ව්‍යභිචාරයට ගොදුරු වූ සංඝා කුමරියගේ ප්‍රශස්ත රඟසොබා

පෙබරවාරි 11, 2021

 

තුන්වැනි කාශ්‍යප රජුගේ අභාවයෙන් පසු පෙර කී ඔහුගේ පුත්‍රයා සයවෙනි අක්බෝ නමින් රජ වූ අතර එම රජු විසින් සිය යුවරජු තනතුරට පත් කරන ලද්දේ පළමුවෙනි මහින්ද රජුගේ පුත්‍රයා වූත් සිය ඥාති සොහොයුරා වූත් අනෙක් අක්බෝ හෙවත් මිහිඳු අක්බෝ කුමරුය.මලය රට ප්‍රදේශය පාලනය භාරගත් මිහිඳු කුමරු සිය ඥාති සොහොයුරු, අග රජුට ඉතා පක්ෂපාතීව තම වගකීම් ඉටු කළේය. එහෙත් ඥාති සොහොයුරන් දෙදෙනාගේ මේ සමීප සුහදතාවට ඇමැතිවරු ඊර්ෂ්‍යා කළහ; ඔවුන් එකිනෙකා බිඳවීමට බොරු කේලම් ගොතා කීහ. අවසන ඔවුහු ජයගත්හ. එනම් අගරජු ප්‍රසිද්ධියේම යුව රජුට එරෙහිව ක්‍රියා කළේය. එහෙත් සුළු කලක දී රජුට ඇමැතිවරුන්ගේ උපාය හෙළි විය. ඉන් රජු පශ්චාත්තාප වූයේය. ඒ පිළිබඳ සැල වූ යුවරජු තමා තුළ අග රජු කෙරෙහි කිසිදු අප්‍රසාදයක් නොමැති බව දැන්වීය. ඒ පණිවුඩයෙන් ඉමහත් සතුටට පත් අගරජු මලය ප්‍රදේශයට ගොස් යුව රජුගෙන් සමාව ඉල්ලා සිටියේය. පසුව වැදගත් කාර්යයකට බව පවසා යුව රජු ද කැටුව අනුරාධපුරයට පැමිණියේය. තමා හා යුව රජු අතර සබඳතාව කිසිදා නොබිඳීය හැකි සේ ශක්තිමත් කර ගැනීමට රජුට අවශ්‍ය විය.

ඥාති සම්බන්ධය අනුව මිහිඳු අක්බෝ කුමරු සංඝා කුමරියගේ සුළු පියා වුවද ඇය ඔහුට විවාහ කර දීමට රජු තීරණය කළේය. පිය රජුගේ අමනෝඥ තීරණය හමුවේ සංඝා කුමරිය විස්මිත බවටත් වේදනාවටත් පත් වූවාය. මේ තීරණය ඉදිරියේ සිය අසරණබව ඇය තම පෙම්වතා, ඇවැස්ස මස්සිනා වූ අක්බෝ කුමරු හට කීවාය. මෙහිලා කළ හැකි කිසිවක් නොවූ හෙයින් ඔහු විරහ වේදනාවෙන් පීඩිතව සිටියේය.තමාගේ අනාගතය දෛවය අනුව විසඳෙන බව යුව රජුට සිතිණ. පිය රජුගේ අණට කීකරු වෙමින් සංඝා කුමරිය සුළු පියා හා විවාහ වූවාය. ඉක්බිතිව ඔවුහු මලය රටට ගියහ. එහෙත් තමා පෙම් කළ තරුණ පෙම්වතා අතහැර, මැදි වියේ සිටි සුළු පියා සමඟ විවාහ වීමෙන් තාරුණ්‍යයෙහි පසු වූ ඇය හුදෙකලා විය. ගතින් ඇය මිහිඳු අග්බෝ සමඟය. එහෙත් සිතෙහි සිටින්නේ තරුණ අක්බෝ කුමරුය. මේ හේතු කොට ඇගේ විවාහ ජීවිතය මුළුමනින්ම අඩදබරවලින් යුතුව පැවතිණ. යුව රජු නිතර ඇය කෙරෙහි කෝප වූයේය; අවසන ඇයට පහර දුන්නේය. මේ පීඩන ඉවසාගත නොහැකි වූ ඇය මලය රට යුව රජුගෙන් වෙන්ව යළිත් අනුරාධපුරයේ පිය රජු වෙත ගියාය. තවමත් තරුණ අක්බෝ කුමරු පිළිබඳව සිතුවිල්ල නිසා ඇගේ ජීවිතය අවුල් වී ඇති බව පිය රජුට වැටහිණි.එහෙයින් තම පෙම්වතා තරුණ අක්බෝ කුමරු අමතක කර වනු පිණිසත් යුව රජු හා යළි එක් වීම වළක්වනු පිණිසත් පිය රජු අපූර්ව උපායක් යෙදුවේය. එනම් ඇය පැවිදි කොට මෙහෙණි සසුනට ඇතුළත් කිරීමය. පෙර පරිදිම පිය රජුගේ තීරණයට කීකරු වූ සංඝා කුමරිය පැවිදි වී මෙහෙණියක වූවාය.

එහෙත් මේ පැවිදි ජීවිතේ සිය කැමැත්තට සිදු වූවක් නොවූ බැවින් ඇය සිතුවේ තරුණ අක්බෝ කුමරු පිළිබඳවය. මෙහෙණියක ලෙස සිටියදීද රහසේ ඇය අක්බෝ කුමරු මුණගැසුණාය. සංඝා කුමරිය උපැවිදි වී තරුණ අක්බෝ කුමරු සමඟ පැන ගිය පුවත මඳ කලකින් පැතිරෙන්නට විය. ඉන් කෝපයට පත් පිය රජු මේ යුවළ ජීවග්‍රහයෙන් රැගෙන එන ලෙස රාජ පුරුෂයන්ට නියම කළේය. රාජ පුරුෂයෝ ඔවුන් කැටුව ආහ. තරුණ අක්බෝ කුමරු හිස ගසා මරා දැමූ පිය රජු සංඝා කුමරිය යළිත් යුව රජුටමැ පවරා දුන්නේය. ඇය යළිත් කටුක ජීවිතයට පිවිසිණ. මේ අතර ඇගේ පිය රජු සයවැනි අක්බෝ රජු මිය ගියේය. ඉක්බිතිව යුව රජු සත්වැනි අග්බෝ ලෙස රජ පදවියට පත් වූ අතර සංඝා කුමරිය රජ මෙහෙසිය බවට පත් වූවාය. ක්‍රිස්තු වර්ෂ 766 දී රජකමට පත් වූ සත් වැනි අක්බෝ රජු ඉන් සය වසරකට පසු (ක්‍රිස්තු වර්ෂ 772) මියගියේය. සංඝා බිසව යළිත් හුදෙකලා විය. සංඝා කුමරියගේ මව නොව සය වෙනි අග්බෝ රජුගේ වෙනත් බිසවකගේ කුසින් උපන් කුමාරයා මහින්ද නම් විය. සත්වෙනි අග්බෝ රජුගේ මරණය ගැන සැල වූ මහින්ද කුමරු තමා විසූ මාතොට ස්ථානයෙන් වහා අනුරාධපුරය බලා ගොස් සිය සොහොයුරිය වූ සංඝා බිසව අස්වසා මියගිය සැමියා වෙනුවෙන් රජකම භාර ගන්නා ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය. රාජ්‍ය පාලනයේ සෑම අවස්ථාවකම තමා සහායට සහ ආරක්ෂාවට සිටින බව ඔහු කීවේය.

ඊට එකඟත්වය පළ කළ සංඝා බිසව රජකම භාර ගත්තාය. මෙපමණ කලක් ඇයට සිදුවූයේ පිය රජුගේ අණට කීකරුවීමට මිස තමා කැමැති සැමියකු සමඟ ජීවත් වීමට නොවේ. එහෙයින් ඇය නිදහසේ ජීවත්වීමට සිතුවාය. සොහොයුරු මහින්ද කුමරු ළඟ සිටියොත් ඒ නිදහස නොලැබෙන බව ඇයට සිතුණි. සංඝා රැජන තම ඇමැතිවරුන් හා එක්ව සොහොයුරු මහින්ද කුමරුට විරුද්ධව කුමන්ත්‍රණය කළේ එහෙයිනි. මේ කුමන්ත්‍රණය සැළ වූ මහින්ද කුමරු ඔවුන් පලවා හැරියේය. සංඝා රැජනට විලංගු දමා අනුරාධපුරයට කැඳවාගෙන ගියේය. සයවෙනි අග්බෝ සහ සත්වෙනි අග්බෝ යන රජවරුන්ගේ සොහොයුරියකට දාපුල ඈපා නමින් පුතෙක් සිටි අතර ඔහු කලා වැව පෙදෙසේ විසුවේය. සංඝා රැජනට අවශ්‍ය වූයේ දාපුල ඈපා සමඟ විවාහ වී අනුරාධපුරයේ රජකම් කිරීමට බව මහින්ද කුමරුට සැලවිය. ඔහුට එරෙහි කුමන්ත්‍රණයට දාපුල ඈපාද හවුල් බව ඔහු තවදුරටත් දැන ගත්තේය. මහින්ද කුමරු සංඝා රැජනට විලංගු දැමූ බව සැලවූ දාපුල ඈපා සේනා සංවිධානය කොට ඔහුට එරෙහිව සටන් වැදුණේය. මහින්ද කුමරුට සංඝා රැජන මාලිගයේ තනිකොට යුද පෙරමුණට යෑමට සිත් නොවූයේ ඇය යළිත් කුමන්ත්‍රණ කළ හැකි බැවිනි. මේ නිසා ඔහු රැජනත් කැටුව යුද පෙරමුණට ගියේය. සංඝා බිසව මුළු හදවතින්ම දාපුල ඈපාට ජය පැතුවාය. එහෙත් මහින්ද කුමරු දාපුල ඈපා ඇතුළු සේනාව පහසුවෙන්මැ පරාජයට පත් කළේය. ඉක්බිතිව මහින්ද කුමරු දෙවෙනි මහින්ද නමින් අනුරාධපුරයේ රජකම භාර ගත්තේය. දාපුල ඈපා සේනා සංවිධානය කොට දෙවෙනි වරද සටනට එක් වු නමුදු එයින් ද පරාජයට පත් විය. රජ වීමෙන් පසු දෙවැනි මහින්ද රජු සංඝා බිසව ගැන සැකයෙන් පසු වූයේය. යළිත් කුමන්ත්‍රණ කළ හැකි බැවින් ඇය පලවා හැරීම ද භයානකය. අනෙක් අතට ඇය ජීවිතක්ෂයට පත් කිරීම ද කළ නොහැක්කේ එයට ජනතා විරෝධය මතු විය හැකි බැවිනි. සංඝා කුමරිය යනු තම පිය රජුට දාව වෙනත් බිසවකගේ කුසින් උපන් සහෝදරියක වූවත් දෙවැනි මහින්ද රජු රජකම රැක ගනු පිණිස ඇය අග බිසව කොට ගත්තේය. ඔවුන්ගේ විවාහ ජීවිතය ආරවුල්වලින් ගහණ විය. මේ අතර දෙවැනි මහින්ද රජුට දාව සංඝා කුමරිය පුත්‍රයකු බිහි කළාය.

කේ.බී.හේරත්ගේ "දෙවැනි මහින්ද" නාට්‍යයට පාදක වූ ඉතිහාස කතාවෙහි දක්නා ලැබෙන දාපුල ඈපාගේ භුමිකාව නාට්‍යයෙහි දක්නා නොලැබේ. නාට්‍යය අවසන් වනුයේ දෙවැනි මහින්ද රජු සමඟ විවාහයෙන් සංඝා කුමරිගේ ජීවිතය තවදුරටත් දුක්මුසු හා ව්‍යාකූල භාවයට පත්වන බවට ඉඟි ප්‍රේක්ෂකයාට ලබා දෙමිනි.සංඝා කුමරියගේ මනෝභාවයන් ඉසියුම්ව නිරූපණය කරමින් ඊට උපරිම සාධාරණය ඉටු කළ කුසුම් රේණු 1998 වසරේ හොඳම නිළිය ලෙස රාජ්‍ය නාට්‍ය උලළේදී සම්මානයට පාත්‍ර විය. මෙතෙක් කුසුම් රේණුගේ වේදිකා නාට්‍ය ජීවිතයේ ප්‍රශස්ත රූපණය "දෙවැනි මහින්ද" හී සංඝා කුමරියගේ භූමිකාවෙන් සනිටුහන් වේ යැයි මම සිතමි. එය එතරම් සංකීර්ණ, අභියෝගාත්මක චරිතයකි.

මේ නාට්‍යයෙහි සයවැනි අක්බෝ රජු ලෙස නීල් අලස්ද හත්වෙනි අක්බෝ රජු ලෙස නලින් ප්‍රදීප් උඩුවෙලද දෙවැනි මහින්ද ලෙස රිචඩ් මානමුදලි ද සංඝා කුමරියගේ පෙම්වතා වූ අක්බෝ කුමරු ලෙස ගිහාන් ප්‍රනාන්දුද සොල්දාදුවන් ලෙස ලලිත් රාජපක්ෂ සහ වසන්ත දුක්ගන්නාරාලද සංඝා කුමරියගේ යෙහෙළියක ලෙස රුවිනි මනම්පේරිද රංගනයෙන් දායක වූහ. ධර්මප්‍රිය ඩයස්ගේ රැඟුම්ද විශාරද එඩ්වඩ් ජයකොඩිගේ සංගීතයද මේ නාට්‍යයේ කැපී පෙනිණ. මෙහි සත්වැනි අක්බෝ රජු හෙවත් සංඝා කුමරියගේ බාප්පා ලෙස ශූර චරිත නිරූපණයක යෙදුණු නලින් ප්‍රදීප් උඩවෙල වසරේ හොඳම නළුවා ලෙස රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මානයට පාත්‍ර විය. එපමණකුදු නොව හොඳම නිෂ්පාදනයට හිමි (කේ.බී.හේරත්) සම්මානය ඇතුළු සම්මාන 13 ක් රාජ්‍ය නාට්‍ය උලෙළේදී "දෙවැනි මහින්ද" නාට්‍යයට හිමි විය.

ක්‍රිස්තු වර්ෂ 787 - 807 කාලයේ රජකම් කළ දෙවැනි මහින්ද රජුගේ රණශූරත්වය, උපාය කෞශල්‍යය මේ නාට්‍යයෙන් විවරණය කෙරේ. රට කොටස් හතරකට බෙදා ගැනීමට ප්‍රාන්ත රාජ්‍යවලින් කැරැල්ලක් මතු වූ අවස්ථාවේ එය මර්දනය කොට රාජ්‍ය ඒකාබද්ධ කළේ දෙවැනි මහින්ද රජුන්‍ ය.මේ නාට්‍යයේ අරම්භයෙහි පිරිමි ගායන වෘන්දයක් (ඛ්ඩධපභඵ) දක්නා ලැබීම වෙසෙස් ලක්ෂණයකි.මේ ලිපිය සඳහා "දෙවැනි මහින්ද" නාට්‍යයෙහි සේයා රූ සොයා ගිය මට ඒවා හමු නොවුණි. මේ නාට්‍යයට දායක වූ රංග ශිල්පි, ශිල්පිනීන්ගෙන් මෙන්ම නාට්‍යයේ නිර්මාණකරු වූ කේ.බී.හේරත් මහතාගෙන්ද ඒ ගැන විමසූ මට දැනගන්නට ලැබුණේ කිසිදු සේයාරුවක් ඔවුන් ළඟ නොමැති බවය. එහෙත් කලකට පෙර ස්වාධීන රූපවාහිනි නාළිකාවෙන් මෙය රූගත කළ බව කේ.බී.හේරත් මහතා මට පැවසුවේය.මෙහි පළ වන "දෙවැනි මහින්ද " නාට්‍යයෙහි සේයාරූ ස්වාධීන රූපවාහිනී නාළිකාවේ පුස්තකාලයෙන් මට ලැබිණි. ඒ සඳහා මට උපකාර කළ ස්වාධීන රූපවාහිනී නාළිකාවෙහි සභාපති, ප්‍රවීණ අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතාටත් ස්වාධීන රූපවාහිනී නාළිකාවෙහි ප්‍රවීණ මාධ්‍යවේදිනී චන්දිමා ප්‍රේමරත්න සොහොයුරියටත් එහි පුස්තකාලයේ සුමුදු ශෂිප්‍රභා ගමගේ සොහොයුරියටත් මගේ කෘතවේදීත්වය හිමි වේ.

 

 

ඉතිරි කොටස ලබන සතියේ...