා ගිහින්. වෙලාවක් නැහැ, පුහුණුවක් නැහැ. වේදිකාවට ආදරය කරන තරුණ තරුණියන් හිටියත් අපිට ඔවුන් තුළ ගොඩක් දුර්වලකම් දකින්න තියෙනවා. වෙලාවට පුහුණුවිම්වලට එන්නේ නැහැ. ජ්‍යෙෂ්ඨයන්ට තියෙන සැලකිල්ල අඩුයි. රිහසල්වලට එන්න කිව්වොත් ෂූටින් නැත්නම් වෙන වැඩක්. මේ වගේ දේවල් මම නළු නිළියන් පැත්තෙන් දකින දුර්වලතා.

යම් අයුරකින් ඔබට විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ගෙන් ඔවුන්ගේ නිර්මාණයක් සඳහා ආරාධනා ලැබණොත් භාර ගන්නවාද?

මම සතුටින් භාර ගන්නවා. මම එක පරම්පරාවක කෙනෙක්. මේ අලුත් පරම්පරාව එක්ක වැඩ කරලා ඒ දැනුම ඇපි ලබාගන්න කැමතියි. හැබැයි මට මේ වගේ අයගෙන් ආරාධනා ලැබිලත් මම ගිහින් ටික දවසකින් නතර වුණ අවස්ථාත් තිබුණා. ඒකට හේතුව අර මම කිව්ව විනය නැතිකම.

පුරා වසර හතළිහ තුළ ඔබේ නිර්මාණ දායකත්වයේ හැරවුම් ලක්ෂය වන්නේ?

දයානන්ද ගුණවර්ධන මහතාගේ නරිබෑනා.

අද වේදිකා නිර්මාණ මතම රැඳුණොත් පැවැත්මක් තියෙනවද?

අපි ගොඩනඟාගත් ප්‍රතිරූපයක් තියෙනවා. අපේ ශිල්පීය දක්ෂතාවයට යම් වේතනයක් ලැබෙනවා. එහෙම නොවුණොත් අපිට දැනේනේ අසතුටක්නේ. ඒ නිසා මම 2016 වසරේ ඉඳලා මේ දක්වාම කිසිදු ටෙලි නාට්‍යයකට දායක වෙලා නැහැ. අද කොත්තු රොටි ටෙලි නාට්‍ය කලාව නිසා ශිල්පීය දක්ෂතාවයට තියෙන මිල ඩේලි පේ වෙලා. ඒක වුණත් කමක් නැහැ. දක්ෂතතාවයට වටිනාකමක් නම්. අසතුටෙන් ගිහින් මට දෙයක් කරන්න බැහැ. නමුත් අද ජ්‍යෙෂ්ඨයෝ ආධුනිකයෝ කියලා නෑ. කවුරුත් මේ කර්මාන්තයේ නියැලෙනවා. ඒක ඒ අයගේ පෞද්ගලික දෙයක්. අද හැමදේම ලෝ බජට්. සමස්තයම ලෝ බජට් වෙන කොට ශිල්පීන්ට විතරක් ලොකු දෙයක් කරන්න බැහැ.

රොඩ්නි මේ වෙන කොට සීය කෙනෙක්?

ඔව්. එක සීය කෙනෙක් නොවෙයි දෙසීය කෙනෙක්. මගේ ලොකු දුව ප්‍රසංගිකා විවාහකයි. ඇයට දියණියක් හා පුතෙක් ඉන්නවා. මම ඉතිං දැන් මිනිබිරියකගේ හා මුනුබුරෙකුගේ සීය කෙනෙක්.

ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

බිරිය ඉරානි, ලොකු දුව ප්‍රසංගිකා. දැන් විවාහකයි. පොඩි දුව සමාධි. ඔක්තෝබර් මාසයේ විවාහ වෙන්න සුදානමින් ඉන්නවා. පුතා ඉරෝන් මේ වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා.

ආදරණීය රසිකයන්ට මතක් කරමුකො ලිපිනයත්, දුරකතන අංකයත්?

සමාධි, බෝපිටිය, පමුණුගම. 0777448060.

 


නිශ්ශංක විජේරත්න