ශ්‍රී ලංකාවේ ඉපිද තමිල්නාඩුවේ රජ කළ එම්. ජී. ආර්.

මාර්තු 7, 2019

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රියම නළුවකු වන ආචාර්ය මරුදුර් ගෝපාලන් රාමචන්ද්‍රන් හෙවත් එම්. ජී. ආර්. ගේ චිත්‍රපට ත්‍රිත්වයක් ඇතුළත් එම්. ජී. ආර්. සිනමා උලෙළක් හෙට (මාර්තු මස 08) සිට 14 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී එම්. ජී. ආර්.ගේ රංගනයෙන් ඔපවත් වුණු ඡ්Enga Veettu Pillai(1965) Kudiyirundha Koyil (1968), Nam Naadu (1969) චිත්‍රපට ත්‍රිත්වය මැජෙස්ටික් කොළඹ, මැජෙස්ටික් යාපනය, කොන්කෝඩ් දෙහිවල, කැපිටල් මරදාන, සිනෙසිටි මරදාන, සමන්තා දෙමටගොඩ, රාජා යාපනය, සරස්වතී ත්‍රිකුණාමලය, සුගන්ධි මඩකලපුව, රීගල් නුවරඑළිය සහ රීගල් ගම්පහ යන සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ම නළුවා මෙන්ම තමිල්නාඩුවේ ජනප්‍රියම දේශපාලකයා ලෙස සැලකෙන්නේ එම්. ජී. ආර්. හෙවත් එම්.ජී. රාමචන්ද්‍ර‍න් ය. සාර්ථක දේශපාලඥයකු ලෙසින් විරුදාවලි ලද එම්. ජී. ආර්. තමිල්නාඩුවේ වැඩිම රසිකාදරය දිනාගත් ප්‍රධාන අමාත්‍යවරයා පමණක් නොව තමිල්නාඩුවේ කිරුළු නොපලන් රජු ලෙස ද හැඳීන්වේ. සිනමාවෙන් දේශපාලනයට පිවිසි තරු බොහෝමයක් වුවද ඒ අතරේ ඉන්දීය දේශපාලනය තුළ දකුණු ඉන්දීය දේශපාලන වේදිකාව මත සිටින බොහොමයක් දැවැන්තයන් සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධවීම සුවිශේෂි කරුණකි. කවුරුත් දන්නා පරිදි තමිල්නාඩු ජනතාව සිනමාව කෙරෙහි දක්වන්නේ පුදුමාකාර වූ ළෙංගතුකමකි. ඔවුන් තම සිත් ගත් සිනමා තරු වෙත දක්වන ආදරය උමතුවක් සේය. එපමණක් නොව එම තරු වෙත දේව සැළකිලි පුද කිරීමට ද පසුබට නොවන බව කාහටත් රහසක් නොවේ. එම්.ජී.ආර්. නමැති සිනමා තරුව මහ ඇමැති තනතුරට ඔසවා තැබුවේ ද තමිල්නාඩු ජනතාවගේ මෙම සිනමා උන්මාදය යි. එම්.ජී.ආර්. දෙවි කෙනකු ලෙස දකිමින් ඔහු පරාජයට පත් නොකර තෙවතාවක්ම මහ ඇමැති ධුරයේ තබා ගැනීමට තරම් එම රසික උන්මාදය ප්‍රබල විය.

බොහෝ දෙනෙකු නොදන්නා කරුණක් නම් එම්.ජී.ආර්. ලංකාවේ මහනුවර උපත ලද්දෙකු බවයි. ඔහුගේ පියා මෙලක්කාත් ගෝපාලන් බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙරටට සංක්‍රමණය වූවෙකි. ඔහු නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙමළ ජාතික මරුතූර් සත්‍යභාමා සමඟ විවාහයෙන් ලද දෙවැනි දරුවා වූයේ මරුදුර් ගෝපාලන් රාමචන්ද්‍රන් හෙවත් එම්. ජී. ආර්. ය. 1917 වසරේ ජනවාරි 17 වැනිදා උපන් එම්.ජී.ආර්.ගේ වැඩිමහල් සහෝදරයා එම්. ජී. චක්‍රපානි ය. කුඩා වියේදී සැමියාගේ වියෝවෙන් සත්‍යභාමා සිය කුඩා දරු දෙදෙනා සමඟින් ඉන්දියාවට පිටත්ව ගියේ වතුකරයේ අතිරික්ත දෙමළ ජනයා මෙරටින් පිටුහවල් කළ 1929 වසරේදීයි. 1936 වසරේදී තිරගත කෙරුණු ඉSathi Leelavathi  චිත්‍රපටයෙන් එම්. ජී. ආර්. සිය රංගන සිනමා රංගන ඇරඹූයේ පොලිස් පරීක්ෂකවරයකුගේ චරිතයකට පණ පොවමිනි. එම්. ජී. ආර්. ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වූයේ එම්. කරුණානිධි විසින් රචනා කර 1950 වසරේ තිරගත කෙරුණු Manthiri Kumari  චිත්‍රපටයෙනි. 1954 වසරේ තිරගත කෙරුණු Malaikkallan චිත්‍රපටයේ රංගනය එම ජනප්‍රියත්වය තව තවත් ඉහළ නංවන්නට සමත් විය. Thirudadhe, Enga Veettu Pillai, Aayirathil Oruvan, Anbe Vaa  වැනි චිත්‍රපට ඔස්සේ එම්. ජී. ආර්. මිලියන ගණනක දෙමළ ජනතාවගේ හදවත් සොරා ගන්නට සමත් විය. 1972 වසරේදී Rickshawkaran  චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහු හොඳම නළුවාට හිමි ඉන්දීය ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ චිත්‍රපට ආදායම් වාර්තා අතර ඉහළින්ම සිටින්නේ 1973 වසරේ තිරගත කෙරුණු UlagaUllagam Suthi Parum Sutrum Vaalibhan  චිත්‍රපටය යි. නළුවකු පමණක් නොව නිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ලෙසින් ද දකුණු ඉන්දීය සිනමාවට එම්. ජී. ආර්. විශේෂ විය. Nadodi Mannan (1958), Ulagam Sutrum Valiban (1973),Madhuraiyai Meetta Sundharapandiyan ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයකි.

එම්. ජී. ආර්.ගේ දේශපාලන ගමන ආරම්භ වූයේ කොංග්‍රස් පක්ෂයෙනි. 1953 පමණ වන විට තමිල්නාඩුවේ පළමු මහඇමති සී. එන්. අන්නාදොරේගේ ආරාධනයෙන් ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් පක්ෂයට සම්බන්ධ විය. පසු කලෙක එම්. ජී. ආර්., කරුණානිධි සමග ඇති කරගත් යම් මත ගැටුමක් හේතුවෙන් ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් පක්‍ෂයෙන් ඉවත් වී නව පක්ෂයක් පිහිටුවා ගත් අතර එය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් පක්ෂය නමින් හඳුන්වාදෙන ලදදේ අන්නාදොරේට ගෞරව පිණිස බවද කියවේ. 1977 වසරේදී එම්. ජී. ආර් පළමු වරට තමිල්නාඩු මහ ඇමති ධුරයට පත් වූයේ එම ධුරයට පත් වූ තෙවැන්නා ලෙසිනි. 'අම්මා' ලෙසින් තමිල්නාඩු ජනතාවගේ ආදරය දිනූ ජයලලිතා ජයරාම්ගේ දේශපාලන ගමනේ ආරම්භය සිදු වන්නේද එම්.ජී.ආර්.ගේ සහයෝගය ඇතිවය. එම්.ජී.ආර්.ගේ අනුප්‍රාප්තිකයා වූයේ ජයලලිතා ජයරාම්ය. ඇය සිනමාවට හඳුන්වාදීමේ ගෞරවය හිමි වෙන්නේ ද එම්.ජී.ආර්.හටය. සිනමාවේදී ඔහු ඇයගේ පෙම්වතා වන විට ඇයගේ වයස අවුරුදු දහසයක් විය. එවිට එම්.ජී.ආර්.ගේ වයස අවුරුදු හතලිස් දෙකකි. චිත්‍රපට තිහකට අධික සංඛ්‍යාවක ඔවුහු පෙම්වතුන් වූහ. සැබෑ ජීවිතයේද ඇය ඔහුගේ පෙම්වතිය බව රහසක් නොවීය.

එම්.ජී.ආර්.ගේ පළමු විවාහය සිදු වූයේ තන්ගමනී සමඟිනි. ඇය රෝගාතුරව සිට මිය ගිය පසු සත්‍යානන්දවතී සමඟින් විවාහ වුවද ඇයද ක්ෂය රෝගයෙන් පීඩා විඳ මරණයට පත් වූවාය. අනතුරුව 1965දී එම්.ජී.ආර්. ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළියක වූ ජානකී සමඟින් විවාහ වූ අතර ඇය ද එම්.ජී.ආර්.ගෙන් පසුව ඉතා කෙටි කලකට තමිල්නාඩුවේ මහ ඇමති තනතුර දැරුවාය. 1967 වසරේදී එම්.ජී.ආර්. ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ද වාර්තා වේ. 1967 වසරේ ජනවාර් 12 වැනිදා එම්.ජී.ආර්.ගේ වම් කණට වෙඩි උණ්ඩ දෙකක් එල්ල කර තිබුණේ ඔහු සමඟින් චිත්‍රපට 25ක පමණ එකට රංගනයෙක් දායක වී තිබූ එම්. ආර්. රාධා ය. මේ හේතුවෙන් එම්. ආර්. රාධා හට වසර හතක සිර දඬුවම් නියම වුවද ඔහුගේ වයස සළකා බලා එය සිව්වසරකට අතිහිටුවූ බවත් වෙඩි උණ්ඩ ඉවත් කිරීමට කළ සැත්කමෙන් පසු එම්.ජී.ආර්.ගේ කටහඬ වෙනස් වූ බවත් වාර්තා වේ. ලංකාවේ ඉපිද දකුණු ඉන්දීය සිනමාවේ කිරුළු දරා තමිල්නාඩුවේ මහ ඇමති ධූරය දක්වා ගිය එම්.ජී.ආර්. වකුගඩු අක්‍රීය වීමෙන් පීඩා විඳ 1987 වසරේ දෙසැම්බර් 24 වැනිදා සිය ජීවන ගමනින් සදහටම සමු ගත්තේ ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.