“මේ ඉල්ලමක් නැති පතල් කැණීමක් නේද ?”

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 69 ලිපිය
සැප්තැම්බර් 16, 2021

 

60 දශකයේ අගභාගයේ සිට මෙරට විවිධ කලා මාධ්‍යවල දක්නා ලැබුණු සමාජ කේන්ද්‍රීය යථාර්ථවාදී නැඹුරුව ඔස්සේ යොවුන් ප්‍රශ්න වඩාත් ඊට වස්තු විෂය විය. මේ අනුව තත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, සමාජ සන්දර්භය තුළ තරුණ අසහනය, විරැකියාව, ලිංගිකත්වය, ස්ත්‍රීත්වය, සූරාකෑම යනාදී ප්‍රස්තුත බහුලව නිර්මාණකරුවෝ ස්පර්ශ කළහ. ඉක්බිතිව 1977 සමාජ විපරිණාමය මඟින් මේ යොවුන් ගැටලු වඩාත් සංකීර්ණ මුහුණුවරක් ඉසිලූ අයුරුද විවිධ කලා මාධ්‍යයන්ට හසුවිය. එහෙත් සෝමලතා සුබසිංහ "විකෘති" නාට්‍යය නිර්මාණය කරන තෙක් තත්කාලීන සමාජ පෙරළියෙන් විකෘති වූ අධ්‍යාපනය යොවුන් පරපුර විෂයෙහි බලපෑ ආකාරය මෙරට නිර්මාණකරුවන්ට ප්‍රස්තුත නොවූ බැව් පැවසීම සහේතුකය. එහෙයින් "විකෘති" වූ කලී පුරෝගාමී නාට්‍යයකි.

 

"පුතේ උඹ ලොකු මිනිහෙක් නෙවෙයි හොඳ මිනිහෙක් වෙයන්"

මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ "විරාගය" (1956) නවකතාවෙහි මව අරවින්දට එලෙස පවසන්නීය. (විරාගය චිත්‍රපටයේ මව ලෙස රඟපාමින් මේ දෙබස පවසන්නී සෝමලතා සුබසිංහයන්ම වීම විශේෂත්වයකි). මේ වූ කලී චිරාත් කාලයක සිට මෙරට සභ්‍යත්ව විඥානයෙහි කාවැදුණු ආකල්පයකි. "හොඳ මිනිසුන් යනු අනිවාර්යයෙන්ම ලොකු මිනිසුන්ය. එහෙත් ලොකු මිනිස්සු සියල්ලෝ හොඳ මිනිස්සු නොවෙති." මේ වූ කලී බුදු දහමෙන් සුපෝෂිත ලාංකේය සභ්‍යත්ව විඥානය චිරාත් කාලයක් පුරා අපට කාවැද්දූ වටිනා ආකල්පයකි. එහෙත් 1977 න් පසුව විපරිණාමයට ලක් වූ ධනේශ්වර සමාජ සන්දර්භය අධ්‍යාපන සංස්ථාව ඔස්සේ අනුබල දුන්නේ "හොඳ මිනිසකු නොව කෙබඳු අයථා ක්‍රමයකින් හෝ ලොකු මිනිසකු වීම" උදෙසාය. "මිනිසා කෙබඳු ක්‍රමයකින් හෝ මුදල් උපයා ධනවතකු වීමට මාන බැලිය යුතුය" යැයි පැවසූ ඇඩම්ස් ස්මිත් වැනි ධනේශ්වර චින්තකයන්ගේ ආකල්ප මෙහිලා බලපෑ බැව් පෙනේ. ඒ හා සබැඳුණු ආත්මාර්ථය, තරඟකාරීත්වය, සූරාකෑම, අත්තුක්කංසනය මේ ආකල්පය හැසිරවූ ගාමක බලවේග විය. සමාජ ක්‍රමය විසින් හසුරුවනු ලැබූ අධ්‍යාපන තරඟකාරීත්වයට ගසා ගෙන යන හිල්ඩා නමැති මව ලෙස "විකෘති" හී චාන්දනී මුල්වරට 1982 රඟපාන විට ඇය නව යොවුන් වියෙහි පසු වූවාය. එහෙත් ඇයට මෙහි රඟපෑමට සිදු වූයේ මැදි වියෙහි කාන්තා භුමිකාවකි. ප්‍රියංගනී (නිල්මිණි සිගේරා රඟපෑ) ඇගේ දියණිය වේ. පියා කරුණාරත්න (සුදත් දේවප්‍රිය රඟපෑ) මේ විලම්බෑසිය අවබෝධ කොට ගෙන සිටින අයුරු පෙනේ. "විකෘති" හී මව (චාන්දනී සෙනෙවිරත්න) සහ පියා (සුදත් දේවප්‍රිය) අතර ඒ අරභයා ඇතිවන වැදගත් සංවාදයකි, මතු දැක්වෙනුයේ.

 

හිල්ඩා (මව) - හනේ දෙයියනේ, මම මේ හැම දෙයක්ම කරන්නෙ මගේ දරුවන්ගේ හොඳටනේ. ඒ වුණාට ඔක්කොටම මාව පේන්නෙ නිකං අලුගෝසුවෙක් වගේ.

 

කරුණාරත්න (පියා) - අපි මේ හැමදේම කරන්නෙ අපේ දරුවන්ගෙ හොඳට කියල අපි අපිටම හැම තිස්සෙම කියා ගන්නෙ, අපේ යටි සිත අපට දොස් කියන හින්ද නේද ? අපේ හිතේ වුණත් ඒ දේ හරිද කියල අපිටම සැකයක් පහළ වෙන හින්ද නේද ? අපි මේ ගැන වාද නොකර පොඩ්ඩක් කල්පනා කරල බලමු හිල්ඩා.

 

හිල්ඩා (මව) - මොනවද ඕකෙ ඔය හැටි කල්පනා කරන්න තියෙන්නෙ ? වෙලාවට උන්ට කන්න ලැබෙනව නම්, අඳීන්න ලැබෙනව නම්, පොතපත ලැබෙනව නම්, දෙමාපියෝ උන්ට වියදම් කරන්න ලෑස්ති නම් , උන්ට තියෙන්නෙ ඉස්කෝලෙ යන එකයි , ඉගෙන ගන්න එකයි විතර නෙ. මොකෝ අපි උන්ට පතල් කණින්න කියන්නෙ නැහැ නේ.

 

කරුණාරත්න (පියා) - උන්ට කියන්නෙ නෑ. නමුත් අපි උන්ට ඉල්ලමක් නැති පතලක් කණින්න යොදවල තියෙනවා. ඒකේ ඵලේ බලාපොරොත්තුවක් ආස්වාදයක් නැති තෙහෙට්ටුවක් විතරයි. අපි ළමයින්ගේ මානසික පැත්ත ගැන හිතන්නෙම නෑ හිල්ඩා. ශාරීරික පැත්ත ගැන විතරයි අපි හිතන්නේ. කන, බොන, අඳීන, පලඳීන එක විතරයි, අපි උන්ට වැදගත් කියල පෙන්නල දීල තියෙන්නේ. මනුෂ්‍යයෙක් අඳුන ගන්න, මනුෂ්‍යයෙක් ආශ්‍රය කරන්න අපි උන්ට අවස්ථාවක් සලසලා දෙන්නෙ නෑ. අපි උන්ට දෙන අධ්‍යාපන හරි, විනෝදාංශ හරි, හැඩගැහිල තියෙන්නෙ ළමයින්ගේ වැඩීමට වඩා වැඩිහිටි අපේ පහසුව ගැන කල්පනා කරල."

ප්‍රවීණ රංග ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය විසින් ලියන ලද "සෝමලතා සුබසිංහ රංග කලා කාර්ය සාධනය" කෘතියෙහි (පිටු 179,180) දැක්වෙන පරිදි 1982 නොවැම්බර් 28 වැනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවති "විකෘති" මංගල දැක්මෙහි රංගනයෙන් දායක වූ ශිල්පි, ශිල්පීනීහු මෙසේ වෙත්.

 

ප්‍රියංගනී - නිල්මිණී සිගේරා, හිල්ඩා - චාන්දනි සෙනෙවිරත්න, පියා - සුදත් දේවප්‍රිය, මද්දු - චන්දන අලුත්ගේ, චූටි - දීපිකා පෙරේරා , සම්පත් - ලාල් වනිගතුංග, සුසිලා - ලලනි පුෂ්පමාලා ප්‍රනාන්දු , සරණපාල - චන්දන අලුත්ගේ, ජගත්ගේ පියා - මොහාන් ලාල් ද සිල්වා , ජගත්ගේ මව - කෞශල්‍යා ප්‍රනාන්දු , ජගත් / කට්ටඩියා / ටියුෂන් මාස්ටර් - සංජීව දිසානායක, ගෝලයා / චන්න - චන්න මහේෂ් කුලරත්න, ට්‍රික්සි - කෞශල්‍යා ප්‍රනාන්දු , ශ්‍රියා - එරන්තිකා ප්‍රනාන්දු , පියදාස - සංජය පෙරේරා, විදේශ - හේමක ඩයස්, ස්වදේශ - රෝහිත කරුණාරත්න, කපුවා - වික්‍රම සෙනෙවිරත්න, කෝලමා - අනුර වීරතුංග, පිරිස - ශ්‍යාමලිකා ප්‍රනාන්දු, රංජිත් අමරසේන,සමන් සිල්වා, සිසිර ප්‍රනාන්දු, ප්‍රසාද් සූරියාරච්චි සහ ගයෝමා ද සිල්වා.

 

මේ අනුව චාන්දනී සෙනෙවිරත්න රූපණවේදිනිය මුල්වරට ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුණේ 1982 නොවැම්බර් 28 වැනිදාය.

ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ "පුත්‍ර සමාගම" (1985) හී නතාෂා සහ කේ.බී.හේරත්ගේ "මායාදේවි" (1985) හී මිනිපෙට්ටි සාප්පුකාරයාගේ බිරිඳ, චාන්දනීගේ මුල්කාලීන වේදිකා රඟපෑම් අතර සුවිශේෂිතය.

"පුත්‍ර සමාගම" වූ කලී ඇලෙක්සැන්ඩර් වැම්පිලොව්ගේ "ඊඩඥ ඥතඤඥප ඵධද" (1967) රුසියානු නාට්‍යයෙහි පරිවර්තනයකි. ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් මෙය පරිවර්තනය කරන ලදි. ලේ බැම්මෙන් හෝ ඥාතීත්වයෙන් බැඳෙන බැම්මට වඩා හැඟීමෙන් හා මානුෂික ගුණධර්මවලින් බැඳෙන බැම්ම බලවත් බව මෙහි සමස්තාර්ථයෙන් කුළුගැන්වේ. ප්‍රේමය, හාස්‍ය, පිය සෙනෙහස, මානව සංවේදීතාව මේ නාට්‍යයේ ආත්මය වැන්න. සරාෆ්නොව් නමැති මහලු ට්‍රම්පට් වාදකයාගේ (ජයලත් මනෝරත්න රඟපෑ) අසල්වැසි නිවසේ කාන්තාව නතාෂා ලෙස මෙහි චාන්දනී රැඟුවේ නිදහස්, සැහැල්ලු ගති පැවතුම්වලින් හෙබි කාන්තා භුමිකාවකි. සරාෆ්නොව්ගේ පුත්, නොමේරූ මනසකින් හෙබි වසෙන්කා (ජය ශ්‍රී චන්ද්‍රජිත් රඟපෑ) ඇයට පෙම් කරයි. මේ ප්‍රේමයට සරාෆ්නොව්ගේ විරෝධතාව පළ වෙයි. මේ අතර අහම්බෙන් සරාෆ්නොව්ගේ නිවසට ගොඩවන තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ ස්ලික්ද (ශ්‍රියන්ත මෙන්ඩිස් රඟපෑ) නතාෂා හා සමීප ඇසුරක් පවත්වයි. රුසියානු සමාජ සන්දර්භය තුළ නිදහස් ලිංගික ජීවිතයක් ගෙවන කාන්තාවක වූ නතාෂාගේ භුමිකාව තමාගේ රංගන ජීවියේ ආරම්භක සමයේදී රඟපෑමේදී කිසියම් චකිතයක් දැනුණු බව චාන්දනී මා හා පැවසුවාය. මන්ද ලාංකේය සංස්කෘතිය තුළ එබඳු නිදහස් ගති පැවතුම්වලින් හෙබි තරුණියන් විරල වූ බැවිනි.

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී.හේරත්ගේ "මායාදේවි" හි මිනිපෙට්ටි සාප්පුකාරයාගේ බිරිඳගේ භූමිකාව මීට හාත්පසින් වෙනස් වූවකි. ඇය සටකපට ගති පැවතුම්වලින් හෙබි ආත්මාර්ථකාමී, අවස්ථාවාදී ස්ත්‍රියකි. මිනීපෙට්ටි සාප්පුකාරයාගේ (ජයලත් මනෝරත්න රඟපෑ) සහ ඇගේ දියණිය ලක්ෂ්මී (රත්නා ලාලනී රඟපෑ) මානසික සහ පාදයක ආබාධයකින් පෙළෙන්නියකි. තම සැමියාගේ නැඟණියගේ (මාලිනී රණසිංහ රඟපෑ) පුත්‍රයකු වූ සුගත් (අජිත් ජිනදාස රඟපෑ) එවක තම පවුල ගැන කලකිරීමෙන් පැවිදි වී සිටියත් ඔහු උපැවිදි කොට, ව්‍යාපාරය පවරා දීමේ ව්‍යාජයෙන් දියණිය ලක්ෂ්මී ඔහුට විවාහ කොට දීමට ඇය මාන බලන්නීය. ඇයගේ කූට උපක්‍රමය සාර්ථක වීමෙන් සුගත් උපැවිදි වී පැමිණ ලක්ෂ්මී හා එක් වේ. සුගත්ගේ ආදරයෙන් ලක්ෂ්මී සුවපත් වූ පසුව නීතිඥයකුට තම දියණිය විවාහ කොට දීමට ඉක්බිතිව මව උත්සහ දරන්නීය. "මායාදේවි" නාට්‍යයෙහිද චාන්දනී හට යොවුන් වියේදීම මහලු මවකගේ භූමිකාවක් නිරූපණය කිරීමට අවස්ථාව ලැබිණ. ඇයට පූර්වයෙහි මේ භූමිකාව රැඟුවේ ප්‍රවීණ නිළි චන්ද්‍රා කළුආරච්චිය."මායාදේවි" හී මිනිපෙට්ටි සප්පුකාරයාගේ බිරිඳගේ භුමිකාව වූ කලී ස්වකීය රංගන ප්‍රතිභාව මැනවින් පළට කිරීමට මුල් යුගයේදී ඇයට ලැබුණු මහඟු අවස්ථාවකි. අවස්ථානුකූලව වෙනස් වන සටකපට, ආත්මාර්ථකාමී ස්ත්‍රියකගේ ලකුණු ඇයගේ සාත්වික අභිනයෙන් ඉසියුම් ලෙස පළ කෙරිණ.

 

ඉතිරි කොටස ලබන සතියේ...