ස්පීල්බර්ග්ට සිංහල ඉගැන්වූ රූබී ද මැල්

මාර්තු 14, 2019

හරියටම මීට වසර 40 කට පෙර බම්බලපිටියේ ඇල්ප්‍රඩ් හවුස් ගාර්ඩර්න් හි සුවිසල් මැදුරක ජීවත් වූ එහෙත් චාම් සරල පෙනුමකින් යුතු මැදි වියේ කාන්තාවක් මෝටර් රථයක නැඟී කල්පිටිය වැනි ධීවර ගම්මායකට අවතීර්ණ වූවාය. එම ධීවර ගම්මානයේ යාවජීව සාමාජිකත්වය ලැබූවක සේ කළු හැට්ටයක් හා තද මල් වැටුණ චීත්තයක් හැඳ තම දියණිය ලෙස රඟපෑ මාලිනී ෆොන්සේකා සමඟ කරට කර ගැටෙමින් රඟපෑ අයුරු මම දැක ඇත්තෙමි.

තවත් වරෙක ඇය මීගමු මාළු වාඩියේ අනිත් ගැහැනුන් හා ගැටෙමින් මාළු විකූණුවාය. ඒ 1963 වසරේ එසේ රඟපෑවේ සන්ධ්‍යා කුමාරිගේ මව හැටියටය. ඊට පසු 'බඹරු ඇවිත්' චිත්‍රපටයේ රඟපෑවේ මාලිනී ෆොන්සේකා සමඟය. වැඩිපුර අම්මාගේ චරිතය රඟපෑවත් එහි වෙනසක් ඇත. වැල්ලේ ධීවරියක් හා මවක් ලෙස රඟපෑ ඕ නාගරික කොළඹ හතේ නෝනා කෙනෙකු ලෙස රඟපෑවේ අහංකාර, උද්දච්ච ආකාරයටය. මේ කුමන චරිතය රඟපෑවත් ඇය සිනමාවේ රඟපෑ භූමිකාවට නරඹන්නන්ගේ ප්‍රසාදය හිමි කර ගත්තාය.

ඇය රුබී ද මැල්ය. 1917 වසරේ දෙසැම්බර් 04 වෙනිදා කල්දෙමුල්ලේ උපත ලැබූ රූබී යෙස්මින් පෙරේරා වසර 50 ක් චිත්‍රපට නිළියක, වේදිකා නිළියක, චිත්‍රපට තිර නාටක රචිකාවක ලෙස ද චිත්‍රපට අධ්‍යක්ෂවරියක ලෙස ද විවිධ භූමිකා රඟපෑවාය. ඒ හැමටම වඩා සමාජ සේවිකාවක් ලෙස ප්‍රකටව සිටියාය.

මොරටුවේ ප්‍රකට වැවිලිකරුවකු වූ ජේම්ස් පෙරේරා හා මේරි ලියනෝරා දම්පතීන් රූබීගේ දෙමාපියන් වූහ.

දෙළොස් දෙනෙකුගෙන් යුතු දරු පවුලක දොළොස්වැනියා ලෙස උපත ලැබූ රූබී මොරටුව වේල්ස් බාලිකා විද්‍යාලයේත් මීගමුවේ නිව්ස්ටෙඩ් විද්‍යාලවලින් ඉගෙනුුම ලබා ඇත. කුඩා කල සිටම රඟපෑමට නැඹුරු වූ ඇය පාසල් වේදිකාවේ රඟපෑවේ පිරිමි චරිතය.

'මම හාපුරා කියලා ප්‍රසිද්ධ වේදිකාවට ආවේ 1955 වසරේ ටී. බී. ඉලංගරත්නගේ 'හඳහන' නාට්‍යයේ. එදා මාත් සමඟ ඒ නාට්‍යයේ හෙන්රි ජයසේන, ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්න, ඇග්නස් සිරිසේන, ආනන්ද සිරිසේන රඟපෑවා. රඟපෑම ගැන මම මුලින්ම දැන ගත්තේ නාට්‍ය නිෂ්පාදකවරයකුව සිටි ආනෝල්ඩ් වික්‍රමසූරිය මහතාගෙන්. 1952 හරියේ මට නාට්‍යයක රඟපෑමට මුලින්ම ආරාධනය කළේ එවකට වේදිකා නාට්‍යයේ පතාක යෝධයකුව සිටි ලැඩී රණසිංහ. ඒ කාලයේ මම ගුවන් විදුලි සේවයේ සේවය කළා. ඒ අධ්‍යාපන සේවයේ. ලැඩී එතකොට ගුවන් විදුලියේ වෙළඳ අංශයේ දක්ෂ නිවේදකයෙක්. 'හඳහන' නාට්‍යයේ මාත්, ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්නත් රඟපෑ අවස්ථාවක් සහිත ඡායාරූපයක් පුවත්පතක පළ වෙලා තියෙනවා දැකලා මට ගෙදරින් ලැබුණු ඇනුම් බැනුම් කෙළවරක් නෑ.' රූබී එදා අපට අතීතය සිහිපත් කරමින් කීවාය.

'හඳහන' වේදිකා නාට්‍ය බැලීමට (1955) චිත්‍රපට අධ්‍යක්ෂ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න පැමිණියේය. රූබීගේ රඟපෑම ගැන පැහැදුණු බී. ඒ. ඩබ්ලිව්. නාට්‍ය අවසානයේ ඇය සොයා වේදිකාව පිටුපසට ගියේය.

'මම බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න. ඔබේ රඟපෑම ඉතා හොඳයි. මම තකහනියේ හමුවෙන්න ආවේ තව යෝජනාවක් කරන්න.'

'ඇලෝ අයියාව ලංකාවේ කවුද නොදන්නේ. අයියා මගේ රඟපෑම අගය කිරීමම මට ලොකු සතුටක්. ධෛර්යයක්.' රූබී සතුටින් කියනු හෙන්රි හා ඇල්ප්‍රඩ් බලා සිටියහ.

'මම තව යෝජනාවක් කරන්න කැමැතියි. අකමැති නං අපි අත් ඇරලා දාමු. කැමති නැද්ද මගේ අලුත්ම චිත්‍රපටයේ රඟපාන්න.'

'මට ලැබෙන මේ අවස්ථාව ගැන සතුටුයි. ඒත් . . . මගේ දෙමාපියන් නාට්‍යයක පවා රඟපානවාට අකමැතියි. මම ඇලෝ අයියාට ඉක්මනින් ලියුමක් එවන්නම්. ඔබට බොහොම ස්තූතියි.'

බී. ඒ. ඩබ්ලිව්. ගිය පසු ඇල්ෆ‍්‍රඩ්, හෙන්රිට මෙසේ කීවේය.

'බලන්න හෙන්රි, අපි දෙන්නත් අගේට නාට්‍ය රඟපෑවට එයා ඒක දැකලා නෑ. රූබීට තමයි වාසනාව පෑදුණේ.'

'අනේ යන්න ඇල්ෆ‍්‍රඩ් කවටකම් නොකර . . .' රූබී බොරු තරහක් පෙන්වා ඉවත ගියාය.

රූබී අපට පවසා ඇත්තේ දෙමාපියන්ගේ අවසරය කිසිදා නොලැබෙන බව දැන සිටි නිසා මම හිතුවක්කාර තීරණයක් ගත් බවය.

'1955 වසරේ මම බී. ඒ. ඩබ්ලිව්ට ලියා යැව්වා 'මම ඔබේ චිත්‍රපටයේ රඟපාන්න කැමැතියි, අපි මදුරාසියේ සිටඩ්‍රල් චිත්‍රාගාරයට එන්නම්' කියලා මිතුරියක් හා විනෝද ගමනක් සඳහා ඉන්දියාවට යන බව ගෙදරට කියා මම මදුරාසියට ගියා. මා මුලින්ම රඟපෑ චිත්‍රපටය බී. ඒ. ඩබ්ලිව්. ගේ 'මතභේදය' චිත්‍රපටය. මම රුබී ද මැල් වෙනුවට 'විනෝදා රසංජලී' යන අන්වර්ථ නාමයකින් පෙනී සිටියේය. මේ අතර ඒ කාලේ 'සිළුමිණ' පත්‍රයේ සිනමා පිටුව භාරව සිටි එල්මෝ ගුණරත්න මගෙයි, සේනාධීර කුරුප්පුගෙයි පින්තූරත් සමඟ 'මතභේදය' නවක තරු දෙකක් පායන ප්‍රවෘත්තිය ලොකුවට පළ කර තිබුණා. මේ පින්තූරය දැකලා ගෙදර අය කලබල වෙලා ලොකු අක්කා පිටු හතරක ලියුමක් ඉන්දියාවට එවා තිබුණා. මම මේ ලිපියට පිළිතුරක් ලියලා යැව්වා.'

'මගේ වයසේ හැටියට පිටරටකදී ජීවත්වන හැටි දන්නවා. මා නිසා පවුලේ නමට කැලළක් වෙන නිසා 'රසාංජලී' නමින් පෙනී සිටින්නේ.' 'මතභේදය' චිත්‍රපටයේ 'රසාංජලී' නමින් තම මංගල රඟපෑම රුබී ද මැල් ඉදිරිපත් කළේ අධ්‍යක්ෂක බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න රඟපෑ රාළහාමිගේ හාමිනේ ලෙසය. ඊළඟට රසාංජලී රඟපෑවේ 'පෙරකදෝරු බෑනා' චිත්‍රපටයේ එඩී ජයමාන්නගේ බිරිඳ ලෙසය. මේ චිත්‍රපටයේ ඇගේ ප්‍රියතම නිළිය වූ රුක්මණී දේවියට නපුරුකම් කරන චරිතයක් වීම ගැන තමා බලවත් වේදනාවකින් සිටි බව ඇය ඈට කීවාය.

'මතභේදය චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය වූ විට අපේ පවුලේ හැමෝම එකිනෙකාට හොරා චිත්‍රපටය බැලුවා. චිත්‍රපටය නැරඹූ ලොකු අක්කා ඥාතියකුට කියා ඇත්තේ 'රූබිට පිස්සුද මන්ද මිනිස්සුන්ගේ නිකටින් අල්ලගෙන මොනවද කරන මළකෝලම්?' කියලා. 'මතභේදය' චිත්‍රපටයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ නිකටින් අල්ලා 'රාළහාමි හරි මනමාලයා' කියන දර්ශනය ගැනයි ලොකු අක්කා කියලා තිබුණේ.'

රූබී ද මෙල් ඉන්පසු රඟපෑ චිත්‍රපට අතර කැපී පෙනුණේ 'සිරියලතා' චිත්‍රපටයේ රිටිගල මැතිනියගේ චරිතයත්, 'කවට අන්දරේ' චිත්‍රපටයේ රජ බිසවගේ චරිතයත් 'නළඟන' චිත්‍රපටයේ රවීන්ද්‍ර රූපසේන ගේ මවගේ චරිතයත්ය.

'ධිවරයෝ' චිත්‍රපටයේ රූබී සන්ධ්‍යා කුමාරිගේ මවය. එය වරෙක මනමාල චරිතයකි. තවත් වරක ඇය තම දියණියගේ මුරණ්ඩු ගති ගුණ හා ගැටුණු චරිතයකි. මේ චරිතයට රූබී 1965 හොඳම සහාය නිළියට හිමි එක්සත් ලංකා රසික සංගමයේ සම්මානය ද, 1965 සරසවිය සම්මාන උලෙළේ විශේෂ ජූරි සම්මාන ද හිමි කර ගත්තාය. 'චණ්ඩාලි' චිත්‍රපටයේ ඇය රඟපෑවේ උද්ධච්ච මවකගේ චරිතයකි. 'හඳපාන' චිත්‍රපටයේ විජිත මල්ලිකාගේ මවය.

 

රූබීගේ ජීවිතයේ සිහිනයක මල් පිපුණ දිනය 1967 අපේ‍්‍රල් 12 වෙනිදාය. තමා හාපුරා කියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වූ 'පිපෙන කුමුදු' මුලින්ම ප්‍රදර්ශනය වූ දිනය එය විය. මේ චිත්‍රපටයේ ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්න, රුක්මණී දේවි, සුමනා අමරසිංහ, මාක් සමරනායක, ඇන්තනි සී. පෙරේරා, මේබල් බ්ලයිත්, කිත්සිරි පෙරේරා ඇතුළු නළු නිළි පිරිසක් රඟපෑහ. මේ චිත්‍රපටයෙන් රූබී සුමනා අමරසිංහ, මොනිකා වීරසිංහ, අයෝනි වීරසිංහ මුල්වරට රිදී තිරයට හඳුන්වා දුන්නාය.

'මම සමාජ සේවිකාවක් ලෙස කටයුතු කරන්න දුර පළාත්වලට ගියා. මේ පළාත්වල අපේ වැඩට අත හිත දී විශාල සේවයක් කළ ගැහැනු ළමයෙක් සිටියා. එහෙත් සමහර විටෙක ඒ ළමයින් ඉතා සුළු වැරැදි නිසා ඒ ස්ථානවලින් ඉවත් කර තිබුණා පුංචි වැරදි නිසා. සමහරු ඔවුන් කළ ලොකු සේවයවල් අමතක කර තිබුණා. මේ හේතූන් මගේ හිතේ බලපෑවා. 'පිපෙන කුමුදු' නිපදවීමට ප්‍රධාන වුණේ මේ සිදුවීම් රැසයි.'

මේ චිත්‍රපටයේ මගේ ප්‍රියතම මිතුරිය, යෙහෙළිය, නිළිය, ගායිකාව වූ රුක්මණී දේවි මගේ ප්‍රථම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඇය තෝරා ගත්තා පමණක් නොවෙයි ගීත දෙකක්ම ගායනා කරන්න දුන්නා. ඒ ගීත දෙක නම් 'තම සුව පහසුව පතා - නව පැතුම් කතා', 'හදෙහි දෙහළුව විලෙස සැදී' (සුසිල් ප්‍රේමරත්න සමඟ).

රූබී ද මැල් රඟපෑ සුවිශේෂ චරිත ලෙස ඇය පැවසුවේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'අක්කර පහ', ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත්, පාර දිගේ, එච්. ඩී. ප්‍රේමරත්නගේ 'සිකුරුලියා', සුනිල් ආරියරත්නගේ 'අහස් මාලිගා', ටයිටස් තොටවත්තගේ තෙවත, මංගලා, සාගරිකා චිත්‍රපටයි. බයිසිකල් හෝරා, සිහින හතක්, මාතර ආච්චි, අපරාධය හා දඬුවම, රන් එතනා, තණ ගිරවි, බිත්ති හතර, මංගල තෑග්ග, කෙළිමඬල ඇය රඟපෑ වෙනස් චරිත සහිත චිත්‍රපටය. ස්ටිවන් ස්පිල්බර්ග් ගේ ධ්දඤඪචදච බ්ධදඥඵ ඒදඤ ඊඩඥ ඊඥථනතඥ ධට ච්ධධථ ඉංග්‍රීසි චිත්‍රපටයේ ද ඇය රඟපෑවාය.

පුංචි තිරයේ ඇය රඟපෑ නරඹන්නන්ට මතක ඇති චරිතය සුදත් දේවප්‍රියගේ 'අඹ යහළුවෝ' ටෙලි නාට්‍යයේ අත්තම්මාගේ චරිතයයි. අනික් ටෙලි නාට්‍යය 'මායා මන්දිරය' යි. ජාත්‍යන්තර විවෘත විශ්ව විද්‍යාලය මඟින් ඕ හට ආචාර්ය උපාධියක් පිරිනැමිණ.

රූබී ද මෙල් ඉංග්‍රීසි වේදිකා නාට්‍යයක රඟපා ඇත. ප්‍රේමනාත් මොරායස්ගේ 'නේචර් මයිනඩ් සිල්වා' නාට්‍යයේ සිල්වා ලෙස රඟපෑ එඩී ජයමාන්නගේ නැන්දම්මා ලෙසය.

සමාජ සේවයට කැප වූ රූබී 1948 සිසී කුරේ, දොස්තර රත්නම්, තේජා ගුණවර්ධන මහත්මීන් සමඟ එක්ව මහිලා සමිතියක් පිහිටුවා ළමා සුභසාධනයට, මන්ධි බුද්ධික බාලිකා නිවාසයක් පිහිටුවීමට රුබී සැලසුම් කර තිබුණි.

සරසවිය රණතිසර සම්මානයෙන් 1995 වසරේ පුද ලැබූවේ රූබී ද මැල්ය. 1995 වසරේ රුබී සමඟ වර්තමාන 'සරසවිය' ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්න කළ සාකච්ඡාවකින් ඇය විදේශීය චිත්‍රපට දෙකක රඟපෑ අත්දැකිම් දෙකක් පවසා තිබුණි. ඒ ඇය ලෝ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්ගේ චිත්‍රපටයක් ගැන සඳහන් කරමිනි.

'මම ස්පීල්බර්ග්ගේ ධ්දඤඪචදච බ්ධදඥඵ චදඤ ඊඩඥ ඊඥථනතඥ ධට ච්ධධථ චිත්‍රපටයේ වැඩ කරද්දී ගොඩාක් කල් ඉඳලා දන්න කෙනෙක් වගේ ඉතාම සුහදව කතා කළාය. මට මතකයි ඒ දවස්වල තුවාලයක් හැදිලා ඔහු නොන්ඩි ගහනවා. පස්සේ කඳු නගින්න මට දුන්න බස්තම මම ඔහුට දුන්නා. ඔහු ඒ බස්තම ගත්තේ ගොඩාක් ස්තූති කරලා. එපමණක් නෙවෙයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ හැරිසන් ෆෝඩ් චිත්‍රපටයේ දර්ශන කිහිපයක කියන්න තියෙන සිංහල දෙබස් මම ඉගෙන්නුවා.'

රූබී අරුණට කියා තිබුණේ 'අඹ යහළුවෝ' ටෙලි නාට්‍යයේදී කුඩා නිමල් ලෙස රඟපෑ අශේන් මංජුල මට දුන් සහාය නොවෙන්නට තමාට ඒ නපුරු චරිතය කිසිසේත් රඟපා ගත නොහැකි බවය.

'අඹ යහළුවෝ' ටෙලි නාට්‍යයේ රඟපාද්දී අශේන් මංජුලට (නිමල්) වතුර බාල්දියකින් ගැසිය යුතු දර්ශනයක් තිබුණා. මම ඒක ප්‍රතික්ෂේප කරලා පැත්තකට වුණා. එතකොට අශේන් මෙහෙම කිව්වා.

'මම අනික් පැත්තට හැරිලා ඉන්නම්. මම කොහොමත් ඊට පස්සේ නානවා.'

ඒක වුණා කියමුකෝ. ඊට පස්සේ මට අශේන්ට ගහන්න තිබුණා. මම ඒකත් කරන්න බැහැ කිව්වා. දැන් අධ්‍යක්ෂක සුදත් දේවප්‍රියත් පුදුමයෙන් බලන් හිටියා. එතකොටත් අශේන් මෙහෙම කිව්වා.

'මගේ උරහිසට ගහන්න. එතකොට රිදෙන්නේ නෑ.'

මම ජීවිතේට ප්‍රාර්ථනා කරන්නේ එවැනි නපුරු චරිත රඟපෑමට නොලැබේවා කියලයි. මගේ ලොකුම පැතුම ඉතා ඉක්මනින් දෙවියන් වහන්සේ ළඟට යාමටයි' රූබී කීවාය.

'සරසවිය' පුවත්පත සමඟ රූබීගේ තිබුණේ මුලසිටම දැඩි සම්බන්ධයක්. ඒ කාලයේ සරසවිය සම්මාන මෙහෙය වූ සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා ඇතුළු එල්මෝ, වාගිස්ට, ලක්ෂ්මන්, එඩ්මන්, නිමල්, රියැන්සි, මෝසස්, බන්දු, රෙජී ඇතුළු සරසවිය ඇත්තෝ ද දැන්වීම් කළමනාකරුවකුව සිටි රණපාල බෝධිනාගොඩ (ලේක්හවුස් හිටපු සභාපති) ආදීන් රූබී කෘතඥතා පූර්වකව මතක් කළාය.

වයස අවුරුදු 17 දී විවාහ වූ ඇය වයස 27 දී සැමියාගෙන් වෙන් වී ඇත.

මොරටුවේ බුද්ධි ඌනතා බාලිකා නිවාසයක් පිහිටුවීමට ඇය පුරෝගාමී වූවාය. වැල්ලවත්තේ ජයසේකර නිවාසයේ සභාපතිනිය ඇය වූවාය.

හැම විටම අනුන්ට සේවය කිරීමට කැපව සිට රූබී 2004 නොවැම්බර් 09 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තාය. ඒ වන විට ඇය රාජගිරියේ කළපළුවාවේ සාන්ත ඇන්ඩෲ වැඩිහිටි නිවාසයක ජීවත්ව සිටියාය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.