ශෝකෝත්පාදකයේ චරිත (Tragedy Character)

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
දෙසැම්බර් 31, 2020

ශෝකෝත්පාදකයේ ඉතා වැදගත්ම අංගයකි චරිත. කතාවින්‍යාසයේ ගැඹුර හා සියුම් බවද, ප්‍රත්‍යක්ෂ කරනු ලබන ප්‍රඥාවද ප්‍රේක්ෂකයාගේ දෘෂ්ටියට හා මනැසට ගෝචර කරනු ලබන වාහකයා වනුයේ චරිත විසිනි. ප්‍රේක්ෂකයා අභිමුඛ වී ශෝකෝත්පාදකයේ රසය ඔහු වෙත ගෙන යනු ලබන්නේ චරිත විසිනි.

නැතහොත් කථාවින්‍යාසය තුළ සැඟව පවත්නා සියුම් අරුත් විවිධාකාර වූ පේ‍්‍රක්ෂාවන්ට හරවනු ලබන්නේ චරිතවල කි‍්‍රයාකාරීත්වය විසිනි. නාට්‍යයේ නළුවා වෙත අභිමුඛ වන චරිත නළුවා හා අධ්‍යක්ෂකවරයාගේ දැනුම හා අත්දැකීම් හමුවේ විවිධාකාර වූ වර්ණවලට පරිවර්තනය කෙරෙන්නේ චරිත මගිනි.

මෙම අර්ථ කථනයන් විසින් එනම් අධ්‍යක්ෂවරයා හා නළුවාගේ සුසංයෝගයෙන් කරනු ලබන ගවේෂණය විසින් නාට්‍ය පෙළක් එය නොසිතූ ආකාරයේ අර්ථ ගැන්වීම්වලට පාත්‍ර කරනු ලබයි. චෙරි උයන නාට්‍ය චෙකොව් විසින් රචනා කරනු ලැබුවේ සුඛාන්තයක් ලෙසිනි.

එම රචනයේ කිසිඳු ශෝකජනක සිදුවීමක් නැත. එහෙත් ස්ටැනිස්ලව්ස්කි විසින් එය ගැඹුරු ශෝකෝත්පාදකයක් බවට අර්ථ ගැන්වූයේ එලෙසිනි. සෝමලතා සුභසිංහ විසින් ලංකාවේදී ‘‘ඇන්ටිගනී” ප්‍රතිනිර්මාණයේදී ශෝකෝත්පාදක වීරයා වූයේ (Tragic Hero) ඇන්ටිගනී චරිතයයි. නමුත් පි‍්‍රයංකර රත්නායක විසින් ‘‘අද වගේ දවසක ඇන්ටිගනී‘‘ නමින් ඇන්ටිගනී නාට්‍ය ප්‍රතිනිර්මාණය කරද්දී ශෝකෝත්පාදක වීරයා ක්‍රයෝන් ද? ඇන්ටිගනී ද? යන ප්‍රශ්නාර්ථය මතු කරන ලදී.

මෙලෙසින්ම බොහෝ ඛේදාන්ත නාට්‍ය ඇත්තෙන්ම ශෝකෝත්පාදක නාට්‍යයද ද? සුඛොත්පාදක නාට්‍යය ද? යන විචාරාත්මක පැනය අධ්‍යක්ෂක හා නළුවා විසින් චරිතවලට දුන් අර්ථ කථන විසින් මතුකරන ලදී. සෑම ශෝකෝත්පාදක් තුළම සුඛොත්පාදක අර්ථයක් ද, සෑම සුඛෝත්පාදකයක් තුළම ශෝකෝත්පාදක අර්ථයක් ද ගැබ්ව පවත්නා බව අධ්‍යක්ෂක නළු සුසංයෝගය විසින් වර්තමානයේ දී මතු කරනු ලබයි.

බොහෝ විට පැරණි ශෝකෝත්පාදකයේ චරිත සීමිත වේ. එම නිසාම සමස්ත රචනාව තුළ චරිතවල සියුම් හා සංකීර්ණ බවක් ද ග්‍රහණය කරග ගත නොහෙන තරම් පුළුල් අවකාශයකට විහිදී ගිය ගැඹුරුක් ද පවත්නා බව පෙනේ. තෙස්පීස් විසින් කි‍්‍ර. පූ. 6 වන ශත වර්ෂයේ දී පළමු චරිතය හඳුන්වා දෙන ලදී. තෙස්පීස් යනු පුද්ගලයෙක් ද නළු කුලයක් ද යන ප්‍රශ්නය පවතී.

එහෙත් නළු කලාවේ පිතෘවරයා තෙස්පීස් ය. වාර්තාගත පැරණිතම නාට්‍යයකරුවා ද (අධ්‍යක්ෂවරයාද) ඔහුය. නාට්‍ය අධ්‍යක්ෂක ද රචකයා ද සැඟවී සිටියේ නළුවා තුළ ය. එහෙත් පසුව නළුවා ද, අධ්‍යක්ෂවරයාද යටපත් කොට නාට්‍යයේ මුල්ම අධිපතිත්වය රචකයා විසින් අත්පත් කර ගත්තේය. ඊස්කිලස් විසින් එය සිදුකරනු ලැබීය. ගී‍්‍රසියේ ප්‍රථම ශෝකෝත්පාදක නාට්‍ය තරගයේ ජයග්‍රහකයා තෙස්පීස් ය. තම නාට්‍යවල ඔහුම රඟපෑවේය. එබැවින් ප්‍රථම නළුවාද ඔහු වේ.

සියලුම චරිත එකම නළුවෙක් (තෙස්පීස්) විසින් රඟපෑහ. චරිතවල වෙස් ගැන්වීමට වෙස්මුහුණු භාවිත කළේය. වෙස් මූණු පැලඳීමට ඔහු නේපත්‍යාගාරයට ගිය කල්හි ගායන වෘන්දය රංග කාර්යය ඉටු කරමින් ගැයුමින් ද නැටුමින් ද රංගය සැරසීය. ගැටුමක් නාට්‍යයේ නොතිබිණි. කතන්දරය (Story) මඟින් ඉදිරිපත් කළහ. කි‍්‍ර. පූ. 5 වන සියවසේ දී ඊස්කිලස් විසින් රචකයා වෙත රංගයේ අධිපතිත්වය හිමිකර දෙමින් දෙවන නළුවා රංගයට ද නාට්‍යමය ඝට්ටනය රචනාව (කථාවින්‍යාසය) වෙත හිමිකර දුන්නේය.

එබැවින් ප්‍රථම වැදගත්ම නාට්‍ය රචකයා ඔහු බවට පත්විය. ඉන්පසු ශෝකෝත්පාදකයේ ගායන වෘන්දය සමඟ චරිත දෙකක ඝට්ටනකාරී ප්‍රවේශය ආරම්භ විය. මුල් ශෝකෝත්පාදකයන් හී චරිත දෙකක් හා ගායන වෘන්දයේ කි‍්‍රයාකාරීත්වය හා සංවාදය (ඊස්කිලස් ගේ අගමෙම්නොන් සහ ප්‍රොමිතියස් බන්ධනය ආදී නාට්‍ය නිදසුන් වේ) දැකිය හැකි විය. මෙහිදී ගායන වෘන්දය ද එක් නළුවෙක් හා සම වී රංගයේ සමස්ත කි‍්‍රයාකාරීත්වය මෙහෙය විය. ශෝකෝත්පාදක නාට්‍යයේ ආරම්භක ප්‍රවේශය ගායන වෘන්දය වේදිකාවට පිවිසීමෙන් ද සටහන් කළ අතර අංකයක් අතර මාරුවීම ගායන වෘන්දයේ ගීතයක් මඟින් සිදුවිය.

නුතන නාට්‍යයක එන විශිෂ්ටත්වයට හා සංකීර්ණත්වයට මෙන්ම රසභාවපූර්ණ ගුණය වෙත ශෝකෝත්පාදක යොමුවන්නේ සොෆොක්ලීස් විසින් කි‍්‍ර. පූ. 5 වන ශතවර්ෂයේ දී තෙවැනි භූමිකාව ශෝකෝත්පාදක රචනාවට එකතු කිරීමෙනි. නළුවන් (චරිත) දෙදෙනෙකුගේ රඟපෑමට වඩා තිදෙනෙකුගේ මැදිහත්වීම රංගය සංකීර්ණ හා නාට්‍යමය ඝට්ටනයකට යොමු කරනු ලැබිය. ඊස්කිලස් මෙන් ආගමික හා දාර්ශනික ප්‍රශ්නවලට වඩා සොෆොක්ලීස්ගේ චරිත මානුෂික සබඳතාවයන් හි සංකීර්ණ ගැටුම් වෙත යොමු විය.

තෙස්පීස්, ඊස්කිලස්ට වඩා ඔහුගේ නාට්‍යවල කථාවින්‍යසය ද සංකීර්ණ විය. මිනිසා හා ස්වභාව ධර්මයේ ඝට්ටනය අබිබවා ඔහුගේ චරිත මනුෂ්ය හා ඔහුගේ ම ආධ්‍යාත්මය අතර ඝට්ටනය (ඊඩිපස් නාට්‍යය) මනුෂ්යායා හා ඔහු ජීවත්වන සමාජය අතර ඝට්ටනය (ඇන්ටිගනී) වෙත යොමු විය. ඔහුගේ නාට්‍යවලින් එක්වර වේදිකාවේ චරිත තුනක් සහ ගායන වෘන්දය අතර සංවාදය සිදු විය.

තෙවැනි චරිතය නිසා ගායන වෘන්දයේ නාට්‍යයමය මැදිහත්වීම මෙන්ම සංඛ්‍යාත්මක බව ද හීන විය. චරිතවල වපසරිය පුළුල් විය. ප්‍රොමිතියස් බන්ධනයේ ප්‍රොමිතියස් චරිතය හා ඊඩිපස් නාට්‍යයේ ඊඩිපස් චරිතය සංසන්දනය කළ විට මෙම තත්ත්වය වටහා ගත හැක. තෙවැනි චරිතය විසින් චරිත හා චරිත අතර මෙන්ම චරිත අභ්‍යන්තර ගැටුම හා හෙළිදරව් වීම හා ඒවායේ විග්‍රහයන් සංකීර්ණ කළේය. නාට්‍යමය ගැඹුර පුළුල් කරමින් සංකීර්ණ කථාවින්‍යාසයක් සකස් විය.

චරිත (සංකීර්ණ) හා කතාවින්‍යසය අතර සිදුවූ මෙම ගැඹුරු සම්බන්ධය විසින් ශෝකෝත්පාදකය බැරෑරුම් හා වගකීම් සහිත කාර්යයක් බවට පත්කරනු ලැබීය. ඇරිස්ටෝටල් කි‍්‍ර. පූ. 335 දී කාව්‍ය ශාස්ත්‍රය රචනා කරනු ලැබුවේ ශෝකෝත්පාදකයේ නැතහොත් දෘශ්‍ය කාව්‍යයේ (නාට්‍යයේ) ආකෘතියේ හා අන්තර්ගතය බැරෑරුම් වගකීම් සහ සහගතබව විග්‍රහ කරනු සඳහා ය.

කථා වින්‍යාසයේ අනපේක්ෂිත පරිවර්තනය (පරාවර්තනය) හා අවස්ථා ප්‍රත්‍යවර්තනය මගින් ඇති කරනු ලබන ක්ෂණික ප්‍රත්‍යාභිඥානය මගින් චරිතවල කි‍්‍රයාකාරීත්වය (Action of Characters) ගැඹුරු හා සංකීර්ණ ප්‍රවේශයකට මාරු කරනු ලැබිය. නැතහොත් ඒ මඟින් චරිතවල බාහිර කි‍්‍රයාකාරීත්වය ඉක්මවා අභ්‍යන්තර කි‍්‍රයාකාරීත්වය ප්‍රහර්ෂයට නංවනු ලැබීය.

ඊඩිපස් නාට්‍ය‍ ආරම්භයේ දී ඊඩිපස් චරිතය යොමුව ඇත්තේ හිටපු රජු ඝාතනය කළ මිනීමරුවා ව සෙවීමේ සමාජ වගකීම් ඉටු කොට වසංගතයෙන් රට මුදාගෙන පොදු ජනයාගේ පැවැත්ම සුරක්ෂිත කිරීමේ බාහිර අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමයි. නමුත් අවස්ථා ප්‍රත්‍යාවර්තනය මගින් කථාවින්‍යාසය සංකීර්ණ කිරීමත් සමඟම නැතහොත් කොරින්තයේ වැසියාගේ පැමිණීම විසින් කොරින්තයේ රජුගේ මරණයත් ඊඩිපස්ගේ වැසීගිය අනන්‍යතාවය හෙළිදරව් කිරීමත් සමඟම සමාජ අර්බුදය දෙසට යොමු වූ ඊඩිපස්ගේ උද්යෝගය ‘‘තමා කවුද‘‘ යන ගැටලුව විසඳා ගැනීමට යොමු වේ.

මෙම අනන්‍යතා ගැටලුව විසඳා ගැනීමට යොමු වීමත් සමගම සියල්ල කණපිට පෙරළී අනන්‍යතා අර්බුදය විසින් ප්‍රත්‍යාභිඥානය වෙත නාට්‍යයමය ඝට්ටනය පරිවර්තනය වේ. ලොව ඇති අසීරුතම ප්‍රශ්නය නැතහොත් මනුෂ්‍යයාට කිසිදා විසඳාගත නොහෙන ගැටලුව නම් ‘‘මම කවුද‘‘ යන ප්‍රශ්නයයි. මෙම ප්‍රත්‍යාවර්තනය නිසා සියල්ල වෙනස් වේ. ඊඩිපස් චරිතය ප්‍රත්‍යාභිඥානය වෙත යොමු වේ. නාට්‍යයක සංකීර්ණ කථාවින්‍යාසයක් ඇත්නම් එහි එන සියලු චරිත ද සංකීර්ණ වේ.

ශෝකෝත්පාදකයක හෝ සුඛෝත්පාදකයක ඇත්තේ සංකීර්ණ කථාවින්‍යාසයක් තුළ ජීවත්වන සංකීර්ණ චරිත වේ. එය එසේ නොවේනම් ඒ ශෝකෝත්පාදකයක් හෝ සුඛෝත්පාදකයක් නොවන්නේය. සරල කථා වින්‍යාසයක් හා සරල චරිත ඇත්නම් ඒ අති නාටකයකි. නැතහොත් ප්‍රහසනයකි. ප්‍රත්‍යාවර්තනයක් හා ප්‍රත්‍යාභිඥානයක් සහිත සංකීර්ණ කථාවින්‍යාසයක් ඇති ශෝකෝත්පාදකයේ සෑම චරිතයක් මෙන්ම ගායන වෘන්දයේ කාර්යභාරය ද බැරෑරුම් හා සංකීර්ණ එකක් බවට පරිවර්තනය වේ.

ශෝකෝත්පාදකයේ අන්තර්ගතයේ ප්‍රධාන කොටස් තුන වන කථාවින්‍යසය, චරිත සහ චින්තනය වනාහි වෙන් වෙන් ව විග්‍රහ කරගත හැකි වුවද මෙම ති‍්‍රත්වය අන්‍යොනය ව එකට බැඳී පවතී. එකක් බැරෑරුම් මා සංකීර්ණ වන කල්හි අනෙක් කොටස් ද්වය ද එසේම වේ. ඇරිස්ටෝටල් ට අනුව ශෝකෝත්පාදකය වූ කලී පරිපූර්ණ කි‍්‍රයාවක අනුකරණයකි.

එය මුලක්, මැදක් සහ අගක් සහිතව කි‍්‍රයාවෙන් තොරව සම්පූර්ණ විය නොහැකි දෙයකි. ශෝකෝත්පාදකය විසින් මුල, මැද සහ අග සහිතව අනුකරණය කරණු ලබන පරිපූර්ණ කි‍්‍රයාව ප්‍රේක්ෂක ඇසට ගෝචර වනුයේ චරිත මගිනි. ශෝකෝත්පාදක නාට්‍යයන් හි කි‍්‍රයාකාරීත්වය සැමවිටම චරිතයන්ගේ පිටස්තර (බාහිර) කි‍්‍රයාකාරීත්වයේ සිට ඔවුන්ගේ අභ්‍යන්තරය වෙත ද එතැන් පටන් සමස්ත නාට්‍යයේ අධ්‍යාත්මය වෙතටද ගමන් කරනු ලබයි.