ඈත ගව් ගණන් දුරින් "ගැටවරයෝ

ජනවාරි 24, 2019

හැටේ දශකය තුල ගම් වල සිට නගරයට රැකියාවල් සොයා එන බොහෝ තරුණයන් නන්නත්තාර වන්නේ නගරයේ තිබෙන වේගාකාරි මෙන්ම මෝස්තරකාරි ජීවිත වලට අනුගත වීමට නොහැකි වීමෙනි. කඩවසම් ජවසම්පන්න, ක්‍රියාශීලී තරුණයෙක් වුවහොත් ඔහු මොනතරම් උත්සහ කලත්, මොන තරම් වැඩ පෙන්නු⁣වත් අවසානයේදී 'හපයක්' වීමද වැළැක්විය නොහැක.

අධ්‍යක්ෂක තිස්ස ලියනසූරිය හා මයික් විල්සන් එක්ව සරල කථා පුවතක් තුලින් මතුකිරීමට තැත් කළේ ගැඹුරු සිදුවීම් රැසකි. තිස්සද, අර හැටේ දශකයේ අධ්‍යක්ෂක වරුන්ගේ 'ස්ලෝගන්' එක වූ ගම පිරිසිදුයි, එහී ජීවත් වන්නෙ අහිංසක මිනිසුන්, ඔවුන්ද ඉතාමත් සාමකාමි ජිවන රටාවන්ට හුරුවුනු අයයි, එහී තරුණීයන්, ඉතාමත් අහිංසක පිවිතුරු,නොකැලැල්, අය ⁣යයිද, නගරය යනු ඉතාමත් දූෂිත, වෙිගාකාරි, දුෂ්ට,කපටි මිනිසුන් ගැවසෙන එමෙන්ම තරුණියන්ද විසේකාර,නැට්ටුක්කාර, විලිසංගෙ නැති, මිනිසුන්ව සූරාකන ජාතියේ අය යැයි පෙන්නුම් කරන්නට උත්සහ කලද, එය ඉදිරිපත් කළ ආකාරය තුල තිබූ ප්‍රසස්ත බව, සරල තේමාවකින් හොද වැඩකාරයෙකුට, සුපිරි වැඩක් පෙන්වීමට කිසිදු 'ගේම්' එකක් නැති බව ඔප්පු කළේය.

සුරංගනී ෆෙඩ්රික් නියෝජනය කළේ ඒ දශකයේ ලාංකේය ඉහළ පන්තියයි..ඔවුන් ලංකාවේ එක කකුලක්ද, බ්‍රිතාන්‍යයේ තව කකුලක්ද තබා ගෙන ජීවත් වූවන්ය. ඔවුනට අර ඉහත කී හැම බලයක්ම තිබුනි. ජීවිතයේ සැප හැරෙන්නට ඒ අයට වෙන දෙයක් නැත.

"සූ" නොහොත් සුරංගනී ලට කඩවසම් තරුණයන් යනු හරියට කාර් වගේය. අලුත් මෝස්තරයක් ආ විට, ඒ කාරය අතහැර ඒ අලුත් කාරය පදවයි. සුරංගනී ෆෙඩ්රික් ජයසේනව පාවිච්චි කළේ ඒ අයුරිනි. එහෙත් ගමේ ධීවර තරුණයා සිතා සිටියේ මේ සිරාවට සිද්ධවෙන දේවල් කියාය. සුරංගනී නම් ජයසේනව 'බයිට්' කෙරුවා විනා, ඒක ' මේන් කෝස්' එක කරගත්තෙ නැත. නමුත් ජයසේන නම් සිතුවේ සුරංගනී යනු තනිකරම තරු හෝටලයක සම්පූර්ණ 'බුෆේ' එක කියාය.

ලෝකයට නියෝජනය කල ලංකා රූ රැජිණක් වූ, නිල්මිණීද සිල්වා තෝරා ගැනීම තුලින් 'ගැටවරයෝ' චිත්‍රපටයට ගෙන ආ 'ග්ලැමර්' එක නම් මෙතෙක් යැයි කිව නොහැක. පුදුමය නම් වසර 54ක් ගෙවී ගියද එය අදටත් වලංගු වීමය. ජයසේනගේ චරිතයත් අභිබවා සුරංගනීගේ චරිතය ඉස්මතු වූයේ නිල්මිණීගේ රූපකාය නිසාය. මේ නිල්මිණීගේ ප්‍රථම චිත්‍රපටය වූ හෙයින් රඟපෑම පැත්තෙන් නම් පොඩි පොඩි අවුල් තිබුනද, අර ඇයගේ වර්ණවත් සුන්දරත්වයෙන් මුළු සිනමාපටයම වැසී තිබුණී.

සුරංගනීගේ චරිතය චිත්‍රපටය තුළ කේන්ද්‍රීය වූයේ ජයසේනගේ නැගීම් හා වැටීම් සිදුවෙන්නේ ඇය හරහා වීම නිසාය. පුරුෂත්වයකින් පැමිණුනු ජයසේනව පැණී හැලිය සොයා එන ඇඹලයෙකුගේ තත්වයකට පත් කෙරෙනුයේ සුරංගනීය. ජයසේන තමා දන්න හැම වැඩක්ම පෙන්වා තමා සුපිරි වැඩ කරුවෙක් බව පෙන්වන්නේද, සුරංගනීගේ අවධානය ⁣තමා වෙත යොමු කර ගැන්මටය. ඔහුට සුරංගනීගේ පෙම්වතා වු ලලිත් හෙට්ටිආරච්චි සමඟ පැටලෙන්නට යෑමට සිදුවෙන්නෙත්, මේ සුරංගනීගේ අවධානය දිනා ගැන්මටය.

"රන් මුතු දූව" චිත්‍රපටය තුලනි' සුපර් හීරෝ' වු ගාමිණී ෆොන්සේකා, ලියනසූරිය විසින් 'ගැටවරයෝ' චිත්‍රපටයේ ජයසේනගේ ප්‍රධාන භූමිකාවට නම් කිරීම ඉතාමත් නිවැරදී තේරීමකි. රන්මුතු දූවේ ඔහුට ලැබුනු 'බන්දු' ගේ චරිතයට වඩා හැල හැප්පීම් රැසක්මෙන්ම, ක්‍රියාශීලි ජවසම්පන්න චරිතයකි 'ගැටවරයෝ' හී ජයසේන. රන්මුතු දූව චිත්‍රපටය පුරාම ගාමිණීට ලැබුණු චරිතය තුළ තිබුණේ වීරත්වයයි. නමුත් ගැටවරයෝ හී ජයසේන වීරයෙක් වූවාට, ඒ වීරයා කඩා වැටෙන අවස්ථා අනන්තවත් තිබුණි. නිල්මිණී ගේ ආකර්ෂණය හමුවේද, ඇතැම් තැන්වල ගාමිණී බොද වී ගිය අවස්ථා අනන්තවත් තිබුණි. ගාමිණී ෆොන්සේකාගේ චිත්‍රපටවල, සාමාන්‍යයෙන් කිසිවෙකුටත් ඉස්මතු වන්නට දෙන්නේ නැත. නමුත් නිල්මිණීද සිල්වා, තම සුරූපි, දේහ කායෙන් හා අසීමිත ආකාර්ෂණයෙන් ගාමිණීව අබිබවා ගියාය.

"සවර්ණ විමානෙක එහා ලෝකයෙන් ඔරුවක ගොඩවී මා එනවා

ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට නළ රැළි මත නැගීලා එනවා."

ජයසේන මුහුදු කර ගම්මානයක මුහුදු රැකියාව කරමින් ජීවත් වුනු කඩිසර ජවසම්පන්න, කඩවසම් ගැටවරයෙකි. ඔහුගේ ආදරවන්තිය එම ගමේම සිටි අවිහිංසක රූමත් කරුණාය.

ලියනසූරියගේ තවත් අපූරූවූ සොයාගැනීමකි මේ කරුණා ලෙස රඟපෑ නිළිය. ඇය ශෝභනී අමරසිංහය. ඇයගේ තිබුණේ සවභාවික අහිංසක පෙනුමකි. නිල්මිණි මෙන්ම ශෝභනී ද ඉමහත් ප්‍රතිචාරයක් ලබාගත්තේ, මෙම "ගැටවරයෝ" චිත්‍රපටය තුළිනි. මතක ලෙස නිල්මිණී රඟපෑවේ 'ගැටවරයෝ' චිත්‍රපටයේ පමණී. ශෝභනීද චිත්‍රපට කීපයක රඟපා සිනමාවෙන් සමුගත්තද දැන් දශක 6 ක් ගතවුනද ඔවුන්ගේ ඒ සීමීත චිත්‍රපට රඟපෑම් ගැන අදටත් ප්‍රේක්ෂකයන් කථා කරනුයේ ඔවුන් අකාර්ශනීය ලෙස රඟපෑ නිසාය.

බන්දුසේන, තම නැඟණිය වූ කරුණා, ජයසේන සමඟ ගෙන යන සම්බන්ධයට තදින්ම විරුද්ධ විය. මේ හේතුවෙන් බන්ධුසේන හා ජයසේන අතරද ආරවුල් තිබුණි. අන් අතකට මේ මුහුදු රස්සාව ජයසේනට ඒ තරම් ඇල්ලුවේ නැත. මේ හෙයින් ඔහු කරුණාට නිතරම කීවේ කොළඹ ගොස් තමාගේ දක්ෂතාවයට සරිලන රැකියාවක් සොයා ගෙන පැමිණ කරුණා,ව විවාහ කර ගන්නා බවකි. කරුණා මුලින් මෙයට අකමැති වූවද, ජයසේනට හොද රැකියාවක් තිබුණ හොත් අයියාද ඇතැම් විට මේ සම්බන්ධයට කැමති වනු ඇතැයි ඇයට සිතුනි.

සෙමනේරිස් ජයසේනගේ හොඳම මිතුරෙකි. සෙමනේරිස් වැඩ කළේ කොළඹ විශාල මෝටර් බෝට්ටු සමාගමකය. ජයසේනගේ කාර්මීක දැනුම මෙන්ම ජවසම්පන්න කම නිසා, ඔහුට මෙම කොම්පැනියේ රැකියා⁣වක් ලබා දීමට සෙමනේරිස්ට හැකි විය. ⁣මෙම සමාගම අයත් වූයේ ෆෙඩ්රික්ටය.

කොළඹට පැමිණි මුල් දිනවල ජයසේනට හොල්මන් මෙන් විය. මෙහී තිබෙන සරුවපිත්තල මෝස්තර වලට ජයසේනද රැවටුණේය.

"ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල

ඒත් අතට, මේත් අතට අඟර දඟර

සරුංගෝල."

මේ අතර, කිසිදිනෙක සෑදීමට නොහැකිවූ යැයි 'කන්ඩේම්' කර දැමූ මෝටර් බෝට්ටුවක් සුපිරියටම සාදා දීමෙන් ෆෙඩ්රික්ගේ සිත දැඩිව දිනාගැන්මට ජයසේනට හැකිවිය. එලෙසම ෆෙඩ්රික්ගේ දියණිය සුරංගනීගේ අවධානයද මේ ජවසම්පන්න ගැටවරයා ගැන යොමුවිය. ඒ හේතුවෙන් මෙතෙක් වැඩ පෙන්වමින් වැඩ කාරයෙක් ලෙස පෙන්නා සිටි සුරංගනීගේ පෙම්වතා ලලිත් 'කිච' වීම හරහා, ජයසේනට තද හතුරෙක් බිහිවෙන්නට විය. ලලිත් එතැන් සිට ජයසේනට ඊරිසියා කරන්නටත්,වෛර කරන්නටත් විය.

ලලිත් හොද දක්ෂ බෝට්ටු ධාවන ශූරයෙකි. ඔහු මෙතන 'ස්කොර්' කර ගෙන සිටියේ ඔවැනි දේවල් වලිනි. ජයසේනයා එන පොට ටිකක් කලබල වැඩියැයි ලලිත්ට තේරුණි.

සුරංගනී ජයසේනට ආතල් එකට ආදරය කළද, ජයසේන බොක්කෙන්ම සුරංගනීට ලව් කරන්නට විය.

ජයසේන නන්නත්තාර වෙන බව සෙමනේරිස්ට වැටහුණි..ඔහු ජයසේනට, ඉදිරියේදී සිදුවන විනාශය ගැන ඉඟි කලද, ජයසේන සුරංගනීගේ ඇසුරට වහල් වී සිටිහෙයින් ඒ අවවාද අනුශාසනා මායිම් කළේ නැත.

ජයසේනගේ ලිපි නැවතීම, ගමට නොඒම, කරුණාට විශාල ප්‍රශ්නයක් විය. ජයසේන කොළඹ ගිය පසු තමාව අමතක කළාද, එසේ වූවා නම් එයට හේතුව කුමක්ද? මේවා දැන ගන්නේ කෙසේද යන ප්‍රශ්නය කරුණාගේ සිතේ රැව් පිළි රැව් දෙන්නට විය. ඒ අතරින් කරුණාට ඇතිවූ විශාලම ප්‍රශ්නය තම සොහොයුරු බන්ධුසේන ඇයට මනමාලයෙක් ලෑස්ති කර, ඇයව බැලීමට දිනත් නියම කර ගැනීමය.

මේ හේතුවෙන් ජයසේනව සොයා ඔහු වැඩ කරන තැනට ගොස් මෙහි ඇත්ත නැත්ත සොයා ගත යුතු යැයි ඇයට සිතුනි.

ජයසේනව සොයා ගිය ඇය දුටුවේ කිසිසේත් බලාපොරොත්තු නොවූ සිදුවීමකි. ජයසේනගේ හා සුරංගනීගේ සම්බන්ධය ඇය දැන ගත් අතර, ජයසේන වුවද කරුණාව ඒ තරම් ලයාදරව පිළිගත්තේ නැත. මෙයින් දැඩි සිත් තැවුලට පත් කරුණා නැවත ගම බලා ගියේ අපහසුවෙන් හෝ ජයසේන ව අමතක කර දමන චේතනාවකිනි.

"සිහින හතක් මැද විමනක් සැදුනයි

සීත සඳුන් සුව, ඒ තුල මැවුනයි

වාසනාවෙ මල් හදවත පිපුණයි

ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි"

ජ⁣යසේන ගේ ලෝකේ සුරංගනී හැරෙන්නට වෙන කිසිවෙක් සිටියේ නැත. එහෙයින් ඔහු කරන කියන හැම දෙයක්ම කළේ සුරංගනීගේ අවධානය දිනා ගැන්මටය.

මෝටර් බෝට්ටු චිත්‍රපටය තරඟයක් එකතු කිරීමෙන් දුන්නේ මාර ත්‍රිල් එකකි. චිත්‍රපටයේ 'ක්ලයිමෙක්ස් ' එක මෙය විය. ලියනසූරියත්, විල්සනුත් තම චිත්‍රපටය කේන්ද්‍රීය කරගෙන තිබුණේද, මේ මෝටර් බෝට්ටු තරඟයමය. එය සිදුවූයේ ජයසේන හා ලලිත් අතරය.

ගාමිණී ෆොන්සේකා හා කාල් ගුණසේන සුසංයෝගය පටන් ගැනූණේ "රන් මුතු දූව" චිත්‍රපටයෙනි. එකල ගාමිණීට,ඔහුගේ පෞරෂත්වයට, ඔහුගේ දඩබ්බර කමට ප්‍රතිවාදයා ලෙස කාල් අපූරුවට ගැලපුණි. එය වඩාත් තිව්ර වූයේ "ගැටවරයෝ" තුළිනි.

ජයසේන , හා ලලිත් ගේ මෝටර් බෝට්ටු තරගය තුල දැඩි තරගකාරිත්වයක් තිබුනි. බොහෝ අවස්ථාවල ලලිත් සිටියේ ජයසේනට ඉදිරියෙනි. ලලිත්ව පසු කරන්නට ජයසේන තැත් කරන හැම අවස්ථාවකම ලලිත් නීතිවිරෝධී ලෙස ජයසේනගේ බෝට්ටුව හප්පමින් ඔහුගෙ මග අවහිර කරයි. ලලිත්ට අවශ්‍ය වූයේ ජයසේනව පැරදවීමට පමණක් නොව බෝට්ටු රේස් එක යන අතර තුර හදිසි අනතුරක් සිදුවූ ලෙස අගවා ජයසේනගේ බෝට්ටුව හප්පා, ජයසේනව මරා දැමීමටය. මෙම මෝටර් බෝට්ටු තරඟය අභියෝගාත්මක මෙන්ම ත්‍රාසජනක වූයේ ඒහෙයිනි. දිගු වේලාවක් මෝටර් බෝට්ටු තරඟය පැවතුනද, එය නරඹන්නන්ගේ අවධානය දැඩි ලෙස රඳවා ගැන්මට සමත් වන ලෙස ලියනසූරිය හා විල්සන් මෙහෙයවා තිබුණි.

දැඩි පරිශ්‍රමයකින් පසු මෝටර් බෝට්ටු තරඟයේ ජය ජයසේනට හිමි විය. ඔහු ලලිත්ව නොකවුට්ම කළේය.

බෝට්ටු තරඟයත් ජයගත් හෙයින් ජයසේන සිතුවේ සුරංගනිවද දිනාගත හැකියි කියාය. එහෙත් සුරංගනී යනු බෝට්ටු තරඟයක් නොව. ඇය හා සමවීමට ජයසේනට කිසිදිනෙක නොහැකිය. ඔහුට, ජවය,කඩවසම් බව තිබුනද, ධනය,බලය,හා තත්වය අතින්, ඔහු සුරංගනි ඉදිරියේ බිංකුන්ඩෙකුටත් වඩා කුඩාය. ⁣මෙය කිසි සේත් දිඟුගමනකට සුදුසු ඇසුරක් නොවන බවත්, සුරංගනීත් ජයසේනත් යනු අහසත් පොළවත් අතර තිබෙන පරතරයටත් වඩා වැඩි බවක් සුරංගනි, වචනයෙන්, ව්‍යාංගයෙන් මෙන්ම ක්‍රියාවෙන් කීප විටක්ම ජයසේනට පෙන්වා දුන් අතර, ජයසේනට වඩාත් සුදුසු ගමේ අහිංසක.තරුණිය වූ කරුණා බව සෙමනේරිස් පමණක් නොව, සුරංගනීද පැහැදිලි කර දුනි. ජයසේනට ඉන් එහාට 'නෝ චොයිස්ය'

ජයසේන නැවත ගම බලා ගියේ කරුණාව විවාහ කරගෙන මේ වේගාකාරි ජීවිතෙන් ඈත්වී සරල ජීවිතයක් ගත කිරිමටය. කරුණා තමාට සමාව දෙන බව ඔහුට දැඩි විශ්වාසයක් තිබුණි.

ජයසේන ගමට ගොස් කෙළින්ම ගියේ කරුණාව හමුවිමටය. එහෙත් සිදුවී තිබුණේ වෙන දෙයකි. ඇය එදා කොළඹ ජයසේනව සොයා ගොස්, දුටු දේ, ඇසු දේ, හා ජයසේන ඇයට කළ කී දේ තුළින් ඇය තේරුම් ගත්තේ, ජයසේන තමා ව අත්හැර යලි නොඑන්නට බොහෝ දුර ගොස් ඇති බවය. එහෙයින් ඇය තම සොහොයුරු බන්දුසේන ගෙන ආ යෝජනාවට කැමති වී විවාහ විය. ඔවුන් දෙදෙනා දයාබර ලෙස පවුලක් වි සිටිනු ජයසේනගේ දෑස් වලටම දුටුවේය. ඔහුගේ දෙනෙත කඳුලින් පිරුණි. මේ සියල්ලම සිදුවූයේ තමන්ගේම වරදින් බව ජයසේනට වැටහෙන විට ඔහු පමා වූවා වැඩිය.

ගාමිණී ෆොන්සේකා ජයසේන ලෙසත්, නිල්මිණී ද සිල්වා සුරංගනී ලෙසත්, ශෝභනී අමරසිංහ කරුණා ලෙසත් "ගැටවරයෝ" චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට අනුගත වී සිටියහ.

ඩග්ලස් වික්‍රමසිංහ (ෆෙඩ්රික් ), ජෝ අබේවික්‍රම (සෙමනේරිස්), කාල් ගුණසේන(ලලිත්), වින්සන්ට් වාස් (බන්ධු සේන) සෙසු ප්‍රධාන චරිත වට පණ දුනි. ටෝනි රණසිංහ, හා ජීවරාණි කුරුකුලසුරිය ද මෙහි චරිත දෙකක් රඟපෑවා මතකය..

"ගැටවරයෝ" ඒ වසරේ සරසවිය සම්මාන උළෙලෙදී, හොදම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂනය ඇතුළු සම්මාන කීපයකට පාත්‍රවිය.

1964 පෙබරවාරි 24 වෙනිදින සිට තිරගත කල 'ගැටවරයෝ', ප්‍රේක්ෂක, විචාරක, පැසසුම් ලැබූනු විශිෂ්ඨ නිර්මාණයක් විය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.