ආශා දෑසින් දකිනා සිහිනේ

දේවානන්ද වෛද්‍යසේකර 85 විය සපුරයි
මාර්තු 21, 2019

මීට දශක හතකට පමණ ඉහතදී ඓතිහාසික සෙංකඩගල පුරවරයේ උපන් පුංචි කොලු ගැටයෙකු සංගීතයට අසීමිතව පෙම් බඳිමින් නිතර ඇසෙන්නට වූ ගී තාල මුමුණමින් සිටියේය. කතෝලික පාසලක් වූ ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ඉගෙනුම ලත් ඔහුට තම සිතේ උපන් ආශාව මුදුන් පත් කර ගැනීමේ අවස්ථාවට එම පාසලින් ද හරි හැටි උපකාරයක් නොවීය. පාසලේ වැඩි ඉඩකඩක් බටහිර සංගීතයට හිමි වීම ඊට විශේෂයෙන් හේතු විය.

එහෙත් උත්සාහය අත් නොහළ ඔහුගේ ජීවිතයට වාසනාව උදා වූයේ අහම්බයකිනි. තම බාල සොහොයුරියගේ අතගත් බාල මස්සිනා සංගීතයට ළැදි සංගීතය උගත් සංගීතඥයෙකු වීම මෙකී අහම්බය විණි. ඒ අහම්බය කෙතෙක් දුර ගියා ද කියතොත් ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු දක්වා යාමට මේ කුඩා කොලු ගැටයාට ඉන් පසු අවස්ථාව උදාවිණ. එදා මෙදාතුර දශක ගණනාවක කාල පරාසය අතීත මතක සුවඳ රැසක් සමඟ ගෙවී ගොස්ය.

ඔහු මෙරට ගී ලොවට තිළිණ කළ නිර්මාණ රාශියක් නොමැති වුවද ගැයූ අතළොස්ස ද ශ්‍රාවක හදවත් තුළ නොමියෙන මතකයක් ලෙස ඉතිරි කළේය. ඔහු දේවානන්ද වෛද්‍යසේකරය. වත්මන් තරුණ පරම්පරාව නමින් ඔහු නොහඳුනන්නෙක් වුවද, අදටත් ඔහුගේ ගීත ආදරයෙන් රස විඳින්නේය. එයට හොඳම උදාහරණය වනුයේ ඔහුගේ 'ආශා දෑසින් - දකිනා සිහිනේ' ගීතය අනේක වාරයක් අන්තර්ජාලය හරහා ඩවුන්ලෝඩ් කර තිබීමය.

එළඹෙන 23 වැනිදාට සිය 85 වැනි ජන්ම දිනය සමරන ඔහු තවමත් පෙර පරිදිම කාර්යශූරය. ක්‍රියාශීලීය. එදිනෙදා ජීවිතයේ එළඹෙන සංසිද්ධීන් වෙත පෙර පරිදිම ප්‍රතිචාර දක්වන්නේය. කලා ලෝකය තුළ අපේ ශ්‍රාවක මිතුරන්ට ඔහු ආදරණීය ගායකයෙකු සේම වෘත්තීය ජීවිතේ ඔහු කාර්යබහුල වෛද්‍යවරයෙකි.

එක් අතකට වෛද්‍ය වෘත්තියත්, සංගීතයත් ඉතා ළඟින් යන විෂයයන් දෙකක්ය. වෛද්‍යවරයා සිය ප්‍රතිකර්මයන් ඔස්සේ රෝගීන් සුවපත් කරන්නා සේම ගායකයා සිය ගායන හැකියාවෙන් සිය ශ්‍රාවකයන් සුවපත් කරන්නේය.

දේවානන්ද වෛද්‍යසේකරයන්ට ඇත්තේ එවැනි සිත් සතන් සුවපත් කරනු හැකි ආදරණීය හඬකි. ඒ හඬ සුපිරිසුදුය. අතිශයින්ම ගීතාත්මකය.

'ඇත්තටම කිවුවොත් මට සංගීතය පැත්තට යොමු වෙන්න තරම් හේතුවක් අපේ පවුල ඇතුළේ තිබුණේ නෑ. ඒ කවුරුත් සංගීතය ඇසුරු කරපු අය නෙමෙයි. මට හිතෙන්නේ ඒක උත්පත්තියෙන්ම මට ලැබෙන්න ඇති කියලයි. පුංචි කාලේ ඉඳන්ම මට ලොකු ආශාවක් තිබුණා සින්දු කියන්න. නමුත් ඒකට හරියාකාර පදනමක් මට තිබුණේ නෑ. ඔය කාලේ ඉතින් මම මට ඇහෙන හින්දි සින්දු ආදිය මුමුණ මුමුණ හිටියා. ඔහොම ඉන්නකොට තමයි අපේ පොඩි අක්කා සංගීතයට සම්බන්ධ කෙනෙක් සමඟ විවාහ වෙන්නේ. ඔහු ඊ. ඒ. ජයනෙත්ති. ඔහු ඉතාම දක්ෂ තබ්ලා වාදකයෙක්. ශාස්ත්‍රීය සංගීතය ගැනත් ඔහුට මනා අවබෝධයක් තිබුණා. ඔහු තමයි මගේ ඔළුවට දැම්මේ ඔහොම සින්දු කෑලි කිය කිය ඉඳලා හරියන්නේ නෑ. පිළිවෙළකට ඕක කරන්න ඕන කියන අදහස.'

දේවානන්දගේ මස්සිනාට සංගීතය පිළිබඳ මනා දැනුමක් තිබුණා සේම ජනප්‍රිය සංගීත ශිල්පීන් හැඳිනීමක් ද තිබුණේය. මේ නිසා ඔවුනගේ ඇසුර දේවානන්දට ද නිතර දෙවේලේ ලැබුණි. සංගීත ශිල්පීන් ශ්‍රේණිගත කිරීම පිණිස ඉන්දියාවේ සිට රත්නජංකර් පඬිතුමා ලංකාවටතත් පැමිණෙන්නේ ඔය අතරතුරය. මේ ආරංචියෙන් දේවානන්ද ද එම පරීක්ෂණයට ඉදිරිපත් කරවන්නේ ඔහුගේ මස්සිනා විසිනි.

'අපේ මස්සිනාගේ මැදිහත්වීමෙන් මමත් ගියා ඔඩිෂන් එකට. මට ඉතින් ලොකු බයකුත් තිබුණා. මොකද මට ශාස්ත්‍රීය පදනමකුත් නෑනේ. ඒ වුණාට මගේ ගායනයෙන් සෑහීමකට පත්වෙලා මාව 'සී' ශ්‍රේණියේ ගායකයෙක් හැටියට එතුමා වර්ග කරලා තිබුණා. ගුවන් විදුලි සංස්ථාවෙන් ඒ බව දන්වලා අපේ ගෙදරට ලියුම එනකොට අපේ තාත්තා නැති වෙලා මිනිය ගෙදර, අදටත් මට මතකයි. ඒ සතුට මට විඳගන්න බැරි වුණා. ශ්‍රේණිගත කිරීමෙන් පස්සේ ගුවන් විදුලියේ විවිධ වැඩ සටහන්වලට මට ආරධනා ලැබුණා. ඒ කාලේ අපේ මස්සිනා ඩන්ස්ටන් ද සිල්වා හොඳට අඳුරනවා. ඔහුගේ මාර්ගයෙන් 'මාසික රැඟුම' වැඩසටහනට ගියා. එඩ්වින් සමරදිවාකර තමයි බාරව හිටියේ. ඒ කාලේ නුවර හිටපු ඉතාම දක්ෂ සංගීතඥයෙක් වුණු එම්. ජී. සුගතදාස රචනා කරපු ගීතයක් තමයි මම ගායනා කළේ. ඒ වගේම ඒ කාලේ තිබුණා 'නව මිහිර' කියලා වැඩ සටහනක්. ඒකටත් ගීත ඉදිරිපත් කළා.

'මොකද මැණිකේ හනික යන්නේ

තාම නෑනේ රෑ වෙලා

තාම නෑනේ රෑ වෙලා . . .'

60 දශකයේ අතිශයින්ම ජනප්‍රිය වුණු දේවානන්දගේ ගීත එකල ශ්‍රාවක සිත් සතන්හි නොමැකෙන මතක සටහන් ලෙස තැන්පත් වුණි. 1961 දී ඔහු ගායනා කළ පහත ගීතය එකල ශ්‍රාවක ප්‍රතිචාර දිනා ගනිමින් ගීත ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය පවා හිමි කර ගත්තේය.

'නීල නුවන් මානෙල් මල්

ඇයගේ වත පුන්සඳ වෙයි

ගමනින් නාළිය පරදන

ටිකිරි ලියා - ටිකිරි ලියා

කළෙත් අරන් ළිඳට ගියා . . .'

දේවානන්ද මෙසේ ජනප්‍රිය ගායකයෙකු බවට පත්වත්දිත් ඔහු ශිෂ්‍යයෙකි. ඔහු රතන්ජංකර් පඬිතුමා වෙත ඔඩිෂන් යන විටත් පාසල් ශිෂ්‍යයෙක්ය. 1964 දී උසස් පෙළ සමත්වීමෙන් පසු දේවානන්ද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්නේය. ඒ ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයටය.

'මම අවුරුදු 06 ක් ඉන්දියාවේ ඉගෙන ගන්නවා. හැබැයි නිවාඩුවට ලංකාටව එනවා. ඒ ආවම තමයි කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. ඒ ආ වෙලාවක තමයි 'දහසක් සිතුවිලි' චිත්‍රපටයට ගීතය ගායනා කළේ.'

දේවානන්ද ඉස් ඉස්සරලාම චිත්‍රපටයකට ගී ගයන්නේ සිරිසේන විමලවීරයන්ගේ චිත්‍රපටයකටය. එවකට ඔහු 'මා ආලය කළ තරුණිය' චිත්‍රපටය නිපදවීමට සූදානම්ව සිටි කාලයයි. දේවානන්ද ද ක්ෂේත්‍රයට ආ අලුතමය. සංගීතය නිර්මාණය කළ ෂෙල්ටන් ප්‍රේමරත්නට සිරිසේන විමලවීරයන් පවසා තිබුණේ දේවානන්ද කියා අලුත් කොල්ලෙක් ඇවිත් ඉන්නවා. ඔහු ලවා මේ චිත්‍රපටයේ තේමා ගීතය කියවන ලෙසය. ඒ අනුව 'මා ආලය කළ තරුණිය' චිත්‍රපටයේ තේමා ගීතය දේවානන්දත් සමඟ දයා නෙල්ලම්පිටිය ගයන්නීය. මෙය ඔහුගේ පළමු චිත්‍රපට ගායනයය.

'ඒ කාලේ අපි ජී. ඩී. එල්. පෙරේරාගේ 'කලා පෙළ'ට සම්බන්ධ වෙලා හිටියා. අපේ අයියා විමල් වෛද්‍යසේකරත් හිටියා. මුලින්ම කලා පෙළින් කළේ වේදිකා නාට්‍ය විතරයි. නමුත් ටික කලකින් ජී. ඩී. එල්.ට ඕන වුණා චිත්‍රපටයක් කරන්න. අපට ඉතින් මුදල් තිබුණෙත් නෑ. සමහරු තමන්ගේ වාහන විකුණලා මුදල් දැම්මා. මමත් අම්මගේ ඉඩමක් විකුණලා මුදල් ටිකක් හොයා ගත්තා. 'සාමා' චිත්‍රපටය කරන්න අපි ලෑස්ති වුණා. මේ චිත්‍රපටයේ සංගීතය භාර වුණේ මටයි ජයතිස්ස අලහකෝන්ටයි. චිත්‍රපටයේ ගීත දෙකක් තිබුණා. එකක් මගේ. අනෙක ජයතිස්ස කළා. නමුත් ජී. ඩී. එල්. ට ඕන වුණා අමරදේවත් මේකට යොදා ගන්න. ඒ අනුව ඔහුට පසුබිම් සංගීතය දුන්නා. ඒකට කියපු ගීතය තමයි 'ආශා දෑසින්' ගීතය.

'ආශා දෑසින් දකිනා සිහිනේ

මිහිර මැකී යනවා

ඒ සිහිනේ දුටු තනිකම ඉපදී

හද තුළ තෙරපෙනවා . . .'

(පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර)

'දහසක් සිතුවිලි' චිත්‍රපටයට ගී ගයන්නේ ඊට පස්සේ. මම නිවාඩුවකට ඉන්දියාවේ ඉඳලා එනකොට ඒක කරන්න ලෑස්ති කරලා තිබුණා. ඒ ගීතය තමයි 'සතුට විලයි - සැපත මලයි' ගීතය.

දේවානන්ද ගයා ඇත්තේ ගීත අතළොස්සකි. එහෙත් ඒ අතලොස්ස සදාකල්ම මෙරට ප්‍රේක්ෂකයන් ආනන්දයෙන් පුබුදන්නට සමත් ඒවාය. ඔහු ගායනා කරන අතිශයම සුන්දර ගීතය හමු වනුයේ 'තරංගා' චිත්‍රපටයෙනි.

'පවන් සුසුම් දැලින් වෙලී

ශෘංගාර රාව නොසංගා

නුවන් කොනින් සුපෙම් හැඟුම්

නින්නාද නැං වූ තරංගා

'තරංගා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වුණේ මගේ අයියා විමල් වෛද්‍යසේකර. මේ චිත්‍රපටයට ගීත 04 ක් අඩංගු වුණා. අමරදේව තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ. මං ලවා මේ ගීතය ගායනා කළා.'

ඇත්තම කිවුවොත් පුංචි කලේ ඉඳලම මට ඕනකම තිබුණේ ගායකයෙක් වෙන්න. නමුත් ඒ කාලේ හැටියට කලාකරුවෙක් වෙනවා කියන එක එක්තරා අන්දමකින් අන්තරාකාරී දෙයක්. කලාකරුවෝ හිඟන්නෝ හැටියට තමයි කතාවටත් කිව්වේ. සමහරු කිව්වා ගෑනියෙක්වත් දෙන්නේ නෑ කියලා. ඒ හින්ද මමත් වෘත්තීය විදියට වෛද්‍ය වෘත්තීය තෝර ගත්තා. මම විවාහ වුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාලාධිපතිනියක් විදියට කටයුතු කරපු කෙනෙක් එක්ක.

අපි දෙන්නට පුතාල දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා එක්සත් රාජධානියේ තෙල් නැවක කපිතාන් කෙනෙක් විදියට කටයුතු කරනවා. එයා විවාහ වෙලා එයාට දුවෙක් ඉන්නවා. දෙවැනි පුතා ජර්මනියේ ප්‍රධාන ඉංජිනේරුවෙක් විදියට කටයුතු කරනවා. එයත් විවාහ වෙලා එයාටත් පුතෙක් ඉන්නවා. දෙන්නම නිවාඩු ලැබුණම තමයි ලංකාවට එන්නේ. මම ඉතින් විශ්‍රාම සුවයෙන් ඉන්න කියලා මගේ ක්ලිනික් එකත් වහල දාල ගෙදරට ආවා. ඒ වුණාට ඉතින් විශ්‍රාම සුවයක් නෑ. තාමත් ලෙඩ්ඩු එනවා ගෙදරට. කලා කටයුතුවලටත් ඉඳහිට සම්බන්ධ වෙනවා. එහෙම බලනකොට 85 විය ගෙවිලත් තාම වැඩ කරනවා.

85 වැනි වියට එළඹිලත් තාමත් වැඩ කරන ඔබට සුබ උපන් දිනයක් සමඟ නිදුක් නිරෝගී චිර ජීවනය!

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.