සිව් වැනි තම්පෝ පරපුරත් සිනමාවට

ජනවාරි 17, 2019

ලාංකික සිනමාවේ මුල්වරට පරම්පරා හතරක් නියෝජනය කරමින් සිනමා ක්ෂේත්‍රයට දායකවීමේ විරල අවස්ථාවක් සරසවියට වාර්තා විය.

ලාංකික සිනමාවේ යුගයක් රජ කළ තම්පෝ පරපුර නියෝජනය කරමින් එහි සිව්වැන්නා සිනමාවට එක් වූයේ ඕස්ට්‍රේලියාවේ තැනෙන චිත්‍රපටයක සහාය කැමරා අධ්‍යක්ෂ හැටියටය.

තම්පෝ නාමය දේශීය සිනමාව හා බැඳුණේ පනහ දශකයේ අග භාගයේදී පමණය. සිංහල සිනමාවට එක් වූ පළමු තම්පෝ වන්නේ ඩබ්ලිව්. එම්. එස්. තම්පෝය. මීනා මූවිස් සමාගම මඟින් සැමියා බිරිඳගේ දෙවියාය, සතුටයි කඳුළුයි, සේපාලි, ළඳක මහිම ආදී සිනමාපට ඔහුගේ අධ්‍යක්ෂණයන්ය. ඩබ්ලිව් එම්. එස්. තම්පෝගේ පුත් රොබින් තම්පෝ දෙවැනි පරපුරේ නිර්මාණකරු වන අතර සුහද දිවි පිදුම, සුවිනීත ලාලනි, සුදු සඳේ කළුවලා, පික් පොකට්, සුරේඛා වැනි අතිශය ජනප්‍රිය සිනමාපට නිර්මාණය කළේය.

රොබින් විසින් ගොඩ නඟන ලද ආර්. ටී. චිත්‍රාගාරය ද එකල ජනප්‍රියම ච්ත්‍රාගාරයක් විය. රොබින් තම්පෝගේ ආදරණීය පුතු සංජීව තම්පෝ සහ දියණි විලාසිනි තම්පෝ ද සිංහල සිනමාවට සම්බන්ධ වූහ. සංජීව චිත්‍රපට ආනයනකරුවකු මෙන්ම චිත්‍රපට ශාලා හිමිකරුවකු ද වෙයි. විලාසිනි සිනමාව පිළිබඳ කථිකාචාර්යවරියකි. ඇය විසින් රචනා කරන ලද සුමිත්‍රා පීරිස් හා රොබින් තම්පෝ පිළිබඳ ග්‍රන්ථ වැදගත් සිනමා ග්‍රන්ථ වෙයි. සිව්වැනි පරම්පරාව නියෝජනය කරන අන්තෝනියෝ රොබින් තම්පෝ සංජීවගේ පුතණුවන්ය. ඔහු මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිනමාව පිළිබඳ අධ්‍යාපනය හදාරයි.

ඔහු කෙටි චිත්‍රපට යුගලක් නිර්මාණය කළේය. ඒ හන්ට් සහ ඩොන්ට් කෝල් මී බියුටිෆුල්ය. ලංකාවේ ඉපිද වත්මනෙහි ඉන්දියන් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කරන ඇලන් ඉල්ලන්තිරියන් ආරුමුගම් නිර්මාණය කළ අයියායි සිනමාපටයේ නිෂ්පාදන කණ්ඩායමේ අන්තෝනියෝ ද සාමාජිකයෙක් විය.

ඇන්තෝනියෝගේ අදහස සිය පරපුරේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමය. ඒ වාගේම ඔවුනගේ මතකයන් අන්තර්ගත වූ කෞතුකාගාරයක් සෑදීමට ද අන්තෝනියෝ සැලසුම් කරයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.