රූපාන්තරණය වූ පතිරාජ

ජනවාරි 24, 2019

මහා සිනමාවේදී ධර්මසේන පතිරාජයන්ගේ අභාවයෙන් වසරක් පිරීම නිමිත්තෙනි. ඔහු උපන්නේ 1943 මාර්තු 28 වන අතර අභාවප්‍රාප්ත වූයේ 2018 ජනවාරි 28 වැනිදාය.

‘සතුරෝ’ කෙටි චිත්‍රපටයෙන් සිය සිනමා ගමන ආරම්භ කළ ‘අහස් ගව්ව‘ සිට ‘ස්වරූප’ දක්වා වෘත්තාන්ත චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ ලාංකික සිනමාවේ අතිශය දේශපාලනික, විප්ලවීය සිනමාකරුවා වන ධර්මසේන පතිරාජ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ අභූත රූපී (ඒඡඵභපඤ) නාට්‍ය රචකයෙකු හා නිෂ්පාදකවරයකු ලෙසිනි.

1970 සැප්තැම්බර් 8 වනදා හැව්ලොක්ටවුන් ලුම්බිණි රඟහලේදී මුල්වරට රඟ දැක් වූ ධම්ම ජාගොඩ නිෂ්පාදනය කළ ‘කොරා සහ අන්ධයා’ වේදිකා නාට්‍යය පතිරාජගේ රචනයකි. ‘කොරා සහ අන්ධයා’ සිංහලෙන් රචනා කළ ප්‍රථම අභූත රූපී නාට්‍යය ලෙස සැලකේ.

1971 මාර්තු 5 දා, එනම් ජනතා විමුක්ති පෙරමුණේ පළමු තරුණ කැරැල්ල ඇරැඹීමට හරියටම මාසයකට පෙර ලුම්බිණි රඟහලේදී වේදිකා ගත කළ අභූත රූපී නාට්‍ය කලාවේ පුරෝගාමියෙකු වූ ඉව්ජිත් අයනෙස්කෝ ගේ ‘ද චෙයාර්’ නාට්‍යයේ අනුවර්තනය වූ ‘පුටු’ නිෂ්පාදනය කළේ ද ධර්මසේන පතිරාජය.

මා මෙහිදී හැත්තෑ එකේ කැරැල්ල පිළිබඳ විශේෂ සඳහනක් කරන්නේ ‘සතුරෝ’, ‘අහස් ගව්ව‘, ‘මතු යම් දවස’ වැනි චිත්‍රපට මඟින් තරුණ අසහනය හා පීඩනය ප්‍රතිනිර්මාණය කළ පතිරාජ බොහෝ කොට විශ්වවිද්‍යාල ආශ්‍රිත හා ග්‍රාමීය තරුණ කොටස් සම්බන්ධ වූ හැත්තෑ එකේ කැරැල්ල සමඟ අනන්‍ය නොවූ බව උපුටා දක්වන්නටය.

ඉන් සනාථ වන්නේ ලාංකික සිනමාවේ විශේෂ කොට සැලකීමේදී සිංහල සිනමාවේ අතිශය දේශපාලනික සිනමාකරුවා වන පතිරාජ දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් වියුක්ත වූවකු බව නොවේ. ට්‍රොට්ස්කිවාදියෙකු වීම නිසා 71 කැරැල්ල හෝ ජවිපෙ සමඟ මතවාදීමය ලෙස සම්බන්ධවීමක් සිදු නොවූ බව පතිරාජ සඳහන් කොට ඇත. ඔහු පවසන්නේ 71 කැරැල්ල තමන්ට පිටින් සිදු වූ සංසිද්ධියක් බවයි.

විශ්වවිද්‍යාල සිසුවකුව හිඳිමින්ම සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තනේ කතාව‘ චිත්‍රපටයට තිර රචනයෙන් දායක වූ පතිරාජ විශ්වවිද්‍යාල ජීවිතය හමාරවීමෙන් පසු 1969 දී ‘සතුරෝ’ කෙටි චිත්‍රපටය නිර්මාණය කළේය.

‘සතුරෝ’ කෙටි චිත්‍රපටයට ප්‍රස්තූත වන්නේ නාගරික සමාජ පසුබිමක වෙසෙන, විරැකියාවෙන් පෙළෙන නිර්ධන පාංතික තරුණ පරපුරේ ඛේදවාචකයයි. 1970 දී පැවැති තුන්වැනි විචාරක සම්මාන උලෙළේදී ‘සතුරෝ’ කෙටි චිත්‍රපටයට විශේෂ ගෞරව සම්මාන සහතිකයක් පිරිනැමුණු අතර රැකී රක්ෂා වියුක්තිය පදනම් කරගෙන තරුණ පරපුර මුහුණ දෙන අසහනය අවබෝධයකින් යුක්තව ග්‍රහණය කොට ගත් චිත්‍රපටයක් ලෙස විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍ර විය.

‘සතුරෝ’ කෙටි චිත්‍රපටයේ දිගුවක් හෝ විස්තාරණයක් ලෙස සැලකිය හැකි ‘අහස් ගව්ව‘ වෘත්තාන්ත චිත්‍රපටයේ පතිරාජ යොදා ගන්නේ ඉතා නිදහස් සිනමා ප්‍රකාශන ශෛලියකි. 1960 දශකයේ සිට දරුණු ලෙසින් සමාජ දේහය අභ්‍යන්තරය පැසවමින් තිබූ, 1971 දී පුපුරා ගිය යෞවන ප්‍රශ්න දෙස පෙරළිකාර පුළුල් දෘෂ්ටියකින් බැලීමට ධර්මසේන පතිරාජ උත්සුක විය.

‘කලාව ජනතාව සඳහාය’ යන සංකල්පය ප්‍රචාරකවාදී කලාවක් සඳහා අර්ථ ගන්වා ගත් කලාකරුවන් සිය නිර්මාණ මඟින් සෘජු දේශපාලන ප්‍රචාරක පණිවුඩ නිකුත් කරද්දී, එසේම සමාජ ආර්ථික කේන්ද්‍රයේ වඩාත් තීරණාත්මක සංධිස්ථානයක් සටහන් වූ වකවානුවක බිහි වූ ‘අහස් ගව්ව‘ පොදු ප්‍රේක්ෂකයාට මතු නොව සිනමා විචාරකයන්ට ද ගෝචර නොවීය. නැතහොත් ග්‍රහණය කොට ගැනීම අසීරු විය.

1974 දී තිරගත වූ ‘අහස් ගව්ව‘ යනු සිංහල සිනමාවේ කඩඉමක් වන්නා සේම නවයුගයක මූලාරම්භය සනිටුහන් කළ චිත්‍රපටයකි. ඉන්දීය මොඩලයට හැඩ ගැසුණු සිංහල සිනමාව චිත්‍රාගාරයෙන් පිටතට ගෙන ඒමේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කැරැල්ලෙන් පසු මතවාදීමය ලෙස පිමි ගණනාවක් ඉදිරියට ගෙන යමින් යථාර්ථවාදී රීතියකින් දේශපාලන කතිකාවකට එළැඹෙන්නේ ධර්මසේන පතිරාජ නම් වූ විප්ලවීය කැරැලිකරුවාය.

තිරගත වූ ‘අහස් ගව්ව‘, ‘එයා දැන් ලොකු ළමයෙක්’, ‘බඹරු ඇවිත්’, ‘පොන්මනී’, ‘පාර දිගේ’, ‘සොල්දාදු උන්නැහේ’, ‘මතු යම් දවස’, ‘සක්කාරං’ හා ‘ස්වරූප’ යන වෘත්තාන්ත චිත්‍රපට අතරින් සිය දේශපාලනික සිනමා ගමන් මඟෙන් පීලි පනින අවස්ථා කිහිපයක් දක්නට ලැබෙන නමුදු සමස්තයක් ලෙස ගත කල පතිරාජගේ සිනමාව ලාංකික සිනමා ඉතිහාසයය තුළ කඩඉම සනිටුහන් කරන බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

‘බඹරු ඇවිත්’, ‘පාර දිගේ’, ‘සොල්දාදු උන්නැහේ’ හා ‘ස්වරූප’ යන චිත්‍රපට පතිරාජගේ දේශපාලන සිනමාවේ නොමැකෙන මං සලකුණු වෙයි. ඒ අතරින් ‘පාර දිගේ’ හා ‘ස්වරූප’ යනු ලෝක සිනමාවේ බිහි වූ විශිෂ්ට චිත්‍රපට අතරට තරඟකාරි ලෙස එක් කළ හැකි බව මගේ හැදෑරීමයි.

‘පාර දිගේ’ වැනි සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටයක් 1982 වසරේ පැවැති සියලුම සම්මාන උලෙළවලදී කිසිදු සම්මානයක් නොලැබීම ප්‍රශ්නකාරී වන විට පතිරාජ පවසන්නේ සිනමාව දෙස පුළුල් දෘෂ්ටියකින් බලන්නට සමත් ජූරි සභිකයන් විනිශ්චය මණ්ඩලවල නොසිටි බවයි. ජූරි සභිකයන් පමණක් නොව විචාරක - ප්‍රේක්ෂක පිරිස වෙතින් ද ප්‍රතික්ෂේප වූ ‘පාර දිගේ ‘ සති දෙකකට අඩු කාලයකදී සිනමා ශාලාවලින් ඉවත් වුව ද පසුකාලීනව එම චිත්‍රපටය ඇගයීමට ලක්වීමෙන් පෙන්නුම් කරන්නේ ධර්මසේන පතිරාජ ලාංකික ප්‍රේක්ෂක හා විචාරක ප්‍රජාවට වඩා බෙහෙවින්ම ඉදිරියෙන් සිටි බවයි.

පතිරාජ අධ්‍යක්ෂණය කළ දැනට අවසන් වරට තිරගත වී ඇති ‘ස්වරූප’ චිත්‍රපටය ඔහුගේ සිනමාවේ කූටප්‍රාප්තියයි. ‘ස්වරූප’ චිත්‍රපටයට ද සිදු වූයේ ‘පාර දිගේට’ සිදු වූ අභාග්‍යමදැයි විමසීම වටී. ‘පාර දිගේ’ මෙන්ම ‘ස්වරූප’ ද සති දෙකකට අඩු ප්‍රදර්ශන කාලයකදී සිනමා ශාලාවලින් ඉවත් වූයේ සිනමාව පිළිබඳ විශේෂ අවධානයකින් යුතු ප්‍රේක්ෂකයා පවා එනමින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වූයේදැයි දැනගන්නටත් පෙරය.

ඊට හේතුව සිනමාකරුවකු ලෙස ප්‍රචාරාත්මක කාර්යයේදී හා අලෙවිකරණයේ දී පතිරාජ දක්වන අඩු සැලකිල්ල ලෙස ද යමෙකු අර්ථ දැක්වූවහොත් මා ඊට විරුද්ධ වන්නේ නැත.

අන්තර්ගතය, ආකෘතිය, ආඛ්‍යාන රටාව හා සිනමා භාෂාව හැසිරවීම යන කාරණා පිළිබඳ සලකා බැලීමේදී ‘ස්වරූප’ යනු පතිරාජාගේ සිනමාවේ අග්‍ර ඵලයක් වන්නා සේම සිංහල සිනමාවේද හැරවුම් ලක්ෂයක් වේ. තිරගත වූ අවදියේ සිට මේ දක්වාම ‘ස්වරූප’ පිළිබඳ පුළුල් කතිකාවක් ගොඩ නැගුණේ නැති වුව ද අනාගතයේ දිනෙක සිංහල සිනමාව පිළිබඳ අලුතින් ලියවෙද්දී ‘ස්වරූප’ නිසි පරිදි උත්කර්ෂයට නැංවෙනු ඇති බව නොවනුමානය.

‘ස්වරූප’ යනු ධර්මසේන පතිරාජගේ දේශපාලන සිනමාව ද රූපාන්තරණයකට ලක් වූ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.

පතිරාජගේ සිනමා භාවිතාව හා කලා දිවිය විමසීමේදී ඔහු නිර්මාණය කළ එහෙත් විවිධ හේතූන් නිසා ප්‍රදර්ශනය නොවූ චිත්‍රපට ගැනද සඳහනක් නොකරන්නේ නම් හිඩැසක් ඇතිවන බව මගේ විශ්වාසයයි.

අහස් ගව්වෙන් පසු පතිරාජ නිර්මාණය කළේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයයි.ඒ සමඟම ඔහු ‘ෂෙල්ටන් සහ කාන්ති’ නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ ද එය නිම කළේ 80 දශකයේ මුල් භාගයේදීය.

‘ෂෙල්ටන් සහ කාන්ති’ පතිරාජගේ සිනමාවේ වෙනස් ආරක් ගත් චිත්‍රපටයක් බව අනුමාන කළ හැක්කේ එහි ගීත හතක් අඩංගු වීමත්, එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු ගීත ගායනා කිරීමත් පිළිබඳ සලකා බලන විටදීය. ඉන් ගම්‍ය වන්නේ ධර්මසේන පතිරාජ ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ද උත්සුක වූ බවය.

සොල්දාදු උන්නැහේ’ තිරගතවීමත් සමඟ පතිරාජ රූගත කළ චිත්‍රපටය වන්නේ ‘සිර කඳවුර’යි. නිවස නම් වූ සිරගෙයි හා එළිමහන් කඳවුරක වෙසෙන තරුණයෙකු අතර ඇති වන අතිශය මානුෂික බැඳීම මූලික කොට ගෙන සමාජ කියවීමක යෙදෙන ‘සිර කඳවුර’ චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු නිමවීමට පෙර ‘ෂෙල්ටන් සහ කාන්ති’ ඇතුළු චිත්‍රපට ගොන්නක් සමඟ 83 වර්ගවාදී ප්‍රහාරයේදී ගිනි බත් කළ ‘විජය’ චිත්‍රාගාරයේ තිබී අළු දූවිලි බවට පත් විය.

අනතුරුව අනූවේ දශකයේ මුල් භාගයේදී ගීතා කුමාරසිංහගේ නිෂ්පාදනයක් ලෙස පතිරාජ නිර්මාණය කළ සංචාරක කර්මාන්තය, ළදරු ජාවාරම හා එහි කෲරත්වය පාදක කොට ගත් ‘වාසුළි’ චිත්‍රපටය මේ දක්වා තිරගත වූයේ නැත. එහි ප්‍රධාන චරිතය ද රඟපෑ ගීතා ‘වාසුළි’ තිරගත කිරිම අතහැර දැමුවේ එය ධර්මසේන පතිරාජගේ සිනමා ගමන් මඟේ අතිශය දුර්වල චිත්‍රපටයක් වීම නිසා බව ප්‍රකටය.

ඒ ගැන අටුවා ටීකා සැපයීම අවශ්‍ය නොවන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි සිනමාකරුවෙකුගේ චිත්‍රපට අතර වුවද කිසිදු විශේෂ බවක් නොදක්වන චිත්‍රපට අතරින් පතර දක්නට ලැබෙන නිසාය.

නාට්‍ය රචකයකු හා නිෂ්පාදකවරයකු, සිනමා තිර පිටපත් රචකයෙකු හා අධ්‍යක්ෂවරයෙකු මතු නොව රූපවාහිනී මාලා නාට්‍ය අධ්‍යක්ෂවරයකු, ගීත රචකයෙකු, කෙටි කතාකරුවෙකු, නවකතා පරිවර්තකයෙකු ලෙස කලා ක්ෂේත්‍රයේ විවිධ භූමිකාවනට පණ පෙවූ ධර්මසේන පතිරාජ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස නව පරම්පරාවට දැනුම දායාද කළේය. එසේම ධර්මසේන පතිරාජ පර්යේෂකයෙකු ද වේ.

‘සිංහල නාට්‍යයේ ආකෘතිය හා අන්තර්ගතය අතර අරගලය’ මැයෙන් සිය ශාස්ත්‍රපති උපාධිය සඳහා කළ නිබන්ධය පතිරාජගේ පර්යේෂණ අතර අග්‍ර ඵලයකි. එසේම ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා පතිරාජගේ පර්යේෂණයට අදාළ වූයේ බෙංගාලි සිනමාවයි.

පතිරාජම සඳහන් කොට ඇති පරිදි එම්. බී. ආරියපාල, ඩී. ඊ. හෙට්ටිආරච්චි, මර්ලින් පීරිස්, එදිරිවීර සරච්චන්ද්‍ර, ඈෂ්ලි හල්පේ වැනි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ද එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ඔස්මන්ඩ් ජයරත්න, ඩොරික් සූසා වැනි දේශපාලන න්‍යායාචාර්යවරුන්ගෙන් ද දැනුම උකහා ගත් ධර්මසේන පතිරාජ ‘අපේ කට්ටියේ’ සුගතපාල ද සිල්වා, සිරිල් බී. පෙරේරා, ගාමිණී හත්තොටුවගම ආදී කලාකාමී මිතුරු සංසදය සමඟ හරවත් සංවාදයක යෙදුණේ කිසිදු කල්ලියකට ගැති නොවෙමින්ය.

මා ඒ බව විශේෂයෙන් සඳහන් කරන්නේ හැටේ හා හැත්තෑවේ දශකයන්හි කලාව අරභයා විවිධ කල්ලි කණ්ඩායම් ගොඩ නැගී තිබුණ බැවිනි.

සිනමාව පිළිබඳ පතිරාජ තරම් අධ්‍යයනයක යෙදුණු වෙනත් අධ්‍යක්ෂවරයෙකු සිංහල සිනමාවේ දක්නට නොමැති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලැබූ පතිරාජ කැලණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය යනාදී වශයෙන් මෙරට විශ්වවිද්‍යාලයන්හි සිනමාව පිළිබඳ ආචාර්යවරයකු විය.

ඔහු ‘පොන්මනී’ දෙමළ භාෂිත චිත්‍රපටය නිර්මාණය කරන්නේ 70 දශකයේ සුචරිත ගම්ලත් හා සුනිල් ආරියරත්න වැනි ආචාර්යවරුන් සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කරන අවධියේ උතුරේ දෙමළ ජන සමාජය පිළිබඳ ග්‍රහණය කොට ගන්නා අත්දැකීම් ඇසුරිණි.

ආගම්වාද, කුල භේද, දෑවැදි ප්‍රශ්නය, ලිංගික සූරාකෑම වැනි අධිපති ප්‍රවාහයේ බල අධිකාරියට නතුව ජීවත් වන්නට පොර බදන යාපනයේ දෙමළ ජනයාගේ සමාජයීය ප්‍රශ්න යථාර්ථවාදීව විවරණය කළ සිනමාපටයක් වන ‘පොන්මනී’ ලාංකික සිනමාවේ 13 වන දෙමළ භාෂිත චිත්‍රපටය වෙයි.

සත්‍යජිත් රේ ඉන්දීය සිනමාව ජාත්‍යන්තරය වෙත රැගෙන යද්දී කැරලිකරුවකු වූයේ රිට්වික් ඝටත්ය. එසේම සිංහල සිනමාව ජාත්‍යන්තරයේ අවධානයට ලක් කිරීමට ලෙස්ටර් ජේම්ස් පීරිස් උත්සුක වෙද්දී ධර්මසේන පතිරාජ විප්ලවීය දේශපාලනික කැරලිකරුවා විය. ඝටක් මෙන්ම පතිරාජ ද මාක්ස්වාදී දේශපාලනයෙන් උත්තේජනය ලැබීම ඊට හේතුව වන්නට පුළුවන.

ප්‍රබලතම දේශපාලන සිනමාකරුවකු වන ආර්ජන්ටිනාවේ ෆර්නැන්ඩෝ සොලනාස් පැවසූ ‘ප්‍රක්ෂේපන යන්ත්‍රය වූ කලී තත්පරයට රූප රාමු විසි හතරකින් වෙඩි තැබිය හැකි තුවක්කුවකි’ යන විරෝධාකල්පික ප්‍රකාශය ලාංකික සිනමාවේ තහවුරු කළ සිනමාකරුවා ධර්මසේන පතිරාජය. ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටය ඊට පැහැදිලි උදාහරණය වෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.