සොකරි එන්නී සබයෙන් අවසර ගන්නී

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
ඔක්තෝබර් 1, 2020

ගැමි නාට්‍ය - Folk Drama

ජන කලාව වූ කලී ඕනෑම සංස්කෘතියක් හා බැඳුණු කලා ප්‍රවණතාවකි. එය අප ඉහතින් විස්තර කරනු ලැබූ සම්භාව්‍ය නාට්‍යයෙහි ස්වභාවයට වෙනස් ප්‍රවේශයකි. ජන කලාව යන්න නාට්‍යයට අදාළව ජන නාට්‍ය සහ ගැමි නාට්‍යය ලෙසින් ප්‍රභේදනය කරන අතර අනෙක් කලා විෂයන් ජන සංගීතය, ජන සාහිත්‍ය, ජන නැටුම්, ජන ගී, ජන කවි සහ ජන චිත්‍ර ආදී ලෙස විස්තර කෙරේ. එහිදී ගැමි යන අර්ථය ද එම වදන් විස්තර කිරීම සඳහා යොදා ගනු ලැබේ. ජන නාට්‍ය තේරුම් ගැනීමේදී ‘‘ජන කලා‘‘ යන වදන යෙදීමේ අරුත් තේරුම් ගත යුතුවේ.

බොහෝ විට ප්‍රජා ජන ජීවිතයේ ප්‍රකාශනයක් ලෙස ජන කලාව විස්තර කෙරෙන අතර ශාස්ත්‍රීය හෝ විශ්වීය ප්‍රකාශනයන්ගෙන් වෙන් කොට ඇති නාට්‍ය, සංගීත, චිත්‍ර, නර්තන, සාහිත්‍ය මෙන්ම ජනතාවගේ සාම්ප්‍රදායික කලා, ලී හෝ ස්වර්ණාභරණ, රිදී ලෝහ වැඩ ගෙතීම්, විවීම්වලට අදාළ නිෂ්පාදන, මැටි භාණ්ඩ ආදී කලා, කැටයම්, නෙලීම්, විවිම්වලට අදාළ භාණ්ඩ ජන කලාවට අයත් වේ. සමහර ජන කලාවෝ පැරණි ගුරු කුල හා පවුල් අතර පාරම්පරිකව මෙන්ම සම්ප්‍රදායිකව පැවත එන ඒවාය. ඒවායේ නිජ බිම, මුල් බිම මෙන්ම පැවැතිම ඇත්තේ ගැමි ජනතාව අතරය. ඒවායේ නිර්මාණාත්මක ප්‍රකාශනය මෙහෙය වනු ලබන්නේ ගැමි ඇදහිලි, සිතුම් පැතුම්, සංස්කෘතිය මෙන්ම ආර්ථිකය විසින් ජන කලාවේ පවතින පරිභෝජනවාදී ස්වරූපය නිසා සමකාලීන ජීවිතයට බලපෑම් කරයි. ජන කලාවට සෛද්ධාන්තික පසුබිමක් ඇති වුවද ශාස්ත්‍රීය සෞන්දර්යාත්මක සිද්ධාන්ත හා බැඳීමක් නොමැත. නමුත් විදග්ධ කලා ආකෘතීන් හි බලපෑම ඒවායෙහි පවතී. එයට හේතුව එය ජන ජීවිතයේ පැවැත්ම හා බැඳීි පැවැතීමයි. නිදසුනක් ලෙස සංස්කෘත නාට්‍ය සාහිත්‍යයේ ආකෘතික මෙන්ම සෛද්ධාන්තික බලපෑම ජන කලා විෂයයෙහි ද දක්නට ලැබේ. කෝලම් නාටක සම්ප්‍රදාය ගතහොත් එහි ආකෘතික මෙන්ම, නාට්‍යමය තාක්ෂණයේ සංස්කෘත නාට්‍ය සෛද්ධාන්ත බහුලව දක්නට ලැබේ.

ජන හෙවත් ගැමි නාට්‍ය (Folk Art) යනු ජන විඥානය විසින් පෝෂණය කරන ලද නාට්‍ය විශේෂයක් වුවද සෑම රටකම ඉතිහාසයෙන් උරුම වූ පෞරාණික විදග්ධ නාට්‍යයෙ හි බලපෑම ජන නාට්‍යයේ මෙන්ම ජන නැටුමේ ද දක්නට ලැබේ. කතාන්දර කීමේ දී සෛද්ධාන්තික රංග කලාවේ භාවිතය මත ගොඩනැගෙන සම්භාව්‍ය නාට්‍ය රීතීන් හී මූලිකාංග ජන නාට්‍ය කෙරෙහිද බලපෑම් කරනු ලබයි. නිදසුනක් ලෙස විදග්ධ නාට්‍ය නැතහොත් ග්‍රීක, සංස්කෘත සහ නෝ නාට්‍ය ආකෘතියේ එන පූර්ව රංගය, කතා රංගය, අපර රංගය (සෙත් ශාන්ති කිරීම) යන ලක්ෂණ කෝලම, නාඩගම, සොකරි ආදී ගැමි නාට්‍යවල මෙන්ම ජාතක කතා සාහිත්‍යයේ ආකෘතීන්හි ද දක්නට ලැබේ. මේ සෑම මූලාශ්‍රයේම පූර්ව රංගයේ ඇත්තේ ස්ථාවර පාත්‍රයන්ය. කෝලම්, සංස්කෘත නාට්‍ය, ජාතක කථාවන්හි පුර්ව කොටස විමසා බලන්න. මේ සෑම රීතියකම පූර්ව කතාව පොතේ ගුරු, සූත්‍රධර නැතහොත් කතන්දර කියන්නා (narrator) දක්නට ලැබේ.

සම්භාව්‍ය නාට්‍ය රීතීන් හා ආකෘති හරඹ දෙකෙහිම තිබුණද ගැමි නාට්‍ය විදග්ධ නාට්‍යයෙන් සපුරාම වෙනස් වේ. ජන කලාවන් බොහොමයක් ද්‍රව්‍යමය සංස්කෘතියේ කොටසකි. ඒවා දැකීමෙන්, ස්පර්ශ කරනු ලැබීමෙන්, සංවේදීතාවයන් තුළින් කෙනකු වටහා ගනු ලබයි. සියල්ල ඇසට පෙනෙන සංස්කෘතීයකින් ස්පර්ශ කරනු ලැබෙයි. භෞතික සංස්කෘතිය මෙන්ම වස්තු හැසිරවීමෙන් අත්දැකීම් ලබා ගත හැකිය. සමහරවිට ඒවා කැඩී ගිය ද? පාරම්පරිකව නැතහොත් සාම්ප්‍රදායිකව නැවත නැවත අත්දැකීම් ලබා ගැනීමට ප්‍රතිනිර්මාණය කළ හැකිය. එසේ පවත්නා ආකෘතියක් සහ සැලසුමක් ගැමියා දක්ෂ ලෙස ක්‍රියාත්මක කරනු ලැ‍බෙයි. එම නිසාම ගැමි නාට්‍ය ද විදග්ධ නාට්‍ය සම්ප්‍රදායක නාට්‍ය මෙන්ම කලා කෘතියක් ම වේ. පෙනුමෙහි නිර්වද්‍යතාවය, මතුපිට අලංකරණ භාවිතය ජන නාට්‍යයෙ හි ප්‍රමුඛ ලක්ෂණයකි. ජන නාට්‍ය මෙන්ම ජන කලාංග ද නිමාවක් සහිත වන අතර ජන කලාංග පුරාවස්තුවලට වඩා වෙනස් වේ.

ගැමි නාට්‍ය බොහෝ විට ප්‍රජා (ගැමි) ගී ජීවිතයේ ප්‍රකාශනයකි. එසේම එය උපයෝගීතා කලාවකි. ගැමි ජන ජීවන රාමුවට සාපේක්ෂව පවතින සමාජ, ආර්ථික සහ සංස්කෘතික ගැටලු මෙන්ම කුල ආදී පීඩාවන්, පවුල් සංස්ථාවේ ගැටලු, කෘෂි ආර්ථික ජීවිතය සමග ඇඳුණු සංවේදනා ජන නාට්‍යවලින් පිළිබිඹු වේ. කොහොඹ කංකාරියේ එන ඌරා යක්කමේ මැරූ ඌරාගේ ශරීර කොටස් (මස්) බෙදා ගැනීම ගැමියා අතර පවතින කුල ක්‍රමය හා එහි පීඩාවන් පිළිබඳ සංස්කෘතිය හැඟුම් කාරකයකි. ජස ලෙන්චිනා මුදලි පිළිබඳ කෝලම් නාටකයේ එන රංඟය පවුල, ලිංගිකත්වය පිළිබඳ සංකේතීය ප්‍රකාශයකි. සොකරි නාටකයේ එන මුහුදු තරණය, ගස් කැපීම, ලී සකස් කිරීම සහ පාරු පැදීම ආදී රංග කොටස් ලිංගිකත්වය පිළිබඳ අපූරු ගැමි ප්‍රකාශනයකි. මනමේ කෝළම, සොකරි ඍජුව සශ්‍රීකත්වය ද වක්‍රාකාරව ගැමියාගේ ලිංගික ජීවිතය පිළිබඳ කියවීම් ප්‍රකාශනයකි.

ජන කලාව මෙන්ම ජන නාට්‍ය ද එදිනෙදා ගැමි ප්‍රජාවගේ අසාමාන්‍ය කලා කෘති නිර්මාණයකි. ජන නාට්‍යයේ ද කලාවේ ද පදනම එය වේ. ජන නාටකය විධිමත් පුහුණුවකට වඩා අත්දැකීම්, ප්‍රජාව සහ උරුමය මත රඳා පවතී. ගැමි නාටක රූපණය සඳහා අවශ්‍ය බස් වහර, ශරීර චලන, අභ්‍යාස, සම්භාව්‍ය හෝ නූතන නළු රූපණයේ දී මෙන් විධිමත් පුහුණුවකින් ලබන්නක් නොවේ. එය කෘෂිකර්මය හා බැඳීි පවතින පොළොව කෙටීම්, අස්වනු නෙලීම් සහ අස්වනු රැකීම් ආදී උපයෝගිතා ජාලයෙන් උරුම කර ගත්තකි. ජන නාටකයේ නළු හඬ පුහුණුව ජන ගායනා, ජන නර්තන, ජන සාහිත්‍ය ආදියෙන් පෝෂණය වන්නකි. සියල්ල ඇදහිලි, වත්පිළිවෙත්, චාරිත්‍ර වාරිත්‍ර, යාතුකර්ම, ශාන්ති කර්ම මත රැඳී පවතී. බොහෝ ජන නාට්‍ය මෙන්ම ජන කලාවෝද ගැමියාගේ ආගම්, ඇදහිලි, විශ්වාස හා බැඳී පවතී. ජන නාටකය ඉගැන්වීමෙන් ලබන දෙයකට වඩා දැනීමෙන් (දැනෙන) ඉගෙන ගන්නා හා ප්‍රගුණ කරනා කලාවකි.

 

සාම්ප්‍රදායික පරිසරයන් හි ගැඹුරින් මුල් බැස ගත් ගැමි නාට්‍ය කලාකරුවන් නිතරම තම ඉගෙනීම හා උගැන්ම කරනු ලබන්නේ හුදකලාව මෙන්ම කුඩා ප්‍රජාවන් කේන්ද්‍ර කොට ගනිමිනි. ඇදහිලි විශ්වාසවල සාම්‍යයක් පැවතියද එසේම සංක්‍රමණික හේතු මත ඒවා එකිනෙකට යම් බලපෑමක් කළද ඔවුන් ගැමි නාට්‍යවල මූලික රාමුවේ දී තමන්ගේම අනන්‍යතාවයක් රඳවා ගැනීමට උත්සුක වේ. සොකරි, කෝලම් සහ නාඩගම් හෝ සබරගමු සම්ප්‍රදාය ආදී සම්ප්‍රදා කෙරෙහි ඉන්දීය මූලයන් හි බලපෑමත් ඒවායේ කතා ශරීරයන් හී සහ ආකෘතීන් පැවතියද ඔවුන් තුළ ප්‍රාදේශීය අනන්‍යතාවන් පවතී. නිදසුනක් ලෙස උඩරට ගැමි සම්ප්‍රදායේ යක්ෂයන් උදෙසා කරන යාතුකර්ම ඉතා සීමිත වන අතර පහතරට සම්ප්‍රදායේ දී යකුන් හා දෙවියන් උදෙසා කරන යාතු කර්ම සමානව පවතී. සබරගමු සම්ප්‍රදායේ දී දෙවියන් මෙන්ම ග්‍රහයන් උදෙසාද ගැමි නර්තන, යාතුකර්ම පැවැත්වේ. වාද්‍ය භාණ්ඩයන්ද මේ සම්ප්‍රදායන් තුනෙහි එකිනෙකට වෙනස් වේ.

උඩරට සම්ප්‍රදාය - ගැටබෙරය

පහතරට සම්ප්‍රදාය - යක් බෙරය

සබරගමු සම්ප්‍රදාය - දවුල

මෙම සම්ප්‍රදායන් හී එකම යාතුකර්මය, ශාන්ති කර්මය හෝ ගැමි නාට්‍යයේ ඌව ප්‍රාදේශයට ප්‍රාදේශීය අනන්‍යතාවයන් උරුම කර ගනී. කෝලම් නැටීමේදී අම්බලන්ගොඩ සහ මිරිස්ස ආදී ප්‍රදේශවල ඊට ආවේණික අනන්‍යතාවයන් පවතින අතර, සොකරි නැටීමේ දී ද දඹුල්ල සහ මාතලේ ආදී ප්‍රදේශවල ප්‍රාදේශීය ව්‍යවහාරයන් නර්තනයේ භාෂාවේ මෙන්ම ආකෘතින් හි මේ දක්නට ලැබේ. ගැමි නැටුම ප්‍රාදේශීය, භූගෝලීය, ගෝත්‍රික, භාෂාත්මක වෙනස්කම් උරුමයක් ලෙස අත්පත් කරගනී. නාට්‍ය පමණක් නොව නර්තනය, සංගීතය, සාහිත්‍ය සහ චිත්‍රය සම්බන්ධයෙන් වුව ගැමි කලාවන් හි මෙම හුදකලා බව හා ප්‍රාදේශීයව දක්නට ලැබෙන ස්වයං ලක්ෂණ දක්නට ලැබේ. ගැමි නාට්‍ය මූලාශ්‍ර කොට ගෙන නිර්මාණය වූ සම්භාව්‍ය නාට්‍ය රීතීන්වල වුව සමහර විට මෙම ලක්ෂණ ගැමි සම්ප්‍රදායේ උරුමයෙන් දක්නට ලැබේ. නෝ නාට්‍ය එවැනි කලාවකි. එහි පැවැත්මද තවමත් පවතින්නේ එවැනි ස්වයං ශක්තීන් සහිත ගුරු කුලවල පැවැත්ම මතය.

 

කන්ශෙ ගුරු කුලය

කොම්පරු ගුරු කුලය

කොන්ගෝ ගුරු කුලය

හෝෂෝ ගුරු කුලය

වැනි නෝ රංග කලාවේ ප්‍රකට ගුරු කුල සතරකි. ඔවුන්ගේ නෝ රංගයන් හි ඔවුන්ටම ආවේණික ගුරු මුෂ්ටි හෙවත් රහස් දක්නට ලැබේ. ගැමි සම්ප්‍රදායන් නෂ්ටාවශේෂ බවට පත් වීමට එක් හේතුවක් නම් මෙම රහස් හෙවත් ගුරුමුෂ්ඨින් ය. නර්තනය, නාට්‍ය පමණක් නොව වාස්තු විද්‍යාව, මැටි කර්මාන්තය ආදී උපයෝගීතා කලාවන්හි ද මෙම රහස් පවතී. මෙම රහස් සහිත පුස්තකයන් ද ඇත්තේ රහස්‍ය ලෙසිනි. සම්භාව්‍ය සම්ප්‍රදායන් හි දී එවැනි රහස් දක්නට ලැබේ. රංග කලාවේ (සම්භාව්‍ය) සියලු දෑ නාට්‍ය ශාස්ත්‍රය, කාව්‍ය ශාස්ත්‍රය, පුෂිකදෙන් වැනි ග්‍රන්ථවලද එම ග්‍රන්ථ වලට අටුවාවන් ලෙස ලියූ ග්‍රන්ථ වලද නූතනයේ එම ග්‍රන්ථ පිළිබඳ ලියවුණු විචාර කෘතින් වලද ගැඹුරින් විමසුමට ලක්කොට ඇත. එහෙත් ගැමි සම්ප්‍රදාය යේ එසේ නොවේ. මේ හේතුවෙන් එම ගැමි සම්ප්‍රදායයෝ ඉක්මනින් අභාවයට යති. බොහෝ විට ගැමි නාට්‍යකරුවා හෝ කලා කරුවාගේ ගුරුමුෂ්ඨිය හෙවත් රහස් පරම්පරාවෙන් පරම්පරාවට පියාගෙන් පුතාට හිමිවේ. යම් පවුලක පිරිමි දරුවෙක් නැති විට දියණියගේ සැමියාට (බෑණා) ද, පිරිමි හෝ ගැහැණු දරුවෙක් නොමැති විට සහෝදරයෙක්ගේ පුතෙකුට එම රහස් ලබා දේ. සම්භාව්‍ය සම්ප්‍රදායන් හිදී සෛද්ධාන්තික දැනුම ලැබෙන්නේ ශිෂ්‍යයකුට හෝ විද්‍යාර්ථයෙකුට වුවත්, ගැමි සම්ප්‍රදායේ දී එය උරුම වන්නේ ගෝලයෙකුටය. ඔහු එම රහස් ලබා ගැනීමට ගුරුන්නාන්සේ යටතේ සිටිය යුතුය. එසේ සිටියත් විශ්වාසය නැති නම් ඔහුට එය නොලැබේ. මේ විශ්වාසය සඳහා ගුරුන්නාන්සේගේ දියණිය විවාහ කර ගැනීමට පවා පෙරදිග ගැමි කලාවන් උගන්නා නැතහොත් ශිල්ප ක්‍රම උගන්නා ගෝලයාට සිදු වේ. ගැමි නාට්‍ය බොහෝ විට යකුන්, දෙවියන් ග්‍රහයින් සමඟ සම්බන්ධ වීමද, ඒවායේ ගුප්තමය සම්බන්ධයක් පැවතීම ද හේතුවෙන් පුතෙක් හෝ සමීප පුත්‍රයෙක් ඊට සම්බන්ධ කර ගැනීමට ගුරුන්නාන්සේ කටයුතු කරයි.

ගැමි නාට්‍ය මෙන්ම කලාවන් දෘෂ්ටිමය අතින් අන්තර්ගතය හා ආකෘතියය අතින් සංකීර්ණ හෝ පුළුල් රාමුවක නොපිහිටයි. එයට හේතුව ඒවා ප්‍රාසාංගික හෝ ආගමික විශ්වාසයන් හී උපයෝගීතාවයක් අරමුණු කරගනී. ආගමික අරමුණු, ආහාර, ලෙඩදුක් සමනය ඒවායෙහි මුඛ්‍ය අරමුණ වේ. නැතහොත් ප්‍රායෝගික ජීවිතයේ පැවැත්ම සඳහා උපයෝගීතාවක් සහිත කලාවක්, කර්මාන්තයක් වේ. බොහෝ විට ගැමි කලාවන් උත්පාදනය වන්නේ තනි ශිල්පියෙකු හෝ ශිල්පීන් කණ්ඩායමක් විසිනි. ශිල්පීන් කණ්ඩායමක් නම් බොහෝ විට පවුල් සංස්ථාව සාමාජිකයින් වේ. පවුල් කිහිපයක් නම් ඔවුන් යම් නිශ්චිත ප්‍රදේශයට අයත් වේ. මැටි කර්මාන්තය, හස්ත කර්මාන්තය, රෙදි විවීම, රන් කර්මාන්තය, රිදී ලෝහ කර්මාන්තය, ලී කර්මාන්තය ලංකාව වැනි රටක විහිදී ඇති ආකාරය විමසීමට ලක් කළ හොත් මෙය තේරුම් ගත් හැකිය. මැණික් කර්මාන්තය (රත්නපුර), ලී බඩු (මොරටුව) රිදී (පිළිමතලාව) ඊට නිදසුන් වේ. සමහර විට ඒවාට අවශ්‍ය අමු ද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුව මත සමහර ගැමි කලාවන් යම් යම් ප්‍රදේශ තම අනන්‍යතාව ලෙස තෝරා ගෙන ඇත.

බොහෝ විට ගැමි නාට්‍ය හෝ කලාවේ යෙදෙන ශිල්පීන්, කාන්තාවන් හෝ පිරිමින් ස්ථාපිත සංස්කෘතික රාමුවක් තුළ වැඩ කරති. ඒවායේ උපයෝගීතාවය, උත්පත්තිය සහ ආගමික අරමුණු නිසා ඒවාට ආවේනික සංස්කෘතික හා ආගමික උරුමයන් පවතී. ලංකාවේ ගැමි කලාව කෙරෙහි මහින්දාගමනය හා ශ්‍රී මහා බෝධිය වැඩම කිරීමත් සමඟ මෙහි පැමණි කුල හෙවත් කර්මාන්ත 18 ක සම්ප්‍රධාය හා සම්මුතීන් බලපා ඇත. ගැමි කලාවේ යෙදෙන කලාකරුවා තුළ තමන්ට අයිති ගැමි කලාව සැකසීමේ දී හඳුනාගත හැකි ශෛලියක් හා ක්‍රමවේදයක් ඔවුන් සතුව පවතී. ඒ නිසාම ඔවුන්ගේ නිෂ්පාදන හඳුනා ගැනීමේ අනන්‍යයතා පවතී.

 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක