තවත් නෑයෙක් සමුගත්තේය

ම්‍රිනාල් සෙන්
ජනවාරි 10, 2019

1913 වසරේ දී ඉන්දීය සිනමාවේ ආරම්භය සටහන් වූයේ, දාදාසහබ් පාල්කේ අධ්‍යක්ෂණය කළ 'රාජා හරිශ්චන්ද්‍ර' චිත්‍රපටයෙනි. හින්දි, දෙමළ, තෙළිඟු යන සිනමා කර්මාන්ත ප්‍රධාන කොටගෙන කණ්ණඩ, මලයාලම් වැනි සිනමා කර්මාන්තයන් ගෙන් ද සමන්විතව සුවිශාල වපසරියක පැතිර ගිය ඉන්දීය සිනමාව‍ නව දිශානතියකට යොමු කිරීමේ ගෞරවය ඉන්දීය සිනමාවේ මහා සිනමාකරුවන් තිදෙනෙකු වන සත්‍යජිත් රායි ( 1921-1992), රිත්වික් ඝටක් (1925-1976) සහ ම්‍රිනාල් සෙන් (1923 - 2018) හට හිමි වේ. බෙංගාලි සිනමාව හරහා ඉන්දීය සිනමාව ලද සුවිශේෂ දායාදයන් වූ මේ මහා සිනමාකරුවන් තිදෙනා අතරින් ජීවතුන් අතර සිටි අවසන් පුද්ගලයා වූ ම්‍රිනාල් සෙන් ද පසුගිය 2018 වසරේ දෙසැම්බර් 30 වැනිදා දිවි රඟ මඬලින් සමු ගත්තේය. 95 වැනි වියේ පසු වූ ම්‍රිනාල් සෙන් කල්කටාවේදී අවසන් සුසුම් හෙළූයේ හෘද්‍යාබාධයකිනි.

සමාජ යථාර්ථය කලාත්මකව නිරූපණයෙහි ලා කටයුතු කළ ඔහු, සත්‍යජිත් රායි, රිත්වික් ඝටක් සමඟින් බෙංගාලි සිනමාව ඉන්දීයාවේ ප්‍රධාන සිනමා කර්මාන්තයක් ලෙසින් ඉදිරියට ගෙන ඒමට පුරෝගාමී විය. 1950 වසරේදී සිනමාවට පිවිසි සත්‍යජිත් රායි, 1952 වසරේදී සිනමාවට පිවිසි රිත්වික් ඝටක් සහ 1955 වසරේදී සිනමාවට පිවිසි ම්‍රිනාල් සෙන් අතර පැවතියේ, අපූරු මිත්‍රත්වයකි. සත්‍යජිත් රායි සහ ම්‍රිනාල් සෙන් එකිනෙකාගේ සිනමා නිර්මාණ දකින අයුරු ප්‍රකට වූයේ විවෘත සංවාද ලෙසිනි. මෙම සංවාද විවෘත ලිපි පෙළක් ලෙස 1965 වසර ආසන්න කාලයේදී 'The Statesman' පුවත්පතේ පළ විය. ඉහල ජනප්‍රියත්වයක් ලද එම ලිපි පෙළට ලිපි 19ක් ඇතුළත් විය. විශිෂ්ට ජපන් සිනමාවේදී අකිර කුරසොව, සත්‍යජිත් රායි හා ප්‍රංශ සිනමාවේදී ෂාන් ලූක් ගොඩාඩ් යන අග්‍රගණ්‍ය සිනමාකරුවන් සිය තිරපිටපත් රචනයේදී කටුසිතුවම් භාවිත කළ අතර එය අළලා සෙන් උක්ත සංවාද ලිපියක මෙසේ සඳහන් කර ඇත. "මම චිත්‍ර ඇඳීම විශ්වාස කරන කුරසොව හෝ සත්‍යජිත් රායි නෙවෙයි. ඒ වගේම ගොඩාඩ් කෙනෙකුත් නෙමෙයි, මට ඒක කරන්න බැහැ. ඇත්තටම මට එක ඉරක්වත් අඳීන්න බැහැ". මේ අතර සෙන්ගේ 'Akash Kusum' චිත්‍රපටයේ තිරරචනය ගැන වරෙක රායි සටහන් කළේ,'Akash Kusum' චිත්‍රපටයේ තේමාවේ ආචාරශීලිබව ඔහුට ඇති කළේ ගැටලුවක් බවයි. තවත් වරෙක සෙන්, රායිගේ නිර්මාණ පිළිබඳ මෙවැනි අදහසක් පළකර තිබුණි. "ඔහුගේ  'Abhijan','Aranyer Din - Ratri' ~ƒ 'Asahni Sanket' චිත්‍රපටවලට මා ප්‍රිය කරන්නේ නැහැ. මම එය සාධාරණ හේතු සහිතව විවෘතව පවසන්න කැමැතියි. කෙසේ වෙතත් අප දෙදෙනාම වාණිජ සිනමාවට සහය වුණේ නැහැ. 'Aparajito' චිත්‍රපටය ඔහුගේ හොඳම නිර්මාණය ලෙසින් මා සැමදා අගය කරනවා" සෙන් එහි සටහන් කළේය.

1960,70 දශක තුළ ඉන්දීය සිනමාව නව මාවතකට හැරවීමට මූලික වී කටයුතු කළ ම්‍රිනාල් සෙන් කොමියුනිස්ට්වාදීයෙකු බව ප්‍රකට අතර ඇතැමුන්, කැමරාව සහ සෙලියුලෝයිඩ් පටය ඔහුගේ අදහස් විකාශනය කිරීමේ මෙවලම් ලෙසින් හඳුන්වා ඇත. කෙසේ නමුත් ඉන්දීය සිනමාවට නව දැක්මක් ගෙන ආ සිනමාකරුවා ලෙසින් ම්‍රිනාල් සෙන්හට සුවිශේෂි ස්ථානයක් හිමි වේ. එතෙක් පැවති පැරණි සම්ප්‍රදාය අතහැර ඔහුටම ආවේණික ක්‍රමයක් ඔස්සේ නිර්මාණය කිරීමට උත්සුක වෙමින් ඔහු ඉන්දීය සිනමාවට නව රැල්ලක් ගෙන ආවේය. "මිනිසුන් මගේ සිනමා දර්ශනය හඳුන්වන්නේ සම්ප්‍රදාය ප්‍රශ්න කිරීමක් ලෙසින්" යැයි ප්‍රේක්ෂකයා තමා පිළිබඳ සිතන්නේ කෙසේ ද යන්න සෙන් වරෙක පවසා තිබුණි. සෙන්ගේ බොහෝ සිනමා නිර්මාණයන් රායිගේ නිර්මාණයන් මෙන් සුඛාන්තයකින් හෝ නිශ්චිත නිගමනයකින් නිම නොකිරීමට ඔහු වගබලා ගත්තේය. විශේෂයෙන්ම ඔහුගේ පසුකාලීන බොහෝ චිත්‍රපටයන්හි දී තිරරචනය නොහොත් කතාව සම්පූර්ණ කර ගැනීම ප්‍රේක්ෂකයන්ට භාර විය. ඔහු සිය නිර්මාණයන් ගෙන් ප්‍රේක්ෂකයාට ඒ සඳහා එකතු වන මෙන් ආරාධනා කළ සෙයකි. තවත් ලෙසකින් කිවහොත් අධ්‍යක්ෂවරයා 'සර්වබලධාරි' ලෙස සිය මතය ප්‍රේක්ෂකයින් වෙත ඔබ්බනවා වෙනුවට ප්‍රේක්ෂකයින්ට ස්වකීය විවිධාකාර නිගමනයන්ට එළඹීමේ අවස්ථාව උදාකර දී තිබිණි. සෙන්ගේ 'Oka Oori Katha' (1977) චිත්‍රපටය නරඹා රායි විසින් වරක් මෙසේ පවසා තිබුණි. "මට ඔහු (ම්‍රිනාල් සෙන්) ගැන ඊර්ෂ්‍යාවක් දැනෙනවා. ඔහු බොහෝ විට අප (රායි සහ ඝටක්) අභිභවා යාවි".

එකල පැවති සමාජ සංවේදීතා හා සිරිත් විරිත් නිරන්තරයෙන් ඔහුගේ සිනමා කෘති තුලදී ප්‍රශ්න කෙරුණු අතර ඒ නිසාම තමා අවට සිටි මිනිසුන් හොඳීන් අවබෝධකර ගන්නට සමත් වූ නිර්මාණකරුවෙකු ලෙසින් ඔහු හැඳීන්විණි. සමාජමය ගැටලු සිනමාව ඔස්සේ ගෙන ඒමේදී ඔහු සතු වූ මිනිසුන් හඳුනා ගැනීමේ මෙම විශේෂ හැකියාව ඔහුට මහත් පිටුබලයක් වී ඇති බව විචාරකයින්ගේ අදහසය. 60 දශකය මැද භාගයේදී නැක්සලයිට් ව්‍යාපාරය සමඟින් මං මාවත් ලෙයින් නැහැවී ගිය සමයේදී රට තුළ පැවති දේශපාලන ගැටලු ද ග්‍රහණය කරමින් නාගරික ජනතාව අවදිකරවන සිනමා නිර්මාණ සෙන් අතින් නිර්මාණය විණි. ඔහුගේ බොහෝ නිර්මාණවල (1961 - 1996) තමන් හැදීවැඩුණු කල්කටාවට වැදගත්, ගෞරවාන්විත ස්ථායක් ලබා දී තිබුණි. කල්කටාවේ මිනිසුන්, සදාචාර, පංතිභේදය පමණක් නොව මාං මාවත් හා නගරය ද ඔහු සිය නිර්මාණයන්හි මනා ලෙස සිතුවම් කොට තිබුණි. 70 දශකය වන විට සෙන් විසින් ඉන්දීය සිනමාව තුල නිර්මාණය කළ නව රැල්ල, රායි සහ ඝටක් අභිභවා ඔහු ඉදිරියට ගෙන ඒමට සමත් විය.

ම්‍රිනාල් සෙන්ගේ පළමු සිනමා නිර්මාණය වූයේ 'අචචබ ඕඩධපඥ' (1953) චිත්‍රපටය යි. 'Raat Bhore' (1970), 'Interview'(1970), 'Calcutta 71' (1972), 'Padatik' (1973)  තුන් ඈඳුතු චිත්‍රපටය සෙන්ගේ විශිෂ්ටතම සිනමා නිර්මාණ ලෙස සැලකෙන අතර එකල කල්කටා නගරය තුළ පැවති පන්ති අරගලය ඒ ඔස්සේ නිරූපණය විය.

ඔහුගේ 'Neel Akasher Neechey' (1959) චිත්‍රපටයෙන් මිනිසුන්ගේ මානුෂීය ගුණධර්ම ගැන ගැඹුරින් කතාබහට ලක් වූ අතර 'Baishey Shravan'(1960) චිත්‍රපටයට ජාත්‍යන්තර අවධානය ද සමඟින් ඉහළ විචාරක පැසසුම් හිමි විය.

ඔහුගේ 'Bhuvan Shome' (1969) චිත්‍රපටය ඉන්දීය රජයේ ආධාර මත නිර්මාණය වූවක් වන අතර එය ඉන්දීය නව සිනමාවේ හැරවුම් ලක්ෂයක් ද විය. 1977 වසරේදී තිරගත කෙරුණු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් පීඩිත ස්වදේශීය ගම්වැසියන්ගේ ජීවිත දෙස හැරී බැලූ 'Mrigayaa' චිත්‍රපටය පෞද්ගලික සබඳතා සහ ග්‍රාමීය ජීවිතය පිළිබඳ ගැඹුරින් විග්‍රහයක යෙදුණු සෙන්ගේ තවත් සිනමා නිර්මාණයක් විය. බොලිවුඩ් සිනමාවේ ඉහල ජනප්‍රියවයක් ලද මිතුන් චක්‍ර බෝර්තිගේ කුලුඳුල් සිනමා රංගනය වූයේ ද ර්පඪඨචරචච චිත්‍රපටයේ ප්‍රධාන චරිතය යි. එම රංගනය ඔහුට ඉන්දීය ජාතික සිනමා සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා දුන් අතර සෙන් හොඳම අධ්‍යක්ෂවරයා ලෙසින් පිදුම් ලැබීය.

කල්කටා දේශපාලනයේ ව්‍යාකූලත්වයක් මතු වෙමින් තිබූ කාලයකදී නිර්මාණය කෙරුණු 'Kharij'(1982) චිත්‍රපටය ගෙන එන්නේ, තරුණ යුවලක් වෙසෙන මධ්‍යම පාන්තික නිවසක මෙහෙකාර සේවයේ යෙදුණු බාලවයස්කාර දරුවෙක් ගැන වූ කතා පුවතකි. මෙහි සඳහන් දරුවාගේ නිදන කාමරය වන්නේ ද එම නිවසේ මුළුතැන් ගෙය වන අතර මේ හේතුවෙන් කාබන් මොනොක්සයිඩ් විෂ වී එම දරුවා මරණයට පත් වේ. දරුවාගේ මරණයෙන් තමන් වෙත එල්ල විය හැකි සමාජ විරෝධතාවයත්, අපකීර්තියත්, වරදකාරී හැඟීමත් යන ඒවායෙන් පෙළනු ලබන මෙම තරුණ යුවල දරුවාගේ පියා අස්වැසීමට යම් උත්සාහයක නිරත වේ. මෙම අවස්ථාවේදී තම දරුවාගේ වියෝවෙන් දැවෙමින් සිටියද මෙම පියා සිය ගෞරවාන්විත බව ප්‍රදර්ශනය කරමින් නිහඬවම ගම්මානය බලා නික්ම යයි. මෙම චිත්‍රපටය එකල මධ්‍යම පාන්තික සමාජය මහත් කම්පනයකට පත් කළ අතර එය නාගරික මධ්‍යම හා ඉහළ මධ්‍යම පාන්තික සමාජයේ ජීවන රටාව පවා වෙනස් කරන්නට සමත් විය.

කාන් සිනමා උලෙළක දී තිරගත වුණු සෙන්ගේ පළමු චිත්‍රපටය වන්නේ 'Ek Din Pratidin'(1980) චිත්‍රපටය යි. එක් රාත්‍රියක සිය රැකියාව නිමවා නිවසට ආපසු ඒමට අසමත් වූ කාන්තාවකට ඇයගේ පවුලේ සාමාජිකයන් දක්වන ප්‍රතිචාරයත් එයට ඇය මුහුණ දෙන ආකාරයත් මෙම චිත්‍රපටයේ නිරූපිතයි. 'Ek Din Pratidin' චිත්‍රපටයෙන් පසු පැවති සම්මුඛ සාකච්ඡාවකදී සෙන් පවසා මෙසේ පවසා ඇත. "මේ දක්වා මා විසින් සිදු කළේ පිටස්තර සතුරන්ට ඇඟිල්ල දිගුකරන එකයි. නමුත් 'Ek Din Pratidin' චිත්‍රපටයෙන් පසු මම ආත්මය සොයා යන ගමනකට එක් වුණා. සරලව පැවසුව හොත් අප තුළම සිටින සතුරන්ට එරෙහිව කෙරෙන සටන ඇරඹුණේ එදින යි". මේ මහා සිනමාකරුවාගේ අවසන් සිනමා අධ්‍යක්ෂණය වූයේ, 2002 වසරේ තිරගත කෙරුණු 'Aamaar Bhuvan' චිත්‍රපටය යි. සෙන් සිය නිර්මාණ දිවිය තුළ අන්තර්ජාතික සම්මාන රාශියක් හිමිකර ගත්තේය. කාන්, බර්ලින්, වැනිස්, මොස්කව්, කාර්ලවි වාරි, මොන්ට්‍රියල්, චිකාගෝ, කයිරෝ ආදී සියලුම අන්තර්ජාතික සිනමා සම්මන උලෙළයන්හි පාහේම ඔහුගේ නිර්මාණ ඇගයීමට ලක්විණි.

ම්‍රිනාල් සෙන් 1923 වසරේ මැයි 14 වැනිදා හින්දු පවුලක උපත ලැබූයේ, ෆරිද්පූර් (වර්තමානයේ බංග්ලාදේශයට අයිති) හිදීය. ෆරිද්පූර්හි හැදී වුඩුණු ඔහු ස්කොට්ලන්ත පල්ලියේ පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය ලැබුයේ භෞතික විද්‍යා අංශයෙනි. ඉන්දියාවේ කොමියුනිස්ට් ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කළ සෙන් කිසිදිනෙක සිය උපාධිය සම්පූර්ණ නොකළේය. සිනමාව කෙරෙහි ඔහුගේ ආකර්ෂණයට බලපෑම් කළේ, සාහිත්‍ය කෘති පරිශීලනය යි. කලක් ඔහු මාධ්‍යවේදියෙකු ලෙසත්, ඖෂධ බෙදාහරින්නෙකු ලෙසත් කල්කටාවේ සිනමා චිත්‍රාගාරයක ශ්‍රව්‍ය උපකරණ ශිල්පියකු ලෙසත් රැකියාවේ නිරත විය.

සිනමාව සෙන්ගේ ජීවිතයම නොවීය. ඔහුගේ පෞද්ගලික ජිවිතයේ සාමාජිකයන් දෙදෙනෙක් විය. බිරිය ගීතා සෙන්, ඔහුගේ පළමු විචාරකයා ද වන්නීය. ඇය ඔහුගේ සිනමා නිර්මාණයක් ආරම්භයේ සිටම එම විචාරය සිදු කරන්නේය. නිළියක වූ තම මවගෙන් පියාගේ සිනමා ගමනට සිදු වූ මෙම පිටුබලය පුතු කුනාල් සිහිපත් කරන්නේ අපිරිමිත සෙනෙහසිනි. සෙන් චිත්‍රපටයක දෙබස් රචනාකර ඒවා පළමුවෙන් පවසන්නේ ගීතාහටයි. සාවදානයෙන් ඒවා අසා සිටින ගීතා එහි ගුණ දොස් කියන්නීය. සෙන්ගේ 'Calcutta 71' (1971), 'Kharij' (1982), 'Khandhar' (1984) චිත්‍රපටවල ගීතාගේ රංගනයන් විශේෂ වේ. දැවැන්ත සිනමාකරුවෙකු වූ පියාගේ සහ මවගේ මෙම අපූරු සහයෝගීතාව පුතු කුනාල්ට වටිනා සිහිවටනයකි. ඔහු තම පියා සහ මවගේ විවාහය දකින්නේ, එකම මට්ටමක විද්වතුන් දෙදෙනෙකුගේ එක්වීමක් ලෙසිනි. 2016 වසරේදී සාවද්‍ය තොරතුරකට අනුව දූරදර්ශන් රූපවාහිනිය ද ඇතුළුව මාධ්‍ය මඟින් ම්‍රිනාල් සෙන් මිය ගිය පුවතක් ප්‍රසිද්ධියට පත් කළ අතර එය ඇසුණු විගසින් අවමංගල්‍ය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් බටහිර බෙංගාලයේ සංස්කෘතික අමාත්‍යවරයා සෙන්ගේ නිවසට යන විටත් ඔහු විවේකීව නිවසේ සිටි බව වාර්තා කෙරුණා.

1981 වසරේදී ඉන්දීය රජය විසින් සිවිල් පුරවැසියෙකුට පිදෙන තෙවැනි ඉහළම සම්මානය වන පද්ම භූෂණ සම්මානය ම්‍රිනාල් සෙන් වෙත පිළිගැන් වූ අතර 2005 වසරේදී ඉන්දීය සිනමාවේ ඉහළතම සම්මානය වන දදාසහබ් පාල්කේ සම්මානයෙන් පුදනු ලැබීය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.