උපාලි... ඔබට නිවන් සුව!

දෙසැම්බර් 21, 2018

උපාලි කන්නංගර සිය වෘත්තිය ජීවිතය ආරම්භ කරන්නේ වාදකයකු වශයෙනි. ලීඩ් ගිටාරය තුරුලු කරගත් ඔහුගේ වමතෙහි දෑගිලි තත් අතර දුවපනින්නට පටන්ගත්තේ සුමියුරු සංගීත නාදයන් ඉස්මතු කරමිනි. මුල් යුගයේ පටන් තමන්ගේ සංගීත නඩයේ සගයකු වූ මහින්ද සිල්වා සමඟ දෙහිවල ගමේ යාළුවන් හා එක්ව පිහිටුවාගත් සංගීත කණ්ඩායමකින්, උපාලි පළමුවරට කලඑළිබැස්සේය. අනතුරුව සත්සර නමැති සංගීත කණ්ඩායමකත් විපුල පෙරේරා ප්‍රමුඛවත්වයෙන් ආරම්භ කළ තවත් නව සංගීත කණ්ඩායමකත් වාදකයකු වශයෙන් සිය දායකත්වය සැපයූ උපාලි පසුව සුපර් ස්ටාර් පිරිවරට එකතුවන්නේ සංගීත ජීවිතයේ අලුත් ගමනකට මුලපුරමිනි.

හැත්තෑව දශකය ගෙවී අසූව දශකය උදාවිය. සුපර් ස්ටාර් යුගයේ කාර්යබහුලම සංගීත කණ්ඩායම බවට පත්වුණි. මෙකල උපාලිටද කිසිදු විවේකයක නොවීය. කණ්ඩායම් නිත්‍ය ගායකයා වශයෙන්ද කටයුතු කළ උපාලි යහළුනේ යෙහෙළියනේ, වේවා සුබ නත්තල් ආදි කණ්ඩායම් ගීතද ගැයීය. කෙසේවෙතත් උපාලි යම් යම් හේතු නිසා මෙරට අතහැර ගියේය. කලක් විදෙස්ගතව සිටි ඔහු මෙරටට පැමිණ යළිත් කණ්ඩායම් සංගීත ජීවිතය ආරම්භ කරන්නේ කීර්ති පැස්කුවල්ගේ ආරාධනයෙනි. ඔහුගේ සුපර් ෆෝචූන්ස් සංගීත කණ්ඩායම උපාලිගේ ඊළඟ වෘත්තිමය නවාතැන්පොළ විය. මේ අතරවාරයේ උපාලි ගී තනුද නිර්මාණය කළේය. දෑස රිදෙනවා (මිල්ටන් මල්ලවාරච්චි), ආදරේ ලොව සනසන ආදරේ (කීර්ති පැස්කුවල්) ඇගෙ සිනහව, නෙලුම් විලේ (චන්ද්‍රකුමාර් කඳනාරච්චි - සංගීතය), සුසුමවී මගේ, මුතුකඳුලින් (අතුල ශ්‍රී ගමගේ) තනු රැසක් ඔහුගේ නිර්මාණ අතරට ඇත්තේය. උපාලිගේ වෘත්තිමය ජීවිතය මෙතෙක් පැවතියද සාමාන්‍ය ජනයාගෙන් වැඩිදෙනෙකු උපාලි පිළිබඳ දැන සිටියේ නැත. ක්ෂේත්‍රය තුළ නමගිය වාදකයකු වුවද, නිර්මාණ කළ ගීත අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබුණද, නම කියූ සැනින් ඔහුව හඳුනා ගැනීමට අනූව දශකයේ අගභාගය වන විටත් නොහැකි විය. ඒ කරුණු සියල්ල උඩුයටිකුරු කරමින් උපාලි කන්නංගර නමැති නමත්, ඒ අපූරු හඬත්, එක රැයකින් රටක් හඳුනා ගන්නේ දුම්බර මිටියාවත පැත්තේ ගීතයෙනි. විමල් ලොකුලියන විසින් උපාලිට එය ලියා දී තිබිණ. ගැමි උරුවට හිමි සංගීතයක් ඊට යොදා උපාලි එය වේදිකාවේ ගැයුවේ ස්වකීය අනන්‍යතාවයක්ද ගොඩනගා ගනිමිනි. ජනකවියක් ඇසුරෙන් තැනුණු පාරට කිට්ටුව ගීතය දුම්බර මිටියාවතට දෙවැනි නොවීය. ඉවසිල්ලක් නෑ, ගෙලේ රන්මාල දා හැඩවී, කිරිවැදුන ගොයම, මගෙ හිතේ මලක් පිපුණේ, මගෙ ආදර රත්තරනේ, කරකාර බඳින්නට කාලෙ සොඳා, ක්ෂීර සාගරේ, ඉඟිබිඟි කරකර, පිල ගැට්ටේ, ඇන තියාන ආදී ගීත නිසා උපාලි මෙතෙක් කල් දෙපයින් ගිය ගමන රියකට නැග පිටත්ව ගියා හා සමාන විය. බාල මහලු කොයි කාගෙත් මුවග උපාලිගෙ ගීත රැවුදෙන්නට විය. විමල් ලොකුලියන, සිනෙත් බැද්දගේ, චන්ද්‍රදාස ප්‍රනාන්දු, හේමසිරි හල්පිට, කැලුම් ශ්‍රීමාල් ආදී තෝරාගත් රචකයන්ගේ පදමාලා පමණක් උපාලි ගැයුවේය. ඒවා ඔහුටම ලියූ ගීතම විය. උපාලි කන්නංගර නමැති ගායකයා ප්‍රසංග වේදිකාවට නැතිවමබැරි අයකු බවට පත්වුණේ දිනකට ප්‍රසංග වේදිකාව සඳහා ඇරැයුම් තුනහතර, ඇතැම් දිනවලදී ඊටත් ඉක්මවා ලබමිනි.

පසුකාලීනව උපාලි බොහෝ දේවල් වලින් ඈත්විය. කොතෙක් ඇරැයුම් ලැබුවද ඔහු ඒවාට නොයන තත්ත්වයටම සිත හදා ගත්තේය. ප්‍රසංග වේදිකාවේ නටන දඟලන ක්‍රමයෙන් ඈත්වන්න ඕන කියා නිතර කීවේය. උපාලි ආදර්ශවත් ගීත ගයන්නට ද පටන් ගත්තේය.

'දන් දෙනවා සමහර අය අනේ පිඬු සිටානන් වගේ හිතේ කිසිම ශ්‍රද්ධාවක් නෑ' යනුවෙන් උපාලි ගැයුවේය. මේ කලියුග කාලේ, කලදුටුකල වල ඉහගෙන වැනි ගීතද උපාලි පසුකාලීනව කීවේය. තමන්ගේ හැකියාවෙන් එවන් වූ දෙයක් හෝ කිරීමට උපාලි පෙලඹවූයේ ආගම ධර්මය නිසා බව ඔහු පවසා ඇත. හිසෙහි වූ කලු පැහැ තොප්පිය උපාලිගේ තවත් එක් අනන්‍යතාවයක් විය. ඔහු සංගීතවත් කළ එකම සිනමාපටය වීරවර්ණය. අතුල රන්සිරිලාල් හඬ කැවීම් අධ්‍යක්ෂණය කළ ඉසිවර වෙදැදුරු මාලා නාටකය ඔහු ඉතාම රසවත් අන්දමින් සංගීත රටා මුසු කළේය. උපාලි ආදර්ශවත් සැමියෙකු බව ඔහුගේ ප්‍රිය බිරිය ඉන්ද්‍රානි බොතේජු කීවේ හැඬු කඳුලෙනි. සත්ත්ව කරුණාව ඉතා ඉහළින් තිබූ අයකු වූ උපාලි නිවසේ මෙන්ම අහල පහල ඇතිදැඩි කළ සත්වයින්ට කිලෝ ගණන් ආහාර පාන මිලදී ගෙනාවේය. ආගමට දහමට ළැදිව ගෙවූ ජීවිතය අනිත්‍ය බව නිතරම කීවේය. නිවස තුළ පිරිත් අසන්නටද හෙතෙම කටයුතු කළේය. මෙලොවට යම් අයකු ආවාද කෙදිනක හෝ ඉන් නික්ම යායුතුව ඇත්තේය. එය ලෝක ධර්මතාවයයි. උපාලිටද එය වලංගු නොවන්නේ කෙසේද? ඉකුත්දා ඔහුට කළ හදවත් සැත්කමෙන් අනතුරුව ඔහු සදහටම දෙනෙත් පියා ගත්තේ අවුරුදු හැට හතක් ආයු වළඳා අවසන් කරමිනි. උපාලිගෙ වැඩිමහල් දියණිය සුවණ්තපාලිය. උත්පලවන්නා සත්සරණි බඩපිස්සිය වන්නීය. දෙදෙනාම මේ වන විට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටිති. උත්පලවන්නා, පියාගේ ඇවෑමෙන් සංගීත ලෝකයට පිවිස සිටියි. ඇය උපාලි මෙන්ම වාදනයටද හපනියකි.(ආදරණීය උපාලි, එදා ඔබ ගැයූ ගීත අපි ළෙංගතුව රසවින්දෙමු. ප්‍රසංග වේදිකාවේ ඔබ ගයන විට අපි අතපොළසන් දුන්නෙමු. එහෙත් ඒ සියල්ල තාවකාලික දේවල්ය. ඔබ ඉතිරි කළ ගීත ගොන්නේ සදාකාලික රසය පමණක් ඉතිරිව ඇත්තේය. තවත් කොතැනකදී හෝ යළිත් හමුවනතුරු මෙලෙස තාවකාලිකව ඔබට සමුදෙමු. සරසවිය අපි ඔබට නිවන්සුව ප්‍රාර්ථනා කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.