දුරලා උස් මිටිකම් වැලන්ටයින් එනකං

ඔක්තෝබර් 7, 2021

 

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 72 ලිපිය

එක් එක් කලා මාධ්‍යයන්ට ආවේණික ගති ස්වභා ඉවත් කොට එහෙත් සන්දර්භ ලක්ෂණ විග්‍රහ කළ කල්හී දීර්ඝ නාට්‍ය කලාව හා නවකතාව අතර සමානතා දැක්ක හැකිය.ඒ අනුව කෙටි නාට්‍ය සාම්‍යය වනුයේ කෙටි කතා කලාවටය. කෙටි නාට්‍යවලදී දීර්ඝ නාට්‍යවල මෙන් පුළුල් චරිත නිරූපණයකට සිද්ධි විග්‍රහයකට ඉඩකඩ නොලැබේ. කෙටිකතා කලාවෙහි මෙන් මෙහිදී එක් චරිතාංගයක්, ඒකීය ධාරණාවක්, එක් සිදුවීමක් හෝ මනෝභාවයක් සංක්ෂිප්තවත් ප්‍රබලවත් නිරූපණය කිරීමට අවකාශ ඇත. මේ වූ කලී සිනමා මාධ්‍යයේදී වෘත්තාන්ත චිත්‍රපටයකත් (Feature film), විත්ති කථා (Documentary)  චිත්‍රපටයකත් පවත්නා වෙනස වැන්න. වත්මනෙහි විදෙස්ගතව සිටින ධනංජය කරුණාරත්න වෙසෙසින් මෙරට කෙටි නාට්‍ය කලාවට කෘතහස්ත මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ නාට්‍යවේදියෙකි. චාන්දනී සෙනෙවිරත්නගේ රැඟුමෙන් ඔපවත් වූ ඔහුගේ එක් කෙටි නාට්‍යයක් මා හට සිහිපත් වේ. "වැලන්ටයින් එනකං" (2001) නම් වූ මේ කෙටි නාට්‍යය උදෙසා ඇය හොඳම නිළිය ලෙස රාජ්‍ය නාට්‍ය උලෙළේ දී සම්මානයට පාත්‍ර වූවාය. මීට අන්තර්ගත වූයේ අපූර්ව තේමාවකි. එනම් ස්ත්‍රියට වඩා පුරුෂයා මිටි වීම හේතුවෙන් යුවළකගේ ප්‍රේමයට සමාජයෙන් සිදුවන බලපෑමය. ඉන් ඔවුන් තුළ ඉසියුම් ලෙස ජනිත කෙරෙන මානසික පීඩනය මින් මනාව නිරූපිත වේ. උස - මිටි බව සාපේක්ෂ සාධකයක් බව මා අමුතුවෙන් පැවසිය යුතු නැත.

උස මිටි බවෙහි සාපේක්ෂ ස්වරූපය අරභයා හාස්‍යෝත්පාදක ලෙස විවරණය කෙරෙන චිත්‍රපට දර්ශනයක් මා හට සිහිපත් විය. රමේෂ් සිප්පි අධ්‍යක්ෂණය කළ "Sholay" ( (1975) නම් වූ සුප්‍රකට හින්දි චිත්‍රපටයෙහි හාස්‍යෝත්පාදක ජේලර්වරයකුගේ (අස්රානි රඟපෑ) භූමිකාවක් තිබිණ. මේ කුඩා චරිතය මුළුමනින්ම ගොඩනඟා තිබුණේ චාලි චැප්ලින්ගේ "The great dictator" හී ආභාසයෙනි. එහිදී මේ ජේලර්වරයා, උදෑසන පෙළ ගැසී සිටින බන්ධනාගාරයේ සිටින රැඳවියන් එකිනෙකා දෙස බලමින් උජාරුවෙන් ගමන් කරයි. ඔහු එතරම් උස මිනිසකු නොවේ. මේ සිරකරුවන් අතර සිටින මිටි මිනිසකු ළඟ ඔහු නතර වේ. මේ සිරකරුවාට සමච්චල් කරනු වස් ජේලර්වරයා තම දණ නවා ඔහුගේ ප්‍රමාණයට හැඩ ගැසී කිසිවක් විමසයි. එසේ විමසමින්ම ඔහු ඊළඟ සිරකරුවා ළඟ නතර වනුයේ එලෙසින්ම දණ නවා ගෙනය. ඒ සිරකරුවා අමිතාභ් බච්චන්ය. ජේලර්වරයා එක්වරම කෙළින් වී ඔහු දෙස බලයි. මිටි සිරකරුවාට සමච්චල් කළ ඔහු දැන් උස සිරකරුවා ඉදිරියේ මිටි වී සමච්චලයට ලක් වී ඇත. උස මිටි බවෙහි සාපේක්ෂතාව එබඳුය. උස මිනිසකු උඩඟු නොවිය යුතු සේම මිටි මිනිසකු ඒ අරභයා කනගාටු විය යුතු නැත.

පුරුෂයකු හා ස්ත්‍රියක අතර සැබෑ ප්‍රේමයක් පවතින්නේ නම් උස මිටි බව, වයස් පරතරය, ජාති, ආගම්, කුල ගෝත්‍ර යනාදී මේ කිසිදු භේදයක් බලපාන්නේ නැත. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් - සුමිත්‍රා පීරිස්, පණ්ඩිත් ඩබ්ලිව් ඩී.අමරදේව - විමලා අමරදේව, අමිතාබ් බච්චන් - ජයා භාදුරි වැනි මෙරට සහ එරට ගෞරවනීය යුවළවල් අපට පෙන්වා දෙනුයේ මේ සත්‍යය නොවේද ?

ලාංකේය සිනමාවේ අග්‍රගණ්‍ය රූපණවේදී ගාමිණි ෆොන්සේකා සූරීන් තමාට සමකාලීන බොහෝ නළුවන්ට වඩා උසින් අඩුය. ඇතැම් නිළියන් ඔහුට වඩා උසින් වැඩි වූ අතර බොහෝ දෙනා සම උසින් පසු වූහ. එහෙත් ගාමිණි මේ සියල්ලන්ටම වඩා රඟපෑමෙන් උස වූ හෙයින් සැබෑ ජීවිතයේ ඔහුගේ යෝධ පෞරුෂය සිනමාවෙහිද එක ලෙස දිස්විය. අනෙක් අතට කැමරාවට නිවැරැදිව ස්ථානගත වීම සහ කැමරා කාච පිළිබඳ අවශේෂ කිසිදු නළුවකුට නොතිබුණු ඥානයක් ගාමිණි සතු වූ බැවින් කැමරාව සහ ඔහු අතර පැවතියේ ගුප්ත සබඳතාවකි. විශිෂ්ට රංගනයෙන් මතු නොව සෙසු සාධකවලින්ද ඔහුගේ මහා පෞරුෂය තිරයේ දිස් වූයේ ඒ නිසාවෙනි.

මහා කවි විලියම් ෂේක්ස්පියර්ගේ බිරිඳ ඈන් හතවේ ඔහුට වඩා වයස අවුරුදු අටක් වැඩිමහල් කාන්තාවක් බැව් ඔබ දන්නවාද ? මෙසේ සැබෑ ප්‍රේමයට කිසිදු භේදයක් අදාළ නොවුණත් සමාජ සත්වයන් ලෙස ඇතැම් සමාජ සම්මතවල බලපෑමෙන් මුළුමනින්ම විනිර්මුක්ත වී සිටීමට පෙම්වතුන්ට නොහැකිය.

සමාජ සම්මතද තෙයාකාර යැයි මම සිතමි.

1. ඇතැම් සම්මත පන වනුයේ තුන් කල් විනිවිද දුටු ශාස්තෘවරුන් හා බුද්ධිමත් දාර්ශනිකයන්ය. මේ වර්ගයේ සමාජ සම්මතවලට අනුගත වීමෙන් මිනිසා සහ සමාජය ශිෂ්ටත්වයට, සංවර්ධනයට පත් වන හෙයින් ඒවා සෑමකල්හිම පිළිපැදීමෙන් මුළුමහත් සමාජය සුරක්ෂිත වේ.

2. ඇතැම් සමාජ සම්මත කාලානුරූපව, අවස්ථානුකූලව විචාරශීලීව සිතා බැලීමෙන් වෙනස් කොට ගැනීමෙහි වරදක් නැත. ස්ත්‍රී පුරුෂ පෙම් යුවළකට බලපාන උස මිටි බව ද එවැන්නකි.

 

3. ඇතැම් සමාජ සම්මත මිථ්‍යා දෘෂ්ටිකයෝ පැනවූහ. එහෙයින් මේවා අනුගමනය කිරීම බුද්ධිමත්හු ප්‍රතික්ෂේප කරති.

කාලාම, ලිචිඡවි භද්දිය සූත්‍ර සේවනයෙන් මෙය පසක් කොට ගත හැකිය.

 

ධනංජය කරුණාරත්න "වැලන්ටයින් එනකං" කෙටි නාට්‍යය ඔස්සේ පුරුෂයාට වඩා ස්ත්‍රිය උසින් වැඩි වූ කල්හි එය නොගැළපෙන පෙම් සබඳතාවක් ලෙස දකින සමාජ සම්මතය විචාරශීලිව ප්‍රශ්න කළේය. සමාජයේ බොහෝදෙනා ස්ත්‍රිය හා පුරුෂයා අතර ගැළපීම හුදෙක් භෞතික කායික ස්වරූපයන් තුලනය කිරීමෙන් වටහා ගනිති. පෙම්වතුන්ගේ ආධ්‍යාත්මික ගැළපීම ඔවුහු ග්‍රහණය කොට නොගනිති. සමාජ සම්මතය හැඩ ගැසී ඇත්තේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේදී ගැහැනියට වඩා පිරිමියා අනිවාර්යයෙන් මඳක් හෝ උස විය යුතුය යන ආකල්පයෙනි. මේ නාට්‍යයේ ජෝ සහ වාගී යුවළ මුහුණපෑවේ මේ ගැටලුවටය. මෙහි චාන්දනී සෙනෙවිරත්න (වාගී ලෙස) සමඟ පළමුවරට රඟපෑවේ සුනිල් පතිරණ (ජෝ ලෙස) ය. තමා රඟපෑ "බංකු බංකු" යන චරිතයෙන් පසුව ප්‍රකට වූ සුනිල්, අකාලයේ අපෙන් සමුගත්තේය. ඉක්බිතිව චාන්දනී සමඟ මෙහි ජෝගේ චරිතය රඟපෑවේ සුසිත් ඉශාන්තය.

පෙම්වතාට වැලන්ටයින් ලෙස ඇමතීම මෙරට ව්‍යාප්ත වූයේ 90 දශකයේ මැද භාගයේ සිට යයි මම සිතමි. ඇතැම් පෞද්ගලික ගුවන්විදුලි හා තෙල දසුන් නාළිකාවල නැඟීමත් සමඟ පෙම්වතුන්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය සැමරීම වෙළෙඳාමක් බවට පත් විය.

"වැලන්ටයින් එනකං" කෙටි නාට්‍යය නරඹද්දී උම්මග්ග ජාතකයෙහි එන කාලගෝල ප්‍රශ්නය, පුණ්‍යසේන ගුණසිංහයන්ගේ "දික්තල කාලගෝල" නාට්‍යය, එච්.ඩී.ප්‍රේමරත්නයන්ගේ "සිකුරුලියා" (1975) චිත්‍රපටය මට සිහිපත් වීම වැළැක්විය නොහැකිය. ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ භෞතික නොගැළපීම්වලට ඔබ්බෙන් දිස්වන ආධ්‍යාත්මික නොගැළපීම් සියුම් ලෙස මේ නිර්මාණවලින් විවරණය කෙරිණ. "දික්තල කාලගෝල" නාට්‍යයේ දික්තලා, කාලගෝල සහ දික්පිටියා අතර අතරමං වීම "සිකුරුලියා" චිත්‍රපටයේ නාමලී (සුවිනීතා වීරසිංහ) , පාල (විජය කුමාරතුංග) සහ ජෝති (බන්දුල ගලගෙදර) අතර දෝලනය වීමට සාම්‍යය වේ.

එහෙත් උස මිටි බව පිළිබඳ ගැටලුව හැරුණුවිට "වැලන්ටයින් එනකං" යථෝක්ත කලා නිර්මාණ හා තුලනය නොවේ. එහි ප්‍රස්තුතය නව්‍යවාදීය ; විවාදාසම්පන්නය; තාර්කිකය. එමඟින් සහෘදයාට සමාජයේ පවත්නා සම්මත, අසම්මත පිළිබඳ ගැඹුරු කියැවීමකට යා හැකිය. වාගී මෙහි ජෝ හමුවීමට යාමේදී උස් සපත්තු ජෝඩුවක් රැගෙන යන්නීය. ඇයට අවිඥානකව ස්ත්‍රී පුරුෂ ගැළපීමේදී භෞතික සිරුරේ උස මිටි බව පිළිබඳ සමාජ සම්මතය බලපා ඇති සේය. ධනංජය මේ කෙටි නාට්‍යය අවසන සහෘදයා තුළ ජනිත කරනුයේ ඇතැම් සමාජ සම්මත පිළිබඳ ශූන්‍යත්වයකි. ජෝ උද්‍යානයේ සිට වාගීට පවසන කියුම සහෘදයාට අමතක නොවේ.

 

"ඔබ හැර සෙසු සියලුම ගැහැනුන් ඔවුන්ගේ පිරිමින්ට වඩා මඳක් හෝ මිටි වීම ඉතා සූක්ෂ්ම සැලැස්මකට අනුව සිදුවී ඇත."

 

උද්‍යානයේදී වාගී ගෙනා සපත්තු ජෝඩුව ජෝ පලදිද්දී අවට ජනයාගෙන් එල්ලවන සමච්චල් සහගත බැල්ම හේතු කොට ඔහුගේ පලා යෑමෙන් ඇය සේම ප්‍රේක්ෂකයෝද ගැඹුරු සමාජ කියැවීමක හුදෙකලා වෙත්. වැලන්ටයින් එනතුරු ඔවුහු වාගී සමඟ බලා සිටිත්.

 

ඉතිරි කොටස ලබන සතියේ...