ශෝකෝත්පාදකයේ අංග

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
දෙසැම්බර් 17, 2020

ශරීරයක ශරීරාංග මැනවින් තිබීම ශරීරයේ බාහිර පෙනුමට මෙන්ම අභ්‍යන්තර ගුණයන්ට ද වැදගත් වන්නාක් මෙන්ම ශෝකෝත්පාදකයක විශිෂ්ටත්වයට එහි අංග ද වැදගත් ‍වේ. නාට්‍ය සෛද්ධාන්ත පරම අවශ්‍යතාවයක් නොවුණත් ඒවා අනුගමනය කිරීම මෙන්ම යම් බරපතළ වෙනසක් සඳහා න්‍යයයන් හා සිද්ධාන්ත මැනවින් දැන සිටීම අත්‍යවශ්‍යය වේ. ව්‍යා‍කරණ බිඳ දැමීමට නම් ව්‍යාකරණ පිළිබඳ අවබෝධය වැදගත් වේ. ව්‍යාකරණ නොදැන කරන්නා වූ වෙනස්වීම් විකෘතියක් වෙනු ඇත. නාට්‍යයක අංග අවබෝධ කරගැනීමට ශෝකෝත්පාදකයක අංග පිළිබඳ දැනුම හා අවබෝධය අවශ්‍ය වේ.

ශෝකෝත්පාදකය හඳුනාගැනීමට ඒ පිළිබඳ ඇරිස්ටෝටල්ගේ නිර්වචන තේරුම්ගත යුතුය. ශෝකෝත්පාදකයේ නිර්වචන හා එහි අර්ථය මුල්කරගෙන සවැදෑරුම් අංග විස්තර කෙරේ. මෙහිදී කි‍්‍රයා අනුකරණය ශෝකෝත්පාදකයේ අරමුණ බව පැහැදිලි වේ. කි‍්‍රයාවෙන් තොරව ශෝකෝත්පාදකයක් සම්පූර්ණ විය නොහැකිය. එහෙත් චරිතයන්ගෙන් තොරව ශෝකෝත්පාදකයක් ඇති විය හැකිය යනුවෙන් ඇරිස්ටෝටල් විස්තර කරනු ලබයි. මේ අනුව ශෝකෝත්පාදකය වූ කලී යම් පරිමාණයකින් යුක්ත වූ ද, පරිපූර්ණ වූ ද යහපත් කි‍්‍රයාවක අනුකරණයක් වන අතර කාරුණ්ය හා භය උපදවන සිද්ධීන්ගෙන් යුක්ත වූ ද භාව විශෝධනය සිද්ධකරන්නා වූ ද නිර්මාණයකි. භාව විශෝධනය ශෝකෝත්පාදකයේ අරමුණ වේ. භාව විශෝධනය (ඛ්චබඩචපඵඪඵ) නම් භාවයන්ගේ විශෝධනයයි. ඉන් ශෝකෝත්පාදකයේ ඵලාප්තිය, ඉන් කි‍්‍රයාත්මක කරන බලවත් හැඟීම කවරේද යන්න විස්තර කරයි. ශෝකෝත්පාදකයෙන් අපේක්ෂිත කාරුණ්‍ය සහ භය යන මනෝභාවයන්ගේ විශෝධනය බරපතළ නාට්‍යමය සංවාදයකි.

ග්‍රීක කථයිරො (ම්චබඩචඪපධ) යන වචනයෙන් උපත ලද කැතාසීස් (ඛ්චබඩචපඵඪඵ) යන්නෙහි අරුත ‘‘පිරිසිදු කිරීමයි“. ගී‍්‍ර‍ක වෛද්‍ය ශාස්ත්‍රයෙහි එන විරේචනය සඳහා ද ආගමික අර්ථයෙන් එන ‘‘පාරිශුද්ධිය‘‘ යන අර්ථයෙන් ද එය යෙදේ. පෙරදිග අර්ථයෙහි ලෙඩ රෝග සෑදෙන්නේ තුන්දොස් කිපීමෙනි. එනම් වා, සෙම් සහ පිත් දොස් ඇති වීමෙනි. අපරදිග අර්ථයෙහි එය සිවු දොස් සමයෙනි. එනම් වා, පිත්, කළු පිත සහ කහ පිත යන අර්ථයෙනි. පෙරදිග රංගය තුන්දොස් සමනය සඳහා ය. අපරදිග රංගය සිව් දොස් සමනය සඳහා ය. සිව් දොස් සමනය යනු භාව විශෝධනය යි. දෙකෙහිම අරමුණ මනුෂ්‍ය කායික සහ මානසික ලෙස පිරිසිදු කිරීමයි. ඒ සඳහා ඔහු හා බැඳුණු කායික මානසික රෝග සුවපත් කළ යුතුය. කායික රෝග සදහා වෙදකම ද මනස සුවපත් කිරීමට හෙද කමද අවශ්‍ය වේ. රංගය මානසික සුවය සඳහා ය. එය සිදුවන්නේ භාව විශෝධනය මාර්ගයෙනි. ශෝකෝත්පාදකයේ අරමුණ භාව විශෝධනයයි. එහි අංග සකස්වීමේ භාව විශෝධන අරමුණු වැදගත් වේ. ඉන් කෙරෙන්නේ අප තුළ ඇති අහිතකර බලපෑම් අපගෙන් ඉවත් කිරීමයි. භාවයන් හිතකර තත්ත්වයට පරිවර්තනය වේ. ඒ වූ කලී ස්වභාවයෙන් මානව භාවයන්ගේ උත්කෘෂ්ටභාවය හා විශ්ව සාධාරණ තත්ත්වයට පත් කිරීමකි.

මේ තත්ත්වයට පත්වීමට නම් ශෝකෝත්පාදකයේ අංග ලක්ෂණ මනා ලෙස සකස් විය යුතුය. එසේ මනා ලෙස සකස් විය යුතු නාට්‍යයක ආකෘතියේ හා අන්තර්ගතයට අයත් කොටස් හයකි. එනම්

කතා වින්‍යාසය (Plot)

චරිත (Character)

චින්තනය (Thought)

වාග් විලාශය (Language)

ප්‍රේක්ෂාව (Spectacle)

සංගීතය (Music)

කතා වින්‍යාසය

ශෝකෝත්පාදකය යම් කි‍්‍රයාකාරීත්වයක අණුකරණයකි. එහි යම් පරිමාවක් තිබිය යුතුය. අපේක්ෂිත ඵලප්‍රාප්තිය සිදුවීමට නම් මේ අංග ලක්ෂණයන්ගෙන් සම්පූර්ණ විය යුතුය. අණුකරණය නම් යම් පරිකල්පනීය ප්‍රතිරූපණයකි. එනම් යම් කි‍්‍රයාකාරීත්වයක ප්‍රතිරූපණයකි.

උක්ත ලක්ෂණ අතුරින් වැදගත්ම අංශය ලෙස සලකන්නේ කතා වින්‍යාසයයි. ශෝකෝත්පාදකය මිනිසා පිළිබද නොව ඔහුගේ කි‍්‍රයාකාරීත්වය ද, ජීවිතයේ ද එසේම මනුෂ්‍යයාගේ ප්‍රතිජනක සහ ශෝකජනක අවස්ථාවන්ගේ ද අනුකරණයකි. එහි අවසාන අරමුණ යම් කි‍්‍රයාකාරීත්වයක් මිස ගති ස්වභාවයක් දැක්වීම නොවේ. මිනිසා දුකටද සතුටටද පත්වන්නේ ඔහුගේ ගති නිසා නොව කි‍්‍රයාකාරීත්වයේ ප්‍රතිකි‍්‍රයාවක් ලෙසිනි. නාට්‍යයකදී නළුවන් චරිත නිරූපණය සඳහා රඟ නොපායි. චරිත සම්බන්ධ වන්නේ මනුෂ්‍ය කි‍්‍රයාකාරීත්වය පෙන්වීම සදහාය. ඒ අනුව නාට්‍යයක ඇත්තේ මිනිසාගේ ගති ස්වභාවයන් ප්‍රදර්ශනයක් නොව කි‍්‍රයාකාරීත්වයකි නිරූපණය කිරීමකි. එබැවින් නාට්‍යයක ඇත්තේ කතාවක් (ඉබධපර) නොව කතා වින්‍යාසයකි (ර්‍ථතධබ). ශෝකෝත්පාදකයක අනෙක් අංග පහටම වඩා ප්‍රබල වනුයේ කතා වින්‍යාසයයි. ඒ අනුව ශෝකෝත්පාදකයක අත්‍යාවශ්‍යම අංගය, එහි ආත්මය සහ ජීවය කතා වින්‍යාසයයි. කතා වින්‍යා‍සය කොටස් තුනකින් යුක්ත විය යුතුය.

සැහැල්ලු ගතියෙන් තොර ගැඹුරකින් යුක්තවීම. - කතා වින්‍යාසය සැහැල්ලු නම් එය අතිනාටකයකි. ගැඹුරු නම් ශෝකෝත්පාදකයකි.

පරිපූර්ණත්වයකින් යුක්ත විය යුතුය.

ඊට යෝග්‍ය විශාලත්වයකින්, ප්‍රමාණයකින් සහ දීර්ඝත්වයකින් ද යුක්ත විය යුතුය.

ශෝකෝත්පාදක නාට්‍යයක් සම්පූර්ණ වීමට නම් එහි ආරම්භයක් ද (භරතමුණි ‘‘ආරම්බ‘‘ ලෙසද සෙ අමි ‘‘ජො‘‘ ලෙසද එය විස්තර කරයි.) මධ්‍ය හෙවත් මැද අවස්ථාවක් ද (භරතමුණි ප්‍රාප්ත්‍යාසා ලෙසද සෙ අමි “හ” ලෙසද එය විස්තර කරයි.) අවසානයක්ද (භරතමුණි ‘‘ඵලාගම‘‘ ලෙසද සෙ අමි ‘‘ක්‍යු“ ලෙසද එය විස්තර කරයි.) තිබිය යුතුය. එනම් මුලක්, මැදක් සහ අගක් තිබිය යුතුයි. ආරම්භය සහ සමාප්තිය කතා වින්‍යාසයක මෙන්ම ඕනෑම කලාකෘතියක අත්‍යාවශ්‍යය අංග දෙකක් වන්නේය.

දීර්ඝත්වය සහ ප්‍රමාණය කතා වින්‍යා‍සයේ වැදගත් අනෙක් ලක්ෂණයකි. සුන්දරත්වය රඳා පවතින්නේ ක්‍රමවත් බව හා විශාලත්වය මතය. සුන්දරත්වය නම් ක්‍රමවත් බව හා සම්බන්ධය. කුඩා ජීවියෙකු අපට පැහැදිලිය. එහෙත් ඔහු ඉතා විශාල නම් සැතපුම් ගණනක් දිග නම් ඌ එකවර දැකගත නොහැක. එවිට ඒකත්වය ද පරිපූර්ණත්වයද පළුදු වේ. නිශ්චිත කොටස්වලින් සැදුණු සුන්දර වස්තුවක් හෝ සප්‍රාණික සුන්දර සත්ත්වයෙක් ඇසට ග්‍රහණය කරගත හැකි ද. එසේම කතා වින්‍යාසය ද යම් නිශ්චිත දීර්ඝත්වයකින් යුක්ත විය යුතුය. අත්‍යවශ්‍යම අවාසනාවන්ත තත්ත්වයක සිට ප්‍රීතිමත් අවස්ථාවකට එළඹීම හෝ පී‍්‍ර‍තිමත් නිශ්චිත අවස්ථාවක සිට අවාසනාවන්ත තත්ත්වයකට පත්වීම කතා වින්‍යාසයේ සීමාව ලෙස සැලකේ. ඒ සඳහා නාට්‍යයක ව්‍යුහය

පූර්ව කථනය

උපාඛ්‍යානය හෙවත් කතාංගය

සමාප්තිය

ප්‍රවේශ ගීතය

යන කොටස් සතරින් යුක්ත විය යුතුය.

කතා වින්‍යාසය සරල සහ සංකීර්ණ ලෙස කොටස් දෙකකි. නාට්‍යයක කි‍්‍රයාකාරීත්වය ශෝකෝත්පාදක වීරයාගේ ඉරණම ප්‍රත්‍යවර්තනයෙන් හා ප්‍රත්‍යභිඥානයෙන් තොරද එය සරල කතා වින්‍යාසයකි. මෙම කොටස් දෙකම හෝ එකක් හෝ සිදුවන්නේද එය සංකීර්ණ කතා වින්‍යසයකි. ඊඩිපස්, ඇන්ටිගනී, මීඩියා සහ ඇගමෙම්නොන් ආදී නාට්‍යයද චෙරි උයන, සිංහබාහු, බෝනික්කි ගෙදර හෝ මුහුදු ළිහිණියා වන් නාට්‍යයක මේ දෙකම සිදුවන්නේය. සංකීර්ණ කතා වින්‍යාසයක තුන්වන අංගය දුක්ඛවේදනාවයි. එනම් නාට්‍ය අවසානයේ ඛේදාන්ත වීරයා සම්බන්ධව සිදුවන මිනිමැරුම්, වධහිංසා, තුවාල කිරීම්වන් වේදනාකාරී විනාශකාරී කි‍්‍රයාවන්ය.

ශෝකෝත්පාදකයේ වැදගත්ම අංග දෙක නැතහොත් අත්‍යවශ්‍යම අංග වන්නේ,

ප්‍රත්‍යාවර්තනය

ප්‍රත්‍යභිඥානය

යන අංග දෙකයි.

ප්‍රත්‍යාවර්තනය තමා මෙතෙක් සිදුවූ සිද්ධිමාලාවේ සිදුවන කථා නායකයාගේ ඉරණමේ ක්ෂණික පෙරළියයි. එහි ප්‍රතිඵලය නම් ප්‍රත්‍යාභිඥානයයි. ඊඩිපස් නාට්‍යයේ පොලිබස් රජු පිළිබද දැනුම් දීමට පැමිණෙන දූතයාගේ පැමිණීමෙන් ප්‍රත්‍යාවර්තනය සිදුවේ. ඇන්ටිගනී නාට්‍යයේ මළ සිරුරට වත් පිළිවෙත් කරනු ලැබුවේ ඇන්ටිගනී බව අනාවරණයවීමෙන් එය සිදුවේ. චෙරි උයන නාට්‍යයේ චෙරි උයන වෙන්දේසියේදී ලොපකින් විසින් මිලට ගත් බව ලොපකින් විසින් රැනවෙස්කයාට පවසන මොහොත ප්‍රත්‍යාවර්තනයයි. ශෝකෝත්පාදකයක රමණීයත්වය හා ගැඹුර ඉස්මතු වන්නේ මේ අංග දෙක පරිපූර්ණ වු විටදීය. ඊඩිපස් මෙතෙක් මිනීමරුවා සෙවීම කළද තම අනන්‍යතාවය සොයා යෑම ප්‍රත්‍යභිඥානයයි. එය සිදුවන්නේ ප්‍රත්‍යාවර්තනයෙන් පසුය.