සදා මේ සංසාරේ අපේ හමුවීම නොවේ ගැහැනු ළමයි

දෙසැම්බර් 27, 2018

කුසුම් ලියනගේ හා නිමල් හතුරුසිංහ ලාංකේය ජන ජීවිතයට, බලපෑම් කරන්නට පටන් ගැනුනේ හැටේ දශකයේ සිටය. එම බලපෑම එකල යොවුන්,තාරුණ්‍ය තුල අමානන්දයට පත් කෙරීය..

තම හදවත තුළ රැඳවුණු කුසුම් හා නිමල් අතරට තවත් ප්‍රබල චරිත කීපයක් තිබුනි. සෝමා, සහ පද්මිණී ඉන් විශේෂිත විය. මේ යොවුන් චරිත හතර විටෙක ප්‍රේමණීයය. තවත් විටෙක අධ්‍යාත්මිකය. එලෙසම සෝචනීයය. ඔවුන් සිටියේ ජීවිතයේ අත් දැකීම් ලබමින් සිටි කාලයේය. එහෙයින් බොහෝ අතපසු වීම් ඔවුනට සිදුවිය. ඔවුන් හතර දෙනාට එම අත්දැකීම් ආයේ එකිනෙකාට වෙනස් ලෙසිනි.

ලියනගේ පවුලේ අයට හැමවිටම ලැබුණේ,දුක හා පරාජයන්ය. එහෙත් හතුරුසිංහගේ අයට නිතරම ලැබුනේ සතුට හා ජයග්‍රහණයන්ය.

කරුණාසේන ජයලත් මේ පවුල් දෙක අතර ඇති වෙනස තම 'ගැහැනු ළමයි' කෘතිය තුළින් පෙන්වන්නට තැත් කළේ කුසුම් හා සෝමාට කිසිදු සහනයක් නොදීය. ජයලත් ඔවුන්ව හැදින්වූයේ හරියට දුක්විඳීන්නටම ඉපදුනු පවුලක් ලෙසය.

සුමිත්‍රා පීරිස් තම කුලුඳුල් චිත්‍රපටයට කරුණාසේන ජයලත්ගේ "ගැහැනු ළමයි" කථාව තෝරා ගැන්ම "ගොළු හදවත" මතක් කීරීමක් විය. ජයලත් ගේ බොහෝ කථාවන් කේන්ද්‍රීය කරගන්නේ කාන්තා චරිතයන්ය. සුමිත්‍රා පිරීස්ද, 'ගැහැනු ළමයි' නව කථාව තම මුල් චිත්‍රපටයට තෝරා ගන්නට ඇත්තේ, මතුපිටින් නොපෙනෙන එහෙත් අභ්‍යන්තරය තුල විහිදෙන සංවේදිවූ මානුෂික ගැටුම් කීපයක් නිසා වන්නට ඇත.

කුසුම් ගේ මව එළවලු වට්ටිය හිසේ තබා ගෙන ගෙයක් ගෙයක් ගානේ ගොස් විකුණන එළවලු වෙළෙන්දියෙකි. කුසුම් ගේ දරිද්‍රතාවයත්, සමාජ පරතරයත්, ඇත්තටම ඇරඹෙන්නේ එතැන් සිටමය. කුසුම් ලබන සියලු පරාජයන් වලට සම්පූර්ණ හේතුව එය විය. කුසුම්ගේ පියා සිටියේ ලෙඩ ගානේය. එහෙයින් මේ පවුලේ සම්පූර්ණ බර දරන්නට සිදුවූයේ මේ එළවලු වෙළෙන්දියටය. කුසුම් සමාජයට යන හැම අවස්ථාවකම අවතක්සේරුවට ලක්වෙන්නෙ 'අර වට්ටි අම්මා' ගේ දුව කියාය. ඇයට එයින් මිඳීමට නොහැකි වූවා සේම, ඇය එයින් මිදීමට උත්සහ කළේද නැත. තම පව්ල ගෙන යාමට ⁣වට්ටිය ඔලුවේ තබා ගෙන අම්මා දරන වෙහෙස ඇයට ආඩම්බරයක් විය. එහෙයින් අම්මාගේ 'වට්ටි අම්මා' ටයිටලය, ඇයට කිරුළක් සේය. ඒ කුසුම් ගේ හැටිය.

කමලාවතී ගේ පවුල, කුසුම්ලා හා සසඳන විට,ඔවුන් හිටියේ උඩය. අහසේය. කුසුම්ලා සිතුවේ කමලාවතීල පෝසත් අය කියාය. ඒ කුසුම් ගේ මිම්මෙනි. නමුත් කමලාවතීලා මධ්‍යම පාන්තිකයෝය. ඔවුන් ධනපතියන් ලෙස කුසුම්ට පෙනෙන්ට, කුසුම්ලා මොනතරම් දරිද්‍රතාවයකින් පෙළෙනවා දැයි සිතා ගත හැක.

එක ළඟ ගෙවල් තිබූ හෙයින් කුසුම්ගේ හා නිමල්ගේ පවුල් අතර තරමක කිට්ටු සම්බන්ධතාවයක් තිබුනි. කමලාවතීට හිටියේ පිරිමිම දරුවන්ය. එහෙයින් කුසුම්ගේ පැමිණීම කමලාවතී අපේක්ෂා කළේ අර දියණියන් නැති අඩුව පිරිමහා ගැනීමටම යැයි කිව නොහැක. කුසුම් කමලාවතීගේ නිවසට පැමිණුනු හැම විටම, කමලාවතී වටා කැරකවමින් ඇගේ බොහෝ වැඩපලවලට උදව් කරන්නීය.

"අනේ කුසුම් කෙල්ලෙ, මෙන්න මේ වැඩේ කරලා දීපන්" කියමින් කමලාවතී කුසුම්ට සුළු සුළු වැඩ පවරන්නේ, විධානයක් ලෙස නොව, අර නිවසක සිටින දියණියකට කියනවා වැනි සෙනෙහසකින් යැයි හැඳීන්වීම වැරදි නොවේ.

කොහොමත් කමලාවතී හා කුසුම් අතර තිබුණේ තරමක කිට්ටු බැඳීමකි. ඒ බැඳීම මවක් හා දියණියක කිට්ටුවූ සබඳතාවයක් තරම් ගැඹුරු නොවූවද, එයට තරමක් සමානයැයි නම් කිව හැක. එයට ප්‍රබල වූ හේතුව කමලාවතීට දියණියක් නොමැති වීමත්, නිවස තුල පිරිමි දරුවන් සමඟම ගැටෙමින් සිටි ඇයට, කුසුම් අස්වැසිල්ලක් වූ නිසා යැයි කිව හැක. කුඩා කල සිටම තම පිරිමි දරුවන් සමඟ ගැවසුණු කුසුම්, උස් මහත් වී එන විටත් කුසුම්ට ඒ නිවස තමන්ගේ නිවස සේ සිටින්නට කමලාවතී ඉඩ දුන්නේ කුසුම් ගැන තිබූ විශ්වාශය නිසාය.

සුමිත්‍රාට තිබූ ප්‍රබල අභියෝගය වූයේ මෙහී මුඛ්‍ය චරිතය වූ කුසුම්ගේ චරිතයට පණ පෙවීමට නිළියක් සොයා ගැන්මය. ජයලත් තම කෘතියෙන් කුසුම් යනු කවරෙක්දැයි හොඳහැටි විග්‍රහා කර තිබුනේ, සාහිත්‍ය කෘතිය තුල රචකයා මවන චරිත තමනට ඇතිවන සේ විග්‍රහ කිරීමට ඔහුට ඇති වපසරිය අසීමිත නිසාය. එහෙත් එය සිනමාවකට නගන විට ඇත්තේ සීමිත කාල පරාසයකි.එහෙයින් සුමිත්‍රාට අවශ්‍ය වී තිබෙන්නට ඇත්තේ කරුණාසේන ජයලත් කුසුම් ගැන පිටු ගනන් ලියූ විස්තර සියල්ල කුසුම් ලෙස තෝරා ගන්නා නිළියගෙ මුහුණින් කියන්නටය. අන් අතකට මුලු චිත්‍රපටයම රඳා පැවතෙන්නේ මෙම නිළිය මත බවද සුමිත්‍රා දැනගෙන සිටියාය.

සෝමා කුසුම්ට වඩා හාත්පසින්ම වෙනස් චරිතයකි. ඇය සිනමා සඟරා කියවමින්, ගුවන්විදුලියේ ගීත අසමින්,කොල්ලොත් එක්ක උසුළු විසුළු කරමින් අනුගත වී තිබුනේ තරමක් විසේකාර ජීවන රටාවකටය. ඇය කුසුම් කමලාවතීගේ නිවසට යෑම ගැන තද ලෙස විරුද්ධ වී තිබුණී. කමලාවති කපටි ගැහැනියක් බව ඇය කීප වතාවක්ම කුසුම්ට කීය. ඇය චාටුවෙන් ගෙදරදොරේ වැඩපල ටික කුසුම් ලවා කර ගන්න බව මවටද කීවාය. එහී ඇත්තක් නැත්තේද නැතැයි කුසුම්ටද තේරුණු මුත් කමලාවතීගේ නිවසට යාමට කුසුම් 'ඇඩික්ට්' වී තිබුණි.

නිමල් හතුරුසිංහ, කුසුම් ගැන සිතක් පහළ කරගත්තේ මේ කුසුම් ඔවුන්ගේ ගෙදරට යන එන අතරවාරයේ විය හැක. ඇත්තටම නිමල් කුසුම් ගැන සිතන්නට පෙලඹුණේ කුමක් අදහස් කර ගෙනදැයි හරි හැටි නොවැටහේ. නිමල් හොදාකාරවම තම මව වූ කමලාවතී ගැන දනී. ඔහුගේ පියා වු ඩ්‍රයිවර් මහත්තයාවද, පිරිමි දරුවන් ටිකද පාලනය කරනුයේ කමලාවතීය. ඇයට අවශ්‍ය වූයේ දරුවන්ව ඉහළ තත්වයට ගෙන විත්, ඉහළ පැලැන්තිවල අයට විවාහකර දීමටය. ඒ බව හොඳීන්ම නිමල් දැන සිටියද, ඊටත් වඩා හොදට, එය කුසුම් දැන සිටියාය. එවන් වට පිටාවක් මැද නිමල් කුසුම් ගැන සිතක් පහළ කර ගත්තේ ඇයි?.

එහෙත් මේ පිපී එන යොවුන් වියය. තහංචි දැමීමට හැකිද?. සුමිත්‍රා මෙම හැඟීම හදවතට කා වද්දන අන්දමට ඉදිරිපත් කිරීමට සමත් විය. අන් අතකට සුමිත්‍රා තේමා කරගත්තේද මේ හැඟීමය.

වට්ටි අම්මාගේ දුව යන අන්වර්ථ නාමය කුසුම්ට පාසැලෙදී නිතර වැදුණු ලේබලයකි. එලෙසම ඇයව හෙලා දැකීම්, උසුළු විසුළු පාසැලෙදී අනන්තවත් සිදුවිය. සුමිත්‍රා මේ සමාජ පරතරය, මෙන්ම ඒ පරතරයෙන් බැට කන කුසුම්ව හොදින් හසුරවා තිබුණි. ජයලත්, තම කෘතියට පද්මිණී වැන්නෙක් ගෙනත් තිබූ නිසා සුමිත්‍රාට තම කථා නායිකාවව මේ අවමන් වලින් බේරා ගැන්මට හැකි විය.

පද්මිණී කුසුම් යනු පරස්පර විරෝධි චරිත දෙකකි. මුලින් පද්මිණීද කුසුම්ව නොපිළිගත්තද, පසුව ඇය කුසුම් කව්ද යනු අවබෝධ කරගති. අවසානායේදී කුසුම්ව හරියටම තේරුම් ගත්තේද පද්මිණීය.

සුමිත්‍රාට, ජයලත් විසින් ලෙස්ටර්,සුමිත්‍රා ශෛලයට සරිලන වස්තු බීජයක් ලබා දී තිබුණි. එහෙත් මෙය ජයලත් චිත්‍රපටයකට යැයි කියා ලියූ කථාවක් නොව. ඔහුගේ කිසිම කෘතියක් චිත්‍රපටයක් ගැන සිහිනෙකින්වත් සිතාවත් ලියූවක් නොව. නමුත් පසුව ඒවා සිනමා කරුවන්ගේ අවධානයට පාත්‍රවිය. සුමිත්‍රා ඇයට ගැලපේ යැයි සිතූ කථාව තෝරාගති. ඇත්තටම 'ගැහැනු ළමයි' ඇයගේ සිනමාත්මක චින්තනයට ගෝචර විය.

කුසුම් හා නිමල්ගේ සබැඳීයාව මුලින්ම සහෝදර හැඟිමකින් පටන් ගැනුණා යයි විටෙක සිතේ. කුසුම් නිමල්ට කරන ආමාන්ත්‍රනය උඩ එසේ සිතීම සාධාරණය. ඇය නිමල්ට මුව පුරා කීවේ 'ලොක්කයියා' කියාය. ඇය තුල ලොක්කයියා ගැන ප්‍රේමණීය හැඟීමක් තිබුනාද යන්න කෘතිය ලියු කරුණාසේන ජයලත්ට පවා නොදැනුණේය. එහෙත් සුමිත්‍රා එය අනුමාන කළාය. ඇය තම කථා නායිකාවගේ දෑස් අතරේ එය හැංගුවාය. ඇතැම් විට නිමල් හතුරුසිංහට කුසුම්ගේ දෑස් තුළින් පෙනුණේ ඒ සුමිත්‍රා හැංගු ප්‍රේමයය.

නිමල් කුසුම්ට තම ප්‍රේමණීය හැඟීම ප්‍රකාශ කිරීමට ධෛර්යක් ලැබෙන්නට ඇත්තේ ඒ දැස් වල හැංගී තිබූ ප්‍රේමය දුටු නිසා වන්නට ඇත.

ඔවුන් දෙදෙනාගේ සිතේ ප්‍රේමයේ බීජය රෝපනය වන්නට පටන් ගන්නටත් ප්‍රථම, ඒ ඉව ලාවට හෝ දැනුණේ කමලාවතීටය. ඇයට තම පුතුට කීමට නැති ධෛරය කුසුම්ට කීමට තිබුණි. කමලාවතී මහ කට්ට වෙට්ටපිත්තල ගැහැණියකැයි සෝමා කුසුම්ට කීවේ ඒ නිසාය. සෝමාට කමලාවතීව පේන්න බැරි යයි කී හේතු අතරේ, කුසුම්ගෙන් වැඩ ගන්නා අතරේම හීන් නූලෙන් තම පුතුන්ව පරිස්සම් කර ගන්නා කපටි ක්‍රමයද විය. අන් අතකට කමලාවතී, සෝමා තම නිවසටවත් ඒමට අකමැති වූයේ 'ඕකි ආවොත් මගෙ කොල්ලො ඔක්කොමල්ලව ඩැහැ ගනීයි ' යන සිතුවිල්ල නිසාය. 'ඒක මට මහා කෙංගෙඩියක් නෙමෙයි. මම අක්කා වගේ නෝන්ජල් කෙනෙක් නෙමෙයි' කියා සෝමාද සිතන්නට පෙළඹුණේ, කමලාවතී ප්‍රායෝගීකව නොකෙරුවද, හිත තුල පුපුරු ගැසු සෝමාට කරන 'චැලේන්ජ්' එක අරබයාය.

රූරෑජන තරඟයට යෑම සඳහා සෝමාව කොළඹට රැගෙන යාමට කුසුම් සමඟ නිමල් එක්වූ දිනයේ මේ සියල්ලේම ආරම්භයත්, එදිනම එහී අවසානයත් සිදුවිය. නිමල්ට තම ප්‍රේමය කුසුම්ට ප්‍රකාශ කිරීමට එදින අවකාශය ලැබූ සේම, කුසුම්ට එය දයාබරව පිළිගෙන, ඉන් විනාඩි කීපයකින් ඒ දයාබරත්වයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට ධෛරය දී තිබුණේ කමලාවතීමය.

"උඹට විතරයි මගේ කොලුවව බේර ගන්න පූළුවන්, මට උඹව විශ්වාශයි කුසුම්' කියා කමලාවතී වෙලාසනම කුසුම්ට කීවේ ඒ අර සෝමා කී කට්ට කම නිසා නොවේදැයි කුසුම්ට නොසිතුණාම නොව.

'මම නැන්දට කවදාවත් ද්‍රෝහි වෙන්නෙ නැහැ' කියා කුසුම් කීවේ අවංකව වුවද, ගින්දරත් පුළුනුත් ඇවිලෙනවාමයි යන ස්ථීර පදනමේ කමලාවති සිටියේද සෝමා කී කට්ට කම නිසාය.

එහෙත් පද්මිණී ඒ කට්ට කම දුටුවේ නිමල් තුලිනි. නියම පිරිමියෙක් නම් අම්මලා, තාත්තලා ගැන නොසිතා තමාගේ ප්‍රේමය ගැන තීරණයක් ගත යුතුය. ඒ තීරණය තුළ නිමල්ගේ සහෝදරයනුත් සිටියේ ඔවුන් කුසුම් ට දැක්වූ දැඩි සහෝදරකම නිසාය..'අයියා කුඹුරෙ හිටපු ඉන්න වගේ වැනෙනවා. තනි තීරණයක් ගන්න කොන්ද පණ නැහැ' නිමල්ගේ සහෝදරයන් දොස් කීය. ඩ්‍රැයිවර් උන්නැහෙ පවා යටි හිතින් ප්‍රිය කළේ කවදා හෝ කුසුම් තම ලේලී වෙනවා නම් කියාය. එහෙත් නිවසේ සියලු තීරණ ගැනෙණුයේ කමලාවතීය. එයට ඩ්‍රැයිවර් උන්නැහේ පමණක් නොව, නිමල් හතුරුසිංහටද යටත් වෙන්නට සිදුවිය.

පද්මිණී නිමල්ට චෝදනා කළේ ගුරු පත්වීමක් ගෙන තමා ඉගෙන ගත් පාසැලටම පැමිණීම ගැනය. ඒ හිතාමතාම තවමත් එහී ඉගෙන ගන්නා කුසුම් ගේ හිත පාරන්නටය. තම මව ඉදිරියේ රූකඩයක් වන නිමල් අම්මටත් වඩා කට්ටයැයි පද්මිණී සිතන්නට විය. සිතුවා පමණක් නොව, ඇය එය නිමල්ට දනවන්නට ක්‍රම සහ විධි සොයා ගෙන, නිමල්ට සිතෙන් විදවන්නට සැලැස්සිය. මෙයින් තවත් වේදනාවට පත්වූයේ කුසුම්ය.

ජයලත් කුසුම්ගේ ජීවිතයට අස්වැසිල්ලක් දුන්නේම නැත.ඇයව දරිද්‍රතාවය පතුලටම ඇද දැම්මේය, පාසැලේ උසුළු විසුළු වලට ලක් කෙරීය. ප්‍රේමය උපද්දවා ඒ මොහොතේම මරා දැමීය. එතැනින්ද නොනැවතී තම නැගනීයව රූප සුන්දරියක් කර, ඇයව විනාශ කර දැමුවේ සෝමාගේ බඩට පියෙක් නැති දරුවෙක් ලබා දී අවසානයේ ඇයව අතුරුදහන් කිරීමෙනි.

එහෙත් හතුරුසිංහ පවුලට සියලු යස ඉසුරු ලබා දුනි. කමලාවති අහස ඇල්ලුවේ තම පුතු නිමල් ආදායම් පාලක ලෙස ගමට පත්වී ආ දිනයේය. ඒ වන විට කුසුම් සිට්යේ පාසැල් අධ්‍යාපනය නතර කර අතුරු දහන් වූ සෝමාගේ ළමයා බලා ගැනීමෙනි. ධනේශ්වරය හමුවේ දුප්පතුන් විනාශවෙන්නෙ පහන් එළියට අසුවූ මෙරුවො වගේය. සුමිත්‍රාටද විකල්පයක් තිබුනේ නැත

කුසුම්ව ඒ දරිද්‍රතාවයේම ගිල්වනවා හැරෙන්නට.

මනා සංයමයකින් සුමිත්‍රා 'ගැහැණු ළමයි' කෘතිය ස්පර්ෂ කරමින් ඒ තුළින් සිනමාත්මක කාව්‍යක් නිර්මාණය කළාය.

විශලෙ ගවේෂනයකින් පසු ඇය කුසුම්ව සොයා ගත්තාය. ඩොරින් පීටර්සන්, වසන්ති චතුරාණි වී පසුව කුසුම් ලියනගේ වී සදාතනික විය. කරුණාසේන ජයලත් පිටු ගනන් ලියූ කුසුම්ගේ ශෝකාන්තය, පරාජීත්වය,විරහව, ,දරාගැනීමෙ ශක්තිය, ඒ සියල්ලම වසන්ති චතුරාණි ගේ මුහුණේ තිබුණි. සුමිත්‍රාට ඇය ව හැසුරවීමට විශාල ප්‍රයත්තයක් දැරීමට සිදුවූයේ නැත. කුසුම් ලියනගේ, උපද්දවීමටත් පෙර, එය වසන්තිගේ ලේ වල තිබුණි. කුසුම්ගේ ප්‍රේම විරහව වසන්තිගේ දැස් අතරින් දිලිසුනු කඳුලු බිඳු වල රැඳී තිබුනී.

මඩොල්දූවේ උපාලි ගිනිවැල්ලට, විශාල ප්‍රයත්නයක් දැරීමට සිදුවිය. ඒ නිමල් සතුරුසිංහ වීමටය..ඔහු නිමල්ට ප්‍රවේශවන විට, සුමිත්‍රා බලා සිටියා පමණක් බව දැනුණි. ඒ වන විට වසන්ති, නොදැනුවත්වම තම ආධිපත්‍ය චිත්‍රපටය පුරාවටම විහිදවා තිබුණි. අජිත් ජිනදාසට සිදුවුයේ හිඩැස් තිබුණහොත් ඒ අතරින් රිංගීමටය. ශ්‍යාමා ආනන්ද පද්මිණි ලෙස හොඳ තේරීමක් විය. කමලාවතී ජයලත්ගෙ පොත තුල ජවසම්පන්නය. නමුත් චිත්‍රපටය තුල මද බවක් දැනුනි. චිත්‍රා වාකිස්ටට දුන්නු තල්ලුව ප්‍රමාණවත් නොවීය.. ට්‍රිලිෂියා ගුණවර්ධන ට වට්ටි අම්මාගේ චරිතය ගැලපෙන් නැති බවක් හැඟුනි. සෝමා වූ ජෙනිටා සමරවීර කැපී පෙනුනි.

සුමිත්‍රා පීරිස් නවකථාව, නව කථාවක් ලෙස චිත්‍රපටයට නැගුවේ නැත. ඇය වඩාත් ඉස්මතු කරන්නට තැත් කළේ ප්‍රේමයේ වියෝවයය. ඉන් ලැබෙන සෝ ළතැවුල්ය. සුමිත්‍රා තමාගේ සිනමා භාෂාව ඉදිරිපත් කළේ වසන්ති චතුරාණීගේ දෑස් හරහාය. ඒ දෑස් තුළ රැඳී තිබුනේ කුසුම්ගේ කථාවය. සුමිත්‍රා කළේ වසන්තිගේ දෑසට ඇඟිල්ලෙන් ඇනීම පමණී. කුසුම් ,වසන්තිගේ දැසින් එළියට පැන්නේ ඉන් පසුවය.

 

"වියෝ ගී ගැයෙනා හදේ

ආදර මල් නොමියේ

සදා මේ සංසාරයේ

අපේ හමුවීම නොවේ

අතීතයේ මායා, රූ නැඟී බිඳී යාවි

අනාත වූ මා දෑසේ

කතා නිමා වේවි"

 

(ලබන සතියේ තවත් චිත්‍රපටයක්)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.