ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා

ආරාධනා
පෙබරවාරි 7, 2019

විජය ධර්මශ්‍රී ප්‍රේක්ෂක අවධානය අමුතුම තැනකට ගෙන ගියේය. ඒ මේ කුඩා දරුවා මියගිය හේතුව එක්වර නොදීය. එහෙත් එය සේනක සොයා ගති. ජිනාදරීගෙන් අව්රුදු ගනනාවක්ම වෙන්වී සිටීමටත්, ඇයට වෛර කිරීමටත් ඒ හේතුව උවමනාවටත් වඩා ප්‍රමාණවත් විය.

ජීනාදරී , සේනකව අතහැර දැම්මද, නැතිනම් සේනක විසින් ජීනාදරී අතහැර දැම්මාද යයි දෙදෙනාම දන්නේ නැත. නමුත් හැම කරුණු කාරනාවක්ම සිදුවූයේ ඔවුනට වෙන්වීමට බල කිරීමෙනි.

ජීනාදරීගේ අතින් සිදුවූ වරද නිසා විශාල විනාශයක් සිදුවූවා යැයිද, එයට තමාගේ මුළු ජීවිතයම කඩා වැටීමද ඇතුළත් වී ඇති බව සේනක දැඩිවම විශ්වාශ කරයි.

එහෙත් ජිනාදරි තමා අතින් එම වරද ඕනෑකමින් සිදුවූවාමදැයි තවමත් විශ්ලේෂණය කරමින් සිටියි. සේනක යනු 'වලත්තයෙක්' යැයි තම පියා දැඩි ස්ථාවරයක සිටියත් ඒ වලත්ත කමට තමාත් හවුල් වූවා නොවේදැයි ජීනාදරී ට සිතුණද එය තම පියාට තේරුම් කර දීමට ඇයට අපහසු විය. එහෙයින් සේනක විසින් තම දියණිය හා විවාහ වීමටත් ප්‍රථම ලිංගිකව සම්බන්ධ වීම ගැන හා ඉන් පසු තම කුසට දරුවෙකු පිළිසිදීම ගැන,පියා තම ජීවිත කාලය පුරාම සේනකට ද්වේශ කළේය. එහෙත් ඒ ද්වේශය සාධාරන නැතැයි යනු ජීනාදරිට සිතුණි. එක අතකින් අත්පුඩි ගැසීමට නොහැකි යැයි පියා වුවද අවබෝධ කර ගත්තේ නැත.

"දුහුළු මලක්", "චූඩා මානික්‍ය" "දඬුමොණරය", "සිටු කුමරියෝ" වැනි චිත්‍රපට තැනූ විජය ධර්මශ්‍රී, තම අනන්‍යතාවය සුන්දරව සටහන් කළ චිත්‍රපටයක් ලෙස "ආරාධනා" සනිටුහන් කළ හැකිය. දැඩිව ආදරය කළ තරුණ යුවලක් ,විවාහ වී පසුව ඇතිවූ ප්‍රබල ප්‍රශ්නයක් මත වෙන්වී, නැවත අවුරුදු ගණනාවක් ගිය පසු එක්වීමක් ගැන කියවෙන "ආරාධනා" චිත්‍රපටය විජය ධර්මශ්‍රී අතින් නිර්මාණය වූ වෙනස් මාතෘකාවක් ගැන කියවුනු චිත්‍රපටයක් ලෙස සැලකිය හැකිය. ⁣චමත්කාර තාරුණ්‍යයේ කලබලකාරි බවත්, වියපත් වීම ඇරඹෙන මැදිවියේ තැන්පත් බව අතරින් ගලා යන රිද්මය ධර්මශ්‍රී ගේ සිනමාභාෂාව තුළින් ඔහු ඉදිරිපත් කළේ ජිනාදරි හා සේනක හරහාය.

යෙහෙළියකගේ සාදයකදී මුලින්ම මුණගැසෙන ජිනාදරී හා සේනක, යළි මුණ ගැසෙනුයේ රෝහලක් තුලදීය. ඒ ජීනාදරී සාත්තු සේවිකාවක් වූ හෙයිනි.

ධර්මශ්‍රී ජිනාදරීව සාත්තු සේවිකාවක් කිරීම හරහා තම කථාවට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගත්තේය. මේ හැම ව්‍යවසනයක්ම සිදුවූයේ ඇය සාත්තු සේවිකාවක් වූ නිසාය. හමුවීම,ආදරය කිරීම, විවාහ වීම, වෙන්වීම හා නැවත එක්වීම යන සම්ප්‍රදායික ජීවන චක්‍රය ජිනාදරිට හා සේනකට ද අනෙක් අයට මෙන් සිදුවූවද, ධර්මශ්‍රී මේ සියල්ලටම හේතුවක් ලෙස සාත්තු සේවිකා භූමිකාව මුල් කර ගතී.

ආදරය, මුලින්ම ජීවිත වලට ගෙන එන්නේ අතීශයින්ම සුන්දර හැඟුමන්ය. ඒ හැඟුමන් තුළ අතරමං වෙන සේනක හා ජිනාදරි, ප්‍රේමයේ මිහිරත්වය අපමණව විදින්නට විය.

"සීත අරණේ සුපුල් නාමල,
සුවද ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ"

විජය ධර්මශ්‍රී තම මුල් චිත්‍රපට පෙළ තුළ නොතිබූ රොමැන්තය 'ආරාධනා' චිත්‍රපටයට එක් කළේ අතීශයින්ම සුන්ද⁣ර ලෙසය. ධර්මශ්‍රී ගේ එතෙක් නිර්මාණ ගනුදෙනුව සිදුවුයේ කළු සුදු චිත්‍රපට තුළිනි. "ආරධනා" තුළින් චමත්කාරය පෙන්වීමට වර්ණය හේතුවූවාම යැයි කිව නොහැකිය. ඔහුගේ මුල් නිර්මාණය වූ 'දුහුළු මලක්' හී ' බොද මීදුම් කඳුරැල්ලේ' ජවනිකාවේදි එම චමත්කාරය කළුසුදු සැලෝලයිඩ් පටයේ හරි අපූරුවට පෙන්විය. "ආරාධනා" හී දේදුණු වර්ණය තුළින් ජිනාදරී හා සේනකගේ ප්‍රේමණීය රොමැන්තය චිත්‍රපටය වර්ණවත් කළේය.

"ලතාවක් සේ වෙලී සියොලඟ පතමි
රැක වරණය ඔබෙන්ස
දා දෝතින් මලක් සේ ඔබ වැලද ගන්නෙමි හදවතින් හදවතින්"

සාත්තු සේවිකා වෘත්තියට ජිනාදරී තම ජීවිතය මෙන් ආදරය කළාය. සේනක ගෙන ආ විවාහ යෝජනාව ද කල් දැම්මේ අලුත් සාත්තු සේවිකාවන්ට තම පුහුණු කාලය අවසන් වන තෙක් විවාහ වීමට වැට කඩොලු බැඳ තිබූ හෙයිනි. වෘත්තියෙන් ඉජිනේරුවරයෙකු වූ සේනක කීවේ ඇයට සාත්තු සේවය අත්හැර දමා තමා හා විවාහ වන ලෙසය. එහෙත් ඇය ඒ අදහසට නම් කිසිසේත් කැමති වූයේ නැත. ඇය එම කැපකිරීම කිරීමට අකමැති වූයේ එතරම්ම වෘත්තියට කැමති නිසාය.

සිංහල චිත්‍රපට වල බොහෝ විට සිදුවන සුලබ කරුණ වූ විවාහයට ප්‍රථම ඇතිවන ශාරිරීක සබඳතා, "ආරාධනා" චිත්‍රපටයටද ගෙන ඒම විජය ධර්මශ්‍රී අතින් සිදුවිය. බොහෝ චිත්‍රපටවලදී සිදුවෙන්නෙ විවාහයට පෙර එසේ සම්බන්ධතා ඇති වූ පසු එකී පෙම්වතා හෙමීට මාරු වීමත් ,පෙම්වතිය හොටු පෙරාගෙන, හඩා වැලපෙමින්, පලි ගහමින් පෙම්වතා මත්තෙම නැහීමත්ය.එහෙත් මෙහිදි සිදුවනුයේ ඊට පටහැනි දෙයකි. සේනක මෙම සිදුවීමෙන් පසුවත් ජිනාදරීට කියනුයේ ඉක්මනට විවාහ වෙමු කියාය. එයට අකමැති වනුයේ ජිනාද⁣රීමය. ඒ ඇයට ඇයගේ වෘත්තිය කර ගෙන යා යුතු නිසාය.

ඇගේ මව්පියන් රැකවරණය ලබණුයේ ඇය උපයන වැටුපෙනි. ඔවුනගේ ලෝකය ගොඩනැඟුණේ ජිනදරි වටාය.

විජය ධර්මශ්‍රී සරලව විසඳා ගත හැකි ප්‍රශ්නයක් බරපතල කළේ ඒ ආකාරයෙනි. එතැනින් පසු චිත්‍රපටයේ කථාව හැරුනේ වෙනත් පැත්තකටය.

"සිනාවකින් පුතුගේ මුවේ
හිතේ මලක් පිපී ගියේ
බාලොලියන් බාලොලියේ
පායන පුන් සඳ එළියේ"

සේනක හා ජිනාදරි කුඩා දරුවෙකු හුරතල් කර ගෙන ගයන ඒ දරු නැලවිලි ගීයෙන් ඉන්පෙර සිදුවූ බොහෝ සිදුවීම් ගැන නිගමනයකට පැමිණිය හැක.

ජිනාදරී රැකියාවෙන් ඉවත් වී ඇත. ඉන්පසු ඇය සේනක හා විවාහ වී ඇත.

ඔවුනට හුරතල් දරුපැටියෙකු ලැබී ඇත. දැන් ඔවුන් සතුටින්, සෙනෙහසින්, සාමයෙන් ජීවත් වනු ඇත. එය ඇත්තකි. එක්තරා සුළු කාලයක් ඔවුන් ඉතාමත් සතුටින් එසේ ජීවත් විය. ඒ කුඩා දරුවා අසනීප වන තෙක් පමණී.

හිටි ගමන් කුඩා දරුවාට මාරන්තික අසනීපයක් සෑදෙන්නට හේතුව කුමක්දැයි සේනකත් ජිනාදරි ත් විමතියෙන් විමතියට පත්විය.

විජය ධර්මශ්‍රී හරිම සූක්ෂම ලෙස ප්‍රේක්ෂකයන්ව පටලවන්නට උත්සහා ගති. ධර්මශ්‍රීගේ එම වැඩෙන් , ප්‍රේක්ෂකයන්ට වඩා පැටළුණේ සේනකය. මෙතරම් සෞඛ්‍යය සම්පන්නව සිටි මේ කුඩා දරුවා ගහක් කඩා වැටුනාක් මෙන් බිමටම වැටුනේ කෙසේද?. මේ උකතෝටික ප්‍රශ්නයට පිළිතුරු ලබා ගත හැක්කේ දොාස්තර වරයන්ගෙන් පමණී. එහෙත් ඔවුනගේ උත්සහායද අපතේ යමින් මේ කුඩා දරුවා මිය ගියේ මුළු චිත්‍රපටයම ඛේදවාචකයක් කරමිනි.

විජය ධර්මශ්‍රී ප්‍රේක්ෂක අවධානය අමුතුම තැනකට ගෙන ගියේය. ඒ මේ කුඩා දරුවා මියගිය හේතුව එක්වර නොදීය. එහෙත් එය සේනක සොයා ගති. ජිනාදරීගෙන් අවුරුදු ගනනාවක්ම වෙන්වී සිටීමටත්, ඇයට වෛර කිරීමටත් ඒ හේතුව උවමනාවටත් වඩා ප්‍රමාණවත් විය.

විජය ධර්මශ්‍රී ගේ "ආරාධනා" 'ප්ලොට්', එකේ ගාම්බීරත්වය ආයේ ඉන්පසුවය. 'ප්ලොට්' එක ගාම්භීර වූවාට, කථාව සංවේදී වූයේ එතැනින් පසුවය.

මැදිවියේ සේනක රට හැර යන්නට ලක ලෑස්ති වුයේ ඔහුගේ වෘත්තිමය කාරණයකටය. රථයෙන් ගුවන් තොටුපොලට යනවිටය ඔහු ඒ හඳුනන මුහුණ දුටුවේ.

විජය ධර්මශ්‍රි චිත්‍රපටය 'රිවයින්ඩ් ' කර ආපහු 'ෆෝවඩ්' කර ආපහු 'රිවයින්ඩ්' කෙරීය. තමා රට යන ගමන නවතා ඇයව සොයා යාමට සේනක ආපසු හැරුණි. අප කලබල විය යුතු නැත. ලාංකේය, ඉන්දීය චිත්‍රපටවල ඕවා සාමාන්‍ය දේවල්ය.

කෙතරම් කාලයක් ගෙවී ගොස්ද? කෙතරම් කාලයක් වෙන්වී සිටියද? ජීවිතයේ කෙතරම් කාලයක් නැවතී සිටියද? සේනක ට තමා ජීවත් වන බව දැනුණේ ඇය දුටු පසුවය. වැරැද්ද කාගේද, වැරැද්ද කොතැනද?, ඇය පිටම සියලු වැරදි පැටවීම සාධාරණ ද, යුක්ති සහගතද? අර ගිලිහී ගිය සතුට රැගෙන නැවත වඩින්නට ආයාචනා කළ හැකිද?

"ජීවිතයේ තනි මං සල අතරමං වෙලා
හුදකලාවෙ සුසුම් හෙලන
හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න....."

අවුරුදු ගනනාවකට පසු ජිනාදරිව සොයා යන මේ ගමනේ හරය කුමක්ද? ජිනාද⁣රී තමාව යලි පිළි ගනීවිද ?මේ සියල්ලේම වැරැද්ද ජිනාදරි අත පැටවීම සාධාරන නැතැයි දැන් ඔහුට සිතේ.

කුඩා දරුවාගේ හදිසි මරණය සිදුවීමට බලපෑවේ ඒ කුඩා දරුවාව නැති කිරීමට උත්සහ කල ගබ්සාවේ අතුරු ප්‍රතිපලයන් නිසා යැයි දොස්තර කී පසු එදා සිතට නැගුණු ආවේගය , දැන් නැත. එදා ඇය තරයේම ඔහුට කීවෙ ඇයගේ වෘත්තිය අව්රුදු දෙකක් හෝ කිරීමට ඉඩ දෙන ලෙසය. එහෙත් ඒ සියල්ලටම ඉක්මන් වූයේ ඔහු නොවේද?. ඇයගේ ජිවිතයේ හැම ප්‍රාර්ථනාවක්ම සුනුවිසුණු කළේ ⁣තමාගේ ආත්මාර්ථකාමීත්වය බව සේනකට වැටහෙන්නේ දැන්ය. ජිනාදරි අත කිසිදු වරදක් නැති බවත් සේනකට වැටහෙන්නේ දැන්ය.

" හෙළූ සුසුම් කැටයම් හද පව්රු තලාවේ
මැකී ගියාදෝ - කාලයේ වෙරළේ
ජීවිතයේ දිඟුගමනින් අනාථ වූ දා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා"

රවින්ද්‍ර රන්දෙණියගේ තවත් එක් විශිෂ්ඨතම රඟපෑමක් ය මේ සේනකගේ චරිතය. කෙළිලොල් තරුණයෙක්, අවංක පෙම්වතෙක්, විශාල ව්‍යවසනයකට මුහුණ දුන් ,එයින්ම මැදිව්යට පත් මිනිසෙකුගේ විවිධ වූ ඉරියව් රැගත් එකී රංගනයේ රිද්මය ඔහු රඟපෑවාට වඩා ඔහු ඒ තුලට සමවැදී සිටියේය.

මාලනී ෆොන්සේකා නම් අද්විතීයමය. දෙදෙනා චරිත වලට ආරුඨ වූයේ විජය ධර්මශ්‍රී ගේ හැසුරවීමටත් එහා ගොසිනි. ඔවුන් දෙදෙනා හා කරට කර රඟපෑවේ ජිනාදරීගේ පියා ලෙස රඟපෑ ඩේවිඩ් ධර්මකීර්තිය. ඇතැම් අවස්ථාවල ඩේවිඩ්, රවින්ද්‍ර , මාලනීව, අභිබවා ගිය තැන්ද නොතිබුණා නොවේ.

රත්නවලී කැකුණුවෙල, ලූෂන් බුලත්සිංහල, සනත් ගුණතිලක, අනෝජා වීරසිංහ, සමන්ති ලැනරෝල්, විජේරත්න වරකාගොඩ, කාන්ති ලංකා, ලීනාද සිල්වා, චන්ද්‍රා කළුආරච්චි , රවින්ද්‍ර හා මාලනීට තම චරිතයන් ගොඩ නංවා ගැන්මට දුන් තල්ලුව නම් අද්විතීයමය.

විජය කුමාරණතුංග , රවින්ද්‍ර රන්දෙණිය වෙනුවෙන් පසුබිමින් ගීතයක් ගැයීමද විශේෂත්වයක් විය. රෝහණ වීරසිංහ, හා එච්.එම්.ජයවර්ධන එක්ව සංගීතය සැපයු 'ආරාධනා' චිත්‍රපටයට සුන්දරම ගීත 3ක් ඇතුලත් විය. ඩබ්.ඩී.අමරදේව, මිල්ටන් මල්ලවආරච්චි ,මාලනී බුලත්සිංහල හා විජය කුමාරණතුංග ඒවා ගැයුවෝය. සුමිත්ත අමරසිංහගේ කැමරාකරණය, 'ආරාධනා" ඒකාලෝක කළේය.

"ආරාධනා" විජය රාමනායකගේ නිශ්පාදනයක් වූ අතර, විජය ධර්මශ්‍රී අතින් නිපයුනු සුන්දරම චිත්‍රපටයක් ලෙස සැළකිය හැක. පසුකලෙක, කලියුගය, යුගාන්තය වැනි විශිෂ්ට චිත්‍රපට නිපදවූ විජය රාමනායක මෙරට කැසට් ව්‍යාපාරයේ පුරෝගාමියාය.

සේනක සොයා ගිය කෙනා හමුවිය. ජිනාදරිද වියපත් වී ඇත. එහෙත් ඇයගේ රුව නම් මැකී ගොස් නැත. ඇය සිටියේ ළමා අනාථ නිවාසයක් බලාගනිමිනි. ඇයව සොයා ආ අමුත්තා දෙස ඇය නෙත් හරවා බැලීය. ඇය ඔහු ලගට දිව ගියේ නැත. එහෙත් ඉබේටම ඇය ඔහු අභියසට ඇදී ගියාය.

"එදා සිඟිති කිරි සුවඳීන් යුග දිවි අරණේ
ඔබේ උණුසුමේ-යළි උපන්නෙමි
බිදුනු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහසින් යළි එළිය ලැබේවා
ආරාධනා.........ආරාධනා ........"

ශෝන් මැක්ස්මස් දිසානායක
(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.