චරිත කෙරෙහි චින්තනයේ බලපෑම

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
ජනවාරි 21, 2021

ශෝකෝත්පාදකය අනිවාර්යයෙන්ම අසන්තෘෂ්ටියෙන් වේදනාවෙන් අවසාන වන්නක් නොවේ. සමහර විචාරක අදහස ඒ අසන්තෘෂ්ටි සමාප්තියක් බවයි. ශෝකෝත්පාදකයේ අවසානය ගැඹුරින් තේරුම් ගත යුත්තක් මිස මතුපිටින් තේරුම් ගත යුත්තක් නොවේ. එය තේරුම් ගත යුත්තේ ශෝකෝත්පාදකයේ අන්තර්ගතයේ මූලික ලක්ෂණ තුන එකිනෙක හා බැඳී පවතින ආකාරය තේරුම් ගැනීමෙනි. එනම් කතා වින්‍යාසය, චරිත හා චින්තනය තේරුම් ගැනීමෙනි. ශෝකෝත්පාදකයේ කතාවින්‍යාසය ප්‍රේක්ෂක අභිමුවට ගෙන යන සාධකය චරිත වේ. චරිත විසින් කතා වින්‍යාසය දිරිපත් කරනු ලබයි. ඒ අනුව ප්‍රේක්ෂකයා ශෝකෝත්පාදකයේ ගැඹුර තේරුම් ගනුයේ චින්තනය ඔස්සේ ය. මේ ති‍්‍රත්වය අර්ථානුරූපී ලෙස ප්‍රේක්ෂකයා ඉදිරියේ මවනු ලබනුයේ වාග් විලාශය, පේ‍්‍රක්ෂාව සහ සංගීතය ඇසුරෙනි. පළමු කොටස් තුන අන්තර්ගතය ලෙස ද ඉතිරි කොටස් තුන අන්තර්ගතය ප්‍රේක්ෂකයා අභිමුව මවන නැතහොත් ගොඩනඟන්නාවූ ආකෘතිය ලෙස හඳුනාගත හැක. 

ශෝකෝත්පාදකයේ හරයට අනුව අප පීඩාවට පත්කරන මොහොතේ වුව ඉන් අපට තෘප්තියක් ලැබේ. එහි ඉතා වැදගත් ඉන් මතු කරන අර්ථයයි. ශෝකෝත්පාදකය පරිසමාප්තියට පත් කලාවක් ලෙස විශ්වාස කරන්නේ එබැවිනි. කලාව යනු සැබෑ ජීවිතයේ අනුරූපණයක් නොවේ. එය යථා තත්ත්වයේ තත්‍ය ඉදිරිපත් කිරීමකට එහා ගිය සෞන්දර්යාත්මක ප්‍රතිරූපණයකි. සැබෑ ජීවිතයේ අතිශය පිළිකුල් දර්ශන ද, ක්‍රියා ද, පුද්ගලයන් ද ශෝකෝත්පාදකයෙහි හමු වුවද අප ඔවුන් පිටු නොදකින්නේ එහි චින්තනයේ විශිෂ්ටත්වය හේතුවෙනි. ශෝකෝත්පාදකයේ දකින ඊඩිපස් වැනි චරිතයක් සැබෑ ජීවිතයේ දී හමුවූවහොත් අප ඔහු පිළිකුල් සහගත ලෙස මඟහැර යනු ඇත. පියා මරා, මව සමඟ රමණයේ යෙදී විවාපත්ව දරු දැරියන් බිහි කරන පාපි පුද්ගලයෙක් ඔබේ අසල්වැසියෙක් වී නම් ඔබේ ප්‍රතිචාරය සිතා බලන්න. නමුත් වේදිකාව මත මැවෙන එවන් චරිතයකට අපගේ සානුකම්පිත ප්‍රතිචාරය වන්නේ කලාත්මක චින්තනයේ ඵලයක් ලෙසිනි. 

ඇරිස්ටෝටල් කාව්‍යයක ශාස්ත්‍රයේ දක්වන චින්තනය යනු කුමක්ද? චරිත කෙරෙහි චින්තනයේ බලපෑම කෙබඳුද? චින්තනය නාට්‍යයක හෝ චරිතවල දෘශ්‍යමානයේ නොපවතින අදෘශ්‍යමාන එකකි. නාට්‍යය කි‍්‍රඩාවකි. ර්‍ථතචර, ඨචථඥ ලෙස හඳුන්වන්නේ එබැවිනි. ප්‍රේක්ෂක ප්‍රඥාව රසවින්දනය ඉක්මවා ලැබෙන්නේ අදෘශ්‍යමාන චින්තනය දෘශ්‍යමාන වීමෙනි. චරිත හැසිරීම, චර්යාවන්, ප්‍රතිඥාවන් ඔස්සේ චරිත වල සමාජ සංස්කෘතික ජීවිතය සමාජ හර පද්ධතීන් වටිනාකම් අප විසින් හඳුනා ගනු ලැ‍බෙයි. නාට්‍යයක චරිතයකින් චරිතයකට එය විෂම ලෙස අසමාන වේ. ඔවුන් එකිනෙකා හා ඇති ගැටීමෙන් ඔවුන්ගේ චින්තනයේ හැඩය අප හඳුනා ගනිමු. චරිතවල චර්යාවන් ඔස්සේ චින්තනයත් ඔවුන්ගේ ප්‍රතිවිරෝධයන් සමඟ චින්තනයේ ගැටීමත් එමඟින් ඔවුන්ගේ ගැඹුරු ඇතුළාන්තයත් අනාවරණය වේ. ශෝකෝත්පාදක නාට්‍යය නැරඹීමට ඇති දැඩි ආශාව මතු වන්නේ මේ ගැඹුරු ජීවන දෘෂ්ටිය දැනගැනීම සඳහා ඇති කැමැත්ත විසිනි. යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ගෙන් වෙන් කොට හඳුනාගත හැක්කේ ජාතිය, පාට, උස, මහත සහ කෙට්ටු ආදී අදෘශ්‍යමාන ලක්ෂණවලින් නොව චින්තනයෙනි. කතාබහ, හැසිරීම සහ චලනය ආදියෙන් ද එය හඳුනාගත නොහැකිය. යම් තීරණාත්මක ආස්ථානයකදී ඒ සම්බන්ධයෙන් ඔහුගේ මතය චින්තනයයි. යම් කි‍්‍රයාවකට දක්වන ප්‍රතිචාරයෙන් චින්තනය හඳුනාගත හැකිය. ශෝකෝත්පාදකයක මෙන්ම උසස් නාට්‍යයකදී චින්තනයෙන් සමාන දෙදෙනෙක් හමු නොවේ. චරිත අතර සිතීම, දැක්ම හෙවත් චින්තනය නැතහොත් ජීවන දෘෂ්ටිය පරස්පර වන තරමටම නාට්‍යයක ඝට්ටනය සංකීර්ණ වේ. හැසිරීම හෝ චර්යාව විසින් චින්තනය සකස් නොකරන අතර චින්තනය විසින් හැසිරීම හා චර්යාව සකස් කරනු ලබයි. චින්තනය සංකීර්ණ හා ගැඹුරු වනුයේ මුහුණ දෙන්නට නියමිත අත්දැකීම් ප්‍රබල වන තරමටය. නාට්‍ය තුළ චරිතවල චින්තනය ප්‍රබල වන තරමටම නාට්‍යය අවසානය ගැඹුරු හා සංකීර්ණ වේ. ඊඩිපස් නාට්‍යයේ ඊඩිපස් තරම්ම ක්‍රයෝන්ගේද, තයිරීසියස්ගේද චින්තනය ප්‍රබලය. ප්‍රබල වූ සංකීර්ණ වූ චින්තනයන් ගැටෙන විට පුද්ගල දුර්වලතා ද වඩාත් හොඳීන් මතුවේ. 

චින්තනය යන්න ශෝකජනකය සඳහා වඩාත් පැහැදිලිව විස්තර කරන ඇරිස්ටෝටල් එය විස්තර කරනුයේ ‘‘යමෙකු මුහුණ දෙන ඕනෑම අවස්ථාවක දී ඊට අදාළ වූ ද යෝග්‍ය වූ ද දේ පැවසීමේ ශක්තිය‘‘ ලෙසිනි. චරිතය වූ කලී පුද්ගලයෙකුගේ අභිප්‍රාය අනාවරණය කරන සාධකය වේ. චින්තනය වූ කලී චරිතයේ ජීවමාන දෘෂ්ටිය නැතහොත් ලෝක දැක්ම අනාවරණය කරන සාධකය වේ. අවිනිශ්චිත නැතහොත් බලාපොරොත්තු නොවූ අවස්ථාවන් ඉදිරියේ පෙනී සිටින මිනිසා ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් නැති කල්හි ඔහුගේ ජීවිත පරිඥානයෙන් නැතහොත් අත්දැකීම් ලෝකය එසේත් නැතහොත් ව්‍යුත්පත්තිය ඇසුරෙන් (ඇසූ පිරූ තැන් ඇති බව) එම අවස්ථාවන්ට මුහුණ දෙයි. එකල ඔහුගේ රුචි අරුචිකම්, චර්යාවන් මතුවී එයි. එවිට චරිතයක් එම අවිනිශ්චිත අවස්ථාවන්ට මුහුණ දෙයි. එකල ඔහුගේ රුචි අරුචිකම් චර්යාවන් මතුවී එයි. එවිට චරිතයක් එම අවිනිශ්චිත අවස්ථාවන්ට මුහුණ දීමට පි‍්‍රය කරන්නේද නැතහොත් මග හැර යාමට කැමති ද යන්න අනාවරණය වේ. එසේ අනාවරණය නොකරන වාගාලාප මගින් චරිත නිරූපණය ද සිදුනොවේ. චරිත නිරූපණයන්හී ප්‍රබලත්වය මතුවන්නේ චින්තනය මුල් කොටගෙන කෙරෙන මඟහැර යෑම් සහ මුහුණ දීම් ඇසුරින් නාට්‍යමය ගැටුම හා ඉරණම් පෙරළිය සිද්ධ වේ. එක් චරිතයක මඟහැර යෑම අනෙක් චරිතයේ දුර්වලතා මතු වීමට මඟපාදයි. මිනී මරුවා කවුද යන්න හෙළි නොකිරීමට ඊඩිපස් නාටකයේ තයිරීසියස් දරන උත්සාහය හමුවේ ඊඩිපස්ගේ ආවේගයන් උච්ච වේ. ඉන් චරිත අතර ප්‍රතිවිරෝධය සිදුවේ. එසේ වන්නේ චරිත අතර සිදුවන මඟහැර යාම් හා මුහුණ දීම් නිසාවෙනි.

යමක් සනාථ කරන හෝ අනාථ කරන අවස්ථාවකදී යමක් පිළිබඳ සාමාන්‍ය අදහසක් ප්‍රකාශ කෙ‍රෙන අවස්ථාවකදී හෝ චින්තනය අවශ්‍ය වේ. සාමාන්‍ය ජීවිතයේ වූ අප පුද්ගලයෙක් හෝ චෛතසිකය හඳුනාගන්නේ එවැනි යමක් සනාථ හෝ අනාථ කිරීමට ඔහු චින්තනය භාවිත කරන ආකාරයෙනි. සාමාන්‍ය ජීවිතයේදී වූ අප මනුෂ්‍යයින් අතර සැබෑ වෙනස හඳුනාගන්නේ ඔහු පිළිබඳ බාහිර වෙනස්වීම් වලින් නොව ඔහුගේ චින්තනය තේරුම් ගැනීමෙනි.