විවිධ භූමිකා සමඟ “නිළියක්” ඔබ අමතයි

සැප්තැම්බර් 10, 2020

දුරාතීතයේ වේදිකා නාට්‍ය රූපණයට පිවිසීමෙහිලා ස්ත්‍රීන් විෂයෙහි පැවති තහංචි අරභයා මේ ලිපි පෙළෙහි ආරම්භයේදී මවිසින් විග්‍රහ කරන ලදි. මෙරට බිහි වූ ප්‍රථම නාට්‍ය විශේෂය වූ “නාඩගම” රාත්‍රියෙහි ආරම්භ කොට පසුදා පහන්වන තුරු රඟ දැක්වෙන කලාවක් වීම ද ස්ත්‍රීන් මේවාට දායක වීම වළක්වා එවක සමාජයෙන් තහංචි පැනවීමෙහිලා බලපෑ බැව් පෙනේ. එහෙයින් ස්ත්‍රී චරිත     පුරුෂයන්ම රඟදැක්වීම එදා නාඩගමෙහි මුඛ්‍ය ලක්ෂණයක් විය. 

ජපන් නාට්‍ය කලාවෙහි තතු ද මීට වඩා වෙනස් නොවුණි. මුල් යුගයේ නෝ, කබුකි නාට්‍යවල  ස්ත්‍රීන් රඟපෑ අවස්ථාවල අවසානයේ සමුරායිවරුන් ඔවුන් පැහැරගෙන යෑමට තැත් කිරීම නිසා සෑහෙන කලක් ගත වන තුරු ස්ත්‍රී චරිත පුරුෂයන්ම රඟපෑමේ පිළිවෙත පැවතිණ. එක් යුගයක පැවති ලාංකේය දෙමළ සිනමාව අඛණ්ඩව ස්ථාපිත නොවීමට බලපෑ එක් හේතුවක් වූයේ දෙමළ කාන්තාවකට නිළියක් වීමට යාපනයේ ජනතාවගෙන් පැවති තහංචිය බැව් පෙනේ.

පුමඉතිරි බව හෙවත් ස්ත්‍රී පුරුෂභාවය අතීතයේ නාට්‍ය විෂයෙහි බලපෑ අයුරු මට සිහිපත් වූයේ ප්‍රවීණ රංග ශිල්පිනී මාදනී මල්වත්තගේ “ජගන් මා” නාට්‍යයෙහි රඟපෑ භූමිකාව අරභයා විග්‍රහ කිරීමට ප්‍රවේශයක් වශයෙනි. පසුගිය ලිපියෙහි ම විසින් විවරණය කරන ලද කේ. බී. හේරත්ගේ “කළු කුමාරි” නාට්‍යය උදෙසා 2009 වසරේ හොඳම නිළිය ලෙස ඇය රාජ්‍ය නාට්‍ය උලෙළෙහි සම්මානයට පාත්‍ර වූවාය. කේ. බී. හේරත් නිර්මාණය කළ “ජගන් මා” නාට්‍යයෙහි ඇය රඟපෑ භද්‍රා නමැති භූමිකාව එක් අතකින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය විවරණය කෙරේ.

පවුල් සංස්ථාවක දරු උත්පත්තියකදී මිනිස් වර්ගයා සතු වටිනාම වස්තුව වූ දරු සම්පත්තිය “සරමක්” වුවත් “කම්බායක්” වුවත් එහි කිසිදු භේදයක් නොමැත. එක සමානවමැ අගී. එහෙත් ඇතැම් පවුල් දරු උත්පත්තියේදී දියණියකගේ උත්පත්තියකට වඩා පුත්‍ර ලාභය අගයනු දැක්ක හැකිය. අතීත රජ පවුල්වලට මෙය වෙසෙසින් බලපෑවේ පිය උරුමයෙන් රජකම පැවරීමේ අභිලාෂය ද හේතු කොට ගෙනය. කොසොල් රජු වරෙක තම බිසවකට දියණියක  ලැබීම හේතු කොට බුදුන් වහන්සේ වෙත ගොස් තම කනස්සල්ල පළ කළේය. බුදුන් වහන්සේ කොසොල් රජුගේ සිත් සනසාලමින් මෙලෙස වදාළ සේක.

“ඉත්‍යපි එකච්චියා සෙය්‍යො

තස්මා පෝස ජනාධිප

මේධාවිනි සීලවතී සස්සුදේවා පතිබ්බතා

තස්‍යා යො රාජතී පොසෝ

සූරෝ හෝති විසම්මුති”

එහි භාවය මේය.

පුරුෂයා පමණක් නොව

ස්ත්‍රිය ද ශ්‍රේෂ්ඨය; උතුම්ය.

එහෙයින් පෝෂණය කරන්න

ජන අධිපතිතුමනි (රජතුමනි)

ප්‍රඥාවන්ත,  සීලවන්ත

පතිවෘතයෙන් හෙබි ස්ත්‍රීහු ද සිටිති. රටක් පාලනය කළ හැකි පුතුන් බිහි කිරීමට ඇය සමත්ය.”

යථෝක්ත ගාථාවෙහි “රටක් පාලනය කළ හැකි පුතුන් බිහි කිරීමට ඇය සමත් වේ” යනුවෙන් දැක් වෙතත් බුදුන් වහන්සේ කිසිදු ස්ථානයක ස්ත්‍රියකට රටක් පාලනය කළ හැකිය” යනුවෙන් නොවදාළේ මන්දැයි ගැඹුරින් විමසා බැලිය යුත්තකි. එය කෙසේ වුවත් “ස්ත්‍රී පතිවෘතය” එහිදී අගයා ඇති බැව් පැහැදිලිය. “පතිවත” යන වදන මෙකල බොහෝ තැන්හී  සාවද්‍ය අයුරින් භාවිත වන බැව් පෙනේ. එනම් ස්ත්‍රී පුරුෂ දෙපිරිසම අරභයා “පතිවත” යන වදන භාවිතයට ගැනීමෙනි. ස්ත්‍රීන්  සුරැකිය යුත්තේ “පතිවත” (පාලි) හෙවත් “පතිවෘත”ය (සංස්කෘත)  බව සැබැවි. එහෙත් පුරුෂයන් සුරැකිය යුත්තේ “පතිනිවත” හෙවත් “පතිනිවෘත”යයි.

ස්ත්‍රී - පුරුෂ සමාජභාවය උත්පත්තියෙහි සිට ඉස්මතු වන අයුරු කේ. බී. හේරත්ගේ “ජගන් මා” නාට්‍යයෙහි විග්‍රහ කෙරේ. මෙහි ප්‍රවීණ නිළි මාදනී මල්වත්තගේ ස්ත්‍රී-පුරුෂ ලක්ෂණ ද්්වයෙන්ම සුසැදි භද්‍රා නමැති භූමිකාව මැනවින් නිරූපණය කළාය. ඇය මෙහි පුරුෂයකු ලෙස වෙස් වළාගෙන ද රඟපාන්නීය. “භද්‍රා” දියණියක ලෙස උපත ලැබූවත් ඇයට දෙමවුපිය සහ සමාජයේ බලපෑම් මත පිරිමියකු ලෙස ජීවත්වීමට සිදු  වේ. මේ නාට්‍යයෙහි සමස්තාර්ථයෙන් විදාරණය කෙරෙනුයේ ගැහැනියක පිරිමි වෙස් ගෙන කොතෙක් ජීවත්වීමට තැත් දැරුව ද ස්වභාව ධර්මයට පිටුපෑම නිශ්ඵල බවය.  සමාජය ස්ත්‍රියකගෙන් අපේක්ෂා කරන දේ ප්‍රතික්ෂේප කරමින් ජීවත්වීමට ඇතැම් ස්ත්‍රීන් උත්සුක වුවත් ස්වභාව ධර්මය ඇයට පැවරූ දේ පිළිකෙව් කිරීමේදී ඇය අසරණ වේ. එහෙයින් සමාජය කෙසේ වෙතත් ස්වභාව ධර්මය ප්‍රතික්ෂේප කිරීමට වෙර දරන ඇතැම් සංවිධාන හා බැඳුණු ස්ත්‍රීවාදීන් “ජගන් මා” නාට්‍යය නරඹනු වටී.

මාදනී මල්වත්තගේ පසුගිය දශක ද්වයක කාලය පුරා ලාංකේය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ එකිනෙකට වෙනස්  සංකීර්ණ ස්ත්‍රී භූමිකා රාශියක් රඟපෑ කුසලතා පූර්ණ රංගන ශිල්පිනියකි. කීර්තිශේෂභාවෝගත ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ “සෙල්ලම් නිරිඳු” නාට්‍යයේ ඇය ප්‍රමිලා බිසව ලෙස සෙල්ලක්කාර, වගකීම් විරහිත තම සැමියා වූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සහ තම සිතට ප්‍රේමයෙන්, කවියෙන් සැනසිල්ල උදා කරදෙන දස්කොන් අතර දෝලනය වෙමින් අතරමං වන භූමිකාවක් රැඟුවාය. එහි දස්කොන් ලෙස ආචාර්ය ජයලත් මනෝරත්නත්, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ලෙස  නලින් ප්‍රදීප් උඩවෙලත් රංගනයෙන් එක් වූහ. මේ ශිල්පීන්ගේ රංග කුසලතා ඉස්මතු වුවත් දස්කොන් - ප්‍රමිලා අතර (ජයලත් මනෝරත්න හා මාදනී මල්වත්තගේ) වයස් පරතරය වැඩියෙන් දිස් වීම නාට්‍යයෙහි දුබලතාවක් විය.

උදයසිරි වික්‍රමරත්නගේ “සුද්දෙක් ඔබ අමතයි” නාට්‍යය මෑතකාලීන යුගයේ ඇගැයීමට ලක් විය යුතු අත්හදා බැලීමකි. නව්‍ය ආකෘතියකින් හා අන්තර්ගතයකින් සුසැදි මේ නාට්‍යයෙහි දක්නා ලැබෙනුයේ චරිත ත්‍රිත්වයකි. මෙහි සුද්දෙක්, ඉතිහාසඥයෙක් හා ස්ත්‍රියක් පේ‍්‍රක්ෂකයා හමුවට පැමිණෙති. ඔවුහු ප්‍රේක්ෂකයන් සමඟ තම අදහස් දක්වති. ආචාර්ය ජයලත් මනෝරත්නයන් ඉතිහාසඥයකුගේ භූමිකාවත් නලින් ප්‍රදීප් උඩවෙල සුද්දෙකුගේ චරිතයත් රඟද්දී මාදනී මල්වත්තගේ ස්ත්‍රී භූමිකාවට පණ පොවමින් ස්ත්‍රියගේ ස්වාධීනත්වය, සමාජයේ ඇයට හිමි විය යුතු ආස්ථානය අවධාරණය කරන්නීය. මේ නාට්‍යය “සුද්දෙක් ඔබ අමතයි” ලෙස නාමකරණය කොට තිබුණත් සුද්දා හැරුණු විට “ඉතිහාසඥයෙක් ඔබ අමතයි” හෝ “ස්ත්‍රියක් ඔබ අමතයි” ලෙස ද නම් කළ හැකි වී තිබුණි. 1948 දී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් ස්වාධීනත්වය ලැබුවත් යටත් විජිත මානසිකත්වයෙන් ක්‍රියා කරන්නෝ මෙකල ද බහුල වෙති. යටත් විජිත වාදයෙන් පසුව කාලාන්තරයක් පුරා මෙරට ඇතැම් මිනිසුන්ගේ සිත් මඩියට කාවැදුණු “හීනමානය” තවමත් පහ වී නැත.  මෙකී මානසිකත්වය කාලාන්තරයක් පුරා, මෙරට අවිචාරවත් මඟකට යොමුකළ බැවින් “සුද්දෙක් ඔබ අමතයි” ලෙස මේ නාට්‍යය නාමකරණය සහේතුකය.

මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ “මහා සමයම” නමැති ඔපෙරාවක සිරි ඉසිලූ නාට්‍යයෙහි රංගනය, ගායනය, නර්තනය ඈ කලාවන් මැනවින් සුසංයෝගි විය. එහි රැඟුමෙන් ගැයුමෙන් නර්තනයෙහි නියැළෙමින් මාදනී නිරූපණය කළේ ගෝඨයිම්බරගේ බිරිය සෝන දේවියගේ භූමිකාවය. කෘතහස්ත රූපණවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් ගෝඨයිම්බරගේ භූමිකාවත්, ජැක්සන් ඇන්තනි මහසෝනාගේ භූමිකාවත් මෙහිදී රඟපෑහ. ලාංකේය ඉතිහාසය, හින්දු සමය, ජනශ්‍රැතිය යනාදියෙහි සහසංකලනයෙන් ගොඩනැඟුණු පර්යේෂණාත්මක ස්වරූපයේ දැවැන්ත         නිෂ්පාදනයක් වූ මෙහි අනෙක් සුවිශේෂ ස්ත්‍රී භූමිකාව රැඟුවේ ඉන්දිකා උපමාලිය. ඒ උමයංගනාගේ භූමිකාවය. 

බුද්ධික දමයන්තගේ “සුරඟනක් ඇවිත්” නමැති (2009) ප්‍රහසන නාට්‍යයේ මාදනී, පෙම්වතුන් දෙදෙනෙකුගේ (මහේන්ද්‍ර වීරරත්න සහ සුජීව ප්‍රියාල්) ආදරයෙන් මුසපත්ව දෙපැත්තට දෝලනය වන භූමිකාවක් රැඟුවාය. මේ වූ කලී නීල් සයිමන්ගේ “The Star - spangled girl” නාට්‍යයෙහි පරිවර්තනයකි.

මොසාර්ට්ගේ “The Marriage of Figaro” ඔපෙරාව ඇසුරෙන් බියුමාකේ තැනූ නාට්‍යයෙහි අනුවර්තනයක් වූ දයානන්ද ගුණවර්ධනයන්ගේ “බක්මහ අකුණු” හී ළමා තැනීගේ භූමිකාව ද මාදනීගේ රැඟුම් අතර කැපී පෙනේ. “බක් මහ අකුණු” ඇසුරෙන් දයානන්දයන්ම තැනූ “බක්මහ දීගේ” (1969) චිත්‍රපටයෙහි මේ චරිතය අයිරාංගණී  සේරසිංහ ප්‍රවීණ රූපණවේදිනිය නිරූපණය කළ අයුරු සහෘද ඔබට මතක ඇති. වත්මන් නාට්‍යයේ සේවිකාවට පෙම් බඳින මුදලි වනුයේ ප්‍රවීණ රංගවේදී ජයනාත් බණ්ඩාරය. තම සැමියාගේ මනමාලකම් මැනවින් හඳුනන ළමා තැනී උපක්‍රමශීලීව ඔහු වරදෙහි බැඳීමෙන් මුදවා ගැනීමට දරන වෑයම හාස්‍ය රසයෙන් අනූනය.

ඉතිරි කොටස ලබන සතියේ