සංකීර්ණ වූ ශෝකෝත්පාදකය

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
දෙසැම්බර් 24, 2020

ශෝකෝත්පාදකයේ අනෙක් වැදගත් අංග දෙක නම්

සංකීර්ණත්වය

නිරාකරණය යි.

සංකීර්ණත්වය යනු ආරම්භයේ සිට ප්‍රත්‍යාවර්තනය හෙවත් ඉරණම් පෙරළිය දක්වා සිදුවීම් සමූහයයි. නිරාකරණය යනු ඉරණම් පෙරළියේ සිදුවීම් ආරම්භයේ පටන් අවසානය තෙක් සියල්ලය.

සංකීර්ණත්වය - ඊඩිපස් නාටකයේ ආරම්භයේ සිට පොලිබස්ගේ මරණය ගැන පැවසීමට එන දූතයාගේ පැමිණීම දක්වා.

නිරාකරණය - දූතයාගේ පැමිණීමේ සිට ඊඩිපස් දෑස් අන්ධ කර ගැනීම දක්වා සිදුවීම් මාලාවයි.

ශෝකෝත්පාදකයක ආරම්භක සිද්ධිය, කි‍්‍රයාකාරීත්වය සහ උච්ච අවස්ථාව දක්වා සංකීර්ණත්වය යන කොටස වේ. සමාප්තිය හෙවත් ඵලාගම නැතහොත් ප්‍රයෝගාන්තය යන කොටස් නිරාකරණය නම් වේ. කථා වින්‍යාසයේ විශ්ෂ්ටත්වය පවතින්නේ එහි විශ්වව්‍යාප්තිය මතය. කවියා සහ ඉතිහාසඥයා අතර වෙනස පැන නගින්නේ විශ්ව්‍යාප්ති ගුණය අනුවය. එක් අයෙක් ගද්‍යයෙන් ලියා සිදුවූ දෑ විස්තර කරයි. ඒ ඉතිහාසඥයා ය. කවියා පද්‍යයෙන් ලියන අතර ඔහු සිදුවිය හැකි දෑ විස්තර කරයි. කාව්‍යයෙන් විශ්වයේ සාධාරණ ස්වරූපය ද ඉතිහාසයෙන් කේවළ සිද්ධිය ද විස්තර කරයි.

නාට්‍යයක කථා වින්‍යාසයේ කි‍්‍රයා අනුකරණය කිරීම යනු අවස්ථා හා සිද්ධි ගැළපීමේ පිළිවෙලය. මෙම සිද්ධි ගැළපීමේ පිළිවෙළය. එහිදි කථාවින්‍යාසය හා කථාව හෙවත් කතාන්දරය අතර වෙනස හදුනාගත යුතුයි. ඊඩිපස් නාට්‍යය ආරම්භ වනුයේ ඊඩිපස් සිය ශෝකෝත්පාදක ගමන ඇරැඹීමට හෝරා කිහිපයකට පෙරය. එහි අවසානය ඉන් හෝරා කිහිපයකට පසුව සිදුවන දෑස් අන්ධ කර ගැනීමේ මොහොතින් සිදුවේ. එහෙත් ඊඩිපස් පිළිබද පුරාවෘත්තය හෙවත් කතන්දරය ආරම්භ වනුයේ ඊඩිපස් ගේ උත්පත්තියටත් පෙර යොකස්ටා සහ ලායුස් රජු ඊඩිපස් ගේ අනාවැකිය අසන මොහොතේ සිටය. කතා වින්‍යාසය පවතිනුයේ කතන්දරය තුළය. කතන්දරයේ ඊට අයත් සිදුවීම්, විස්තර, චරිත මුහුණ දෙන අවස්ථා ඒවා සිදු වූ පිළිවෙළට කාලයක් පුරා පැතිරී යාමෙනි. එහෙත් කතාවින්‍යාසය නම් කතන්දරයක යම් නිශ්චිත අර්ථයක් දැනවීම සඳහා වෘත්තාන්තයේ සමස්ත අවස්ථා අතරින් අවස්ථා හා සිදුවීම් තෝරාගැනීමකි. සමහරවිට කථා වින්‍යාසය මඟින් කතන්දරයම හෙළිදරව් වේ. කතා වින්‍යාසය යනු කතන්දරය පූර්ණව සගවාලූ සිද්ධි කිහිපයක් පමනි. කථා වින්‍යාසයේ අදහස කාර්යයේ පදනමයි. කථා වින්‍යාසය සහ උප කථා වින්‍යා‍සය ලෙස වර්ග දෙකකට බෙදේ.

කථා වින්‍යාසයේ තවත් වැදගත් අංගයක් නම් නාට්‍යමය ඒකත්වයයි. නාට්‍යයමය ඒකත්වය යනු කි‍්‍රයාව, කාලය සහ ස්ථානය පිළිබඳ ඒකත්වයයි. ඇරිස්ටෝටල් අවධාරණය කරනුයේ ශෝකෝත්පාදකයක ඉතාම වැදගත් අංග දෙකක් වන්නේ කි‍්‍රයා ඒකත්වය සහ කතාවින්‍යාසය බවයි. කාලය හා ස්ථාන පිළිබඳ ඒකත්වය පසුකාලීනව ඇරිස්ටෝටල් ගේ ඉගැන්වීම් මත ආරෝපණය කරන ලද්දකි. ශෝකෝත්පාදක වූ කලී යම් පරිමාණයකින් යුක්ත වූ ද පරිපූර්ණ වූ ද බරපතළ කි‍්‍රයාවක අනුකරණයක් ලෙස පැවසුවේ එහෙයිනි. අනුකරණ ස්වරූපී කලාවන් හිදී සැමවිටම සිදුවන්නේ එක් දෙයක අනුකරණයකි. කි‍්‍රයාවේ අනුකරණයකි. කතාව එහි එක් සිද්ධියක් ඉවතට හෝ තවත් දෙයකට සීරුමාරු කළ විට මුළු කතාවේම අවයව සංස්ථාපනය නොගැළපෙන හෝ අවුල් සහගත තත්ත්වයකට පත්වන ලෙස කථා වින්‍යාසයේ සිද්ධි ගෙතිය යුතුය. එවිට කථා වින්‍යාසය පරිසමාප්තියට ලක්වේ. ඉවත දැමිය හැකි කිසිදු සිද්ධියක් කථා වින්‍යාසයේ නොතිබිය යුතුය. එහෙත් කතන්දර එක් සිද්ධියක් ඉවතට වැටුණහොත් සමස්තයටම හානියක් නැත. නමුත් කථා වින්‍යාසය එසේ නොවේ. එය වටිනා මුතු මාලයකි. එක් මුතු වක් ගිලිහී ගියහොත් මාලයේ සමස්ත මුතු පෙළම විසිරියයි. පූර්වොක්ත ඒකීයත්වය නාට්‍යයේ අත්‍යවශ්‍යම සාධකයකි. දීර්ඝත්වය අතින් වීර කාව්‍ය හා ශෝකෝත්පාදකයේ වෙනසක් පවතී. වීර කාව්‍යයේ නිශ්චිත කාල සීමාවක් නොමැත. ශෝකෝත්පාදකයේ කථා වින්‍යාසයේ සිද්ධි ගැළපීම සූර්යයාගේ එක් භ්‍රමණ වාරයක් හෝ ඊට ආසන්න කාලයකට සීමා වේ.

ශෝකෝත්පාදකයේ අපේක්ෂාව හා අරමුණ කථා වින්‍යාසයයි. කථා වින්‍යාසයේ තෝරාගත් සිද්ධි අවස්ථා නිශ්චිත අර්ථයක් ජනනය වන්නාසේ එකිනෙක හා ගළපාලිය යුතුය. එහිදී චරිත නිරූපණයට ඉහළින් කථා වින්යායසය බලවත් වේ. මනුෂ්‍ය ජීවිතයේ භාග්‍ය හෙවත් සන්තුෂ්ටියක්, අභාග්‍ය හෙවත් අසංතෘෂ්ටියත් ඔහුගේ කි‍්‍රයාව හා බැඳී පවතී. ඇරිස්ටෝටල්ට අනුව නාට්‍යයක නැතහොත් ශෝකෝත්පාදකයක ව්‍යුහය නම් පූර්ව කථනය, උපාඛ්‍යානය, සමාප්තිය සහ වාද්‍ය වෘන්දයයි. පූර්ව කථනය නම් නියම ආරම්භයට පෙර වස්තු විෂය ආවරණය වීමට සැලැස්වීමයි. එය නාට්‍ය ආරම්භයේ කිසිවෙකු විසින් කරනු ලබයි. ඊඩිපස් නාට්‍යයේ පූජක විසින් පළමුව කරන විස්තරය නිදසුනකි. ශෝකෝත්පාදකයේ කථා වින්‍යාසය සදහා වස්තු සොයා ගත හැකි මූලාශ්‍ර තුනක් ඇරිස්ටෝටල් සඳහන් කරයි. එනම්

ඉතිහාසය

සම්ප්‍රදාය

කවියා ගේ පරිකල්පනය

ඊඩිපස්, ඇන්ටිගනී, හැම්ලට්, මැක්බත්, සිංහබාහු සහ දෝනකතරිනා ඉතිහාසයෙන් ද බෝනිකි ගෙදර, චෙරි උයන, මුහුදු ලිහිණියා සහ වෙළඳ සේවකයාගේ මරණය කවියාගේ පරිකල්පනය හා සම්ප්‍රදායෙන් ද අවර් ටවුන් වැනි නාට්‍යයක් කවියාගේ පරිකල්පනයෙන් ද වස්තු විෂයයන් උපුටාගෙන ඇත. එහෙත් ඉතිහාසයෙන් හෝ පුරාකතාවකින් හෝ නාට්‍යයකට කථා වින්‍යාසය ගැනීම ප්‍රමාණවත් නැත. කවියා මනුෂ්‍ය ස්වභාවයක් එහි ප්‍රබල හා දුර්වල අවස්ථාත් ප්‍රත්‍යක්ෂ කර ගත යුතු අතරම ස්වකීය නිරීක්ෂණ අනුව කථා වින්‍යාසය සකස් කරගත යුතුවේ. ඉන් පේ‍්‍රක්ෂකයා ගේ ප්‍රාර්ථනා අපේක්ෂා නිරූපණය විය යුතුය.