ලෝක ධර්මි, නාට්‍ය ධර්මි ද්වයටමැ සුඛනම්‍ය වී...

නොවැම්බර් 19, 2020

‘අකල්වැස්ස’ නාට්‍යයට පසුව මාලිනි ෆොන්සේකා ප්‍රධාන චරිතය රඟපෑ නාට්‍ය අතර සුමන ආලෝක බණ්ඩාරගේ ‘නිදිකුම්බා’ (1967) ද කැපී පෙනේ. ‘ABSURD’ යන ඉංගී‍්‍රසි යෙදුම සඳහා ‘විකාරරූපී’ යන සිංහල වදන මුල්වරට ව්‍යවහාර කෙරුණේ මේ නාට්‍යය උදෙසාය. මෙහි ස්වරූපය එකල පැවැති බොහෝ නාට්‍යවලට වඩා වෙනස් වූ හෙයින් අඛණ්ඩවමැ මාසයක් දිනපතාම නාට්‍යය පුහුණුවීමට නාට්‍ය කණ්ඩායමට සිදු විය. ඒ සෑම දිනකම මාලිනිය ඉතා කැපවීමෙන් ‘නිදිකුම්බා’ හි පුහුණුවීම්වලට සහභාගි වූවාය. ඇතැම් විට මුළු දවසක්ම එකම දෙබස් ඛණ්ඩයක් පමණක් පුහුණු වූ දවස් ද ඒ අතර තිබුණි. ඉතා වෙහෙසකර වූ ඒ කාර්යයේදී මාලිනිය කිසිදු මැසිවිල්ලක් නොනැඟීමට තරම් දැඩි ඉවසිල්ලකින් හා කැපවීමකින් සිටි බව පසුකලක සුමන ආලෝක බණ්ඩාරයෝ සඳහන් කළහ.

මෙහි මාලිනි රැඟූ චරිතයෙහි වාචික, ආංගික, සාත්වික අභිනයන් සමාන්තරව උපරිම ආකාරයෙක් භාවිත කෙරිණ. මෙහි දක්නා ලැබුණේ ‘අකල් වැස්ස’ නාට්‍යයෙහි තිබූ ආත්ම භාෂණ රීතිය ද ඉක්මවා ගිය තාත්වික නොවන රූපණ රීතියකි. මෙහි එස්. කරුණාරත්න, ධර්මසිරි වික්‍රමරත්න, සුදත් ජයසූරිය ආදීහු මාලිනිය සමඟ රංගනයෙන් දායක වූහ. 1964 එස්. කරුණාරත්න විසින් ලියා නිෂ්පාදනය කරන ලද ‘ගුත්තිල’ නම් වූ ශෛලිගත නාට්‍යයේ මාලිනි ෆොන්සේකා නිරූපණය කළේ දිව්‍යාංගනාවකගේ භූමිකාවකි. මෙහි මූසිල වූයේ එස්. කරුණාරත්නය. විජේරත්න වරකාගොඩ, අතුල සෝමසිරි, ඉන්ද්‍රා ගුරුගේ, අයිරින් ස්වර්ණලතා යනාදීහු සෙසු චරිත රඟපෑහ. ගුත්තිලගේ චරිතය නිරූපණය කළේ විජේරත්න වරකාගොඩයන්ය. ‘ගුත්තිල’ නාට්‍යය උදෙසා මාලිනිය තෝරා ගත් ආකාරය සහ එය නිර්මාණය කළ සමයේ මතක සැමරුම් අරභයා වරක් ප්‍රවීණ නාට්‍යවේදී එස්. කරුණාරත්නයෝ මෙසේ ලියූහ.

‘1964 වසරේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ශිල්ප හදාරන අවධියේදී මා විසින් රචනා කරනා ලදුව එම වර්ෂයේ රාජ්‍ය නාට්‍ය උලෙළට ඉදිරිපත් කළ යුතු වූ ‘ගුත්තිල’ සංගීතමය ශෛලිගත නාට්‍යයට ගැහැනු ළමයින් සොයා ගැනීමේ වුවමනාව මට දැනුණේ එවක අප විශ්වවිද්‍යාලයේ ගැහැනු ළමයින් නොවූ බැවිනි. කැලණියේ ගුරුකුල විද්‍යාලයෙන් සරසවියට පැමිණ සිටි මා මිත්‍ර රොබට් අල්විස් තම පාසලේ එවක අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන ප්‍රසන්න ශිෂ්‍යාවක් ගැන මට දැන් වීය.

ඒ වන විට ඇය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ එච්. ඩී. වීරසිරි නිෂ්පාදනය කළ ‘නොරත රත’ නාට්‍යයේ රඟපා තිබිණි. කැලණිය වරාගොඩ පාරේ එවක ඇය පදිංචිව සිටි නිවසේදී මට මාලිනි මුණ ගැසුණේ මා මිත්‍ර රොබට් අල්විස් මාර්ගයෙනි. රොබට් අල්විස් ශ්‍රී ලංකා මහ බැංකු බෝම්බයෙන් ජීවිතක්ෂයට පත් වූ බව ද කෘතවේදී කනගාටුවකින් මෙහි සටහන් කිරීම මගේ යුතුකමකි. මාලිනිගේ මවගේ දහසකුත් එකක් තහංචි මධ්‍යයේ ‘ගුත්තිල’ නාට්‍යයේ ප්‍රධාන දිව්‍යාංගනාවගේ චරිතයට හා හා පුරා කියා මාලනි ෆොන්සේකා සම්බන්ධ වූයේ ඒ අයුරිනි. පසුව ඇගේ මව සීලවතී ෆොන්සේකා විසින් මාගේ නාට්‍යයේ ඇඳුම් සැකසීම භාර ගන්නා ලදී.

නාට්‍යයේ වේශ නිරූපණය හා ඇඳුම් නිර්මාණය කරන ලද්දේ ආචාර්ය අභය අත්තනායක විසිනි. ‘ගුත්තිල’ නාට්‍යයේ දිව්‍යාංගනාවන්ගේ ඇඳුමේ මාලිනීගේ බඩවත අඟල් පහක් පමණ නිරාවරණයව තිබීම පිළිබඳ මවගේ විරෝධය සන්සුන් කිරීමේ කාර්යය එදා අභය අත්තනායක ගුරුතුමන් ජයගත් අයුරු මට අදහා ගත නොහැකිය. ගුත්තිල පුහුණුවීම්වලදී ගිවිසගත් අයුරු කොටහේන කුමාර විදුහලේ සිට වරාගොඩ නිවසට ඇය සහ ඇගේ බාල මළණුවන් ගෙන ගොස් ඇරලූ අයුරු හා නැවත මුල්ලේරියාවේ මා පදිංචි නිවසට ආ සැටිත් අදත් මා සමරන්නේ සොඳුරු අතීතය පිළීබඳ අහිංසක සතුටක් තුරුලු කර ගනිමිනි’.

ගුත්තිල - මූසිල කතාව පාදක කොට ගෙන නව්‍ය අර්ථ කථනයක් ගෙන ඒමට මෙමඟින් කරුණාරත්න වෑයම් කළේය. සක්දෙව් තනතුරට අලුතින් පත්ව එන නව ශක්‍ර දෙවියන් පැරැණි නඩු වාර්තා පරික්ෂා කොට බලද්දී ගුත්තිල- මූසිල නඩුව අරභයා යළි විමසා බලයි. තත් සිඳුණු වීණාවකින් වැයූ බව සඳහන් කොට ගුත්තිල පඬිතුමා වරදක් කළ බැව් වටහා ගෙන එතුමාට එරෙහි තීන්දුවක් දෙයි. එනම් ගුත්තිලට දඬුවම් පමුණුවා මූසිල නිදොස් කිරීමය. එස්. කරුණාරත්න එවක විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (ශ්‍රී ජයවර්ධනපුර) ශිෂ්‍යයෙකි.

එහෙයින් ගුත්තිල නාට්‍ය පිටපත නාට්‍ය උත්සවයට යැවීමට පෙර විශ්වවිද්‍යාල බලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය විය. එවක විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරය හෙබ වූ පූජ්‍ය වැලිවිටියේ සෝරත මහා නා හිමියෝ මේ පිටපතට විරෝධය පළ කළහ. එවක කථිකාචාර්යවරුන් වූ ඒ. වී. සුරවීර, නන්දසේන රත්නපාල, එම්. එච්. ගුණතිලක යනාදී ආචාර්යවරුන් ඉදිරිපත් වී කරුණු පෙන්වා දුන් පසුව පූජ්‍ය මහාචාර්ය සෝරත හිමියන්ගේ අනුමැතිය ලැබිණ,

එස්. කරුණාරත්නගේ ‘එරබදු මල් පොට්ටු පිපිලා’ (1966) නාට්‍යයේ ද මාලිනිය ප්‍රධාන චරිතයක් රැඟුවාය. ඇය සමඟ සතිස්චන්ද්‍ර එදිරිසිංහ, චන්ද්‍රා කළුආරච්චි, නිමල් දයාරත්න, ශ්‍රියාණි ෆොන්සේකා, උපාලි ෆොන්සේකා යනාදීහු ද මෙහි රංගනයෙන් දායක වූහ. මෙහි නර්තන නිර්මාණය සුනෙත් ගෝකුලයන්ගෙනි. නන්දා මාලිනිය ගීත ගායනයෙන් දායක වූවාය. මේ නාට්‍යයෙහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ අට හැවිරිදි දරුවකු වූ නිමල් දයාරත්නය. මෙබඳු කුඩා දරුවකු ප්‍රධාන චරිතයක් ලෙස වේදිකාවේ හැසිරවීම සැබැවින්ම අභියෝගයකි. එස්. කරුණාරත්න මේ අභිියෝගය ජය ගත්තේය. ආචාර්ය තිස්ස අබේසේකරයෝ මේ අරභයා එකල මෙසේ ලියූහ.

‘බටහිර කෙටි කතාවක් සිංහල නාට්‍යයක් ලෙස සකස් කිරීමේදී එස්. කරුණාරත්න දක්වා ඇත්තේ පැසසුම් කටයුතු අදීනත්වයකි. ‘එරබදු මල් පොට්ටු පිපිලා’ රචනය කෙටි කතාවක අනුවාදයක් යැයි කීම අයුක්ති සහගතය. ‘සයිමන් පාපා’ නම් කෙටි කතාව කියවීමෙන් තමා විඳි චමත්කාරය මෙම නාට්‍යය රචනය කිරීමේදී එස්. කරුණාරත්න ඉවහල් කොට ගත්තේ යයි කීම සත්‍යයට වඩා සමීප යයි මම සිතමි. මේ නාට්‍යය ගැන මට මුලින්ම කිව හැක්කේ එයයි. දෙවනුව තවත් දෙයක් කිව යුතුය. ‘එරබදු මල් පොට්ටු පිපිලා’ නාට්‍යය තුළින් මා විඳි චමත්කාරය කෙටි කතාව කියවීමේදී මා තුළ ඇති නොවූ බවයි.

යුරෝපීය ‘ර්‍ණඋඊඉධ්ච්ඡ්අ’ (පිටස්තරයා) සංකල්පයෙහි ආභාසයෙන් එස්. කරුණාරත්න නිර්මාණය කළ ‘මළවුන්ගෙන්’ (1966) නාට්‍යයෙහි ප්‍රධාන නිළි චරිතයට මාලිනි ෆොන්සේකා තෝරා ගැනිණ. සුමන ආලෝක බණ්ඩාර, සඳුන් විජේසිරි, කුලසේන ගමගේ, ඔල්ගා සෝමලතා, එස්. ඩී. ප්‍රේමසිරි, සේනක තිලකරත්න මෙහි ඇය සමඟ රංගනයෙන් දායක වූහ.

1966 එස්. කරුණාරත්නයන්ගේ කලා ජීවිතයේ වැදගත් වර්ෂයකි. එනම් එවර නාට්‍ය උත්සවයේදී ඔහුගේ නාට්‍ය ද්වයක් වේදිකා ගත කෙරිණ. ‘එරබදු මල් පොට්ටු පිපිලා’ ශෛලිගත නාට්‍යය ඉන් එකකි. ‘මළවුන්ගෙන්’ නමැති තාත්වික නාට්‍යය දෙවැන්න වේ. මෙය නාට්‍යවේදියාගේ නිර්මාණ ධාරා ද්වයක් නියෝජනය කළ නාට්‍ය යුගලක් වීම සුවිශේෂත්වයකි. අනෙක් අතට මේ නාට්‍ය ද්වයෙහිම ප්‍රධාන නිළි චරිත මාලිනි ෆොන්සේකා නිරූපණය කළාය. ලෝක ධර්මි හෙවත් තාත්වික වේවා නාට්‍ය ධර්මි හෙවත් ශෛලිගත වේවා ඕනෑම නාට්‍ය ධාරාවකට සුඛනම්‍ය විය හැකි ශූර රූපණ ප්‍රතිභාවක් ආධුනික සමයේදීම මාලිනි ෆොන්සේකාට තිබුණි.

ඇය වේදිකාවෙන් සමුගෙන සිනමාවට එක් වූ පසුවත් කලාත්මක වේවා ජනප්‍රිය වේවා ධාරා ද්වයටම සරිලන, සුඛනම්‍ය රුපණ ප්‍රතිභාවක්, පෞරුෂයක්, සුපිරි නිළි ප්‍රතිරූපයක් දැවැන්ත ලෙස පවත්වා ගැනීම එක් අතකින් අරුමයක් නොවේ. ස්වකීය කෙටිකාලීන වේදිකා නාට්‍ය දිවියෙන් මාලිනි ලැබු පන්නරය පසුව ඇගේ දිගුකාලීන සිනමා ජිවිතය ඒකාලෝක කළ සෙයකි. අනෙක් අතට කෘතහස්ත නාට්‍යවේදීන් සේවනය ද මීට කදිම රුකුලක් වූවාට සැක නැත.

 

ඉතිරි කොටස ලබන සතියේ...