ලේ උරුමයේ මහිමය

සැප්තැම්බර් 24, 2020

රූපණය, ගායනය, නර්තනය ඈ කලා මාධ්‍ය ත්‍රයෙහිම දස්කම් පෑ නිහාරි වික්‍රමාරච්චි පෙර අපර දෙදිගම සංගීත සම්ප්‍රදායන් හදාරා ඒ දෙමඟටමැ සරිලන හඬ පුහුණුවකින් යුත් රංග ශිල්පිනියකි. පසුගිය ලිපියෙහි ම විසින් පෙන්වා දෙන ලද පරිදි ඇගේ මෙකී ගායන, රංගන, නර්තන ප්‍රතිභා ප්‍රභා මැනවින් පළට කළ නිර්මාණ ත්‍රිත්වය  වනුයේ ‘සිංහබාහු’ දෘශ්‍ය කාව්‍යය, ‘පේමතෝ ජායතී සෝකෝ’ ගීත නාටකය සහ ‘මානසවිල’ ඔපෙරාවය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘පේමතෝ ජායතී සොකෝ’ උත්තර භාරතීය රාගධාරී සංගීතයෙහි විවිධ රාග, ස්වර සංගති ඇසුරින් නාදපති ජයන්ත අරවින්දයන් නිර්මිත කර්ණ රසායන ගීත රාශියකින් සමලංකෘත විය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ හී ඇතුළත් වූයේ එච්. එච්. බණ්ඩාර සූරීන් ස්වර සංරචනා කළ නාඩගම් තනු සහ උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීතය මුසු වූ ගීතාවලියකි. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ‘මානසවිල’ මුළුමනින්ම අපරදිග සංගීත සම්ප්‍රදාය වඩාත් ආශ්‍රෙය කොට ගත් ඔපෙරාවකි. එය ප්‍රසංවාද (Harmony) සහ ප්‍රතිස්වර න්‍යාස (Counter Melody) ආත්මය කොට ගත් සංගීත භාවිතාවකි. එහි අපට රාග අසන්නට නොලැබේ. මේ නිර්මාණ ත්‍රිත්වයෙහි ප්‍රමුඛ චරිත රඟපෑ නිහාරිගේ ගායන ප්‍රතිභාව හා හඬ පෞරුෂය පෙරඅපර දෙදිගමැ සංගීත සම්ප්‍රදායන් ඉල්ලා සිටින ලකුණු අනුව සුඛනම්‍ය වීම සුවිශේෂත්වයකි.

නිහාරි මෙතෙක් රඟපෑ නාට්‍ය අතර කිංස්ලි ලෝස්ගේ ‘හංසයන්ගේ නවාතැනේ’ (1988) ද කැපී පෙනේ. මේ වූ කලී ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක නිකොලායි ගොගොල්ගේ  ‘The Prisoner’ නමැති කෙටි කතාව ඇසුරු කොට ගත් නාට්‍යයකි. මේ කෙටි කතාව ‘බිම්ගෙයි සිරකරුවා’ නමින් මෙරට විසූ කෘතහස්ත පරිවර්තක කේ. ජී. කරුණාතිලක  සූරීන් සිංහලයට නැඟුවේය. මෙය ගොගොල්ගේ සෙසු කෙටි කතාවලට වඩා වෙනස් වූයේ එහි පවත්නා ත්‍රාසජනක ස්වරූපය  නිසාය. නිරපරාදේ සිරගත වන වේරාගේ (කිංස්ලි ලෝස්) බිරියගේ භූමිකාව නිහාරි මෙහි නිරූපණය කළාය. බන්ධනාගාරය තුළ අනේකවිධ හිරිහැර, වධ බන්ධනවලට ලක්වන තම  සැමියා වෙනුවෙන් පීඩිත බිරියකගේ සංකීර්ණත්වය මින් නිරූපිතය.

මහාචාර්ය ජේ. බී. දිසානායකයන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සමයේ  එනම් 1957 දී ‘රාවණා’ නමින් මුල්වරට නාට්‍යයක් නිර්මාණය කළේය. මෑත භාගයේ ප්‍රවීණ නාට්‍යවේදී  නාමෙල් වීරමුනි ‘‘සීතාභිලාෂය’ නාට්‍යය නිර්මාණය කළේ මේ පිටපත ඇසුරෙනි. මේ නාට්‍යයෙහි නිහාරි නිරූපණය කළේ රාවණා රජුගේ මවගේ භූමිකාවය. සීතා පැහැරගෙන ගිය ද රාවණා රජු ඉතා යහපත් මිනිසකු බව සීතා මෙහිදී රාම කුමරුට අවධාරණය කරන්නීය. අවසන රාවණා රජුගේ මෑණියන් තම හදවත ගලවා සීතා දේවියට දෙන්නීය. මෙහි නිහාරි සමඟ රාවණා රජු ලෙස රජිත හේවාතන්ත්‍රි ද සීතා දේවිය ලෙස සුරංගි කෝසලා ද රඟපෑහ. 

සොෆර්ක්ලීස්ගේ ‘Antigone’ නමැති  සුප්‍රකට ග්‍රීක නාට්‍යය 60 දශකයේ මහාචාර්ය රංජිනී ඔබේසේකර ඉංග්‍රීසි භාෂාවෙන් ද,1994 සෝමලතා සුබසිංහ සිංහල භාෂාවෙන් ද නිෂ්පාදනය කළහ.

ඊඩිෆස් රජ (Oedipus Tyrannus) කොලෝනස්හි ඊඩිෆස් (Oedipus  At colonus) ඇන්ටිගනි (Antigone) යනු එකම පුරාවෘත්තයක නාට්‍ය ත්‍රිත්වයකි. (Trilogy)මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ ‘විශ්වවිද්‍යාල නාට්‍ය වංශය’ කෘතියෙහි දක්නා ලැබෙන පරිදි ග්‍රීක නාට්‍ය කලාව පිළිබඳ මෙරට අවධානය මුල්වරට යොමු වූයේ 40 දශකයේ විශ්වවිද්‍යාලයීය නාට්‍ය සංගමය ඔස්සේය. මහාචාර්ය ඊ. එෆ්. සී. ලුඩොවයික්ගේ අධ්‍යක්ෂණයෙන් ‘Antigone’ ඉංග්‍රීසි නාට්‍යය මුල්වරට මෙරට බිහි වූ අතර අයිරාංගණී සේරසිංහ, කත්බට් අමරසිංහ වැනි එවක විශ්වවිද්‍යාල විද්‍යාර්ථිහු මෙහි ප්‍රමුඛ චරිත රැඟූහ. මහාචාර්ය රංජිනී ඔබේසේකර 60 දශකයේ නිර්මාණය කළ ‘Antigone’ ලංකාවේ බිහි වූ දෙවැනි නිෂ්පාදනය වේ.

1994 ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ ‘ඇන්ටිගනී’ සිංහලට නඟා මුල්වරට නිර්මාණය කළාය. කාල හා දේශ සීමා ඉක්ම වූ විශ්ව සාධාරණ ගුණය කැටි වූ මේ නාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂකයා සමඟ බුද්ධිමය සංවාදයක          නියැළීමට ඇය උත්සුක වූවාය. කෘතහස්ත නාට්‍යවේදිනියක ලෙස සෝමලතා  සුබසිංහයන්ගේ නිර්මාණ පරිපාකය ‘ඇන්ටිගනී’ නාට්‍යයෙන් සනිටුහන් වූ බව මම සිතමි. ‘ඇන්ටිගනී’ තුන් ඈඳුතු නාට්‍ය ත්‍රිත්වයක අවසාන නාටකය වේ. එහෙත් එය කේවල නාට්‍යයක් ලෙස රස විඳීමට කිසිදු බාධාවක් නොමැත.

සෝමලතා සුබසිංහ ඉන් ඉහත ‘The Trial of Dedan Kimathi’ නාට්‍යය ‘ යදම්’ නමින් සිංහල වේදිකාවට නිර්මාණය කළාය. ‘ඇන්ටිගනී’ පරිවර්තනයේ දී ඇය ලාංකික සමාජයට එය ගැළපීමට  දැරූ ප්‍රයත්නය කැපී පෙනුණි.

 ‘ඇන්ටිගනී’ නාට්‍යයේ උදාර අරමුණක් වෙනුවෙන් කැප වූ ඇන්ටිගනීගේ  ස්ත්‍රී භූමිකාව කෞශල්‍යා ප්‍රනාන්දු නිරූපණය කළ ප්‍රශස්ත ආකාරය මේ නාට්‍යය එදා නැරඹූ ප්‍රේක්ෂකයාට කිසිදු ලෙසකින් අමතක කළ නොහැකිය. වසරේ හොඳම නිළිය ලෙස රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මානනීය වීමෙන් ඇයට සාධාරණය ඉටු විය. මෙහි අනෙක් කැපී පෙනුණු රංග ශිල්පිනිය වූයේ ඉස්මේන්ගේ භූමිකාව මැනවින් නිරූපණය කළ නයනා හෙට්ටිආරච්චිය. ඇය වසරේ හොඳම සහය නිළිය ලෙස මේ උදෙසා රාජ්‍ය නාට්‍ය සම්මානය ලැබුවාය. මෙහි ක්‍රෙයෝන් ලෙස රැඟූ ජනක කුඹුකගේ ද තම චරිතයට නිසි සාධාරණය ඉටු කළේය. ඔහුගේ රූපකාය, පෞරුෂය ග්‍රීක ප්‍රතිමා සිහිගන්වයි.  ටයිරීසියස් ලෙස රඟපෑ ප්‍රසන්නජිත් අබේසූරියගේ රංගනය ද මතකයේ රැඳී ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  ධුරය දරමින් සරසවි විද්‍යාර්ථින් ද දායක කොට ගෙන මෑත කාලයේ නාට්‍ය රැසක් නිර්මාණය කළ ප්‍රියංකර රත්නායක ‘Antigone’ පාදක කොටගෙන ‘අද වගේ දවසක ඇන්ටිගනී’ නමින් (2010) නාට්‍යයක් නිර්මාණය කළේය.  (මෙහි පිටපත ආරියවංශ රණවීරගෙනි) ඔහු ඉන් ඉහත සොෆර්ක්ලීස්ගේ ‘Oedipus’ ඇසුරෙන්  ‘ඊඩිෆස්’නාට්‍යය ද නිර්මාණය කළ බැව් මට සිහිපත් වේ. වෙනම වෘත්තාන්තයක් වුවත් සොෆර්ක්ලීස්ගේ නාට්‍ය ත්‍රිත්වයෙහි චරිත අතර අන්තර්  සබඳතාවක් දක්නට ලැබුණි. ඉපැරැණි ග්‍රීක  නාට්‍යය මෙරට 1989 භීෂණ සමයේ ඛේදජනක අත්දැකීම් හා ව්‍යංග්‍යාර්ථයෙන් බද්ධ කිරීමට මෙමඟින් ප්‍රියංකර උත්සුක වූයේය.

සොබා දහම සහ මිනිසාගේ සබඳතාව, සොබා දහමේ නීතිය හා රාජ්‍ය නීතිය අතර ගැටුම මේ නාට්‍යයෙහි සියුම් හුයක් සේ බැඳී තිබිණ. ‘Oedipus Tyrannus’ හා ‘Oedipus At Colonus යන පළමු හා දෙවැනි නාට්‍යවල ඇතුළත් වූයේ ඊඩිෆස්ගේ පුරාවෘත්තය වේ. ඊඩිෆස් රජු තමාගේ මවු බව නොදැන යොකස්ටා බිසව කොට ගැනීමෙන් අත් වූ කම්පනයෙන් තම දෙඇස් අඳ කොට ගැනීමෙන් පළමු නාට්‍යය නිමාවට පත් වේ. දෙවැනි නාට්‍යයට ඇතුළත් වනුයේ ඇස් අඳ ඊඩිෆස් රජු පිටුවහල් වී ගිය පසු ඔහුගේ මරණය දක්වා වෘත්තාන්තයයි. තෙවැනි නාට්‍යය වූ ‘Antigone’ හි ඇතුළත් වනුයේ රාජ්‍ය අයිතිය දිනා ගැනීමට ඔහුගේ පුතුන් දෙදෙනාගේ බල අරගලය වේ.

මින් එක් පුත්‍රයෙක් පැන ගොස් වෙනත් රාජ්‍යයක් එකතු කොට ගෙන තම සොහොයුරාගේ රාජ්‍යයට එෙරෙහිව කැරැලි ගසන අතර මෙහි අවසන් ඵලය ලෙස ගැටුමෙන් දෙදෙනාම මියයති. ඉක්බිතිව රාජ්‍ය බලය අත්පත් කොට ගනුයේ ඊඩිෆස් රජුගේ බිරියගේ  සොහොයුරාය. ඔහු පනවන නීතිය මෙවැන්නකි. එනම් රට වෙනුවෙන් සටන් කළ පුත්‍රයාට නිසි රාජ්‍ය ගෞරවය ලබා දී ආදාහනය කිරීමටත් රටට විරුද්ධව කැරැලි ගැසූ පුත්‍රයාට ඒ ගෞරවය ලබා දීම සපුරාම තහනම් කිරීමත්ය.

එසේ නොකරන තැනැත්තන්ට හිමි වනුයේ මරණීය දණ්ඩනයයි. ඊඩිෆස් රජුට පුතුන් දෙදෙනකු මතු නොව දියණියන් දෙදෙනකු ද  සිටි අතර ඇන්ටිගනී යනු ඉන් එක් දියණියකි. ඇය මේ නීතියට එරෙහිව අභීතව නැඟී සිටින්නීය. තමන්ගේ එක්  සහෝදරයකුට අවසන් ගෞරවය ලබා දුන්නා නම් අනෙක්  සහෝදරයාටත් ඒ ගෞරවය ලැබිය යුතු බවත් නොඑසේ නම් අසාධාරණයක් සිදු වන බව ඇය පවසන්නීය. මෙහිදී ඇන්ටිගනී ලේ ඥාතීත්වය අරභයා පළ කරන කියුම ඉතා සුවිශේෂය. එනම් ‘ගැහැනියකට පළමුවර නොහැකි වුවත් දෙවැනි වර හෝ සැමියකු හා පුත්‍රයකු ලබා ගත හැකියි.

එහෙත් සහෝදරයන්, දෙමවුපියන් නැති වුවහොත් ඔවුන් දෙවැනි වර ලබා ගත නොහැකියි’ යනුවෙනි. මෙහිදී අසාධාරණයට ලක් වූ තම සොහොයුරා, දෙමවුපියන් මළවුන්ගේ ලෝකයේදී  හමු වූ විට මා ඔවුන්ට මුහුණ දෙන්නේ කෙසේදැයි ඇන්ටිගනී  විමසන්නීය.  මිනිසා යනු සොබා දහමේ නීතිය විසින් බිහි කරන ලද  සත්වයෙකි. ඉන්පසු මිනිසා විසින් රාජ්‍ය නීතිය බිහි කරන ලදි. ඇන්ටිගනී සේම ලොව සෑම මිනිසකු ගැහැනියකම මේ නීති දෙකට මැදි වී සිටීම සත්‍යයක්  නොවේද? 

කුසලතා පූර්ණ යොවුන් රංගන ශිල්පිනී ප්‍රසාදිනී අතපත්තු වේදිකාවේ මුලින්ම අවධානයට පාත්‍ර වූයේ ප්‍රියංකර රත්නායකගේ ‘අද වගේ දවසක ඇන්ටිගනී’ නාට්‍යයේ ප්‍රධාන චරිතයෙන් යැයි මම සිතමි. මෙහි ක්‍රෙයෝන් ලෙස ගිහාන් ප්‍රනාන්දුත්, පණිවිඩකාරිය ලෙස සමාධි ලක්සිරිත්, සොල්දාදුවා ලෙස තුමිඳු දොඩන්තැන්නත්, හේමෝන් ලෙස අසංක කෝදාගොඩත් රඟපෑහ. ඉක්බිති ප්‍රසාදිනී, ධනුෂිකා නයනකුමාරිගේ ‘ජනේලයෙන් පනින්නද’ (2011) නාට්‍යයෙන් වසරේ හොඳම නිළිය ලෙස රාජ්‍ය නාට්‍ය සම්මානයට පාත්‍ර වූවාය. රාජිත දිසානායකගේ ‘නැතිව බැරි මිනිසෙක්’ නාට්‍යයෙහි ද කැපී පෙනුණු ඇය ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ ‘සක්කාරං’ චිත්‍රපටයෙහි (2016) රතී ලෙස ප්‍රධාන චරිතය රැඟුවාය.

ඉතිරි කොටස ලබන සතියේ