කෝපි කඩේ සුවඳාගේ මව දේවි සකුන්තලා රඟ මඩලෙන් සමුගනී

මාර්තු 14, 2019

ජන්ම දායාදයෙන් ඇයට හිමි නම උම්මු සල්මාය. අර්. ඒ. ප්‍රේමවතී ලෙස හඳුන් වන්නේ ද ඇයවමය. එහෙත් ඔබ අප ඇයව හඳුන් වන්නේ දේවි සකුන්තලා යන නමිනි. පුවත්පත් උපුටා ගැනීම්වලට අනුව 1945 මැයි 22 දා මරදානේ නැෂනල් තියටර්ස්හිදී රඟදක්වන ලද 'කාගේ වැරැද්දද?' නාට්‍යයේ රඟපෑ නළු නිළි නාම ලේඛනයේ සඳහන්ව ඇති 'දේවි සකුන්තලා' නාමය අනතුරුව 'ගහල කෙල්ල', 'රුපියල', 'ජීවිත පෙරළිය', 'සමුද්‍ර දේවි', 'ඡායාවේ ඉරණම' ආදී නාට්‍ය ගණනාවකම ප්‍රමුඛව සටහන් වී තිබේ. පසුගිය මාර්තු පළමුවැනිදා ඇය ජීවිත රඟමඬලෙන් සමුගත්තාය.

දේවි සකුන්තලා උපන්නේ කළුතර නෑබොඩය. ඇගේ සොයුරිය ජනප්‍රිය නිළියකව සිටි ලක්ෂ්මී බායි. ලක්ෂ්මී බායි ටවර් හෝල් එකට රඟපාන්න ගියේ දින 40 ක් වයසැති දේවි ද වඩාගෙනය. එබැවින් මගේ මහගෙදර ටවර් හෝල් විය. ටටර්හෝල් එකේ රඟදක්වපු 'ස්විට් හනිමුන්' නාට්‍යයේ පිරිමි ළමා චරිතය රඟපාන කොට ඇගේ වයස අවුරුදු හතක්. මුල් කාලේ ළමා චරිත බොහොමයක් රඟපෑ දේවි පසුව තරුණ චරිත රඟපැවාය. 'ශ්‍රී වික්‍රම්, 'විදුර', 'සත්‍යවාදී හරිෂ්චන්ද්‍ර', 'රාමායණය', 'අංගුලිමාල', 'චින්තාමණී', 'සමුද්‍ර දේවි', 'ගහල කෙල්ල', 'සූටි ගමරාළ සහ රයිගම බණ්ඩා' ආදී රඟපෑ නාට්‍ය ප්‍රමාණය මතක නැති තරම්ය.

ඇයගේ අතීතාවර්ජන අතරේ 'අපේ අක්කා ගී ගායනා කරමින් සංවිධානය කරපු බොම්බෙ ඩාන්ස් ප්‍රසංගය නුවර පෙරහැර සමයේ නුවර නගරයේ මැද (අද බස් නැවතුම්පොල අසළ) අලංකාරව හදපු වේදිකාවක බොහෝම ජයට පවත්වනවා. මුළු රට පුරාම පවත්වපු කානිවල්වල මේ නැටුම් ප්‍රසංගවලට පුදුම ඉල්ලුමක් තිබුණා. අපේ අක්කා වගේම විමලා කාන්තා, සෝමා කාන්තා වැනි ප්‍රකට නිළියන් කීප දෙනෙකුටම එවැනි නැටුම් කණ්ඩායම් තිබුණා. නුවර පෙරහැර සමයේ මේ ප්‍රසංගය පැවැත්වෙන කොට අක්කාගේ කණ්ඩායමේ නටපු නුවර ලංසි ගෑනු ළමයෙකුට අසනීප වූ නිසා මාව පුහුණු කරලා යෙදෙව්වා.

එතකොට මට වයස අවුරුදු 14 යි. අපට නැටුම් ඉගැන්නුවේ බොම්බෙන් ආපු 'බූටා බායි' සහ ටවර්හෝල් වේදිකාවේ ගිනි සිළුව ලෙස නම් දරාපු 'සරලා බායි' අයියා. සජීවී හින්දි ගීත ගායනා කරමින් තමයි නැටුවේ. ප්‍රවේශ පත්‍ර අලෙවි කරලා පෙන්වන එම දර්ශනයක් පැයක පමණ කාලයක් පැවැත්වෙනවා. ප්‍රෙක්ෂකයෝ එක දිගටම ටිකට් අරගෙන දර්ශන තුන හතර නරඹනවා. සමහර දිනවලට එවැනි දර්ශන 15 ක් පමණ දිගට රඟ දක්වනවා. අද විවිධ සංවිධාන සහ මාධ්‍ය ආයතන එක්ව පවත්වන මහා සංගීත මේලා හා සමානව එකල මෙවැනි කානිවල් ප්‍රසංග පවත්වා ඇති බව මෙමඟින් තහවුරු වේ. වත්මනේ මෙන් රූපවාහිනී මාධ්‍ය ප්‍රචාරයක් නොතිබුණ ද මොවුහු රට පුරා සැණකෙළි සංචාරක රංගන ශිල්පීන් ලෙස කටයුතු කර ඉමහත් ජනප්‍රියත්වයකට හිමිකම් කියූහ.

'සිරිසේන විමලවීර මාස්ටර්ගේ 'අම්මා' නාට්‍යයේ ප්‍රධාන චරිතය වරක් මට කරන්න ලැබුණා. චිත්‍රපටවල බලපෑම දැඩිව තිබුණත් විමලවීර මාස්ටර්ගේ රොඩී කෙල්ල, පිටිසර කෙල්ල, අම්මා වැනි නාට්‍ය රට පුරා සාර්ථකව පෙන්නුවා. 'අම්මා' නාට්‍යයේ මගේ පෙම්වතාට රඟපෑවේ ටවර්හෝල් එකේ ජනප්‍රිය විකට නාට්‍ය ශිල්පියෙකු වුණු වී. පියදාස පෙරේරා.

ඔහු මගේ සැබෑ පෙම්වතා වී පසුව අපි දෙදෙනා විවාහ වුණා. මාව පොඩි අවදියේ පාසැල් යවන්න අම්මලා අක්කලා කොච්චර උත්සාහ කෙරුවත් මම පාසැල් යන්න කැමති වුණේ නැහැ. ඒ නිසා මට අකුරු ලියන්නවත් කියවන්නවත් බැහැ. ඒත් නාට්‍ය පිටපතක් ලැබුණාම මම කාට හරි ඒක මට ඇහෙන්න කියවන්න කියලා හොඳට මතක තියා ගන්නවා. මට හැම නාට්‍යයකම දෙබස් සහ සින්දු හරියටම කියන්න පුළුවන් වුණා. ඒ වගේම මට හොඳ මතකයකුත් තිබුණා. නාට්‍ය ගණනාවක දෙබස් එකවර මතකයේ රැඳුණා.

තමා රඟපෑ නාට්‍ය සංඛ්‍යාව පවා නිශ්චිතව කීමට ඇයට නොහැකිය. එකම කාල වකවානුවක නිෂ්පාදනය වී දර්ශන ගත වන නාට්‍ය ගණනාවක දෙබස් සහ ගීත එලෙස හුදු මතකයෙන් භාවිත කිරීම ඓශ්චර්යයකි. රඟමින් ගයමින් ඇය වේදිකාවේ පෑ පෙළහර ඇයගේ ස්මරණ ශක්තිය මෙන්ම රංග කාර්යය වෙනුවෙන් වූ අතිශය කැප වීමද විද්‍යාමාන වේ. සුවිශේෂ විකට රංගන ශිල්පිනියක වූ දේවි සකුන්තලා සිය සොයුරිය ලක්ෂ්මී බායිගේ දියණියගේ සැමියා වූ උපසේන සූර්යකුමාර්, වී. පියදාස පෙරේරා සහ ටී. ඒ. පී. අල්මේදා සමඟ එක්ව විශේෂ කෙටි විකට නාට්‍ය රංගන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේත්, රට පුරාත් ප්‍රදර්ශනය කළාය.

'මට ඒ දිනවල චිත්‍රපටවලටත් ආරාධනා ලැබුණා. 'සුරංගනී' චිත්‍රපටයේ දිස්නා රංජනීගේ මව ලෙස ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. 'පිටිසර කෙල්ල', 'සිරි සඟබෝ', 'සැපතක් සොයා' ආදී චිත්‍රපටවලත් රඟපෑවා. ඒත් චිත්‍රපටයක රූගත කිරීම් සඳහා මාස තුනක පමණ කාලයක් ඉන්දියාවට ගොස් හිටියා. කානිවල් වැඩ සටහන්, විකට වැඩ සටහන් සහ නාට්‍ය සමඟ මම හැමදාම රට පුරාම සැරිසැරුවා. ඒ කාල් හරි විනෝදයි, සුන්දරයි. අපි එකිනෙකා බොහොම සහෝදරත්වයෙන් වැඩ කළා. මම කවදාවත් නාඩගම් බලලා නැහැ. නාඩගම්වලට තොටලඟ ප්‍රදේශය හරි ප්‍රසිද්ධයි.

අපි වැඩ කළේ ටවර්හෝල් නළු නිළියන් හැටියට පමණයි. වටර්හෝල් නාට්‍යවලට ඉහළ පිළිගැනීමක් තිබුණා. ලුවී රුද්රිගූගේ 'ජොසී බබා' ඕගන් රුද්රිගූගේ 'බලගතු කාසිය' වගේ නාට්‍යවල මගේ රංගනයන් බොහොම ජනප්‍රිය වුණා. 2000 වසරේ ඉන්දිකා ජී. චන්ද්‍රතිලක මැතිනිය අධ්‍යක්ෂ ජනරාල් ධුරය දරද්දී ස්ටැන්ලි මාස්ටර් වික්ටර් වික්‍රමගේ එක්ව නිෂ්පාදනය කළ 'ටවර් හෝල් නූර්ති ජවනිකා' ප්‍රසංගයේත් මම රඟපෑවා. එහි මට පරම්පරා හතරක් සමඟ එක්ව රඟපෑමට අවස්ථාව ලැබුණා.

ඒ වගේම 'සූටි ගමරාල සහ රයිගම බණ්ඩා' නාට්‍යයේ එදා සිට මේ දක්වාම රඟපානවා. මගේ රංගන ජීවිතයට වසර 70 ක් පිරීම නිමිත්තෙන් 'සූටි ගමරාල' නාට්‍යයේ වත්මන් නිෂ්පාදක අතුල වී. සමරවීර ඇතුලු 'සූටි ගමරාල සහ රයිගම බණ්ඩා' නාට්‍ය කණ්ඩායම ටවර් රඟහලේදීම මට උපහාර පිදුවා. ටවර් රඟහලේ 97 වෙනි සංවත්සරය වෙනුවෙන් 2007 දී අරලිය ගහ මන්දිරයේදී රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමන් අතින් ලද උපහාර සම්මානය ශ්‍රී ලංකා ජාතික කලා සංසදයේ උපහාර සම්මානය, ශ්‍රී ලංකා එක්සත් කලාකරුවන්ගේ උපහාර සම්මානය මෙන්ම වසර 25 ක් පුරා 'කෝපි කඩේ' ටෙලි නාට්‍ය මාලාවේ 'සුවඳාගේ' මව ලෙස චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් පිරිනැමුණු රිදී ජුබිලි සම්මානය ආදී සම්මාන ගණනාවකින් ඇය පුදනු ලැබුවාය.

1978 ටවර් රඟහල රජයට පවරාගෙන ප්‍රතිසංස්කරණය කරලා නැවත වැඩ අරඹපු වෙලාවේ හිටපු අගමැති රණසිංහ ප්‍රේමදාස මහත්මයා අපේ ඉල්ලීමට අනුව ටවර් හෝල් එක රජයට පවරාලා අපට විශ්‍රාම වැටුප හදලා දුන්නා. ඒක අපිට හරියට වටිනවා. එතුමා මට සහ දරුවන්ට නිවාස දෙකක් ලබා දුන්නා. අපි අදත් ජීවත් වෙන්නේ ඒ නිවාසවල. ඒ වගේම හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මැතිතුමා මට දඹදිව යන්න සලස්වා දුන්නා. ටවර් රඟහලට වසර සියය සපිරුණු වෙලාවේ රත්නශීලා පෙරේරා ලියපු 'ටවර්හෝල් සුපිරි තරු' සහ 'ටවර්හෝල් සියවස් පුරාණය' ග්‍රන්ථ එළිදක්වපු ටවර්හෝල් ශතක මංගල්‍යය උත්සවයට අපේ පැරණි කලා ශිල්පීන් ඇතුළුව 40 ක් පමණ දෙනා අතරේ මටත් ගී ගයන්නත් ඉතාම හොඳ ප්‍රතිචාරයක් ද ලබන්නත් හැකි වුණා.

දීර්ඝ කාලයක් පුරා ටවර්හෝල් කේන්ද්‍ර කොටගෙන නාට්‍යකරණයේ යෙදුණු දේවි සකුන්තලාගේ මතකයේ බොහෝ රසමුසු සිදුවීම් ඉතිරිව තිබේ. 'දවසක් මෝදර රඟහල දක්වපු කතෝලික නාට්‍යයක මම රඟපාන විට පොල් කොටන්වලින් හදලා තිබුණු වේදිකාව කඩාගෙන මාව වේදිකාව තුළට ඇදගෙන වැටුණා. 'මම මෙහේ' කියලා බෙරිහන් දෙනකොට තමයි කට්ටිය මාව හොයා ගත්තේ. මුල්ම නාට්‍යයේ මම රඟපාන කොට දිව පැටලිලා දෙබස් පැටළුණු හැටි නම් කිසිම දාක අමතක වෙන්නේ නැහැ. තවත් දවසක එකම දිනයේ හික්කඩුවේ දෙමළ නැටුම් ප්‍රසංගයකුත්, අම්බලන්ගොඩ ඩොමී ජයවර්ධන නිර්මාණය කරපු 'හඳපාන' නාට්‍යයත් රඟදක්වන්නට නියමිතව තිබුණා. හික්කඩුවේ නාට්‍ය සංවිධායකයින් මාව දිගටම ප්‍රසංග සඳහා ප්‍රේක්ෂකයන් ඉල්ලා සිටින බව කියමින් මටත් මගේ මහත්තයා පියදාසටත් යන්න නොදී තියාගෙන හිටියා. 'හඳපාන' නාට්‍යයේ ආරම්භක ජවනිකාවේ මම රඟපාන නිසා නාට්‍ය ආරම්භයේදීම මම එහි සිටිය යුතුව තිබුණා. විශාල කලබැගෑනියක් මැද්දේ තකහනියක් ඩොමී ජයවර්ධන හික්කඩුවට ඇවිත් බොහොම අමාරුවෙන් අපිව අම්බලන්ගොඩට රැගෙන ගියා. දශක 8 කට අධික රංග චාරිකාවේ එවැනි මතකයන් බොහෝය.

වත්මන් කලා ක්ෂේත්‍රය පිළිබඳව දේවි සකුන්තලා මහත්මිය පළ කළේ මෙවැනි අදහසකි. 'අද කාලේ හුඟක් දක්ෂ ළමයි ඉන්නවා. හැබැයි අපි වගේ පරණ අය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එය කනගාටුවට කරුණක්. අපේ මාස්ටර්ලට වැඩිහිටියන්ට සැලකුවේ දේව භක්තියකින්. එහෙම ආචරශීලී වෙනකොට නිතැතින්ම ආශිර්වාද ලැබෙනවා. අනික තරුණකම හැමදාම තියෙන දෙයක් නෙවෙයි. හොඳම උදාහරණය තමයි මේ අපි. ඒ කාලේ අපි තරුණ නිළියන් හැටියට කීර්තිය, ප්‍රශංසා මැද්දේ වැජඹුණා. නමුත් කාලයත් සමඟ හැමදේම වෙනස් වෙනවා. ඒ වෙනස්වීමට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න නම් තරුණ මදයෙන් මත් වෙන්න නරකයි. මෙහෙම කියන්නේ තරහට නෙවෙයි. නමුත් ඒක තමයි ඇත්ත. එදා ටවර්හෝල් නාට්‍යවලින් සංසාරේ ගැන හරි අපූරුවට පෙන්වා දුන්නා.'

දේවි සකුන්තලා එක් දියණියකගේ මෙන්ම පුතුන් හතර දෙනෙකුගේ මවකි. මුනුබුරු මිනිබිරියන් ගණනාවකගේ මිත්තනියකි. ලක්ෂ්මී බායි වැනි ටවර්හෝල් යුගය බබලවපු අග්‍රගණ්‍ය ශිල්පිනියකගේ නැඟනිය මෙන්ම ටවර්හෝල් රංගන ශිල්පිනියක් වෙන්නට ලැබීම වාසනාවක් කියලා හිතනවා. මේ කලාව මගේ සංසාර පුරුද්දක් වෙන්න ඕනේ. මාගේ ජන්ම භූමිය හැටියට සලකන වේදිකාව මතම දිනෙක මියයන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වකීය මුළු ජීවිත කාලයම කලාව වෙනුවෙන් කැප කළ දීප්තිමත් ටවර්හෝල් ඉතිහාසය දිදුලන්නට දායක වූ දේවි සකුන්තලා දැඩි අධිෂ්ඨාන පූර්වකව සිය පිළිසඳර නිම කරමින් කියා සිටියාය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.