Folk සහ Classic

සැප්තැම්බර් 24, 2020

ගැමි රංග කලාව

(Folk Theatre)  සහ සම්භාව්‍ය රංග කලාව (Classic Theatre)

 

නාට්‍ය කලාව පමණක් නොව වෙනත් කලාවන් විග්‍රහ කර ගැනීමේදී පවා පැහැදිළි අදහසක් නොමැති වචන දෙකකි සම්භාව්‍ය හා ගැමි යන පදයන්. සම්භාව්‍ය නාට්‍ය හා ගැමි නාට්‍ය හඳුනා ගැනීමේදී ඒවා වෙන් කොට දැක්වීම කළ හැකි වුවත් එහි අර්ථය පිළිබඳ අවධානය යොමු වීම අල්පය. ඊඩිපස්, මැක්බත්, චෙරි උයන, මනමේ, වෙළඳ සේවකයාගේ මරණය වැනි නාටක සම්භාව්‍ය නාට්‍ය ලෙස නැත්නම් විදග්ධ නාට්‍ය ලෙස වර්ග කෙරෙන අතර සොකරි, කෝලම්, යක්ෂගාන (ඉන්දීය), ගගකු, ගිගකු සහ දෙන්ගකු (ජපානය) ගැමි රංගය නැතිනම් ගැමි නාට්‍ය ලෙස වර්ග කරනු ලබයි. නමුත් සෛද්ධාන්තිකව මෙම වර්ගය හඳුනාගන්නේ කෙසේද? ඒ පිළිබඳව අපගේ අවධානය අවබෝධය අල්ප වේ. ඒ සඳහා සම්භාව්‍ය හා ගැමි කලාව පිළිබඳ විග්‍රහයන් අවබෝධ කරගත යුතු වේ.

සම්භාව්‍ය නාට්‍ය ලෙස බොහෝ විට අප හඳුනාගන්නේ යුග ගණනාවක් පුරා පැවැතුණු නාට්‍ය සම්ප්‍රදායන් හෙවත් පෞරාණික නාට්‍ය සම්ප්‍රදායන්ය. ග්‍රීක, රෝම, සංස්කෘත, නෝ කබුකි ආදී සාම්ප්‍රදායන්ය. පැරණි වූ පමණින් සම්භාව්‍ය නොවන අතර එම නාට්‍ය සම්ප්‍රදායෝ පරම්පරා ගණනක් අඛණ්ඩව පැවැතීමේ ගුණයෙන් යුක්ත විය යුතුය. යම් කලා සම්ප්‍රදායක් පෞරාණික වූ පමණින් සම්භාව්‍ය නොවේ. එහි වෙනස් වෙමින් පැවති යුග, සම්ප්‍රදායන් හා ශිෂ්ටාචාරවල විවිධාකාරයෙන් අර්ථ ගැන්වීමට අවශ්‍ය ගුණයෙන් යුක්ත විය යුතුය. එනම් සර්වකාලීන ගුණයෙන් යුක්ත විය යුතුය. ග්‍රීක නාට්‍යය ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදී සමාජය, රෝම වහල් යුගය, මධ්‍යකාලීන වැඩවසම් යුගය, 17 වන ශතවර්ෂයෙන් පටන් ගන්නා වාණිජ සමාජය, 18 සහ 19 ශතවර්ෂයෙන් පටන් ගන්නා කාර්මික යුගය නැතහොත් පන්ති සමාජය (ධනපති, මධ්‍යම සහ නිර්දන පන්ති) ඉක්මවා නූතන සමාජය දක්වා විවිධ අර්ථකථනයන් සහිතව නිෂ්පාදනය වේ. එසේ ම විවිධ ප්‍රතිනිර්මාණයන්ට ලක්වේ. එපමණක් නොව ග්‍රීක නාට්‍ය විවිධ දාර්ශනික මතවාදවලට මූලාරම්භය සපයයි. ඊඩිපස් සංකීර්ණය, ඉලෙක්ට්‍රා සංකීර්ණය ආදී නූතන මනෝ විශ්ලේෂණ විග්‍රහයන්ට මූලාශ්‍රය වූයේ ගී‍්‍රික නාට්‍යයයි. සම්භාව්‍ය නාට්‍ය තුළ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ විද්‍යාව, කලාව, දේශපාලනය, ආර්ථිකය, දර්ශනය ආදී වූ විවිධ විෂයන් ගැබ්ව පවතී. ඒවායේ වෙනස්කම් ග්‍රහණය කරගෙන සිටී. වෙනස් වන මනුෂ්‍ය පරිවර්තනයන්ට අනුගත වීමේ සර්වකාලීන ගුණය සම්භාව්‍ය නාට්‍ය තුළ පවතින ජීව ගුණයකි. එපමණක් නොව සම්භාව්‍ය නාට්‍ය අන්තර්ගතයේ එන දාර්ශනික මිනිස් චරිත හා ඔවුන් මුහුණ දෙන සංකීර්ණ මානව ගැටුම් තවත් සම්භාව්‍ය නාට්‍ය සම්මිශ්‍රයන්ට හා ආකෘතීන්ට උත්පත්තිය සපයයි. නිදසුනක් ලෙස එම කෘතින් නැවත නැවතත් ප්‍රතිනිර්මාණයන්ට පමණක් නොව වෙනත් නිර්මාණ රචනයන්ට ද ගෝචර වේ. ඊඩිපස් නාට්‍ය නොතිබුණි නම් ශේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍ය නොලියවෙන්නට ඉඩ තිබිණි. ඊඩිපස් හා හැම්ලට් නාට්‍ය නොමැති නම් චෙකොෆ්ගේ මුහුදු ලිහිණියා නොලිය වෙන්නට තිබිණි. සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍ය ඊඩිපස් නාට්‍යයෙන් ආනුභාවය ලබා තිබේ. ආර්. ආර්. සමරකෝන්ගේ කැලණි පාලම සිංහබාහු නාට්‍ය නැවත ලිවීමකි. අලුත් සම්භාව්‍ය නාට්‍ය උපදින්නේ පැරණි සම්භාව්‍ය නාට්‍ය උරුමයන්හි පවත්නා මිනිස් ජීවිතයේ සංකීර්ණත්වය තව තවත් ගැඹුරින් විග්‍රහ කර ගැනීමට කරන උත්සාහයන්හීය. නූතන විශිෂ්ට නාට්‍ය රචකයෝ බිහිවී ඇත්තේ නාට්‍ය සම්ප්‍රදාය සංස්කෘත ආදී පැරණි නාට්‍ය සම්ප්‍රදායන් ගැඹුරින් ග්‍රහණය කර කරගන්නට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන් එක්කො ඒ ඇසුර ලබාගති. නැතහොත් එම නාට්‍ය නූතන සමාජයට අර්ථ කථනය කොට නිෂ්පාදනය කොට එහි ජීව ගුණය තම කෘතීන්ට උරාගනී. සොෆොක්ලීස්ගේ ඇන්ටිගනී නාට්‍ය ෂෝන් අනුයි නම් ප්‍රංශ රචකයා අලුතින් ලියූ අතර බ්‍රටෝල් එම කෘතිය විසිවෙනි සියවසේ සිදුවු මිනිස් ඛේදවාචකයන් (පැසිස්ට්වාදී පාලනය) අර්ථ කථනය කරන්නට වෙනස්ම ස්වරූපයකින් නිෂ්පාදනය කළේය. සිංහබාහු නාට්‍යයේ එන ගල්ලෙන බිඳලා ගීතය ඊඩිපස් නාට්‍යයේ එන ඊඩිපස්ගේ වදන්වලින් ආනුභාවය ලබා ඇත. ඉතිහාසයට එකතු වෙමින් වර්තමානය හා අනාගතයේ ද උරුමයක් වීම හා කාලත්‍රය ඉක්මවා මිනිස් ජීවිතය හඳුනා ගැනීමට, අර්ථ කථනය කිරීමට ඇති හැකියාව සම්භාව්‍ය නාට්‍යවල පවත්නා ගුණයකි.

සෛද්ධාන්තික මූල ග්‍රන්ථයන්හි එන සිද්ධාන්තයන්ට හා ඒවායේ වෙනස්වීම් වන අටුවාවන්හි පවතින භාවිතයන්ට ගෝචර වීම සම්භාව්‍ය නාට්‍යයන්හි එන තවත් ගුණයකි. භරතමුණිගේ “නාට්‍ය ශාස්ත්‍රය“ ඇරිස්ටෝටල්ගේ “කාව්‍ය ශාස්ත්‍රය“ සෙ අමි මොතොකියෝගේ “පුෂිකදෙන්“ යන කෘතීන් දැනට අප වෙත පවත්නා පැරණිතම හා නාට්‍ය කලාව සම්බන්ධ මූල ග්‍රන්ථයෝ වෙති. එම කෘතීන්වල නාට්‍ය නිෂ්පාදනය, රචනය, රඟපෑම, අනුෂාංගික අංග, නාට්‍ය රස විඳීම, ප්‍රේක්ෂකයා හා ප්‍රේක්ෂාගාරය පිළිබඳ ගැඹුරු විග්‍රහයන් අන්තර්ගතවේ. නාට්‍යයට පමණක් නොව අනෙක් සිංහල ප්‍රසංග කලාවන්ට ද එම මූල ග්‍රන්ථවල බලපෑම පවතී. නිදසුනක් ලෙස සිනමා තිර රචනය පිළිබඳ මූල ග්‍රන්ථයක් වූ සිග්ෆීල්ඩ්ගේ තිර රචනය සම්බන්ධ සෛද්ධාන්තික කෘතිය ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයේ එන නාට්‍ය රචනය පිළිබඳ සෛද්ධාන්තයන්ගෙන් පූර්ණ ආභාෂය ලබා ඇත. එහි තිර රචනයක විකාශය සම්බන්ධ මූලධර්ම ඇරිස්ටෝටල් හා භරතමුනිගේ රචනය සම්බන්ධ මූලධර්ම ඇසුරින් ගොඩ නගා ඇත.

20 වන ශතවර්ෂයේ මතුව ආ සුසාධිත නාට්‍ය සංකල්පය හඳුන්වන පර්යාය පදයක් වන්නේ ඇරිස්ටෝටලියානු නාට්‍ය යනුවෙනි. එහි අර්ථය ඇරිස්ටෝටලගේ මූලධර්මවලට අනුගත යන්නයි. එම මූලධර්මවලට ප්‍රතිවිරුද්ධ ඇරිස්ටෝටලියානු නොවන එනම් අසම්මත නාට්‍ය ලියවෙන්නට පටන් ගත්තේ කාව්‍ය ශාස්ත්‍රය බිහි වී වසර දෙදහකට පසුවය. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්, බෙකට්, ඉයුජින් අයනෙස්කෝ ආදීන් අසම්මත නාට්‍ය ව්‍යාපාරය ගොඩනඟන්නේ ද ඇරිස්ටෝටලියානු මූලධර්ම ගැඹුරින් හැදෑරීමෙන් ඉක්බිතිය. හොඳීන් විමසා බලන විට අසම්මත නාටය දාර්ශනික ලෙස ඇරිස්ටෝටලියානු නාට්‍ය වෙත අභියෝග එල්ල කල ද ඇරිස්ටෝටල්ගේ ආකෘතික මූලධර්ම පවතී.

ලාංකේය විදග්ධ නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනැඟීමේ දී ද සරච්චන්ද්‍රයෝ ලාංකේය ගැමි නාට්‍ය ගැඹුරින් හදාරා විශ්ලේෂණය කොට (සිංහල ගැමි නාටකය) ඒ සඳහා මූලාශ්‍රයක් ලෙස නාඩගම තෝරාගත්තේ නාඩගම තුළ පැවති සංස්කෘත නාට්‍ය මූලධර්මයන්ගේ බලපෑමෙනි. ක්‍රි.ව හතර වන සියවස පමණ වන විට සංස්කෘත නාට්‍ය යටපත් වී ගියද එහි මූලධර්මයන් ඉන්දියානු ගැමි නාට්‍යවලට අවතීර්ණ විය. භරත, කථකලී ආදී නැටුම් කෙරෙහි ද තුල්ලල්, ආට්ටම්, ඝාන ආදී ගැමි නාට්‍ය කෙරෙහි ද ඒ ඇසුරින් බිහි වූ අපගේ කෝලම්, සොකරි සහ නාඩගම්වලට ද සංස්කෘත නාට්‍ය මූලධර්ම බලපානු ලැබිය. ගැමි නාට්‍යවල එන රූපණ ආකෘතියේ ද, රචනා ආකෘතියේ ද සංස්කෘත මූලධර්ම ඇත. ජාතක කතාවකද, කෝලම් ආදී ගැමි නාට්‍යයක ද සංස්කෘත නාට්‍යයක මෙන් පූර්ව රංගය, කතා රංගය සහ අපර රංගය දක්නට ලැබේ. සංස්කෘත නාට්‍යයෙත් ගැමි නාට්‍යයේ එන පූර්ව රංගය විශේෂ ලක්ෂණය නම් ස්ථාවර පාත්‍රයන් විසින් පූර්ව රංගය ඉදිරිපත් කිරීමයි. සරච්චන්ද්‍රයන් විසින් මනමේ සහ සිංහබාහු නාට්‍යයන් නිර්මාණයේ දී ද නාඩගමේ ආනුභාවය ලබාගැනීමට ප්‍රධාන හේතුව අනෙක් සියලු ගැමි නාටකවලට වඩා නාඩගම සම්භාව්‍ය නැතහොත් විදග්ධ නාට්‍ය ලක්ෂණ පෙන්නුම් කිරීමයි.

ජපානයේ නෝ සහ කබුකි ද සංස්කෘත නාට්‍ය මූලධර්මයන්ගේ ආභාසය ලබා ඇති නාට්‍ය සම්ප්‍රදායන් දෙකකි. නෝ නාට්‍ය විෂයෙහි ක්‍රි. ව. 12 දී පමණ සෙ අමි මොතොකියෝ පුෂිකදෙන් වැනි සෛද්ධාන්තික කෘතියක් නිම කළ ද ලංකාව මෙන්ම ජපානය, චීනය කොරියාව. තායිලන්තය, කාම්බෝජය සහ වියට්නාමය වැනි රටවල් කෙරෙහි ඉන්දීය බලපෑම බරපතළ ලෙස දක්නට ලැබේ. බුදු දහම මෙම සියලු රටවල ආගම් කෙරෙහි බලපෑ ලෙසින්ම මෙම සියලූ රටවල ගැමි හා විදග්ධ නාට්‍ය කෙරෙහි නාට්‍යය ශාස්ත්‍රයේ බලපෑම සෘජුව ද වක්‍රාකාරව ද බලපා ඇති බව පෙනේ. පුෂිකදෙන් කෘතියේ එන නාට්‍ය මූලධර්ම භරතමුණිගේ නාට්‍ය විග්‍රහයන්ට ඉතා සමීපය. මෙලෙස පෙරදිග හා අපරදිග සම්භාව්‍ය නාට්‍ය කෙරෙහි භරත, ඇරිස්ටෝටල්, සෙ අමි ගේ සෛද්ධාන්තික විග්‍රහයන්ගේ බලපෑමෙන් තවමත් මිදෙන්නට නොහැකි වේ. නාට්‍ය කලාවේ සෑම අංශයක් කෙරෙහිම ඔවුන් කළ ගැඹුරු විග්‍රහයන්ගෙන් මිදෙන්නට නොහැකිය. එයට හේතුව ඔවුන් නාට්‍ය පමණක් නොව නාට්‍ය කෙරෙහි බලපානු ලබන සියලුම විෂයයන් පිළිබඳව ද අවධානය යොමු කොට තිබීමයි. ඒ හේතුවෙන් නාට්‍ය රචනයක, රූපණයක සිදුවිය යුතු කාරණා ඔවුන් දාර්ශනික ලෙසත්, විද්‍යාත්මක ලෙසත්, මනෝ විද්‍යාත්මක ලෙසත්, සමාජ, දේශපාලනික සහ සංස්කෘතික මැදිහත් වීමක් සහිතව විග්‍රහ කොට තිබීමයි. ඔවුන් නාට්‍ය රචනාවක එන චරිත ප්‍රතිනිර්මාණය කිරීමත් එය වේදිකාව මත රූපණයේ යෙදීමත් සම්බන්ධ කරුණු ඉතා සියුම් හා ගැඹුරු ලෙසින් විස්තර කොට ඇත. නිදසුනක් ලෙස නාට්‍ය ශාස්ත්‍රයේ එන භාව, විභාව සහ අනුභාව විස්තර කොට ඇති ගැඹුරු ස්වභාවයත් කාව්‍ය ශාස්ත්‍රයේ නාට්‍ය රචනය පිළිබඳ ගැඹුරු විග්‍රහයත් අධ්‍යයනය කිරීම වැදගත් වේ.

සම්භාව්‍ය නාට්‍ය වර්ගීකරණයේ දී නාට්‍ය පමණක් නොව අනෙක් කලාවන් ද සම්භාව්‍ය වදනින් විග්‍රහ කර ගැනීමේදී එම කලාවන් කලාව පිළිබඳව ඓතිහාසික මූල ග්‍රන්ථයන්ගේ ආභාසය, බලපෑම සහ පෝෂණයට කෙතෙක් නතු වී ද යන්න වැදගත් වේ. ග්‍රීක ඛේදාන්තය, සුඛාන්තය, සංස්කෘත නාට්‍ය, නෝ නාට්‍ය මෙන්ම සොෆොක්ලීස්, විලියම් ශේක්ස්පියර්, චෙකොෆ්, ආතර් මිලර් සහ එදිරිවීර සරච්චන්ද්‍ර ආදීන්ගේ නාට්‍ය විදග්ධ නාට්‍ය ලෙස විග්‍රහ කරනුයේ මෙම අර්ථයෙනි. විදග්ධ නැතහොත් සම්භාව්‍ය නාට්‍ය එම නාට්‍යයන් හි අන්තර්ගතය හා ආකෘතිය පිරික්සීමෙන් හඳුනාගත හැකි වන අතර ලෝකයේ ලියවෙන නාට්‍ය අතරෙන් සියල්ල වර්ගීකරණය කළහොත් ඒවා වර්ග දෙකකට වෙන් කර ලිය හැකිය. එනම්

නාට්‍ය රචනය කරනු ලබන කාලය ඉක්මවා පවතිමින් විවිධ අර්ථකථනයන්ට එක් එක් යුග, දේශ ආදියෙහි මනුෂ්‍ය ජීවිතය අර්ථකථනය කළ හැකිය. සර්වකාලීන වටිනාකමක් සහිත නාට්‍ය සුඛාන්තය, ඛේදාන්තය මෙම ගුණය සහිත රචනාවෝ වෙති.

නාට්‍යය රචනය කරනු ලබන මොහොත වෙත පවතින සමාජ, දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික ජීවිතය වෙත පමණක් ප්‍රතිචාරයක් දක්වන නාට්‍ය. මෙම නාට්‍ය පවතින සමාජ, දේශපාලනික ආර්ථික හා සංස්කෘතික අවකාශය වෙනස් වූ කළ ප්‍රායෝගික ජීවිතතයෙන් ඉවත්ව යයි. ප්‍රහසනය, අති නාටකය එවන් ආකෘති වෙති. මෙම කෘතීන් සර්ව කාලීන ගුණයෙන් යුක්තව මනුෂ්‍ය ජීවිතය සියුම් හා ගැඹුරු විනිවිදභාවයකින් යුක්තව ග්‍රහණය කරගැනීම වෙනුවට මනුෂ්‍ය ජීවිතය මතුපිටින් ස්පර්ශ කරනු ලබයි. විශේෂයෙන් නළු කාර්යය මුඛ්‍ය කරගත් නාට්‍ය මේ ගණයට අයත් වේ. මේ ගණයේ නාට්‍ය රචනාවෝ එහි නළු කාර්ය (නළුවා) නිම වූ කල ප්‍රායෝගිකත්වයෙන් බැහැර වෙයි. විදග්ධ නාට්‍යයක අන්තර්ගතය මනුෂ්‍යයා මූලික කරගත් ඝට්ටනයෝ ත්‍රිත්වයකට විවෘත වෙයි. මනුෂ්‍ය ජීවිතයක සංකීර්ණම තැන සිට, ගැඹුරුම පත්ලේ සිට විශ්වයේ අනන්තය දක්වා මනුෂ්‍යයා සම්බන්ධ අර්බුදය ගමන් කරයි. මනුෂ්‍ය අධ්‍යාත්මයේ ගැඹුරුම පත්ලෙන් පටන්ගෙන එනම් මනුෂ්‍ය තමා කවුදැයි යන ප්‍රශ්නයට පිළිතුරු සොයා යන ගමනේ අනන්තයේ සිට මනුෂ්‍යයා තම සවිඥානික හා විඥානයට ගෝචර නොවන බාහිර ජීවිතයේ අන්තය දක්වා තම අර්බුධය දික් කොට තිබේ.

මේ අන්ත දෙක හා එහි මාධ්‍ය හඳුනාගැනීමට ඒ හා ගැටෙමින් ප්‍රශ්න කරමින් වේදනාවට හා සතුටට පත් වෙමින් ජීවිතය අවබෝධ කර ගැනීමට මනුෂ්‍යයාගේ නිරන්තර අරගලය වේ. එම අරගලය සඳහා කරන ගමනේ ඔහු සතුටේ (සුඛයේ) අනන්තයේ සිට දුකෙහි (දුඛාන්තය) අන්තය දක්වා ගමන් කරන අතර (ඛේදාන්තය හෙවත් ඊපචඨඥඤර) එසේ නැතහොත් දුකේ සිට සතුටේ නැතහොත් සුඛයේ අන්තය කරා (සුඛාන්තය ඇති වන්නේ එතෙනදීය) ගමන් කරයි. සර්වකාලීන නැතහොත් කාලය ඉක්මවා අර්ථකථනය කිරීමේ හැකියාව කලා කෘතියකට ඇති වන්නේ කලා කෘතිය විසින් මනුෂ්‍ය අධ්‍යාත්මයේ පත්ලේ සිට ස්වභාව ධර්මයේ ගැඹුරු තුළ මනුෂ්‍යයාට ඇති අර්බුදයේ ස්වරූපය හඳුනා ගැනීමට දක්වන උත්සාහය මතය. ඕනෑම කලා කෘතියක නාට්‍යයක පවතින මනුෂ්‍ය සම්බන්ධ ත්‍රිත්ව අරගලය මෙසේ ය. මෙය අරගලයක් වන්නේ මනුෂ්‍යයා මෙම ත්‍රිත්ව ස්වරූපයන් අවබෝධ කර ගැනීමේ උත්සාහයේදී ඒ හා ගැටෙන පරිමාවේ ස්වභාවය අනුව ජීවත් වීමේ දී අපට ඇති ප්‍රධාන අරගල තුන නම්

1. මනුෂ්‍යයා මනුෂ්‍යයා සමඟ - එනම් තමන්ගේ අධ්‍යාත්මය සමඟ කරන ගැටුම හෙවත් තමා කවුද යන ගැටලුවට පිළිතුරු සෙවීමේ උත්සහය

2. මනුෂ්‍යයා සමාජය සමඟ - අනෙකා තේරුම් ගැනීම සඳහා දරන උත්සාහය

3. මනුෂ්‍යයා ස්වභාවධර්මය සමඟ - කරන අරගලය නැතහොත් ස්වභාව ධර්මය තේරුම් ගැනීමට කරන උත්සාහය. ස්වභාවධර්මය යනු ගහකොළ, සතා සිවුපාවා, ගංගා, දිය ඇලි පමණක් නොව ඉර, හඳ, තාරුකා සහිත සමස්ත විශ්වයම තේරුම් ගැනීමට කරන අරගලයයි. එය තමාගේ ඉරණම අවබෝධ කරගැනීමට කරන අරගලය ද වේ.

මෙය ත්‍රිත්වය වෙන් වෙන්ව නොව එක්ව පවතින්නකි එකක් අනෙක් සමඟ බැඳී ඇති චක්‍රයකි. මම, සමාජය සහ ස්වභාවධර්මය එකතුවේ උත්තරය ජීවිතයයි. එකක් නිසා අනෙක විනාශ වේ නැති නම් පවතී. නාට්‍යයක අප දකින චරිත් ඔවුන් හා බැඳී ඇති චරිත මෙන්ම ඔවුන් ජීවත්වන පරිසරය අදෘශ්‍යමාන හා දෘශ්‍යමාන ලෝකය එකට බැඳ පවතී. විදග්ද නැතහොත් සම්භාව්‍ය නාට්‍යයක මේවා එකින් එක බැඳී පවතී. මේ ගැටුම් තුනෙන් එකක් හෝ දෙකක් පමණක් ග්‍රහණය කර කරගන්නා නාට්‍යයන්ට සර්වකාලීන අගයක් වටිනාකම්ක් හිමිකර ගත නොහැකි වේ. ඊඩිපස්, ඇන්ටිගනි, මැක්බත්, ශාකුන්තලය, සුමිදගව (නෝ නාට්‍යය) සිංහබාහු මේ ගුණය අත්පත් කරගත් නාට්‍යයෝ වෙති. ඊඩිපස් නාට්‍යයයේ ඊඩිපස් සමඟ යොකස්ටා, තයිරීසියස්, දූතයින්, ක්‍රයෝන් මෙන්ම ඉරණම, තුන්මංසල සහ ඇපලෝ දෙව්මැදුර ඓන්ද්‍රීයව බැඳී පවතී. සිංහබාහු නාට්‍යයේ සිංහයා සමඟ සිංහ සීවලී, සිංහබාහු සහ සුප්පා දේවි මෙන්ම ගල්ලෙන ද, මනමේ නාට්‍යයේ මනමේ සමඟ මනමේ කුමරිය, වැදි රජු, වැදි දෙටු මෙන්ම ඔවුන් හමුවන වනය ද ඓන්ද්‍රීයව බැඳීි පවතී. එයින් තමා, අනෙකා සහ ස්වභාව ධර්මය යන ත්‍රිත්වය සංකේතවත් වේ. යම් රටක නාට්‍ය කොතෙක් ලිව්වද, නාට්‍යයකරුවෝ කොතෙක් බිහිවුණු ද එය පැවතීමට නම් නාට්‍යයකරුවා හා රචකයා මෙම අරගලය නාට්‍ය තුළ ප්‍රතිස්ථාපනය කළ යුතුය. සුඛාන්ත, දුඛාන්ත ආකෘතින් හී ගුණය හේතුවෙනි. ප්‍රහසන, අති නාටක බොහෝවිට සර්වකාලීන ගුණයෙන් දුරස් වන්නේ එම ආකෘතිය තුළ දී ත්‍රිත්ව අරගලයේ ඝට්ටනයන් ත්‍රිත්වයම ග්‍රහණය කරගන්නේ නැත. විදග්ධ නාට්‍යයක් සමඟ නැතහොත් ඛේදාන්ත නාට්‍යයක් සමඟ ප්‍රහසන හෝ අති නාටකයක් සසඳා බලන්න. නිදසුනක් ලෙස සිංහබාහු නාට්‍ය සමඟ සාජන්ට් නල්ල තම්බි නාට්‍යය පෙළ සසඳා බලන්න. සම්භාව්‍ය නාට්‍ය නිරන්තරයෙන්ම විවිධ කාල, විවිධ දේශ සහ විවිධ ජන සමාජ පමණක් නොව වෙනත් කලා මාධ්‍යන් කෙරෙහි ද නිරන්තරව බලපාන්නේය. බර්ග්මාන්ගේ චිත්‍රපට කෙරෙහි ඉබ්සන්ගේ නාට්‍යය ද, ජී. බී. සේනානායකයන්ගේ සාහිත්‍යය කෙරෙහි විලියම් ශේක්ෂ්පියර්ගේ ඛේදාන්ත නාට්‍යය ද, කුරොසොවාගේ චිත්‍රපට කෙරෙහි ශේක්ෂ්පියර්ගේ නාට්‍යය ද, කුරොසොවා චිත්‍රපට බටහිර ගොපළු චිත්‍රපට කෙරෙහි බලපා ඇත. එසේම ඊඩිපස් නාට්‍ය හැම්ලට් නාට්‍යය කෙරෙහිද, හැම්ලට් නාට්‍ය ඉබ්සන්ගේ ගෝස්ට් හා චෙකොෆ්ගේ මුහුදු ලිහිණියා නාට්‍ය කෙරෙහි ද, ඉබ්සන් හා චෙකොෆ්ගේ නාට්‍ය ආතර් මිලර් සහ ටෙනිසි විලියම්ස්ගේ නාට්‍ය කෙරෙහි ද බලපා ඇත. විදග්ධ නැතහොත් සම්භාව්‍ය නාට්‍ය ආකෘතීන්, සිද්ධාන්ත සහ අන්තර්ගතයන් ලෝක නාට්‍ය කලාවේ අන්තර්ගතයන් හා ආකෘතීන් කෙරෙහි නිරන්තරවම බලපානු ලබන්නේය.

 

ප්‍රියංකර රත්නායක -

ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ප්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමා රංග ශිල්පියෙකි. ප්‍රවීණ නාට්‍යවේදියෙකි.