අඟුරු මුට්ට කර ගසමින් සිනමාවේ සිංහල ලකුණ සොයා ගිය විමලවීර මාස්ටර්

මාර්තු 7, 2019

මැට්රික් විභාගය දක්වා උගත් තරුණයකු අඟුරු මඩුවක මුට්ට ඔසවන්නට යාම ස්වභාවික සිද්ධියක් නොවේ. නමුත් රස්සාවක් සොයා ගැනීමේ ආශාවෙන් වෙලී ගිය තරුණයකුට පළමුවැනි අඟුරු මුට්ටය ද එතරම් බරක් නොවීය. ඉතා දුකසේ තංගල්ලේ 'ක්‍රයිස්ට් චර්ච්' සිංහල පාසලේ අටවන ප්‍රමාණය දක්වා උගත් 12 හැවිරිද සිරිසේනට ඉංග්‍රිසි උගන්වා ඉහළට යැවීමට වත්කමක් දෙමවුපියන්ට නොවීය. අන්තිම විසඳුම වූයේ උපතින් බෞද්ධ වූ සිරිසේන බෞතීස්ම කොට ක්‍රිස්තියානි ආගමට හරවා නොමිලයේ ඉංග්‍රිසි ඉගැන්වීම බව දෙමාපියන් උත්සාහ කළත් සිරිසේන නොවේ එයට අවනත වූයේ. දෙමාපියන්ට එරෙහි වූ දොළොස් හැවිරිදි මේ කොලුවා ගෙදරින් පළා ගියේය. ඒ තිස්සමහාරාමයේ බාප්පා කෙනෙකු ළඟටය. ඥාතියා සිරිසේනගේ හඳහන ස්වාමීන් වහන්සේ කෙනෙකුට පෙන්නුවේය.

'මහත්තයේ මේ දරුවාට අපල කාලයක් තියෙන්නේ. මුහුදෙන් එහාට යැව්වොත් මිනිහා ගැන මුළු රටම කතා කරාවි' ස්වාමීන් වහන්සේ තරයේ කියා සිටියහ.

සිරිසේනගේ තවත් බාප්පා කෙනෙක් කල්කටාවේ ආයුර්වේද විද්‍යාලයේ උගනිමින් සිටියේ. මේ නිසා ඒ බාප්පා ළඟට යාමට ස්වාමීන් වහන්සේ කටයුතු සුදානම් කළහ. එහෙත් සිරිසේනගේ සිත කල්කටා යාමට වඩා කොළඹ යාම හොඳ බව සිතා තිස්සමහාරාමයේ ආච්චිගේ නිවසට ගියේය.

'ආච්චියේ මම රක්සාවක් හොයා ගෙන කොළඹ යනවා'.

ආච්චි මුනුපුරාට වැව් මාළු සමඟ කුරක්කන් පිට්ටු කවා බුලත් මල්ලේ තිබු සත 32 ඔහුගේ අත තැබුවාය.

කොළඹ පැමිණි සිරිසේන කොටහේනේ මහ පන්සලේ නවාතැන් ගෙන, පන්සලේ නායක හාමුදුරුවන්ට චීන පටස් හදා විකුණා ගතමනාවක් ලබා ගත්තේය. පන්සලට ආ අමුත්තෙක් සිරිසේනට රැකියාවක් දෙන අදහසින් ඔහු කැඳවා අඟුරු මඩුවකට ගෙන ගියේය. ඔහු දුන් ශත පනහෙන් සිරිසේන කළේ බඩ කට පුරා බත් පිඟානක් කෑමය. ඉන් පසු අමුත්තා කළේ අඟුරු මඩුවකට ඔහු කැඳවා ගොස් අඟුරු මඩුවේ මුට්ට කර ගැසීමය. අඟුරු මුට්ට කර පින්නා ගත් සිරිසේන රේල් පාරක් අසළින් යන විට රේල් පාරේ ඇද වැටුණේය. අනුකම්පාවෙන් බලා සිටි කාරුණික පුද්ගලයෙක් සිරිසේන කැඳවා ගෙන ගොස් ලිප්ටන් සමාගමේ සුළු ලිපිකරුවකු ලෙස සේවය ලබා දුන්නේය.

සිරිසේන වැඩට යන්නේ මරදානේ ටවර් නෘත්‍ය ශාලාව අසළිනි. ඔහුගේ ඇස හදිසියේ යොමු වූයේ එහි එල්ලා තිබූ බෝඩ් ලෑල්ලකටය.

'භූරිදත්ත නාට්‍යය සහ ජෝන් සිල්වාගේ ශ්‍රී වික්‍රම අද රෑ පෙන්වනු ලැබේ. දෙකටම අය කිරීම ශත 25 යි. ඔහුගේ සාක්කුවේ වූයේ සත 29 කි.

නාට්‍ය දෙක නැරැඹූ සිරිසේනගේ සිත කලාවට ඇඳුණේය. නාට්‍ය කලාවටය. මටත් මේ නාට්‍යයක් ලියත හැකියි සිතූ සිරිසේන පසුදාම කල්කටාවේ ද්විජේ නූතාන් රායිට ලිපියක් ලියා ඔහු ලියා තිබූ ජනප්‍රිය වීර නාට්‍යයක් වූ 'සිංහල විජය' නාට්‍ය පිටපතත් ගෙන්වා ගත්තේය. ඒ ආකෘතිය අනුව 'සිංහල විජයට ' අලුත් අර්ථ කථනයක් දෙමින් නාට්‍ය පිටපතක් ලියා ටවර් ශාලාවේ අධිකාරින්ට යොමු කළේය. එහි භාෂාව ගැඹුරු වැඩි යයි කී අධිකාරිය ඔහුට රුපියල් 100 ක පාරිතෝෂිත මුදලක් ලබා දුන්නේය.

තංගල්ලේ සිරිසේන විමලවීර යන නාට්‍යකරුවා උපන්නේ එසේය. ගංවතුර, සීදේවි, අම්මා, රොඩී කෙල්ල, හෙළදිව පුරඟන යන නාට්‍ය ඔහු නිෂ්පාදනය කරමින් වේදිකාවේ පෙරළියක් කළේය. 1930 සිට 1940 දක්වා වූ සිංහල නාට්‍ය දශකය තුළ අතිශය ජනාදරයට පත් නාට්‍ය කර්තෘවරුන් දෙදෙනාගෙන් කෙනකු ලෙස සිරිසේන විමලවීරයන් නම් කරන මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ විසින් ලියා පළ කල 'සිරිසේන විමලවීරගේ නාට්‍ය 6 ක්' කෘතියෙන් ඔහු සිංහල ටීටර් ගීතයේ හා පසුව චිත්‍රපට ගීයේ පරිපෝෂණයට දායක වූ ගී රචිතවත් දෙතුන් දෙනාගෙන් කෙනෙකු ලෙස හඳුන්වා දෙති. 'කවාලා විළඳ ජාති', 'නාරිලතා පුෂ්පේ', 'ප්‍රේමාලෝකය නිවී ගියා' ඔහු ලිවූ ගේය පද රචනා මහාචාර්ය ආරියරත්න උපුටා දක්වති. එදා විමලවීරයෝ නාට්‍ය ප්‍රචාරයට සූරයකු බව පිටිසර කෙල්ල (1941) නාට්‍යයේ දැන්වීම තම කෘතියෙන් පැහැදිලිව දක්වා ඇත. ඊට නිදසුන් මෙසේය.

ආදර කතාවක්, රසවත් සින්දු, වේගවත් වාක්‍ය. ප්‍රාණවත් අහස්. මුකුළු සිනා. කෝමළ නැටුම්. ඔමරි බැලුම්. කදිම කියුම්. පුදුම හැඟීම්. අද නෘත්‍ය කලාවට ගරහන්නෝ පිටිසර කෙල්ල නැරඹිය යුතුය. ආදර්ශවත් දූ පරම්පරාවක් මතු ලකට හැඩ ගස්වන්නෝ පිටිසර කෙල්ල බැලිය යුතුය.

සිංහල සිනමා ඉතිහාසයේ පුරෝගාමී චරිතයකි සිරිසේන විමලවීර. ඔහු ප්‍රථම සිංහල කථානාද චිත්‍රපට අධ්‍යක්ෂවරයා ඊට පෙර කථානාද සිනමාවේ සිටියේ සම අධ්‍යක්ෂණයට පිවිසි එකම සිංහල අධ්‍යක්ෂවරයා වූ ශාන්ති කුමාර් සෙනෙවිරත්න පමණි. සිංහල චිත්‍රපට කලාවට විශාලතම සේවයක් කළ තනි පුද්ගලයා සිරිසේන විලවීර යයි ජයවිලාල් විලේගොඩ වරක් කියා තිබුණි. තවදුරටත් විලේගොඩ මෙසේ ද කියා ඇත.

'සිංහලත් නොවන සිනමාවත් නොවන සිංහල සිනමාවක් ඇති රටක තරමක්වත් සිංහලකමක් ඇති චිත්‍රපට නිපදවූයේ ඔහුය. නරකම චිත්‍රපටවලින් පිරි සිංහල තිරයට නරක නැති චිත්‍රපට කීපයක් ගෙනාවේ ඔහුය. දකුණු ඉන්දියාව බලා දකුණු පය පෙරට තැබීමට නිෂ්පාදකයන් පුරුදුව සිටි සමයක ලංකාවේම චිත්‍රාගාරයක් පිහිටුවා සිනමාවේ කාර්මික අංශවලට සිංහල තරුණ පිරිසක් පුහුණු කළේ ද ඔහුය.'

1948 නොවැම්බර් 19 වැනිදා දකුණු ඉන්දියාවේ නැප්චූන් චිත්‍රාගාරයට ගිය විමලවිර මාස 8 ක් ගත කොට තම ප්‍රථම චිත්‍රපටය වූ 'අම්මා' නිපද වීය. රුපියල් 68,000 ක වියදමින් නළු නිළියන් සමඟ ලුණු මිරිසුයි බතුයි කා හැදූ 'අම්මා' චිත්‍රපටය නිපද වූ සිරිසේන විමලවීර සිංහලයකුට අයිති මුල්ම චිත්‍රාගාරය කිරිබත්ගොඩ චිත්‍රාගාරයක් ඇරඹූ ප්‍රථම සිංහලයා විය. එපමණක් නොව එකල ජංගම කූඩාරම්වල තම චිත්‍රපටය ප්‍රදර්ශනය කොට කෙසේ හෝ 'අම්මා' චිත්‍රපටය ලක්ෂ පහක් ඉපයූ නිෂ්පාදකවරයා ද ඔහුය. එකල පසුව ජනප්‍රිය හා ප්‍රවීණ නළුවකු වූ ජෝ අබේවික්‍රම ජංගම කූඩාරම් සිනමාහල්වල කළමනාකරුවකු ලෙස සේවය කොට ඇත.

සිරිසේන විමලවීර නැප්චූන් චිත්‍රාගාරයේ දහ දුක් විඳමින් චිත්‍රපටය නිපදවීමට යාමට පෙර තම නව ජීවන නාට්‍ය කණ්ඩායමට කියා ඇත්තේ 'ලුණු මිරිසුයි බතුයි කාල හරි මේ චිත්‍රපටය හදන්න උදව් වෙන පිරිසක් විතරක් මාත් එක්ක ඉන්දියාවට යමු'.

ඩී. ආර්. නානායක්කාර පසු කලෙක අපට කියා සිටියේ තමා ඇතුව නළු නිළි පිරිස සමඟ දුෂ්කර ක්‍රියා කළේ සතුටින් බවය. තමාට මුහුණ පාන්නට වී ඇති එකම බාධකය නම් නළු නිළියන්ගේ ප්‍රේම සම්බන්ධතා පමණක් බව සිරිසේන විමලවීර සිළුමිණ ලේඛක මීමන ප්‍රේමතිලකට 1955 දී පමණ කියා තිබුණි. චිත්‍රපටයේ රඟපෑමටත් ඩී. ආර්. නානායක්කාර, පර්ල් වාසුදේවි, ඇන්. ආර්. ඩයස්, එඩී ජූනියර්, ඊ. මාෂල් පෙරේරා, කාමන් වැන්ඩොට්, මියුරි නිශ්ශංක, උපසේන විමලවීර විසින්ම ගායනා කර තිබුණි.

නැප්චූන් චිත්‍රාගාරයේ දිරා ගිය පැදුරක ඇතැම් විට නිරාහාරව නිදා නොගෙන සිරිසේන විමලවීර සිහින මවා ඇත්තේ ලංකාවට ගොස් තමාගේම කියා චිත්‍රාගාරයක් හැදීමටය. සඳ ඇති රැයක රිටක් ගෙන රහසේම නැප්චුන් චිත්‍රාගාරයේ දිග පළල මැනගත් ආකාරය මහාචාර්ය ආරියරත්නගේ කෘතියේ සවිස්තර දැක් වේ.

1951 සැප්තැම්බර් 13 වෙනිදා සිරිසේන විමලවීරයන් කිරිබත්ගොඩ නව ජීවන චිත්‍රාගාරය ඉදි කරන ලද්දේ තමා 'අම්මා' චිත්‍රපටයෙන් ඉතුරු කර ගත් රුපියල් ලක්ෂ 3 ක මුදලිනි. ඉන්දියාවෙන් කැමරාවක් ද, කාර්මික ශිල්පීන් දෙදෙනකු ගෙන්වා ගෙන 1951 වසරේ 'සීදේවි' චිත්‍රපටය ද ' 1953 වසරේ 'පිටිසර කෙල්ල' චිත්‍රපටය ද 1954 වසරේ 'සරදියෙල්' චිත්‍රපටයද ඔහු නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේය.

'පොඩි පුතා' ඔහු නිෂ්පාදනය කළේ 1955 වසරේදීය. මේ චිත්‍රපටය ඔහුගේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස විචාරක ප්‍රශංසාවට ලක් විය. එහි තවත් විශේෂයක් වූයේ පියාගේ (සුද්දප්පු) චරිතය විමලවීරයන් විශිෂ්ට ලෙස රඟපෑමය. කරුණසේන ජයලත් 'ලංකාදීප චිත්‍රපට චක්‍රය' නම් සිනමා අතිරේකයෙන් දක්වා සිටියේ 'පොඩිපුතා' (1955) ලෝකයේ කොතැනක හෝ සිංහල චිත්‍රපටයක් ලෙස පෙන්විමට පුළුවන් චිත්‍රපටයක් ලෙසය.

1956 දීපශිඛා චිත්‍රපට උලෙළ් දී හොඳම චිත්‍රපටය ලෙස සම්මානය දිනා ගත්තේ 'පොඩිපුතා' චිත්‍රපටයයි. සිසිර සේනාරත්න පසුබිම් ගායනයට එක් වූවේ පොඩිපුතා' චිත්‍රපටයේ ගැයූ මේ ලේකේ නවතැනවේ - දෙදිනයි එහි වාසේ ගීතයෙනි.

1957 නිපද වූ 'සිරකරුවා' චිත්‍රපටය 'එලෙයි පඩුම් පාඩු' ද්‍රවිඩ චිත්‍රපට අනුකරණය කරමින් තැනූ චිත්‍රපටයකි. විමලවීරයන් ඉන්දියාවේ කාර්මිකයන් මෙරට ගෙන්වා ගත්තත් තමාගේ පුතුන් දෙදෙනා වූ දයා විමලවීර (විශිෂ්ට කැමරා ශිල්පියෙකු හා චිත්‍රපට අධ්‍යක්ෂ) හා උපසේන විමලවීර (චිත්‍රපට සංස්කරණ ශිල්පී හා චිත්‍රපට නිෂ්පාදක) ඇතුළු තරුණ කාර්මිකයන් ඔවුන් ළඟ පුහුණුවීමට කටයුතු යෙදුවේය. ඩබ්ලිව්. ඒ. බී. සිල්වා (සම්මානනිය කැමරා ශිල්පී) හා දයා කරුණාරත්න (සම්මානනීය කලා අධ්‍යක්ෂ) එසේ පුහුණු වී විශිෂ්ට කලාකරුවන් දෙදෙනෙකි.

කාටුන් චිත්‍ර ඇතුළත් ලංකාවේ මුල්ම චිත්‍රපටය ඔහු අධ්‍යක්ෂණය කළ 'එකමක් එක රටක' ය. කලා අධ්‍යක්ෂ දයා කරුණාරත්නගේ දක්ෂා මතුවූයේ මේ චිත්‍රපටයෙනි. මුල්වරට මෙරට සිනමාවේ සංකේත භාවිතා වු චිත්‍රපටය ඔහුගේ 'මා ආලය කළ තරුණිය' චිත්‍රපටයය.

මුල් යුගයේ විමලවීරයන් චිත්‍රපට ගීත රචකයකු ලෙස කැපී පෙනුණි. 'සුජාතා' චිත්‍රපටයේ 'ප්‍රේමා ලෝකය නිවී ගියා' (ගායනය - ජමුනා රාණි හා ඒ. එම්. රාජා), 'පෙම් රුල්ල නගී ගල් තැල්්ලෙ වදී' (ගායනය කේ. රාණි හා ධර්මදාස වල්පොල), 'නාරිලතා පුෂ්පේ' (ගායනය - මෙහිදීන් බෙග්) ජනප්‍රිය ගි රචනා කළේ විමලවීරයන් විසිනි. කාන්තාවන් තුළ චපලත්වය ගැන විමලවීරයන් තුළ තිබූ ආකල්ප ඔහු විසින්ම අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටවල ගීතවලින් මොනවට පැහැදිලි වේ. 'කවාලා විළඳ ජාති' - 'වන මලක් අතැර දාලා', 'පණට පණ මෙන් ආලෙ කළ මුත් ස්ත්‍රී ජාති නෑ විශ්වාසෙ' මීට නිදසුන්ය. වරද කාගේද (1954) චිත්‍රපටයේ එන කේ. රාණි ගැයූ 'ප්‍රේම සහරා කාන්තාරේ' ගීතය ද රචනා කළ විමලවීරයන් 'සුජාතා' චිත්‍රපටයේ දෙබස් රචනයට ආනන්ද සමරකෝන් සමග එක්ව දෙබස් රචනා කර ඇත.

1955 වසරේ තිරගත වූ විමලවීර තැනූ 'අසෝකා' 'සීෂා' හින්දි චිත්‍රපට කතාව ඇසුරෙන් පියසේන කොස්තා කතාව හා දෙබස් ලියූ චිත්‍රපටයකි. මෙහි ගීත අතිශයින්ම ජනප්‍රිය වී ඇති අතර චීනයේ ප්‍රදර්ශනය කළ එකම සිංහල චිත්‍රපටය 'අසෝකා' චිත්‍රපටය බව 'චලන චිත්‍ර' සඟරාවේ පළ වී තිබුණි. 1959 තිරගත වූ 'මා ආලය කළ තරුණිය' ඩී. වී සෙනෙවිරත්නගේ නවනකතාව ඇසුරින් විමලවීරයන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය 1959 ජයවිලාල් විලේගොඩ විසින් සංස්කරණය කළ 'සිනමා' වාර්ෂිකයේ වසරේ තිරගත වූ හොඳම චිත්‍රපටය ලෙස නම් කර තිබුණි. 1960 වසරේ තිරගත වූ 'වන මල' චිත්‍රපටය ධර්ම ශ්‍රී කල්දේරාගේ කතාවක් පසුබිම් විය.

1960 වසරේ විමලවීරයන් 'පුංචි අම්මා' චිත්‍රපටය ආරම්භ කළේය. මෙහි චරිතයක් රඟපෑමට ආතර් යූ. අමරසේන, ටෝනි රණසිංහ නම් නවක නළුවා කැඳවා ගෙන ගියේය. එය ටෝනිගේ මුල්ම චිත්‍රපට රංගනය විය. ටෝනි රොසලින් රණසිංහ සමඟ රඟපෑ දර්ශනයක් රූගත විය. එහෙත් චිත්‍රපටය අතරමඟ නතර විය. ඒ අතර විමලවීරයන් 'රොඩී කෙල්ල' චිත්‍රපටය ආරම්භ කර එහි ප්‍රධාන චරිතයට සන්ධ්‍යා කුමාරි මුල්වරට තෝරා ගත්තේය. ඉවෝන් පෙරේරා වූ මේ නවක නිළියට 'සන්ධ්‍යා කුමාරි' නම තැබුවේ ද විමලවීරයන්ය ටෝනි සහ සන්ධ්‍යා මුල්වරට සිනමාවට හඳුන්වා දෙන ලද්දේ ඔහු විසිනි. එපමණක් නොව ප්‍රේමසිරි කේමදාස ප්‍රථම සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ද 'රොඩී කෙල්ල' ය.

කේමදාස හාපුරා කියා ගීතයක් පටිගත කොට ඇත්තේ 'රොඩී කෙල්ල' චිත්‍රපටයට නවජීවන චිත්‍රාගාරයේදී බව පවසන මහාචාර්ය ආරියරත්න සුජාතා අත්තනායක ගැයූ 'වංශවත් වූ කුලයෙහි' නම් ඒ ගීතය පටිගත වූ බවත් පවසා ඇත. ආර්ථික ප්‍රශ්න එක පිට එක ගොඩ ගැසී චිත්‍රපට නතර වී ඇත. බලවත් ලෙස රීගාතුර වූ විමලවීරයන් මරදානේ කලීල් පුද්ගලික රෝහලට ඇතුළත් කොට ඇති අතර 1963 අගෝස්තු 24 මිය යන විට ඔහුගේ වයස අවුරුදු 52 කි.

නවජීවන චිත්‍රාගාරය සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම්ට අයිති වූයේ සිනමාස් සමාගමට විමලවීරයන් ගෙවීමට තිබූ රු: 93,000 ක ණයට හිලව් වශයෙනි. එහි වූ කැමරා උපකරණ සිනමාස් සමාගමේ විජය චිත්‍රාගාරයට අයිති විය. සිරිසේන විමලවීර හෙවත් විමලවීර මාස්ටර්ගේ චිත්‍රපට කිහිපයක් චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතානගේ භාරයේ නොතිබෙන්නට අනාගත පරම්පරාවට එක රූප රාමුවක්වත් දැක ගැනීමට නොහැකි වනු ඇත. 1963 අගෝස්තු 28 'දිනමිණ' ට විලේගොඩ ලියූ වැකියකින් අප මේ ලිපිය අවසන් කරමු.

'වෙන රටවල සාමාන්‍ය නළුවන් විඳින සැප පහසුකම්වත්, චිත්‍රාගාර හිමියකු, නිෂ්පාදක අධ්‍යක්ෂවරයකු හා නළුවකු වු විමලවීර වින්දේ නැත. ඔහු නොකා නොබී සිටි අවස්ථා එමටය. බස් පෝලිම්වල රස්තියාදු වූ අවස්ථා බොහෝය. චිත්‍රගාරයේ කොනක පැදුරක් එළාගෙන නිදා ගත් අවස්ථා අපමණය. එවැනි දුක්බර ජීවිතයක් ගෙවමින් වයස 14 ක සිංහල චිත්‍රපටයට සේවය කළ ඔහු අවසන් ගමන් ගියේය. පණ අදින සිනමාවට ජීව වායුව පිම්බ 'විමලවීර මාස්ටර්' ගේ ප්‍රාණය ද දැන් සුළඟට එක් වී ඇත.'

විමලවීර මාස්ටර්ගේ පුතුන් වූ දයා දෙහිවල ඇන්ඩර්සන් පාරේ 154 නිවසකද, උපසේන කළුබෝවිල ද පදිංචි වී සිටී.

ඒ. ඩී. රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.